Skip to content

දුම්බීම පාපයක්ද?

දුම්බීම පාපයක්ද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 දුම්බීම a සහ වෙනත් විදිවලින් දුම්කොළ භාවිත කිරීම ගැන බයිබලයේ නිශ්චිතවම සඳහන් වෙන්නේ නැහැ. ඒත් ඒ වගේ සෞඛ්‍යයට අහිතකර වගේම අපවිත්‍ර පුරුදුවල යෙදෙන එක දෙවියන් අනුමත කරන්නේ නැහැ කියලත් ඒක දෙවියන් සලකන්නේ පාපයක් විදිහටයි කියලත් පැහැදිලි වෙන ප්‍රතිපත්ති බයිබලයේ තියෙනවා.

  •   ජීවිතය වටිනා දෙයක් විදිහට සලකන්න. ‘සියලුදෙනාටම ජීවිතයත් හුස්මත් දෙන්නේ දෙවියි.’ (ක්‍රියා 17:24, 25) ජීවිතය අපිට දෙවියන්ගෙන් ලැබිලා තියෙන තෑග්ගක් නිසා අපි දුම්බීම වගේ ආයුෂ කෙටි කරන පුරුදුවලට වැටෙන්න හොඳ නැහැ. දුම්බීම නිසා ලොකය පුරාම ඉන්න විශාල පිරිසක් අකාලයේ මිය ගිහින් තියෙනවා.

  •   අනිත් අය ගැන හිතන්න. බයිබලයේ කියන්නේ “ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න” කියලයි. (මතෙව් 22:39) කෙනෙක් තවත් අය ඉන්න තැනක දුම් බොනවා නම් එයා පෙන්නන්නේ අනිත් අයට මොනව වුණත් එයාට ගාණක් නෑ කියලයි. ඒ අයට එයා ආදරේ නෑ කියලයි. නිතරම දුම් බොන අය ළඟ ඉන්න අයටත් දුම් බොන අයට හැදෙන ලෙඩම හැදෙන්න ලොකු ඉඩකඩක් තියෙනවා.

  •   ශුද්ධව ඉන්න. “ඔබේ ශරීර ජීවමාන, ශුද්ධ මෙන්ම දෙවිට පිළිගත හැකි පූජාවක් ලෙස ඔප්පු කරන්න” කියලා බයිබලයේ අපිට උනන්දු කරනවා. (රෝම 12:1) ඒ වගේම “අපගේ මනස සහ ශරීරය අපවිත්‍ර කරවන සෑම දෙයකින්ම ඉවත් වී අපි අපවම පවිත්‍ර කරගනිමු. එලෙසම දේවගරුබිය දක්වමින් අපගේ ශුද්ධකම දිනෙන් දින පූර්ණ මට්ටමකට ගෙනෙමු” කියලත් බයිබලයේ කියනවා. (2 කොරින්ති 7:1) දුම් බොන කෙනෙක් ශුද්ධව ඉන්න කෙනෙක් කියලා කියන්න බැහැ. මොකද එයා කරන්නේ හිතාමතාම විෂ ශරීරගත කරගන්න එකයි. ඒක ශරීරයට හුඟක් නරක විදිහට බලපානවා.

විනෝදයට මරිජුවානා හරි වෙනත් මත්ද්‍රව්‍යක් හරි භාවිත කරන එක ගැන බයිබලේ මොකක්ද කියන්නේ?

 මරිජුවානා නැත්නම් ගංජා හෝ වෙනත් මත්ද්‍රව්‍ය ගැන බයිබලයේ කෙලින්ම සඳහන් වෙන්නේ නැහැ. ඒත් විනෝද වෙන්න ඒවා ගන්න එක හරිද වැරදිද කියලා තේරුම්ගන්න උදව් වෙන ප්‍රතිපත්ති බයිබලයේ තියෙනවා. අපි කලින් බලපු ප්‍රතිපත්තිවලට අමතරව මේ ප්‍රතිපත්තිත් සලකා බලමු.

  •   හොඳ සිහිකල්පනාවෙන් ඉන්න. ‘ඔබේ දෙවි වන යෙහෝවාට ඔබේ මනසේ මුල් තැන හිමි විය යුතුයි’ කියලා බයිබලයේ කියනවා. (මතෙව් 22:37, 38) “ඔබ හොඳ සිහිකල්පනාවෙන් සිටිය යුතුයි” කියලත් බයිබලයේ කියනවා. (1 පේතෘස් 1:13) මත්ද්‍රව්‍ය ගන්න කෙනෙක් හොඳ සිහිකල්පනාවෙන් ඉන්න කෙනෙක් කියලා කියන්න බැහැ. හුඟදෙනෙක් අද ඒවාට ඇබ්බැහි වෙලයි ඉන්නේ. එයාලා මනස යොමු කරන්නේ කෙහොම හරි මත්ද්‍රව්‍ය ගන්න එකට මිසක් වැදගත් දේවලට නෙමෙයි.—ෆිලිප්පි 4:8.

  •   රජයේ නීතියට කීකරු වෙන්න. බයිබලය අපිට “ආණ්ඩුවල බලධාරීන්ට කීකරු වෙන්න” උනන්දු කරනවා. (තීතස් 3:1) සමහර මත්ද්‍රව්‍ය පාවිච්චි කරන එක ගැන හුඟක් රටවල්වල රජයෙන් නීති රෙගුලාසි පනවලා තියෙනවා. දෙවියන්ව සතුටු කරන්න අපිට ඕනෙ නම් අපි බලධාරීන්ට කීකරු වෙන්න අවශ්‍යයි.—රෝම 13:1.

a දුම්බීම කියද්දී සිගරට්, සුරුට්ටු, පයිප්ප සහ වෙනත් විදිවලින් දුම්කොළ දුම උරන එක අදහස් වෙනවා. අපි බලන ප්‍රතිපත්ති දුම්කොළ හැපීම, දුම්කුඩු ඉරීම, සහ නිකොටින් අඩංගු ඉලෙක්ට්‍රොනික් සිගරට් භාවිතය වගේ දේවල්වලටත් අදාළයි.