Skip to content

2016 අප්‍රියෙල් 6
හංගේරියාව

හංගේරියාවේ සමූලඝාතන අනුස්මරණ මධ්‍යස්ථානයේ සාක්ෂිකරුවන් වෙනුවෙන් සමරු ඵලකයක්

හංගේරියාවේ සමූලඝාතන අනුස්මරණ මධ්‍යස්ථානයේ සාක්ෂිකරුවන් වෙනුවෙන් සමරු ඵලකයක්

බුඩාපෙස්ට්, හංගේරියාව – 2015 දෙසැම්බර් 11වෙනි දා බුඩාපෙස්ට්වල සමූලඝාතන අනුස්මරණ මධ්‍යස්ථානයේ සමරු ඵලකයක් විවෘත කළා. ඒ නාට්සි යුගයේදී පීඩාවලට මුහුණ දුන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් 4දෙනෙක්ට ගෞරවය පිරිනමන්නයි.

දෙවන ලෝක යුද්ධයේදී නාට්සි භටයන් ඝාතනය කරපු යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් 4දෙනාව සිහි කරන්න විවෘත කළ සමරු ඵලකය.

ලායොෂ් ඩෙලී, ආන්ටාල් හෝනිෂ්, බර්ටාලාන් සාබො සහ යානොෂ් ෂොන්ඩොර් ඒ 4දෙනායි. 2වන ලෝක මහ යුද්ධයේදී හමුදා සේවයට බැඳීම ප්‍රතික්ෂේප කරපු නිසා හංගේරියානු ඇරෝ ක්‍රොස් කියන නාට්සි පක්ෂය විසින් ඔවුන්ව ප්‍රසිද්ධියේ ඝාතනය කළා. එහෙම කළේ හංගේරියාවේ නගර 2ක් වන කොර්මෙන්ඩ් සහ ෂාවර්වලදියි. ඒ සමරු ඵලකයේ ඔවුන්ගේ නම් විතරක් නෙමෙයි බයිබලයේ ක්‍රියා 5:29 තියෙන “අප කීකරු විය යුත්තේ මිනිසුන්ට නොව දෙවිටයි” යන වචනත් සඳහන් වෙනවා.

සමාජ කටයුතු සඳහා නියෝජ්‍ය ලේකම් වන ආචාර්ය චාබා ලැටොකායි උත්සව සභාව අමතයි.

සමාජ කටයුතු පිළිබඳ නියෝජ්‍ය ලේකම් වන ආචාර්ය චාබා ලැටොකායි උත්සවයේ ආරම්භක දේශනයේදී මෙහෙම කිව්වා. “මේ සමරු ඵලකය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වුණ ඒ තරුණයන් 4දෙනා වෙනුවෙන් සිහිවටනයක්. . . . ඒ අය, ‘මිනී නොමරන්න’ කියන ආඥාවට කීකරු වුණා විතරක් නෙමෙයි තමන්ගේ හෘදය සාක්ෂියේ හඬට සවන් දුන්නා. ඒ නිසයි ඒ අය තමන්ගේ ආගමේ අයට සහ අසල්වැසියන්ට විරුද්ධව සටන් කරන්න ආයුධ අතට ගත්තේ නැත්තේ.”

බුඩාපෙස්ට්වල සමූලඝාතන අනුස්මරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වන ආචාර්ය සාබෝට්ච් සීටා උත්සව සභාවට මෙහෙම කිව්වා. “නාට්සි පාලනය යටතේ දුක් වින්ද අය අතර යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවනුත් හිටියා කියන එක දශක ගණනාවක්ම අමතක වෙලයි තිබුණේ. ඒ නිසා මේ සමරු ඵලකය එයාලට ජයග්‍රහණයක්. ඝාතනය වුණ ඒ තරුණයන්ට නොසැලෙන විශ්වාසයක් තිබුණා. මරණය හමුවේ වුණත් ඒ අය තමන්ගේ දෙවියන්ට විශ්වාසවන්තව හිටියේ ඒ නිසයි. ඒ 4දෙනා අපිට හොඳ ආදර්ශයක්.”

බුඩාපෙස්ට්වල සමූලඝාතන අනුස්මරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වන ආචාර්ය සාබෝට්ච් සීටා සමරු ඵලකය විවෘත කරයි.

මාධ්‍ය ප්‍රකාශකයන්:

ජාත්‍යන්තර: ඩේවිඩ් ඒ. සෙමොනියන්, මහජන තොරතුරු අංශය, විමසීම්: +1-718-560-5000

හංගේරියාව: ඇන්ඩ්‍රාස් සිමොන්, +36-1-401-1118