Skip to content

පටුනට යන්න

මුල් පිටුවෙන් | දුම් පානය දෙවියන් අනුමත කරනවාද?

දුම් පානය දෙවියන් අනුමත කරනවාද?

දුම් පානය දෙවියන් අනුමත කරනවාද?

දුම් පානය අත්හැරිය විදිහ ගැන නාඕකො මෙහෙම කියනවා. “මම දෙවියන්ගේ ශ්‍රේෂ්ඨ ගතිගුණ වගේම දෙවියන් අපෙන් බලාපොරොත්තු වෙන දේ දැනගත්තම මට වෙනස් වෙන්න පුළුවන් වුණා.” ඇය ඒ දේවල් දැනගත්තේ බයිබලයෙන්. බයිබලයේ දුම්කොළ භාවිතය ගැන කිසිම සඳහනක් නැති වුණත් දෙවියන් ඒක අනුමත කරනවාද කියලා අපිට බයිබලයෙන් දැනගන්න පුළුවන්. * හුඟදෙනෙක්ට ඒ දැනුම දුම් පානය නතර කරන්න පෙලඹීමක් වෙලා තියෙනවා. (2 තිමෝති 3:16, 17) දුම් පානය නිසා ඇති වෙන හානි තුනක් සහ ඒ ගැන බයිබලයේ කියලා තියෙන දේ බලමු.

ඇබ්බැහි කරවයි

ඇබ්බැහි කරවන රසායනික ද්‍රව්‍යයක් වන නිකටීන් දුම්කොළවල අඩංගුයි. ඒකෙන් උත්තේජනයක් ඇති කරන්නත් උද්‍යෝගය නැති කරන්නත් පුළුවන්. දුම් උරන හැම වාරයකදීම නිකටීන් ඉක්මනින්ම මොළයට යනවා. සිගරට් පැකට් එකක් දවසකට බොන කෙනෙක් 200 වාරයක් විතර දුම් වැටිය උරන නිසා ශරීරයට සෑහෙන නිකටීන් ප්‍රමාණයක් එකතු වෙනවා. වෙන කිසිම මත්ද්‍රව්‍යයක් දවසකට ඒ තරම් වාර ගණනක් ගන්නේ නැහැ. උරන හැම වාරයකදීම නිකටීන් ශරීරයට එකතු වෙද්දී කෙනෙක් ඒකට ඇබ්බැහි වෙනවා. ශරීරය නිකටීන්වලට හුරු වෙන නිසා ශරීරය ඉල්ලන ප්‍රමාණය ලැබුණේ නැත්නම් ඔහුට යම් අපහසුතා ඇති වෙනවා.

“ඔබ යමෙකුට කීකරු වීමට එකඟ වී ඔහුට යටත් වන විට ඔබ ඒ පුද්ගලයාගේ දාසයෙක් වනු ඇත.”රෝම 6:16

දුම්කොළවලට ඇබ්බැහි වෙලා නම් ඔබ දෙවියන්ට කීකරුයි කියලා කියන්න පුළුවන්ද?

බයිබලයේ මෙහෙම කියනවා. “ඔබ යමෙකුට කීකරු වීමට එකඟ වී ඔහුට යටත් වන විට ඔබ ඒ පුද්ගලයාගේ දාසයෙක් වනු ඇත.” (රෝම 6:16) දුම්කොළවලට ඇබ්බැහි වුණ කෙනෙක් ඒ වෙනුවෙන් ඕනම දෙයක් කරන නිසා ඒකට වහලෙක් වෙනවා. අපේ පියාණන් වන යෙහෝවා දෙවියන් කැමති අපේ ශරීරයට වගේම මනසට හානි වෙන හැම දේකින්ම අපි වැළකිලා ඉන්නවා දකින්නයි. (ගීතාවලිය 83:18; 2 කොරින්ති 7:1) දෙවියන් ගැන ගෞරවයක් හා ආදරයක් ඇති වුණාම ඔහුට හොඳම දේ දෙන්න ඕන කියලා කෙනෙක් තේරුම්ගන්නවා. දුම් පානය වගේ හානිකර පුරුද්දකට වහල් වෙලා ඉන්න කෙනෙක්ට මුළු හදින්ම දෙවියන්ට සේවය කරන්න බැහැ කියලා තේරුණාම ඒ පුරුද්දෙන් මිදෙන්න පෙලඹීමක් ඇති වෙනවා.

ජර්මනියේ ඉන්න ඕලාෆ්ගේ අද්දැකීම බලන්න. වයස අවුරුදු 12දී පටන් අරගෙන අවුරුදු 16ක් තිස්සේ දුම්පානයට ඇබ්බැහි වෙලා හිටිය ඔහු මෙහෙම කිව්වා. “මම පළවෙනි සිගරට් එක බිව්වේ පුංචි වින්දනයක් ලබන්න. ඒත් පස්සේ සිගරට් නැතුවම බැරි වුණා. දවසක් සිගරට් එකක් තිබුණේ නැති නිසා මම කලින් බීපු සිගරට් කොට එකතු කරලා ඒවායේ තිබුණු දුම්කොළ ටික සූරලා පත්තර පිටුවක ඔතලා බිව්වා. ඒක මතක් වෙනකොටත් ලැජ්ජයි. දුම්පානය අත්හරින්න මට පුළුවන් වුණේ දෙවියන්ව සතුටු කරන්න තිබුණු ආශාව නිසයි. යෙහෝවා දෙවියන් අපිට කොච්චර ආදරෙයිද කියලා දැනගත්තමත් මොන තරම් ලස්සන අනාගතයක් පොරොන්දු වෙලා තියෙනවාද කියලා තේරුම්ගත්තමත් ඒ නරක පුරුද්ද අත්හරින්න පුළුවන් වුණා.”

ශරීරයට හානි කරයි

පොතක මෙහෙම සඳහන් වෙනවා. “දුම් පානය ශරීරයේ සෑම අවයවයකටම හානි පමුණුවන නිසා ලෙඩ රෝග හා මරණ සංඛ්‍යාව වැඩියි කියලා විද්‍යාත්මකව ඔප්පු වෙලා තියෙනවා.” (The Tobacco Atlas) දුම් පානය නිසා ඇති වෙන පිළිකා, හෘද රෝග, පෙණහලු රෝග අනිත් අයට බෝ වෙන්නේ නැහැ තමයි. ඒත් ලෝක සෞඛ්‍ය සංවිධානය කියන විදිහට දුම් පානය නිසා ක්ෂය රෝගය වගේ බෝ වෙන රෝගවලින් හුඟදෙනෙක් මිය යනවා.

“ඔබේ දෙවි වන යෙහෝවාට ඔබේ මුළු හදවතින්ම ප්‍රේම කරන්න. ඔහු වෙනුවෙන් ඔබේ මුළු ජීවිතයම කැප කරන්න. නිතරම ඔබේ මනසේ මුල් තැන හිමි විය යුත්තේ ඔහුටයි.”මතෙව් 22:37

දෙවියන් දීපු ජීවිතයට හානි කරන පුරුද්දක් ඔබට තියෙනවා නම් දෙවියන්ට ප්‍රේම කරනවා කියලා කියන්න පුළුවන්ද?

අපේ ජීවිතය, අපේ ශරීරය හා අපේ කල්පනා ශක්තිය හරි විදිහට පවත්වගන්න යෙහෝවා දෙවියන් අපිට බයිබලයෙන් උගන්වනවා. ඔහුගේ පුත්‍රයා වන යේසුස් මෙහෙම කිව්වා. “ඔබේ දෙවි වන යෙහෝවාට ඔබේ මුළු හදවතින්ම ප්‍රේම කරන්න. ඔහු වෙනුවෙන් ඔබේ මුළු ජීවිතයම කැප කරන්න. නිතරම ඔබේ මනසේ මුල් තැන හිමි විය යුත්තේ ඔහුටයි.” (මතෙව් 22:37) ඒකෙන් පේන්නේ අපේ ජීවිත අපි අගය කරනවා වගේම ආදරයෙන් රැකබලා ගන්නවාට දෙවියන් කැමතියි කියලයි. ඔහු ගැනත් ඔහුගේ පොරොන්දු ගැනත් ඉගෙනගනිද්දී ඔහු ගැන තියෙන ආදරය වැඩිවෙනවා වගේම ඔහු අපි වෙනුවෙන් කරලා තියෙන දේවල් ගැන අගයත් වැඩි වෙනවා. ශරීරයට හානි කරන හැම දේකින්ම වැළකිලා ඉන්න ඒක අපිට පෙලඹීමක් වෙනවා.

අවුරුදු 38ක් දුම් පානයට ඇබ්බැහි වෙලා හිටපු ඉන්දියාවේ වෛද්‍යවරයෙක් වන ජයවාන්ත් මෙහෙම කියනවා. “මම දුම් පානයේ තියෙන භයානකකම ගැන වෛද්‍ය සඟරාවලින් කියවලා තියෙනවා. මා ගාවට එන ලෙඩ්ඩුන්ට මම කියනවා දුම් පානය අත්හරින්න කියලා. ඒත් මම පස් හය පාරක්ම ඒ පුරුද්ද නවත්වන්න හැදුවත් වැඩක් වුණේ නැහැ.” අන්තිමේදී ඔහුට දුම් පානයෙන් මිදෙන්න උදව් වුණ දේ ගැන ඔහු කියන්නේ මෙහෙමයි. “ඒක කරන්න පුළුවන් වුණේ බයිබලය ඉගෙනගන්න පටන්ගත්තු හින්දයි. දෙවියන්ව සතුටු කරන්න තිබුණු ආශාව තමයි දුම් පානය නවත්වන්න මාව පෙලඹුවේ.”

අනිත් අයගේ ජීවිත අනතුරේ දමයි

දුම් පානය කරන කෙනෙක් පිට කරන දුම වගේම දුම්වැටියෙන් එන දුමත් හානිකරයි. ඒ දුම ආශ්වාස කරන අයට පිළිකාව හා වෙනත් රෝග ඇති වෙන්න පුළුවන්. හැම අවුරුද්දකම දුම ආශ්වාස කරන 6,00,000ක් මිය යනවා. මේකට වැඩියෙන්ම ගොදුරු වෙන්නේ කාන්තාවන් සහ දරුවනුයි. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මෙහෙම අනතුරු අඟවනවා. “දුම්වැටියෙන් පිට වන දුම අනිත් අයට හානිකරයි.”

“ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න.”මතෙව් 22:39

ඔබේ දුම්වැටියේ දුමෙන් හිතවත් අයට හානියක් වෙනවා නම් ඒ අයට ඇත්තටම ඔබ ආදරෙයි කියලා කියන්න පුළුවන්ද?

යේසුස් කිව්වේ “ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න” කියලයි. (මතෙව් 22:39) ඒ ප්‍රේමය දෙවෙනි වෙන්නේ දෙවියන්ට පෙන්වන ප්‍රේමයට විතරයි. අපේ පවුලේ අයට, යාළුවන්ට, අවට ඉන්න අයට අපෙන් හානියක් වෙනවා නම් අපි ඒ අයට ප්‍රේම කරනවා කියලා කියන්න පුළුවන්ද? ඒ අයට ඇත්තටම ආදරෙයි නම් බයිබලයේ තියෙන මේ උපදෙස අපි පිළිපදිනවා. “සියලුදෙනා තමාගේම සතුට ගැන නොසිතා අන් අයට ප්‍රයෝජනවත් වන දේ ගැන සැලකිලිමත් විය යුතුයි.”1 කොරින්ති 10:24.

ආර්මේනියාවේ ඉන්න ආර්මෙන් මෙහෙම කියනවා. “ඒ පුරුද්ද නවත්වන්න කියලා මගේ පවුලේ අය අඬලා කිව්වේ ඒ අයට හානියක් වෙන හින්දා. ඒක මං පිළිගත්තේ නෑ.” ඒත් ඔහු වෙනස් වුණා. “බයිබලය ගැන ඉගෙනගත්තට පස්සේ දෙවියන් ගැන ඇති වුණු ආදරය නිසා මම සිගරට් බොන එක නැවැත්තුවා. මම පිළිගත්තා ඒක මට විතරක් නෙමෙයි අනිත් අයටත් හානියක් කියලා.”

දුම් වැටි නැති කාලයක්

ඕලාෆ්ට, ජයවාන්ත්ට හා ආර්මෙන්ට ඒ නරක පුරුද්දෙන් මිදෙන්න පුළුවන් වුණේ බයිබලයේ තියෙන සත්‍යය ඉගෙනගත්තු නිසයි. ඒ අය දුම් පානය නැවැත්තුවේ ඒක හානිදායක නිසා විතරක්ම නෙමෙයි දෙවියන්ට තිබුණු ප්‍රේමය නිසයි. ඇත්තටම දෙවියන්ට ප්‍රේමයක් තියෙනවා නම් කරන්න ඕන දේ 1 යොහන් 5:3 කියනවා. “දෙවිට ප්‍රේම කරනවා කීමෙන් අදහස් කරන්නේ ඔහුගේ ආඥා පිළිපැදීමය. ඔහුගේ ආඥා පිළිපැදීම බරක් නොවේ.” බයිබලයේ තියෙන ප්‍රතිපත්ති අදාළ කරගන්න එක හැම තිස්සෙම පහසු නැතත් යෙහෝවා දෙවියන්ට ඇත්තටම ආදරෙයි නම් ඔහු කියන දේට කීකරු වෙන එක බරක් නෙමෙයි.

ලෝක ව්‍යාප්තව ඉන්න හැමෝවම දෙවියන් දැනුවත් කරන නිසා දුම් පානයට ඇබ්බැහි වෙලා ඉන්න අයට ඒකෙන් මිදෙන්න උපකාර ලැබෙනවා. (1 තිමෝති 2:3, 4) දුම්කොළ භාවිතයට මිනිසුන්ව පොලඹවන ගිජු ව්‍යාපාරිකයන්ව දේවරාජ්‍යයේ රජු වන යේසුස් මාර්ගයෙන් යෙහෝවා දෙවියන් සම්පූර්ණයෙන්ම තුරන් කරනවා. දසත පැතිරිලා තියෙන දුම් පානය කියන වසංගතය එදාට නැහැ. දෙවියන්ට කීකරු වෙන හැම කෙනෙක්ටම මනසින් හා ශරීරයෙන් පරිපූර්ණ තත්වයකට එන්න දෙවියන් උදව් කරයි.යෙසායා 33:24; එළිදරව් 19:11, 15.

ඔබ දුම් පානය නවත්වන්න පොරබදන කෙනෙක් නම් අත්හරින්න එපා. ඔබ දෙවියන්ට ප්‍රේම කරද්දී හා ඔහු දුම් පානය අනුමත කරන්නේ නෑ කියලා දැනගනිද්දී ඔබටත් හරි දේ කරන්න පෙලඹීමක් ඇති වෙයි. බයිබලයේ තියෙන ප්‍රතිපත්ති ඉගෙනගෙන ඒවා අදාළ කරගන්න යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන් ඔබට උදව් කරයි. දුම්කොළවලට ඇබ්බැහි වෙලා ඉන්න ඔබට ඒක අත්හරින්න දෙවියන් අවශ්‍ය ශක්තිය හා බලය අනිවාර්යයෙන්ම ලබා දෙයි.ෆිලිප්පි 4:13.

^ 3 ඡේ. දුම් පානයට සිගරට්, බීඩි, සුරුට්ටු සහ පයිප්ප උරන එකත් ඇතුළත්. බුලත් විට කන එක, දුම් කුඩු උරන එක, නිකටීන් අඩංගු ඉලෙක්ට්‍රොනික් සිගරට් උරන එක වගේ තවත් දේවලටත් මේ ලිපියේ ප්‍රතිපත්ති අදාළයි.