Skip to content

බයිබලයේ සඳහන් අංකවලට අර්ථයක් තියෙනවාද? අංකවලින් සාස්තර කියන එක බයිබලයේ අනුමත කරලා තියෙනවාද?

බයිබලයේ සඳහන් අංකවලට අර්ථයක් තියෙනවාද? අංකවලින් සාස්තර කියන එක බයිබලයේ අනුමත කරලා තියෙනවාද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 හුඟක් අවස්ථාවල බයිබලයේ සඳහන් වන අංකවලට තියෙන්නේ සංඛ්‍යාත්මක අගයක්. ඒත් සමහර අවස්ථාවලදී යම් දේවල් සංකේතවත් කරන්නත් බයිබලයේ අංක යොදාගෙන තියෙනවා. යම් බයිබල් පදයක සඳහන් වන සංඛ්‍යාවකට තියෙන්නේ සංකේතමය අර්ථයක්ද කියන එක තේරුම්ගන්න ඒකට පසුබිම් වෙලා තියෙන විස්තරය උදව් වෙනවා. යම් දේවල් සංකේතවත් කරන්න බයිබලයේ අංක යොදාගෙන තියෙන විදිහ තේරුම්ගන්න මේ උදාහරණ බලන්න.

  •   1 එකමුතුකම සංකේතවත් කරන්න බයිබලයේ අංක එක යොදාගෙන තියෙනවා. යේසුස් එක් අවස්ථාවක මෙහෙම කිව්වා. “ඔවුන් එතැන් පටන් දෙදෙනෙකු නොව එක් කෙනෙකු මෙන් වෙනවා.”—මතෙව් 19:6; යොහන් 17:21.

  •   2 සාක්ෂියක් ස්ථිර වෙන්න නම් සාක්ෂිකරුවන් දෙන්නෙක් සිටිය යුතු වුණා. (ද්විතීය කතාව 17:6) යම් ප්‍රකාශයක් දෙපාරක් කියන එකෙන් අදහස් වුණේ ඒ ප්‍රකාශය ස්ථිරයි කියලයි. යම් දර්ශනයක් දෙපාරක් දකින එකෙන් අදහස් වුණේ ඒක අනිවාර්යයෙන්ම ඉටු වෙනවා කියලයි. උදාහරණයකට යෝසෙප් ඊජිප්තුවේ පාරාවෝ දැකපු හීනයේ අර්ථය පැහැදිලි කරලා දීපු අවස්ථාවේ ඔහුට මෙහෙම කිව්වා. “පාරාවෝ එකම සිහිනය දෙවරක් දැකීමෙන් අදහස් කරන්නේ සැබෑ දෙවි මේ දේ අනිවාර්යයෙන්ම සිදු කරන බවයි.” (උත්පත්ති 41:32) අංක දෙක ද්විත්ව පාලනයක් සංකේතවත් කරන්නත් යොදාගෙන තියෙනවා. උදාහරණයකට දානියෙල් දැකපු දර්ශනයේ හිටිය බැටළුවාගේ ‘අං දෙකෙන්’ සංකේතවත් වුණේ මේදියවරුන්ගේ හා පර්සියානුවරුන්ගේ ද්විත්ව පාලනයයි.—දානියෙල් 8:20, 21; එළිදරව් 13:11.

  •   3 සාක්ෂිකරුවන් තුන්දෙනෙක් සාක්ෂියක් දුන්නොත් ඒක අනිවාර්යයෙන්ම ස්ථිර වුණා. එහෙමනම් යම් දෙයක් තුන් පාරක් කියන්නේ ඒක අවධාරණය කරන්න හෝ ස්ථිර කරන්න කියලා පැහැදිලියි.—එසකියෙල් 21:27; ක්‍රියා 10:9-16; එළිදරව් 4:8; 8:13.

  •   4 යම් දෙයක් සර්ව සම්පූර්ණයි කියලා සංකේතවත් කරන්න අංක හතර යොදාගෙන තියෙනවා. උදාහරණයකට එළිදරව් පොතේ සඳහන් ‘පොළොවේ සතරදිග සුළංවලින්’ සංකේතවත් වෙන්නේ මුළු පොළොවටම බලපාන සම්පූර්ණ විනාශයක්.—එළිදරව් 7:1; 21:16.

  •   6 මේ අංකය දෙවියන්ගේ මිම්මට අනුව සියලුම පැතිවලින් කිසිම අඩුවක් නැති අංක හතට වඩා අඩු සංඛ්‍යාවක්. අංක හයෙන් අසම්පූර්ණකම හෝ දෙවියන්ගේ සතුරන් හා සම්බන්ධ දෙයක් අදහස් වෙන්න පුළුවන්.—1 ලේකම් 20:6; දානියෙල් 3:1; එළිදරව් 13:18.

  •   7 මේ අංකයෙන් සම්පූර්ණ බව අදහස් වෙනවා. ඊශ්‍රායෙල්වරුන් යෙරිකෝව යටත් කරගන්න කලින් ඒ නුවර වටේට දවස් හතක් පුරා ගමන් කළා. ඒ වගේම හත්වෙනි දවසේදී ඊශ්‍රායෙල්වරු හත් පාරක් යෙරිකෝව වටේ ගියා. (යොෂුවා 6:15) සම්පූර්ණත්වය සංකේතවත් කරන්න බයිබලයේ අංක හත පාවිච්චි කරලා තියෙන අවස්ථා කිහිපයක්ම දැකගන්න පුළුවන්. (ලෙවී කතාව 4:6; 25:8; 26:18; ගීතාවලිය 119:164; එළිදරව් 1:20; 13:1; 17:10) ඒ වගේම “හත් වරක් දක්වා නොව හැත්තෑහත් වරක් දක්වා සමාව දෙන්න” කියලා යේසුස්, පේතෘස්ට කියපු අවස්ථාවේ අංක හත දෙපාරක්ම සඳහන් කිරීමෙන් අදහස් වුණේ “සීමාවක් නැතුව” සමාව දෙන්න කියලයි.—මතෙව් 18:21, 22.

  •   10 යම් දෙයක් පූර්ණයි කියන එක සංකේතවත් කරන්න අංක දහය යොදාගෙන තියෙනවා.—නික්මයාම 34:28; ලූක් 19:13; එළිදරව් 2:10.

  •   12 දෙවියන් ඇති කරලා තියෙන යම් සංවිධානාත්මක සැලැස්මක් සංකේතවත් කරන්න අංක දොළහ යොදාගෙන තියෙනවා. උදාහරණයකට යේසුස්ගේ නියෝජිතයෙක් වුණු යොහන් දර්ශනයකින් දැකපු නුවරක් ගැන මෙහෙම සඳහන් වෙනවා. ‘නුවරේ පවුරට අත්තිවාරම් ගල් දොළොසක් දමා තිබිණ. ඒවා මත නියෝජිතයන් දොළොස්දෙනාගේ නම් දොළොස සටහන් කර තිබිණ.’ (එළිදරව් 21:14; උත්පත්ති 49:28) දොළහේ ඒවා කීපයකිනුත් අදහස් වෙන්නේ දෙවියන් ඇති කර තිබෙන සැලැස්මක්.—එළිදරව් 4:4; 7:4-8.

  •   40 දඬුවමක් හෝ විනිශ්චයක් නියම වූ කාලපරිච්ඡේදයක් සංකේතවත් කරන්න අංක 40 යොදාගෙන තියෙනවා.—උත්පත්ති 7:4; එසකියෙල් 29:11, 12.

අංකවලින් කියන සාස්තර

 සමහරු බයිබලයේ තියෙන සංඛ්‍යාවලට සැඟවුණු අද්භූත අර්ථයක් තියෙනවා කියලා හිතනවා. යුදෙව් නිකායක් වන කබාලා නිකායේ අය ජෙමිට්‍රියා කියලා හඳුන්වන ක්‍රමයක් පාවිච්චි කරලා හෙබ්‍රෙව් අකුරුවලට සංඛ්‍යාත්මක අගයක් දීලා බයිබලයේ සැඟවුණු අර්ථ හොයන්න උත්සාහ කරලා තියෙනවා. අංකවලින් සාස්තර කියන එක මන්තර ගුරුකම් හා සම්බන්ධ දෙයක් නිසා දෙවියන් ඒකට කොහෙත්ම කැමති නැහැ.—ද්විතීය කතාව 18:10-12.