Skip to content

පවුලේ හැමෝටම මඟ පෙන්වීම් | දෙමව්පියන්ට

දරුවන් පොත් පත් කියවන්න ඕනෙ ඇයි? - 1වෙනි කොටස: කියවනවාද නැත්නම් බලනවාද?

දරුවන් පොත් පත් කියවන්න ඕනෙ ඇයි? - 1වෙනි කොටස: කියවනවාද නැත්නම් බලනවාද?

 නිවාඩු පාඩුවේ ඉද්දී ඔයාගේ දුව නැත්නම් පුතා වැඩියෙන්ම කරන්න කැමති මොකක්ද? වීඩියෝ බලන්නද නැත්නම් පොතක් කියවන්නද? එයා ඉස්සෙල්ලාම අතට ගන්නේ ස්මාට් ෆෝන් එකද නැත්නම් පොතක්ද?

 ටීවී එකයි, ඔන්ලයින් බලන්න තියෙන දේවලුයි නිසා පහුගිය අවුරුදු ගාණ පුරාම මිනිස්සුන්ට පොත් පත් කියවන්න තියෙන පුරුද්ද අඩු වේගන ගිහින්. “මේ යන විදියට ගියොත් මිනිස්සුන්ගේ කියවීම වලපල්ලටම යයි” කියලා 1990දී ජේන් හීලි එයාගේ පොතක ලිව්වා.—Endangered Minds.

 ඒක නම් කවදාවත් වෙන්නේ නැහැ කියලා ඒ කාලේ ඔයාට හිතෙන්න ඇති. හැබැයි දැන් ඒක කොච්චර ඇත්තක් වෙලාද කියලා පේනවා. අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් කියන විදිහට තාක්ෂණය වැඩියෙන් පාවිච්චි කරන රටවල ඉන්න තරුණ දරුවන්ගේ කියවීමේ හැකියාව ඉස්සර හිටපු දරුවන්ට වඩා සෑහෙන්න අඩු වෙලා තියෙනවා.

මේ ලිපියෙන්

 පොත් පත් කියවන එකෙන් දරුවන්ට ලැබෙන ප්‍රයෝජන මොනවාද?

  •   දේවල් හිතින් මවා ගැනීමේ හැකියාව දියුණු වෙනවා. උදාහරණයකට කතන්දරයක් කියවද්දී වෙන දේ ගැන හිතන්න. ඒ චරිතවලට තියෙන්නේ මොන වගේ කටහඬවල්ද? එයාලගේ හැඩරුව කොයි වගේද? එයාලා ජීවත් වෙන්නේ මොන වගේ පරිසරයකද? ඒ වෙලාවේ වටේ පිටේ සිද්ධ වෙන්නේ මොනවාද? අපි ඒවා හිතින් මවාගන්නවා. ලේඛකයා හැම තොරතුරක්ම කියන්නේ නැති වෙන්න පුළුවන්. ඒත් අපි හිස් තැන් පුරවගන්නවා.

     ලෝරා කියන අම්මා මෙහෙම කියනවා. “අපි ෆිල්ම් එකක් නැත්නම් වීඩියෝ එකක් බලද්දී කරන්නේ වෙන කෙනෙක් හිතින් මවාගත්ත දෙයක් බලන එක. ඒකේ වරදක් නැහැ. හැබැයි පොතක් කියවන එකෙන් ඊට වඩා හොඳ දෙයක් වෙනවා. ඒකෙදී වෙන්නේ වෙන කෙනෙක් ලියපු දෙයක් කියවලා අපිම අපේ හිතේ කතන්දරයක් මවාගන්න එකයි.”

  •   හොඳ ගුණාංග වර්ධනය වෙනවා. දරුවෙක් පොතක් කියවන තරමට ප්‍රශ්නෙක මුල හොයාගෙන ඒක විසඳන්න පුළුවන් කොහොමද කියලා ඉගෙනගන්නවා. ඒ වගේම කියවද්දී කියවන දේට හොඳ අවධානයක් දෙන එකත් හරිම වැදගත්. එහෙම කරද්දී ඉවසන්න, තමන්ව පාලනය කරගන්න, අනිත් අයට අනුකම්පාවෙන් සලකන්න වගේ හොඳ ගුණාංග වර්ධනය කරගන්නත් දරුවන්ට පුළුවන් වෙනවා.

     දරුවෙක්ගේ හිතේ අනුකම්පාව ඇති කරන්න කියවීම උදව් වෙන්නේ කොහොමද? විචාරකයන් කියන විදිහට හදිස්සියක් නැතුව වෙලා අරන් කතාව පරෙස්සමට කියවද්දී දරුවාට පුළුවන් වෙනවා ඒ චරිතේ හිටපු කෙනාට හැඟුණු දැනුණු විදිහ තේරුම්ගන්න. ඒක දරුවාට උදව් වෙයි එදිනෙදා ජීවිතයේ හම්බ වෙන අයගේ හැඟීම් තේරුම් අරන් එයාලට අනුකම්පාවෙන් සලකන්න.

  •   ගැඹුරින් හිතන්න උදව් වෙනවා. පරෙස්සමින් කියවන කෙනෙක් කඩිමුඩියේ කියවන්නේ නැහැ. එයාට ඕනෙ ලේඛකයා කියන්න හදන අදහස ඒ විදිහටම තේරුම්ගන්න. මොකක් හරි තේරුණේ නැත්නම් එයා කියවපු කොටස වුණත් ආයේ කියවනවා. එහෙම කරද්දී කියවන දේ හොඳට මතක තියාගන්නත් ඒකෙන් ප්‍රයෝජන ගන්නත් එයාට පුළුවන් වෙනවා.—1 තිමෝති 4:15.

     ජෝසෆ් කියන තාත්තා මෙහෙම කියනවා. “දෙයක් කියෙව්වාට පස්සේ ටිකකට නැවතිලා මෙතනින් කියන්න හදන්නේ මොකක්ද කියලා තේරුම්ගන්න අපිට අවස්ථාව ලැබෙනවා. ඊටපස්සේ ඔයා දැනටමත් දන්න දෙයක් එක්ක ඒක සම්බන්ධ කරනවා. අන්තිමේදී ඒකෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද කියලා හිතනවා. හැබැයි වීඩියෝ එකක් බැලුවා කියලා අපි හැම වෙලාවෙම එච්චර ගැඹුරට හිතන්නේ නැහැ.”

 මේක මතක තියාගන්න: වීඩියෝ බලන එකේ ප්‍රයෝජන නැතුවම නෙමෙයි. හැබැයි ඔයාගේ දරුවා කියවන්න කාලය ගත කරන්නේ නැත්නම් කලින් කිව්වා වගේ ජීවිතයට ඕන කරන හුඟක් වටින දේවල් මඟහැරෙන්න ඉඩ තියෙනවා.

 පොත් පත් කියවන්න දරුවන්ව උනන්දු කරන්නේ කොහොමද?

  •   පුංචි කාලේම පටන්ගන්න. ක්ලොයි පුතාලා දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක්. එයා මෙහෙම කියනවා. “අපි පුතාලට ඇහෙන්න කියෙව්වේ එයාලා බඩේ ඉද්දිමයි. ඉපදුණාට පස්සෙත් දිගටම එයාලට ඇහෙන්න කියෙව්වා. එහෙම කරපු එක ගැන අද අපි ගොඩක් සතුටු වෙනවා. කාලයත් එක්කම පොත් පත් කියවන එක එයාලට නැතුවම බැරි දෙයක් වෙලා.”

     බයිබල් ප්‍රතිපත්තිය: “ළදරු කාලයේ පටන් ඔබ ශුද්ධ ලියවිල්ල ගැන අවබෝධයක් ලබාගත් ආකාරය ඔබ දන්නෙහිය.”—2 තිමෝති 3:15.

  •   කියවන්න ආස හිතෙන විදිහේ පරිසරයක් හදන්න. කියවන්න හිතෙන ඕනම වෙලාවක ගෙදර ඇති තරම් පොත් පත් තියෙනවා නම් දරුවෝ කියවන්න හුඟක් ආස වෙයි. තමාරා දරුවෝ හතරදෙනෙක් ඉන්න අම්මා කෙනෙක්. එයා මේ වගේ යෝජනාවක් දෙනවා. “දරුවා කියවන්න කැමති පොත් කීපයක් තෝරගෙන ඒවා එයාගේ ඇඳ ගාවින් තියන්න.”

     බයිබල් ප්‍රතිපත්තිය: “දරුවෙකුට හරි මඟෙහි යෑමට අවශ්‍ය පුහුණුව ලබා දෙන්න. එවිට ඔහු වයසට ගිය පසුත් එයින් අහක්ව යන්නේ නැත.”—හිතෝපදේශ 22:6.

  •   ඉන්ටර්නෙට් පාවිච්චි කරන එක සීමා කරන්න. ඩිවයිස් පාවිච්චි කරන්නේ නැති එක හැන්දෑවක් වෙන් කරගන්න කියලා ඩැනියෙල් කියන තාත්තා යෝජනා කරනවා. “එහෙම කරද්දී තනි තනියම නැත්නම් පවුලක් විදිහට එකට එකතු වෙලා පොත් පත් කියවන්න අපිට අවස්ථාව ලැබෙනවා.”

     බයිබල් ප්‍රතිපත්තිය: ‘වඩා වැදගත් දේවල් මොනවාද කියලා පැහැදිලිව අවබෝධ කරගන්න.’—ෆිලිප්පි 1:10.

  •   ඔයාත් ආදර්ශයක් වෙන්න. දුවලා දෙන්නෙක් ඉන්න කරීනා මේ වගේ යෝජනාවක් දෙනවා. “ඔයා දරුවාට ඇහෙන්න කතන්දරයක් කියවද්දී ඒකට හැඟීම් මුසු කරලා කියවන්න. ඒ චරිතවලට පණ පොවන්න. ඔයා කියවන්න ආස කෙනෙක් කියලා දරුවෝ දකිද්දී ඒ දේම කරන්න දරුවන්ටත් ලොකු ආසාවක් ඇති වෙයි.”

     බයිබල් ප්‍රතිපත්තිය: ‘ශුද්ධ ලියවිල්ල ප්‍රසිද්ධියේ කියවීම ගැනද නිරතුරුවම සැලකිලිමත් වන්න.’—1 තිමෝති 4:13.

 හැම දරුවෙක්ම පොත්ගුල්ලෙක් වෙන එකක් නැහැ. හැබැයි ඔයාගේ පැත්තෙන් ඔයා දේවල් කරද්දී ඔයාගේ දරුවන්ටත් කියවන්න ආසාවක් ඇති වෙයි. දුවලා දෙන්නෙක් ඉන්න ඩේවිඩ් මෙහෙමත් කරනවා. “දුවලා දෙන්නා කියවන පොත් මමත් කියවනවා. එතකොට එයාලා කැමති මොනවාටද කියලා මට තේරෙනවා. කතාබහ කරන්න හොඳ මාතෘකාත් හම්බෙනවා. ඒකට අපි හරි ආසයි.”