Skip to content

බයිබලයේ “ඇල්ෆා හා ඔමේගා” කියලා හඳුන්වන්නේ කාවද?

බයිබලයේ “ඇල්ෆා හා ඔමේගා” කියලා හඳුන්වන්නේ කාවද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 බයිබලයේ “ඇල්ෆා හා ඔමේගා” කියලා හඳුන්වන්නේ විශ්වයේ බලවත්ම තැනැත්තා වන යෙහෝවා දෙවිව. ඒ යෙදුම බයිබලයේ තැන් තුනක සඳහන් වෙනවා.—එළිදරව් 1:8; 21:6; 22:13. a

තමන් “ඇල්ෆා හා ඔමේගා” කියලා දෙවියන් කියන්නේ ඇයි?

 බයිබලයේ අලුත් ගිවිසුම කියලා හඳුන්වන කොටසට එළිදරව් පොතත් ඇතුළත්. අලුත් ගිවිසුම මුලින්ම ලියලා තියෙන්නේ ග්‍රීක භාෂාවෙන්. ඇල්ෆා කියන්නේ ග්‍රීක හෝඩියේ පළවෙනි අකුරට. ඔමේගා කියන්නේ ග්‍රීක හෝඩියේ අන්තිම අකුරට. ඒ අකුරු දෙක තියෙන්නේ ග්‍රීක හෝඩියේ පටන්ගැන්මේ සහ අවසානයේ නිසා පටන්ගැන්මත් අවසානයත් තමන් කියලා පැහැදිලි කරන්න යෙහෝවා දෙවියන් ඒ අකුරු දෙක යොදාගත්තා. (එළිදරව් 21:6) සියලු බලැති දෙවියන්ගේ ආරම්භය සිද්ධ වුණේ අතීතයේ මෙන්න මේ දවසෙයි කියලා අපිට නිශ්චිත දවසකට යොමු දක්වන්න බැහැ. ඒ වගේම ඔහුට අවසානයකුත් නැහැ. ඒ කියන්නේ ඔහු සියලු බලැති දෙවියන් විදිහට සදහටම ජීවත් වෙනවා. විශ්වයේ ඉන්න “පටන්ගැන්මක්වත් අවසානයක්වත්” නැති එකම කෙනා යෙහෝවා දෙවියන් විතරයි.—ගීතාවලිය 90:2.

“පළමුවැනියා සහ අන්තිමයා” කියන්නේ කවුද?

 යෙහෝවා දෙවිව වගේම ඔහුගේ පුතා වන යේසුස්ව හඳුන්වන්නත් “පළමුවැනියා සහ අන්තිමයා” කියන යෙදුම බයිබලයේ භාවිත කරනවා. ඒත් ඒ යෙදුම භාවිත කරලා තියෙන විදිහ අනුව ඒකෙන් අදහස් කරන දේ වෙනස් වෙනවා. මේ උදාහරණ දෙක බලන්න.

  •   යෙසායා 44:6 යෙහෝවා දෙවියන් මෙහෙම කියනවා. “පළමුවැනියා මමය. අන්තිමයාද මමය. මා හැර වෙන කිසි දෙවි කෙනෙක් නැත.” යෙහෝවා දෙවියන් ඒ දේ කිව්වේ සදහටම ජීවත් වෙන එකම සැබෑ දෙවියන් තමන් විතරයි කියලත් තමන් ඇරෙන්න වෙන කිසිම දෙවි කෙනෙක් නැහැ කියලත් කාවද්දන්නයි. (ද්විතීය කතාව 4:35, 39) එහෙනම් මෙතනදී “පළමුවැනියා සහ අන්තිමයා” කියන යෙදුම “ඇල්ෆා හා ඔමේගා” කියන යෙදුමට සමාන වෙනවා.

  •   “පළමුවැනියා (ග්‍රීක භාෂාවෙන් ප්‍රෝටොස්, ඇල්ෆා නෙමෙයි) සහ අන්තිමයා (ග්‍රීක භාෂාවෙන් එස්ඛාටොස්, ඕමේගා නෙමෙයි)” කියන යෙදුම එළිදරව් 1:17, 18 සහ එළිදරව් 2:8ත් සඳහන් වෙනවා. එත් ඒ පදවල පළමුවැනියා විදිහට පරිවර්තනය කරලා තියෙන්නේ “ඇල්ෆා” කියන ග්‍රීක වචනය නෙමෙයි. ඒ වෙනුවට “ප්‍රෝටොස්” කියන ග්‍රීක වචනයයි. සහ අන්තිමයා විදිහට පරිවර්තනය කරලා තියෙන්නේ “ඔමේගා” කියන ග්‍රීක වචනය නෙමෙයි. ඒ වෙනුවට “එස්ඛාටොස්” කියන ග්‍රීක වචනයයි. ඒ ග්‍රීක යෙදුම භාවිත කරලා තියෙන්නේ මිය ගිහින් නැවත නැඟිටීමක් ලබපු කෙනෙක්ව හඳුන්වන්න කියලා අවට පද බලද්දී පැහැදිලි වෙනවා. දෙවියන් කවදාවත් මිය ගිහින් නැති නිසා දෙවියන්ව හඳුන්වන්න ඒ ග්‍රීක යෙදුම භාවිත කරන්න බැහැ. ඒ නිසා ඒ කෙනා දෙවියන් වෙන්න බැහැ. (හබක්කුක් 1:12) එත් යේසුස් මිය ගියා. පස්සේ දෙවියන් ඔහුව නැවත නැඟිට්ටෙව්වා. (ක්‍රියා 3:13-15) ස්වර්ගයේ ජීවත් වෙන්න පුළුවන් අමරණීය කෙනෙක් විදිහට නැවත නැඟිටීමක් ලබපු පළවෙනි මිනිසා තමයි යේසුස්. දැන් ඔහු ස්වර්ගයේ ‘සදහටම ජීවත් වෙනවා.’ (එළිදරව් 1:18; කොලොස්සි 1:18) යේසුස් ස්වර්ගයට ගියාට පස්සේ සිදුවන සියලුම නැවත නැඟිටුවීම් කරන්නේ දෙවියන් නෙමෙයි යේසුස්. (යොහන් 6:40, 44) එහෙම බලද්දී යෙහෝවා දෙවි නැවත නැඟිටුවපු අන්තිම මිනිසා වෙන්නෙත් යේසුස්. (ක්‍රියා 10:40) ඒ තොරතුරුවලට අනුව “පළමුවැනියා සහ අන්තිමයා” කියන යෙදුම යේසුස්ව හඳුන්වන්නත් භාවිත කරන්න පුළුවන් කියලා අපිට පැහැදිලියි.

“ඇල්ෆා හා ඔමේගා” කියන්නේ යේසුස්ට කියලා ඔප්පු කරන්න එළිදරව් 22:13 තියෙන දේ සාක්ෂියක්ද?

 නැහැ. එළිදරව් 22:13 මම “ඇල්ෆා හා ඔමේගා” වෙමි කියලා කියන්නේ කවුද කියලා හරියටම කියන්න බැහැ. මහාචාර්ය විලියම් බාක්ලේ එළිදරව් 22වෙනි පරිච්ඡේදය ගැන මෙහෙම අදහසක් පළ කරලා තියෙනවා. “ඒ පරිච්ඡේදයේ තොරතුරු සඳහන් කරලා තියෙන්නේ අනුපිළිවෙළට නෙමෙයි . . . ඒ නිසා ඒ පරිච්ඡේදයේ එක් එක් තැන්වල කතා කරලා තියෙන්නේ කවුද කියලා හොයාගන්න හරිම අමාරුයි.” (The Revelation of John, Volume 2, Revised Edition, page 223) එළිදරව් පොතේ අනිත් තැන්වල “ඇල්ෆා හා ඔමේගා” කියන යෙදුම භාවිත කරලා තියෙන්නේ යෙහෝවා දෙවිව හඳුන්වන්න නිසා එළිදරව් 22:13ත් ඒ යෙදුම භාවිත කරන්නේ යෙහෝවා දෙවිව හඳුන්වන්න කියලා අපිට හිතන්න පුළුවන්.

a “කිං ජේම්ස් වර්ෂන්” බයිබලයේ ඒ යෙදුම එළිදරව් 1:11ත් සඳහන් වෙනවා. ඒත් මෑත කාලයේදී මුදාහැරපු බයිබල් පරිවර්තනවල එළිදරව් 1:11 “ඇල්ෆා හා ඔමේගා” කියන යෙදුම සඳහන් වෙන්නේ නැහැ. මොකද බයිබලයේ පැරණි ග්‍රීක මුල් පිටපත්වල ඒ පදයේ ඒ යෙදුම සඳහන් වෙලා නැහැ. එළිදරව් 1:11ට ඒ යෙදුම එකතු වෙලා තියෙන්නේ පස්සේ කාලෙකදී.