Skip to content

රුධිරය ශරීරගත කිරීම වැරදිද?

රුධිරය ශරීරගත කිරීම වැරදිද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 රුධිරයෙන් වැළකී සිටින්න කියලා බයිබලේ පැහැදිලිවම පවසලා තියෙනවා. ඒ නිසා රුධිරය හෝ රුධිරයේ ප්‍රධාන කොටස් කොයිම ආකාරයකින්වත් ශරීරගත කරන එක වැරදියි. ඒ වගේම රුධිරය ආහාරයට ගන්න එකත් වැරදියි. රුධිරය සම්බන්ධයෙන් බයිබලේ දීලා තියෙන මේ ආඥා කීපය බලන්න:

  •   උත්පත්ති 9:4. ජලගැල්මෙන් පස්සේ දෙවියන් නෝවාට හා එයාගේ පවුලේ අයට මස් කන්න අවසර දුන්නා. “නමුත් ජීවය වන ලේ සමඟ ඔබ මස් නොකෑ යුතුයි” කියලා දෙවියන් අණ කළා. අපි හැමෝම නෝවාගෙන් පැවත එන අය නිසා ඒ ආඥාව අපිටත් අදාළ වෙනවා.

  •   ලෙවී කතාව 17:14. දෙවියන් රුධිරය සලකන්නේ ජීවය හැටියටයි. ජීවය අයිති දෙවිටයි. ඔහු මේ වගේ ආඥාවක් දුන්නේ ඒ නිසයි. “මොනම සතෙකුගේවත් ලේ නොකන්න. මන්ද පණ ඇති සියල්ලන්ගේ ජීවය රැඳී තිබෙන්නේ ලේවලය. එබැවින් ලේ අනුභව කරන කවරෙකු නමුත් මරා දමනු ලබන්නේය.” දෙවියන් ඒ ආඥාව දුන්නේ ඊශ්‍රායෙල් සෙනඟට වුණත් රුධිරය ආහාරයට ගන්න එක ඔහු කොච්චර බැරෑරුම් දෙයක් විදිහට සලකනවද කියලා ඒකෙන් පැහැදිලියි.

  •   ක්‍රියා 15:20. ‘ලේවලින් වැළකී සිටින්න.’ දෙවියන් නෝවාට දීපු ආඥාවම යේසුස්ගේ මුල් අනුගාමිකයන්ටත් දුන්නා. මුල් සියවසේ හිටපු ඒ ක්‍රිස්තියානීන් වෛද්‍ය හේතුවකටවත් රුධිරය ගත්තේ නැහැ කියලා ඉතිහාස වාර්තාවලින් පැහැදිලි වෙනවා.

රුධිරයෙන් වළකින්න කියලා දෙවියන් අපිට ආඥා කරලා තියෙන්නේ ඇයි?

 රුධිරයෙන් වළකින එක ලෙඩ රෝගවලින් ආරක්ෂා වෙන්නත් හේතු වෙනවා. හැබැයි රුධිරයෙන් වළකින්න ඕන ඒ නිසාම නෙමෙයි, රුධිරයෙන් වළකින්න කියලා දෙවියන් ආඥා කරලා තියෙන නිසයි. දෙවියන් ඒ ආඥාව දීලා තියෙන්නේ රුධිරයෙන් නියෝජනය වෙන දේ දෙවිට ඉතා පරිශුද්ධ නිසයි.—ලෙවී කතාව 17:11; කොලොස්සි 1:20.