Skip to content

ක්‍රිස්තියානි කෙනෙකුට වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න පුළුවන්ද?

ක්‍රිස්තියානි කෙනෙකුට වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න පුළුවන්ද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 ඔව්. එක අවස්ථාවක යේසුස් කිව්වා “රෝගීන්ට මිස නිරෝගීන්ට වෛද්‍යවරයෙකුගෙන් පලක් නැහැ” කියලා. (මතෙව් 9:12) ක්‍රිස්තියානියෙක් වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න එක වැරදි නැහැ කියලා ඒකෙන් පැහැදිලි වෙනවා. හැබැයි අපි යම් ප්‍රතිකාරයක් ලබාගන්න කලින් හිතලා බලන්න ඕන පැති ගැන බයිබලේ මඟ පෙන්වීම් දීලා තියෙනවා. ඒ මඟ පෙන්වීම් අදාළ කරගත්තොත් දෙවියන් සතුටු වෙන විදිහේ තීරණ ගන්න අපිට පුළුවන්.

ප්‍රතිකාර ලබාගන්න කලින් මේ ප්‍රශ්න ගැන හිතන්න

 1. ලබා දෙන්න යන ප්‍රතිකාරය ගැන මට හොඳ අවබෝධයක් තියෙනවද? “අනුන් පවසන සෑම දෙයක්ම විශ්වාස” කරනවා වෙනුවට නිවැරදි තොරතුරු හොයලා බලන්න කියලා බයිබලේ මඟ පෙන්වලා තියෙනවා.—හිතෝපදේශ 14:15.

 2. ලබාගන්න පුළුවන් ප්‍රතිකාර ගැන වෛද්‍යවරුන් කීපදෙනෙක්ගෙන් අහලා බලන එක හොඳ නැද්ද? බයිබලේ කියන්නේ “උපදේශකයන් බොහෝදෙනෙකු සිටින විට සැලසුම් සාර්ථක වෙයි” කියලයි. ඔයාට තියෙන්නේ බරපතළ ලෙඩක් නම් වෛද්‍යවරුන් කීපදෙනෙක්ගෙන් අදහස් ගන්න එක හොඳ දෙයක් වෙන්න පුළුවන්.—හිතෝපදේශ 15:22.

 3. මම ගන්න යන ප්‍රතිකාරය නිසා ‘ලේවලින් වැළකී සිටින්න’ කියලා බයිබලේ දීලා තියෙන ආඥාව කඩ වෙයිද?—ක්‍රියා 15:20.

 4. ලෙඩේ හොයාගන්න හරි ලෙඩේට බෙහෙත් කරන්න හරි අද්භූත දේවල් කරනවද? “භූතවාදය” හා සම්බන්ධ හැම දෙයක්ම බයිබලේ හෙළාදැකලා තියෙනවා. (ගලාති 5:19-21) ඔයා ගන්න යන ප්‍රතිකාරයට අද්භූත දේවල් සම්බන්ධද කියලා දැනගන්න මේ ප්‍රශ්න ගැන හිතන්න:

  •   ප්‍රතිකාර කරන කෙනා අද්භූත දේවල් කරන කෙනෙක්ද?

  •   ඔයා ලෙඩ වෙලා ඉන්නේ දේවසාපයක් නිසා හරි හතුරෙක් කරපු හූනියමක් නිසා හරි කියන විශ්වාසය උඩද ඔයාට ප්‍රතිකාර කරන්නේ?

  •   ලබා දෙන බෙහෙත් පිළියෙල කරද්දී හරි ප්‍රතිකාර කරද්දී හරි මතුරනවද, දෙවිවරුන්ට පුද පූජා ඔප්පු කරනවද, එක එක සංකේත යොදාගන්නවද නැත්නම් වෙනත් වත්පිළිවෙත් අනුගමනය කරනවද?

 5. මගේ ලෙඩේ ගැන මම ඕනෑවට වඩා හිතනවද? බයිබලේ කියන්නේ “ඔබ සාධාරණ ලෙස කටයුතු කරන කෙනෙකු බව සියලුදෙනාටම පැහැදිලි විය යුතුයි” කියලයි. (ෆිලිප්පි 4:5) ඔයා සාධාරණ විදිහට කටයුතු කරනවා නම් අවශ්‍ය ප්‍රතිකාර ලබාගත්තට පස්සේ ලෙඩේ ගැන ඕනෑවට වඩා ළත වෙන්නේ නැහැ. ‘වඩා වැදගත් දේවල්වලට’ ඒ කියන්නේ දෙවිට කරන නමස්කාරයට අදාළ දේවල්වලට ඔයාගේ මනස යොමු කරන්න එතකොට ඔයාට පුළුවන්.—ෆිලිප්පි 1:10; මතෙව් 5:3