Skip to content

පටුනට යන්න

මත්පැන් ගන්න එක පාලනය කරගන්නේ කොහොමද?

මත්පැන් ගන්න එක පාලනය කරගන්නේ කොහොමද?

 සමහර අය පීඩනයක්, තනිකමක් එහෙමත් නැත්නම් කම්මැළිකමක් දැනුණාම වැඩිපුර මත්පැන් ගන්නවා. ඔයාත් දැන් කලින්ට වඩා මත්පැන් ගන්නවා කියලා ඔයාට හිතෙනවාද? එහෙම හිතෙනවා නම් ඕනෑවට වඩා මත්පැන් බොන එකෙන් එහෙමත් නැත්නම් ඒකට ඇබ්බැහි වෙන එකෙන් වළකින්න පුළුවන් කොහොමද? ඔයාට කරන්න පුළුවන් දේවල් ටිකක් බලමු.

 සීමාවක් ඇතුව මත්පැන් ගන්නවා කියන්නේ මොකක්ද?

 බයිබලයේ මෙහෙම කියනවා. “වයින්වලට ලොල් වූ අය සමඟ . . . එකතු නොවන්න.”—හිතෝපදේශ 23:20.

 මේ ගැන හිතන්න. සීමාවක් ඇතුව මත්පැන් ගන්න එක වැරදියි කියලා බයිබලේ කියන්නේ නැහැ. (දේශනාකාරයා 9:7) ඒ වුණත් සීමාවක් ඇතුව මත්පැන් ගන්න එකයි, අධික ලෙස මත්පැන් ගන්න එකයි, බේබදුකමයි අතර වෙනසක් තියෙනවා කියලා බයිබලේ පැහැදිලිව පෙන්වලා තියෙනවා. (ලූක් 21:34; එෆීස 5:18; තීතස් 2:3) ඔයා මත්පැන්වලට අබ්බැහි වෙලා නැතත් ඕනෑවට වඩා මත්පැන් ගන්නවා නම් තීරණ ගන්න ඔයාට තියෙන හැකියාවට, ඔයාගේ සෞඛ්‍යයට සහ අනිත් අයත් එක්ක ඔයාට තියෙන බැඳීම්වලට නරක විදිහට ඒක බලපාන්න පුළුවන්.—හිතෝපදේශ 23:29, 30.

 හුඟක් රටවල බලධාරීන් කෙනෙක්ගේ ජීවිතයට අඩු අවදානමක් තියෙන මත්පැන් පානය සහ වැඩි අවදානමක් තියෙන මත්පැන් පානය අතර වෙනස හඳුනගෙන ඒක මනින්න ක්‍රමයක් හොයාගෙන තියෙනවා. එයාලා ඒක මනින්නේ කෙනෙක් දවසකදී පානය කරන සම්මත බීම ඒකක ප්‍රමාණය සහ කෙනෙක් සතියකදී පානය කරන සම්මත බීම ඒකක ප්‍රමාණය යොදාගෙනයි. a කොහොමවුණත් මත්පැන්වලින් සිද්ධ වෙන බලපෑම එක් කෙනාගෙන් එක් කෙනාට වෙනස්. ඒක නිසා සමහර වෙලාවට පොඩ්ඩක්වත් නොබී ඉන්න එක තමයි හොඳම දේ. ලෝක සෞඛ්‍ය සංවිධානය මෙහෙම කියනවා.

 “මේ වගේ අවස්ථාවලදී පොඩ්ඩක් හරි මත්පැන් ගන්න එක අනතුරුදායක වෙන්න පුළුවන්.

  •   වාහනයක් එළවද්දී නැත්නම් යන්ත්‍රයක් ක්‍රියාත්මක කරද්දී.

  •   දරුවෙක් ලැබෙන්න ඉද්දී නැත්නම් මව්කිරි දෙන කාලෙදි.

  •   සමහර වෛද්‍ය ප්‍රතිකාර ගද්දී.

  •   සමහර අසනීප තත්වයන්වලදී.

  •   මත්පැන් ගන්න එක ඔයාට පාලනය කරගන්න බැරි නම්.”

 මත්පැන් බොන එකට ඇබ්බැහි වෙලාද කියලා දැනගන්නේ කොහොමද?

 බයිබලයේ මෙහෙම කියනවා. “අපි අපිවම සෝදිසි කර අපට වැරදුණේ කොතැනද කියා තේරුම්ගනිමු.”—විලාප ගී 3:40.

 මේ ගැන හිතන්න. ඔයා සාමාන්‍යයෙන් මත්පැන් ගන්න විදිහ ගැන නිතරම හිතලා බලලා අවශ්‍ය වෙනස්කම් කරගන්නවා නම් මත්පැන්වලින් වෙන්න පුළුවන් වෙන හානිය වළක්වගන්න ඔයාට පුළුවන්. ඔයා මත්පැන්වලට ඔයාව පාලනය කරන්න ඉඩ දීලාද කියලා මේ දේවලින් දැනගන්න පුළුවන්.

  •   සතුටක් ලබාගන්න ඔයාට බොන්නම ඕනේ. නිදහසේ ඉන්න වෙලාවක, අනිත් අයත් එක්ක එකතු වුණු වෙලාවක නැත්නම් විනෝද වෙන වෙලාවක බොන්නම ඕනෙ කියලා ඔයාට හිතෙනවා. ඒ වගේම ප්‍රශ්න අමතක කරන්නත් ඔයා කරන්නේ බොන එක.

  •   ඔයා දැන් කලින්ට වඩා බොනවා. ඔයා දැන් නිතර නිතර මත්පැන් ගන්නවා. ඒ වගේම ඔයා ගන්නේ සැර වැඩි මත්පැන් වර්ග. මත් වෙන්න නම් ඉස්සරට වඩා වැඩියෙන් දැන් බොන්න ඕනේ.

  •   බොන එක නිසා වැඩපොළේ හරි ගෙදර හරි ඔයාට ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. උදාහරණයකට ඔයා ඔයාට දරන්න බැරි තරම් මුදලක් මත්පැන්වලට වියදම් කරනවා.

  •   බිව්වාට පස්සේ ඔයා අනතුරුදායක දේවල් කරනවා. උදාහරණයකට වාහනයක් එළවන එක, පීනන එක නැත්නම් යන්ත්‍රයක් ක්‍රියාත්මක කරන එක වගේ දේවල්.

  •   ඔයා බොන විදිහ ගැන අනිත් අය මොනවා හරි කියලා තියෙනවා. එයාලා එහෙම කියද්දී ඔයාට තරහා යනවා නැත්නම් ඔයා නිදහසට කරුණු කියනවා. ඔයා බොන එක අනිත් අයගෙන් හංගනවා. නැත්නම් බොන ප්‍රමාණය ගැන බොරු කියනවා.

  •   ඔයාට බොන එක නවත්වගන්න බැහැ. ඔයා බොන එක නවත්වන්න හරි අඩු කරන්න හරි හැදුවාට ඔයාට ඒක කරන්න බැහැ.

 මත්පැන් බොන එක පාලනය කරගන්න උදව් වෙන යෝජනා පහක්

 1. හොඳින් සැලසුම් කරන්න.

 බයිබලයේ මෙහෙම කියනවා. “උත්සාහවන්තයාගේ සැලසුම් සාර්ථක වෙයි.”—හිතෝපදේශ 21:5.

 මෙහෙම කරලා බලන්න. ඔයා මත්පැන් ගන්නේ සතියේ මොන දවස්වලද කියලා කලින්ම තීරණය කරන්න. ඒ දවස්වලදී වුණත් සුදුසු ප්‍රමාණයට විතරක් මත්පැන් ගන්න සීමාවක් තියාගන්න. අඩුම තරමින් සතියට දවස් දෙකක්වත් මත්පැන් ගන්නේ නැතුව ඉන්න වෙන් කරන්න.

 බ්‍රිතාන්‍යයේ මත්පැන් පිළිබඳ අධ්‍යාපනය ලබා දෙන සමාජ සේවා ආයතනයක් කියනවා “මත්පැන්වලට ඇබ්බැහි නොවී ඉන්න තියෙන හොඳම විදිහ කාලෙන් කාලෙට මත්පැන් නොගෙන ඉන්න තීරණය කරන එකයි” කියලා.

 2. සැලැස්මට අනුව වැඩ කරන්න.

 බයිබලයේ මෙහෙම කියනවා. “ආරම්භ කළ එම කාර්යය සාර්ථකව නිම කරන්න.”—2 කොරින්ති 8:11.

 මෙහෙම කරලා බලන්න. ඔයාගේ රටේ සම්මත බීම ඒකකයක් විදිහට අනුමත කරලා තියෙන මද්‍යසාර ප්‍රමාණය ගැන දැනගන්න. එතකොට ඔයා බොන ප්‍රමාණය හරියටම ගණන් බලන්න ඔයාට පුළුවන්. මද්‍යසාර අඩංගු නැති ඔයා ආස කරන පෝෂ්‍යදායි බීම වර්ග ගෙනල්ලා තියාගන්න.

 එක්සත් ජනපදයේ මත්පැන් අනිසි භාවිතය හා බේබදුකම පිළිබඳ ජාතික ආයතනය කියන්නේ “පොඩි පොඩි වෙනස්කම් කරගන්න එකෙන් මත්පැන් නිසා ඇති වන ගැටලු හුඟක් අවම කරගන්න පුළුවන්” කියලයි.

 3. ගත්ත තීරණ වෙනස් කරන්න එපා.

 බයිබලයේ මෙහෙම කියනවා. “එසේය කියා කිව යුතු අවස්ථාවලදී එසේය කියාත් නැත කියා කිව යුතු අවස්ථාවලදී නැත කියාත් පැවසීම ප්‍රමාණවත්ය.”—යාකොබ් 5:12.

 මෙහෙම කරලා බලන්න. ඔයා මත්පැන් ගන්නේ නැහැ කියලා තීරණය කරලා තියෙන වෙලාවක කෙනෙක් ඔයාට මත්පැන් දුන්නොත් කාරුණිකව ඒත් කෙළින්ම ඒකට බැහැ කියලා කියන්න කලින්ම සූදානම් වෙන්න.

 එක්සත් ජනපදයේ මත්පැන් අනිසි භාවිතය හා බේබදුකම පිළිබඳ ජාතික ආයතනය මෙහෙම කියනවා. “මත්පැන් ගන්න කියලා කෙනෙක් ඔයාට කරන ආරාධනාවට ඉක්මනින්ම බැහැ කියන තරමට ඔයාගේ තීරණයට එකඟව වැඩ කරන්න ඔයාට ලේසි වෙනවා.”

 4. ඔයා ගත්ත තීරණ නිසා ලැබෙන ප්‍රයෝජන ගැන හිතන්න.

 බයිබලයේ මෙහෙම කියනවා. “පටන්ගැන්මට වඩා අවසානය හොඳය.”—දේශනාකාරයා 7:8.

 මෙහෙම කරලා බලන්න. මත්පැන් ගන්න එක පාලනය කරගන්න ඔයාට තියෙන හේතු ලැයිස්තුවක සටහන් කරන්න. ඒකට හොඳ නින්දක් ලැබෙන එක, නිරෝගී සෞඛ්‍යයක් ලැබෙන එක, ආර්ථිකය දියුණු වෙන එක සහ බැඳීම් ශක්තිමත් වෙන එක වගේ දේවල් ඇතුළත් කරන්න. ඔයා ගත්ත තීරණ ගැන කතා කරද්දී ඒකේ තියෙන අභියෝග ගැනම කියනවාට වඩා ප්‍රයෝජන ගැන කියන්න.

 5. දෙවියන්ගෙන් උදව් ඉල්ලන්න.

 බයිබලයේ මෙහෙම කියනවා. “මට බලය දෙන තැනැත්තාගෙන් සෑම දෙයකටම මුහුණ දීමට මට ශක්තිය ලැබේ.”—ෆිලිප්පි 4:13.

 මෙහෙම කරලා බලන්න. ඔයා මත්පැන් ගන්න විදිහ වෙනස් කරගන්න ඕනෙ කියලා ඔයාට හිතෙනවා නම් ඔයාව පාලනය කරගන්න උදව් ඉල්ලලා දෙවියන්ට යාච්ඤා කරන්න. b ඒ ගැන දෙවියන්ගේ වචනය වන බයිබලේ දීලා තියෙන මඟ පෙන්වීම් හොයලා බලන්න. දෙවියන්ගේ උදව්වෙන් අනිවාර්යයෙන්ම ඔයාට මත්පැන් ගන්න එක පාලනය කරගන්න පුළුවන්.

a උදාහරණයක් විදිහට එක්සත් ජනපදයේ සෞඛ්‍යය හා මානව සේවා දෙපාර්තමේන්තුව කියන්නේ “කාන්තාවක් නම් දවසකදී සම්මත බීම ඒකක 4ක් හෝ ඊට වැඩියෙන් පානය කරන එක එහෙමත් නැත්නම් සතියකට සම්මත බීම ඒකක 8ක් හෝ ඊට වැඩියෙන් පානය කරන එක වැඩි අවදානමක් තියෙන මත්පැන් පානය කිරීමක් කියලයි. ඒ වගේම පුරුෂයෙක් නම් දවසකට සම්මත බීම ඒකක 5ක් හෝ ඊට වැඩියෙන් පානය කරන එක එහෙමත් නැත්නම් සතියකට සම්මත බීම ඒකක 15ක් හෝ ඊට වැඩියෙන් පානය කරන එක වැඩි අවදානමක් තියෙන මත්පැන් පානය කිරීමක්” කියලයි. කොහොමවුණත් සම්මත බීම ඒකකයක් විදිහට අනුමත කරලා තියෙන මද්‍යසාර ප්‍රමාණය රටින් රටට වෙනස් වෙනවා. ඒ නිසා ඔයාට අඩු අවදානමක් තියෙන මත්පැන් ප්‍රමාණය කොච්චරක්ද කියලා ඔයාගේ වෛද්‍යවරයාගෙන් අහන්න.

b මත්පැන් ගන්න එක ඔයාට පාලනය කරගන්න බැරි නම් සමහරවිට වෛද්‍ය උපදෙස් ගන්න සිද්ධ වෙයි.