Skip to content

එළිදරව් 13වෙනි පරිච්ඡේදයේ සඳහන් හිස් හතක් ඇති මෘගයා කවුද?

එළිදරව් 13වෙනි පරිච්ඡේදයේ සඳහන් හිස් හතක් ඇති මෘගයා කවුද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 එළිදරව් 13:1 සඳහන් හිස් හතක් ඇති මෘගයාගෙන් නියෝජනය වෙන්නේ ලෝක ව්‍යාප්ත දේශපාලන ක්‍රමයයි.

  •   ඒ මෘගයාට බලය, මහත් අධිකාරිය හා සිංහාසනයක් දුන්නා කියන එකෙන් අදහස් වෙන්නේ ඒ මෘගයා දේශපාලනික බලයක් කියලයි.—එළිදරව් 13:2.

  •   ඒ මෘගයා “සියලු ගෝත්‍රයන්ද ජනයන්ද භාෂාවන්ද ජාතීන්ද” පාලනය කරනවා කියන එකෙන් අදහස් වෙන්නේ ඒ මෘගයා එක රටකට විතරක් සීමා වුණ ආණ්ඩුවක් නෙමෙයි කියලයි.—එළිදරව් 13:7.

  •   ඒ මෘගයා දානියෙල් 7:2-8 සඳහන් මෘගයන් හතරදෙනාගේ එකතුවක් කියලා කියන්න පුළුවන්. මොකද ඌට දිවියෙකුගේ පෙනුමක් තිබුණා. ඒ වගේම උගේ පාද වලසෙකුගේ පාද වගේ හා උගේ කට සිංහයෙකුගේ කට වගේ දිස් වුණා. ඌට අං දහයකුත් තිබුණා. දානියෙල්ගේ අනාවැකියේ සඳහන් මෘගයන්ගෙන් නියෝජනය වුණේ නිශ්චිත රජවරුන් හෝ අධිරාජ්‍යයන්. (දානියෙල් 7:17, 23) ඒ අනුව එළිදරව් 13වෙනි පරිච්ඡේදයේ සඳහන් මෘගයාගෙන් නියෝජනය වෙන්නේ මේ ලෝකයේ පවතින සියලුම දේශපාලනික ආණ්ඩු ක්‍රමයි.

  •   ඌ මතු වෙන්නේ මුහුදෙන්. මුහුදෙන් අදහස් කරන්නේ කැලඹුණු නොසන්සුන්කාරී ජනතාවයි. ආණ්ඩු බිහි කිරීමට දායක වුණෙත් ඔවුන්මයි.—එළිදරව් 13:1; යෙසායා 17:12, 13.

  •   බයිබලයේ කියන්නේ මෘගයාගේ නමේ අංකය 666 කියලයි. ඒක ‘මිනිසුන්ගේ අංකයක්.’ (එළිදරව් 13:17, 18) ඒකෙන් අදහස් වෙන්නේ එළිදරව් 13වෙනි පරිච්ඡේදයේ සඳහන් මෘගයාගෙන් මිනිස් ආණ්ඩු ක්‍රම මිස භූතයන්ව නියෝජනය වෙන්නේ නැහැ කියලයි.

 සමහර දේවල් ගැන රටවල් එකඟතාවකට ආවත් ඔවුන් එහෙම කරන්නේ තමන්ගේ පාලන බලය දිගටම පවත්වගන්න මිස දෙවියන්ගේ රාජ්‍යයට යටත් වෙන්න නෙමෙයි. (ගීතාවලිය 2:2) හර්–මගෙදොන් එනම් දෙවිගේ මහත් දවසේදී සිදු වන යුද්ධය සඳහා යේසුස්ගේ මූලිකත්වයෙන් මෙහෙයවන සේනාවට විරුද්ධව සටන් වදින්න ඔවුනුත් එක් රැස් වෙනවා. නමුත් ඔවුන් ඒ යුද්ධයේදී විනාශ වෙනවා.—එළිදරව් 16:14, 16; 19:19, 20.

‘අං දහයක් සහ හිස් හතක්’

 බයිබලයේ සමහර අංක දාලා තියෙන්නේ සංකේතමය ආකාරයකින්. උදාහරණයකට දහයෙන් හා හතෙන් අදහස් වෙන්නේ කිසිම අඩුවක් නැහැ කියලයි. ඒ කියන්නේ සර්ව සම්පූර්ණයි කියන එක. එළිදරව් 13වෙනි පරිච්ඡේදයේ සඳහන් මෘගයාගේ ‘අං දහය සහ හිස් හත’ කියන එකේ නිශ්චිත අර්ථය තේරුම්ගන්න නම් එළිදරව් පොතේ 17වෙනි පරිච්ඡේදයේ සඳහන් “මෘගයාගේ රූපය” ඒ කියන්නේ ‘හිස් හතක් හා අං දහයක් ඇති තද රතු පාට මෘගයා’ ගැන සලකා බලන්න ඕනේ. (එළිදරව් 13:1, 14, 15; 17:3) මේ රතු පාට මෘගයාගේ හිස් හතෙන් දක්වන්නේ ‘රජවරුන් හත්දෙනෙක්’ එහෙමත් නැත්නම් අධිරාජ්‍යයන් හතක්.—එළිදරව් 17:9, 10.

 ඒ ආකාරයටම, එළිදරව් 13:1 සඳහන් මෘගයාගේ හිස් හතෙනුත් නියෝජනය වෙන්නේ අධිරාජ්‍යයන් හතක්. ඉතිහාසය පුරාම ඒ අධිරාජ්‍යයන් හත දෙවියන්ගේ සෙනඟට පීඩා කරන්න මුල් වෙලා තියෙනවා. ඒ අධිරාජ්‍යයන් හත තමයි ඊජිප්තුව, ඇසිරියාව, බැබිලෝනිය, මේදිය සහ පර්සියාව, ග්‍රීසිය, රෝමය, බ්‍රිතාන්‍යය සහ ඇමරිකාව. අං දහයෙන් නියෝජනය වෙන්නේ ලොව පුරා පවතින සියලුම ස්වාධීන පාලනයන් නම් අං මත තිබෙන ඔටුනු දහයෙන් අදහස් කරන්නේ කාලයෙන් කාලයට ලෝක අධිරාජ්‍යයන් පවතිද්දිම ස්වාධීන පාලනයනුත් පැවතුණා කියලයි.