Skip to content

මහලු දෙමාපියන්ව රැකබලා ගන්න එක ගැන බයිබලයේ කියන්නේ මොනවාද?

මහලු දෙමාපියන්ව රැකබලා ගන්න එක ගැන බයිබලයේ කියන්නේ මොනවාද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 මහලු දෙමාපියන්ව රැකබලා ගන්න වගකීම තියෙන්නේ වැඩිහිටි වයසේ ඉන්න දරුවන්ට. බයිබලයේ කියනවා වැඩිහිටි වයසේ ඉන්න දරුවන් ‘තම පවුල් වෙත යුතුකම් දැන ප්‍රථමයෙන් සිය දෙමවුපියන් පිළිබඳ යුක්තිය ඉෂ්ට කළ යුතුය. මන්ද, එය දෙවියන් වහන්සේට ප්‍රිය හෙයිනි’ කියලා. (1 තිමෝති 5:4, ‘නව අනුවාදය’) වැඩිහිටි වයසේ ඉන්න දරුවන් එයාලගේ මහලු දෙමාපියන්ව රැකබලා ගද්දී දෙමාපියන්ට ගෞරව කරන්න කියලා බයිබලයේ සඳහන් ආඥාවටත් එයාලා කීකරු වෙනවා.—එෆීස 6:2, 3.

 මහලු දෙමාපියන්ව බලාගන්න ඕනෙ කොහොමද කියලා නිශ්චිත මඟ පෙන්වීම් බයිබලයේ දීලා නැහැ. ඒත් තමන්ගේ මහලු දෙමාපියන්ව බලාගත්ත විශ්වාසවන්ත අයගේ ආදර්ශ බයිබලයේ සඳහන් වෙනවා. ඒ වගේම මහලු දෙමාපියන්ව රැකබලා ගන්න අයට ප්‍රයෝජනවත් වෙන මඟ පෙන්වීම් බයිබලයේ තියෙනවා.

 බයිබලය ලියපු කාලේ හිටපු සමහරු එයාලගේ මහලු දෙමාපියන්ව බලාගත්තේ කොහොමද?

 තමන් හිටපු තත්වයට අනුව විවිධ විදිවලින් එයාලා තමන්ගේ දෙමාපියන්ව රැකබලා ගත්තා.

  •   යෝසෙප් ජීවත් වුණේ මහලු වයසේ හිටපු එයාගේ තාත්තා වන යාකොබ්ගෙන් ගොඩක් ඈත. එයාට පුළුවන් වුණ ගමන්ම එයා තාත්තාව එයාට කිට්ටු තැනකට ගෙන්නගත්තා. තාත්තාට ඉන්න තැනක්, අවශ්‍ය කෑම බීම වගේම එයාට අවශ්‍ය රැකවරණයත් යෝසෙප් ලබා දුන්නා.—උත්පත්ති 45:9-11; 47:11, 12.

  •   රූත් එයාගේ රට අත්හැරලා නැන්දම්මාගේ රටට ඇවිත් එයාව රැකබලා ගන්න වෙහෙස මහන්සි වෙලා වැඩ කළා.—රූත් 1:16; 2:2, 17, 18, 23.

  •   යේසුස් මිය යන්න ටික වෙලාවකට කලින් ඔහුගේ අම්මාව රැකබලා ගන්න වගකීම ඔහුගේ ගෝලයෙක්ට භාර දුන්නා. මරියා ඒ වෙද්දී වැන්දඹුවක් කියලා හිතන්න පුළුවන්.—යොහන් 19:26, 27. a

 මහලු අයව බලාගන්න අයට ප්‍රයෝජනවත් වෙන මඟ පෙන්වීම් මොනවාද?

 මහලු දෙමාපියන්ව බලාගන්න අයට සමහර වෙලාවට ශාරීරිකව වගේම මානසිකව ලොකු වෙහෙසක් දැනෙන්න පුළුවන්. ඒ අභියෝගයට හොඳින් මුහුණ දෙන්න උදව් වෙන මඟ පෙන්වීම් බයිබලයේ සඳහන් වෙනවා.

  •   දෙමාපියන්ට ගෞරව කරන්න.

     බයිබලයේ මෙහෙම කියනවා: “ඔබේ පියාටත් මවටත් ගෞරව කරන්න.”—නික්මයාම 20:12.

     ඒ මඟ පෙන්වීම අදාළ කරගන්න පුළුවන් කොහොමද? දෙමාපියන්ව පාලනය කරන්න හදන්නේ නැතුව තීරණ ගන්න නිදහස එයාලට දෙන්න. විශේෂයෙන්ම එයාලව බලාගන්න ඕනෙ කොහොමද කියන එක ගැන තීරණය කරන්න එයාලටම ඉඩ දෙන්න. ඔයාට පුළුවන් උපරිමයෙන් එයාලට උදව් කරන්න. ඒ විදිවලින් ඔයා එයාලට ගෞරව කරනවා කියලා පෙන්නන්න පුළුවන්.

  •   දෙමාපියන්ව තේරුම්ගන්න. සමාව දෙන්න සූදානමින් ඉන්න.

     බයිබලයේ මෙහෙම කියනවා: “වටහාගැනීමේ ශක්තිය ඇති මිනිසෙකුට ඉක්මනින් කේන්ති නොයයි. වරද අමතක කර දැමීම ඔහු සතු අලංකාර ගුණාංගයකි.”—හිතෝපදේශ 19:11.

     ඒ මඟ පෙන්වීම අදාළ කරගන්න පුළුවන් කොහොමද? මහලු දෙමාපියන් හිතන්නේ බලන්නේ නැතුව දෙයක් කිව්වොත් හෝ අපි එයාලා වෙනුවෙන් කරන දේවල් එයාලා අගය කරන්නේ නැත්නම් මෙහෙම හිතන්න. ‘දුවලා පැනලා දේවල් කරන්න මට බැරි නම් මට කොහොම හැඟෙයිද?’ එයාලව තේරුම් අරන් එයාලට සමාව දෙනවා නම් ප්‍රශ්න දුර දිග යන එක වළක්වගන්න ඔයාට පුළුවන්.

  •   අනිත් අයගෙන් අහන්න.

     බයිබලයේ මෙහෙම කියනවා: “සිතේ තිබෙන දේ හෙළි නොකරන විට සැලසුම් අසාර්ථක වෙයි. නමුත් උපදේශකයන් බොහෝදෙනෙකු සිටින විට සැලසුම් සාර්ථක වෙයි.”—හිතෝපදේශ 15:22.

     ඒ මඟ පෙන්වීම අදාළ කරගන්න පුළුවන් කොහොමද? ඔයාගේ දෙමාපියන්ට තියෙන අසනීප තත්වය ගැන තොරතුරු හොයන්න. එතකොට ඉස්සරහට මොනවාද කරන්න ඕනෙ කියලා තේරුම්ගන්න ඔයාට පුළුවන්. දෙමාපියන්ව බලා කියා ගන්න ඔයාට උදව් ලබාගන්න පුළුවන් මොන වගේ තැන්වලින්ද කියලා හොයලා බලන්න. මහලු දෙමාපියන්ව බලාගත්ත තවත් අය එක්ක කතා කරන්න. ඔයාට තවත් සහෝදර සහෝදරියන් ඉන්නවා නම් පවුලක් විදිහට එකතු වෙලා දෙමාපියන්ගේ අවශ්‍යතාවන් මොනවාද එයාලව බලාගන්න කරන්න පුළුවන් මොනවාද සහ ඒ වගකීම් බෙදාගන්නේ කොහොමද කියලා කතා කරන්න.

    මහලු දෙමාපියන්ව බලාගන්න එක ගැන පවුලක් විදිහට කතා කරන එක හොඳ දෙයක්

  •   සීමාවන් තේරුම්ගන්න.

     බයිබලයේ මෙහෙම කියනවා: “නිහතමානී අය ප්‍රඥාවන්තය.”—හිතෝපදේශ 11:2.

     ඒ මඟ පෙන්වීම අදාළ කරගන්න පුළුවන් කොහොමද? ඔයාගේ සීමාවන් තේරුම්ගන්න. අපි හැමෝටම වැය කරන්න පුළුවන් කාලයට සහ ශක්තියට සීමාවක් තියෙනවා. ඒ අනුව තමයි තීරණය වෙන්නේ දෙමාපියන් වෙනුවෙන් ඔයාට කොච්චර ප්‍රමාණයක් කරන්න පුළුවන්ද කියලා. ඔයාට හැඟෙනවා නම් දෙමාපියන්ව බලාගන්න වගකීම ඔයාට තනියම දරාගන්න බැහැ කියලා පවුලේ අනිත් අයගෙන් හෝ මහලු අයව බලාගන්න පුහුණු වෙලා ඉන්න අයගෙන් උදව් ගන්න.

  •   ඔයා ගැනත් සැලකිලිමත් වෙන්න.

     බයිබලයේ මෙහෙම කියනවා: ”කිසි මිනිසෙක් කිසිදාක තමාගේම ශරීරයට වෛර කළේ නැත. ඒ වෙනුවට ඔහු තම ශරීරයට අවශ්‍ය පෝෂණය සහ සැලකිල්ල මහත් ආදරයකින් ලබා දෙයි.”—එෆීස 5:29.

     ඒ මඟ පෙන්වීම අදාළ කරගන්න පුළුවන් කොහොමද? මහලු දෙමාපියන්ව බලාගන්න එක ඔයාගේ වගකීම වුණත් ඔයාගේ සෞඛ්‍යය ගැනත් ඔයා විවාහක කෙනෙක් නම් ඔයාගේ පවුලේ අයගේ අවශ්‍යතාවන් ගැනත් ඔයා හිතන්න ඕනේ. කන බොන එක, ප්‍රමාණවත් නින්දක් සහ විවේකයක් ලබාගන්න එක අතපසු කරන්න එපා. (දේශනාකාරයා 4:6) පුළුවන් අවස්ථාවලදී වැඩවලින් පොඩි විවේකයක් ගන්න. එහෙම කරනවා නම් දෙමාපියන්ව තවත් හොඳින් බලාගන්න ඔයාට පුළුවන් වෙයි.

 මහලු දෙමාපියන්ව ගෙදර තියාගෙනම බලාගන්න කියලාද බයිබලයේ කියන්නේ?

 මහලු දෙමාපියන්ව ගෙදර තියාගෙනම බලාගන්න ඕනෙද නැද්ද කියන දේ ගැන බයිබලයේ නිශ්චිත මඟ පෙන්වීම් දීලා නැහැ. තමන්ගේ මහලු දෙමාපියන්ව පුළුවන් තරම් කාලයක් ගෙදර තියාගෙන බලාගන්න සමහර දරුවෝ තීරණය කරයි. ඒත් ගෙදර තියාගෙන බලාගන්න එක තවදුරටත් කරන්න බැහැ කියලා තේරෙද්දී සාත්තු නිවාසයක දෙමාපියන්ව නතර කරන එක හොඳ දෙයක් කියලා එයාලට හැඟෙන්න පුළුවන්. ඒ තීරණය ගන්න කලින් සමහරවිට පවුලක් විදිහට එකතු වෙලා ඒ ගැන කතා කරන එක හොඳ දෙයක්.—ගලාති 6:4, 5.

a ඒ වාර්තාව ගැන බයිබල් විශාරදයෙක් කියන්නේ මෙහෙමයි. “මේ වෙද්දී යෝසෙප් [මරියාගේ ස්වාමිපුරුෂයා] මිය ගිහින් සෑහෙන කාලයක් ගත වෙලා තිබුණා. මරියාගේ පුතා වුණ යේසුස් ඇයව බලාගන්න ඇති. ඒත් යේසුස්ගේ මරණයෙන් පස්සේ ඇයව බලාගන්නේ කවුද? . . . මහලු දෙමාපියන්ට අවශ්‍ය දේවල් ලබා දීලා ඔවුන්ව රැකබලා ගන්න කියන වටිනා පාඩම ඒකෙන් යේසුස් දරුවන්ට ඉගැන්නුවා.”—The NIV Matthew Henry Commentary in One Volume, 428-429 පිටු.