Skip to content

පවුලේ හැමෝටම මඟ පෙන්වීම් | දෙමව්පියන්ට

දරුවන් සහ ස්මාට් ෆෝන් - 1වෙනි කොටස: මගේ දරුවාට ස්මාට් ෆෝන් එකක් දෙන්නම ඕනෙද?

දරුවන් සහ ස්මාට් ෆෝන් - 1වෙනි කොටස: මගේ දරුවාට ස්මාට් ෆෝන් එකක් දෙන්නම ඕනෙද?

 ස්මාට් ෆෝන් a පාවිච්චි කරන දරුවන්ගේ ගාණ එන්න එන්නම වැඩි වෙනවා. ඒ නිසා එයාලගෙන් හුඟදෙනෙක්ට එයාලගෙම කාමරයේ ඉඳලා ඉන්ටර්නෙට් එකට යන්න පුළුවන්. ඔයාගේ දරුවාට ස්මාට් ෆෝන් එකක් දෙන එකේ තියෙන අනතුරු මොනවාද? ඒකෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද? දරුවාට ෆෝන් එක පාවිච්චි කරන්න ඉඩ දෙන්න ඕනෙ කොච්චර වෙලාවකටද?

 දැනගන්න ඕන දේ

 ප්‍රයෝජන

  •   දරුවන්ට ආරක්ෂාවක්, දෙමව්පියන්ගේ හිතට සහනයක්. යෞවන දරුවෝ දෙන්නෙක් ඉන්න බෙතනි මෙහෙම කියනවා. “අපි ජීවත් වෙන්නේ ගොඩක් අනතුරු සිද්ධ වෙන කාලෙක. ඒ නිසා දරුවන්ට ඕන වෙලාවක දෙමව්පියන් එක්ක කතා කරන්න විදිහක් තියෙන්නම ඕනේ.”

     අම්මා කෙනෙක් වන කැතරිනුත් කියන්නේ ඒ වගේම දෙයක්. “දරුවා ෆෝන් එක අරන් කොහේ හරි ගියාම එයා ඉන්නේ කොහෙද කියලා සමහර ඇප්වලින් දැනගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි එයා වාහනයක් එළවගෙන යනවා නං එයා යන්නේ කොච්චර වේගෙකින්ද කියලත් බලන්න පුළුවන්.”

  •   ඉස්කෝලේ වැඩට උදව්වක්. අම්මා කෙනෙක් වන මරී කියන්නේ මෙහෙමයි. “හුඟක් වෙලාවට ගුරුවරුන් දැන් ඉස්කෝලේ වැඩ එවන්නේ ඊ-මේල්වලින් නැත්නම් මෙසේජ්වලින්. දරුවන්ටත් ගුරුවරුන් එක්ක කතා කරන්න ඒ දේවල් හුඟක් උදව් වෙනවා.”

 අනතුරු

  •   හුඟක් වෙලා ෆෝන් එකේ ඉන්නවා. යෞවන දරුවෝ සාමාන්‍යයෙන් දවසට පැය ගාණක් ෆෝන් එකේ ඉන්නවා. ඒ වගේම සමහර දෙමව්පියනුත් දරුවන් එක්ක කතාබහ කරන්න ගන්නවා වගේම කාලයක් ෆෝන් එක පාවිච්චි කරන්නත් ගන්නවා. එක උපදේශකයෙක් ඒ ගැන මෙහෙම කියනවා. “සමහර පවුල් හරියට එකම ගෙදර ඉන්න බෝඩිංකාරයෝ වගේ. එයාලා එකට ජීවත් වුණත් වැඩිපුරම ඉන්නේ ෆෝන්වල.” b

  •   අසභ්‍ය දර්ශන බලනවා. එක සමීක්ෂණයකට අනුව යෞවනයන්ගෙන් භාගෙකට වඩා වැඩිදෙනෙක් හැම මාසෙකම වගේ අසභ්‍ය දර්ශන ඕනකමින්ම බලනවා. ඒක පුදුම වෙන්න දේකුත් නෙමෙයි, මොකද ෆෝන් එකකින්, ටැබ් එකකින් ඒ වගේ දෙයක් ලේසියෙන්ම බලන්න පුළුවන්. යෞවන වයසේ දරුවන් දෙන්නෙක් ඉන්න තාත්තා කෙනෙක් වන විලියම් මෙහෙම කියනවා. “ස්මාට් ෆෝන් එකක් අරන් දෙන එකෙන් දෙමව්පියෝ දන්නෙම නැතුව කරන්නෙ ඕනම තැනක ඉඳලා අසභ්‍ය දර්ශන බලන්න දරුවන්ට පාර කපලා දෙනවා වගේ වැඩක් වෙන්න පුළුවන්.”

  •   ඇබ්බැහි වෙනවා. හුඟක් අයට ෆෝන් එක දැන් ජීවිතේම කොටසක් වෙලා. බැරිවෙලා හරි ඒක නැති වුණොත් එයාලා කලබල වෙනවා, මොනාද කරන්නෙ කියලා හිතාගන්න බැරි වෙනවා, සමහර වෙලාවට අසනීප වෙනවා කියලාත් එයාලා කියනවා. සමහර දෙමව්පියෝ කියනවා ෆෝන් පාවිච්චි කරන වෙලාවට එයාලගේ දරුවන්ට හරියට කේන්ති යනවා කියලා. ඒ ගැන කාමන් මෙහෙම කියනවා. “පුතා ෆෝන් එකේ මොනා හරි කරකර ඉද්දි මං එයාට කතා කළාම එක්කෝ එයා රවලා බලනවා නැත්නම් කේන්තියෙන් මොනා හරි කියනවා. මොකද එයා කරකර ඉන්න වැඩේ නවත්තන්න වෙනවනේ.”

  •   තවත් අනතුරු. ස්මාට් ෆෝන් පාවිච්චි කරද්දි ඉන්ටර්නෙට් එක හරහා සිදු වෙන හිරිහැරවලට, ෆෝන් එක හරහා අසභ්‍ය දේවල් හුවමාරු කරගන්න එක වගේ අනතුරුවලට වැටෙන්න පුළුවන්. ඒ වගේම වැරදි ඉරියව්වකින් වැඩි වෙලාවක් ඉන්න නිසා, අඩුවෙන් නිදාගන්න නිසා අසනීප වෙන්නත් පුළුවන්. සමහර ළමයි එයාලගේ ෆෝන් එකේ තියෙන දේවල් දෙමව්පියන්ගෙන් හංගන්න එක එක ඇප් පාවිච්චි කරනවා. ඒවායින් සමහර ඒවා බැලූ බැල්මට කැල්කියුලේටරයක් වගේ. ඒ වගේ ඇප් එකක් කියලා පේන්නෙවත් නැහැ.

     “ස්මාට් ෆෝන් එකකින් ඉන්ටර්නෙට් එකේ තියෙන හොඳ දේවල්වලට වගේම නරක දේවල්වලටත් දොර ඇරෙනවා” කියලා යෞවන වයසේ දුවෙක් ඉන්න තාත්තා කෙනෙක් වන ඩැනියෙල් කියනවා.

 ඔයාගෙන්ම මෙහෙම අහගන්න

  •   ‘මගේ දරුවාට ස්මාට් ෆෝන් එකක් ඕනෙමද?’

     බයිබලයේ කියනවා “සිහිබුද්ධිය ඇති අය තමන් ගත යුතු පියවර ගැන හොඳින් කල්පනා කරයි” කියලා. (හිතෝපදේශ 14:15) ඒක මතක තියාගෙන ඔයාගෙන්ම මෙහෙම අහගන්න.

     ‘දරුවාගේ ආරක්ෂාව ගැන හිතලා නැත්නම් වෙන හේතුවක් නිසා එයාට ස්මාට් ෆෝන් එකක් දෙන එක නුවණට හුරු දෙයක්ද? ඒකෙන් තියෙන ප්‍රයෝජන ගැන වගේම වෙන්න පුළුවන් අනතුරු ගැනත් මං හොඳට හිතලා තියෙනවාද? දරුවාට ස්මාට් ෆෝන් එකක්ම අරන් දෙන්න ඕනෙද?’

     තාත්තා කෙනෙක් වන ටොඩ් මෙහෙම කියනවා. “පොඩි ෆෝන් එකකින් වුණත් කෝල් එකක් ගන්න, මෙසේජ් එකක් යවන්න දරුවාට පුළුවන්. ඒ වගේ ෆෝන් තාමත් කඩවල්වල ගන්න තියෙනවා. ඒක ඔයාගේ පර්ස් එකටත් හොඳයි.”

  •   ‘මගේ දරුවාට ඒ වගකීම ගන්න පුළුවන්ද?’

     බයිබලේ කියනවා “ප්‍රඥාවන්තයාගේ සිත හරි මඟට යොමු වෙයි” කියලා. (දේශනාකාරයා 10:2) ඒක මතක තියාගෙන ඔයාගෙන්ම මෙහෙම අහගන්න.

     ‘මගේ දරුවා විශ්වාසවන්තව වැඩ කරන කෙනෙක්ද කියලා දැනගන්න පුළුවන් කොහොමද? එයා මාත් එක්ක එයාගේ හිතේ තියෙන හැම දේම කියනවාද? එයා හැම වෙලේම අවංකව වැඩ කරනවාද? උදාහරණයකට එයාගේ යාළුවෝ කවුද කියලා මගෙන් හංගනවාද? දැනටමත් එයා ටීවී එක, ටැබ් එක, ලැප්ටොප් එක වගේ දේවල් පාවිච්චි කරන්නේ සීමාවක් ඇතුවද?’ අම්මා කෙනෙක් වන සරීනා මෙහෙම කියනවා. “ස්මාට් ෆෝන් එකත් හරියට හොඳට කැපෙන පිහියක් වගේ. ඒකෙන් හුඟක් ප්‍රයෝජන තියෙනවා වගේම ලොකු අනතුරක් වෙන්නත් පුළුවන්. ඒ නිසා අද්දැකීම් අඩු ඔයාගේ දරුවාට ඒ වගේ වගකීමක් දෙන්න කලින් දෙපාරක් හිතලා බලන්න.”

  •   ‘ඒ වගකීම ගන්න මම ලෑස්තිද?’

     බයිබලේ කියනවා “දරුවෙකුට හරි මඟෙහි යෑමට අවශ්‍ය පුහුණුව ලබා දෙන්න” කියලා. (හිතෝපදේශ 22:6) ඒක මතක තියාගෙන ඔයාගෙන්ම මෙහෙම අහගන්න.

     ‘ෆෝන්වලින් වෙන්න පුළුවන් අනතුරු ගැනත් ඒවාවලින් බේරෙන්න දරුවෙක් කරන්න ඕන දේවල් ගැනත් කියලා දෙන්න තරම් ෆෝන් ගැන දැනුමක් මට තියෙනවාද? දරුවා කරන දේවල් පාලනය කරන්න දෙමව්පියන්ට ෆෝන් එකේ සකස් කරන්න පුළුවන් දේවල් ගැන මම දන්නවාද? ෆෝන් එක පාවිච්චි කරද්දි හොඳට හිතලා බලලා දේවල් කරන්න දරුවාට උදව් කරන්න මට පුළුවන් කොහොමද?’ මේ ලිපියේ කලින් සඳහන් කරපු තාත්තා කෙනෙක් වන ඩැනියෙල් මෙහෙම කියනවා. “හුඟක් දෙමව්පියෝ දරුවන්ට ඔහේ ස්මාට් ෆෝන් අරන් දෙනවා. දරුවෝ ඒවාවලින් කරන්නේ මොනවාද කියලා නිකමටවත් හොයලා බලන්නේ නැහැ.”

 මේක මතක තියාගන්න: ස්මාට් ෆෝන් එක හරි විදිහට පාවිච්චි කරන්න දරුවන්ව පුහුණු කරන්න ඕනේ. එක පොතක මෙහෙම කියනවා. “දරුවෙක් ඉලෙක්ට්‍රෝනික උපකරණයක් සීමාවක් ඇතුව පාවිච්චි කරයි කියලා බලාපොරොත්තු වෙන්න අමාරුයි. දෙමව්පියන්ගේ අධීක්ෂණයක් නැතුව දරුවෙක් තනියෙන්ම එහෙම කරයි කියලා කොහොමටවත් හිතන්න බැහැ.”—Indistractable.

a මේ ලිපියේ ස්මාට් ෆෝන් කියන්නේ ඉන්ටර්නෙට් යන්න පුළුවන් ඕනෙම ෆෝන් එකකටයි.

b තෝමස් කර්ස්ටිං විසින් ලියපු Disconnected කියන පොතෙන්.