Skip to content

බයිබල් පද පැහැදිලි කිරීමක්

නික්මයාම 20:12 - “ඔබේ පියාටත් මවටත් ගෞරව කරන්න”

නික්මයාම 20:12 - “ඔබේ පියාටත් මවටත් ගෞරව කරන්න”

 “ඔබේ දෙවි වන යෙහෝවා ඔබට දෙන දේශයේ ඔබ බොහෝ කාලයක් ජීවත් වන පිණිස ඔබේ පියාටත් මවටත් ගෞරව කරන්න.”—නික්මයාම 20:12, ‘නව ලොව පරිවර්තනය.’

 “නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දෙන දේශයෙහි නුඹේ දවස් බොහෝ වන පිණිස නුඹේ පියාටත් මවුටත් ගෞරව කරව.”—නික්මයාම 20:12, ‘පැරණි අනුවාදය.’

නික්මයාම 20:12 අදහස

 දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ට කිව්වා එයාලගේ දෙමාපියන්ට කීකරු වෙන්න කියලා. ඔහු ඒ ආඥාව දෙන ගමන්ම පොරොන්දු වුණා ඒ ආඥාවට කීකරු වුණොත් එයාලට බොහෝ කල් ජීවත් වෙන්න ලැබෙනවා කියලා. ඒ පොරොන්දුව එයාලට උදව් වුණා ඒ ආඥාවට කීකරු වෙන්න. දෙවියන් මෝසෙස් මාර්ගයෙන් ඊශ්‍රායෙල්වරුන්ට දුන්න නීතියට අද ඉන්න අපි කීකරු වෙන්න ඕනෙ නැතත් ඒකේ තියෙන ප්‍රතිපත්ති වෙනස් වෙලා නැහැ. ඒවා අදටත් අදාළයි. ඒ නිසා ක්‍රිස්තියානීන් ඒවා ගැන දැනුවත් වෙන එක හරිම වැදගත්.—කොලොස්සි 3:20.

 අපි බාල වයසේ හිටියත් වැඩිහිටියන් වුණත් අපි අපේ දෙමාපියන්ට කීකරු වෙන්න ඕනේ. අපි කැමැත්තෙන්ම එහෙම කරද්දී අපි පෙන්නනවා අපි එයාලට ගෞරව කරනවා කියලා. (ලෙවී කතාව 19:3; හිතෝපදේශ 1:8) දරුවෝ වැඩිහිටියන් වෙලා එයාලටම කියලා පවුලක් හදාගත්තාට පස්සෙත් දරුවෝ දිගටම එයාලගේ දෙමාපියන්ගේ ඕනෑ එපාකම් හොයලා බලලා එයාලට ආදරෙන් සලකන්න ඕනේ. උදාහරණෙකට දරුවෝ මහලු වයසේ ඉන්න එයාලගේ දෙමාපියන්ට ඕනෙ කරන ආදරේ, සැලකිල්ල විතරක් නෙමෙයි එයාලට උදව් ඕනෙ කරන්නේ මොන පැතිවලින්ද කියලා හොයලා බලලා ඒවා කරලා දෙන්නත් ඕනේ. එයාලගේ මුදල් අවශ්‍යතා ගැන හොයලා බලන එකත් ඒකට ඇතුළත්.—මතෙව් 15:4-6; 1 තිමෝති 5:4, 8.

 දෙවියන් ඊශ්‍රායෙල් දරුවන්ට කිව්වේ තාත්තාට විතරක් නෙවෙයි අම්මාටත් ගෞරව කරන්න කියලයි. ඒකෙන් පැහැදිලි වෙනවා දෙවියන් අම්මාටත් පවුලේ වැදගත් කාර්යයක් භාර දීලා තියෙනවා කියලා. (හිතෝපදේශ 6:20; 19:26) අද ඉන්න දරුවනුත් අම්මායි, තාත්තායි දෙන්නාටම එක වගේ ගෞරව කරන්න ඕනේ.

 දරුවෝ දෙමාපියන්ට ගෞරව කරන්න ඕනෙ කියද්දී ඒකෙන් අදහස් වෙන්නේ නැහැ හැම කාරණයකදීම දරුවෝ දෙමාපියන්ට කීකරු වෙන්න ඕනෙ කියලා. උදාහරණෙකට දෙවියන් අකමැති දෙයක් කරන්න කියලා දෙමාපියෙක් එහෙම නැත්නම් වෙනත් කෙනෙක් කිව්වොත් ඊශ්‍රායෙල් දරුවන් ඒ දේට කීකරු වෙන්න ඕනෙ වුණේ නැහැ. (ද්විතීය කතාව 13:6-8) අද ඉන්න ක්‍රිස්තියානීනුත් “කීකරු විය යුත්තේ මිනිසුන්ට නොව දෙවිටයි.”—ක්‍රියා 5:29.

 දෙමාපියන්ට ගෞරව කරන දරුවන්ට ඊශ්‍රායෙල්වරුන්ට දුන්න නීතියේ මෙහෙම පොරොන්දු වෙලා තිබුණා. ‘ඔබට යහපතක් සිදු වෙයි. දෙවියන් ඔබට දෙන දේශයේ බොහෝ කාලයක් ජීවත් වෙන්න ඔබට පුළුවන්.’ (ද්විතීය කතාව 5:16) ඒ වගේම දෙවියන්ගේ නීතියට අකීකරු වෙලා තමන්ගේ දෙමාපියන්ට විරුද්ධව කැරලිගහන දරුවන්ට නීතියේ නියම කරලා තිබුණ දඬුවම් විඳින්න දෙමාපියන්ට කීකරු වුණ දරුවන්ට සිද්ධ වුණේ නැහැ. (ද්විතීය කතාව 21:18-21) දැන් ඒ නීති නැති වුණත් ඒ නීති පදනම් වෙලා තිබුණ ප්‍රතිපත්ති අදටත් අදාළයි. (එෆීස 6:1-3) අපි දරුවන් වුණත් වැඩිහිටියන් වුණත් අපි කරන කියන දේවල් සම්බන්ධයෙන් අපේ නිර්මාතෘට අපි වග කියන්න ඕනේ. අපි ඔහුට කීකරු වෙලා අපේ දෙමාපියන්ට ගෞරව කරනවා නම් ඔහු පොරොන්දු වෙලා තියෙන විදිහට අපිට බොහෝ කාලයක් ජීවත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ සදාකාලෙටම වුණත් ජීවත් වෙන්න අපිට අවස්ථාව ලැබෙනවා.—1 තිමෝති 4:8; 6:18, 19.

නික්මයාම 20:12 අවට පද

 නික්මයාම 20:12 තියෙන නීතිය දසපනතේ සඳහන් වෙන තැනත් හරිම විශේෂයි. ඒකෙනුත් අපිට යම් දෙයක් ඉගෙනගන්න පුළුවන්. (නික්මයාම 20:1-17) ඒ නීතියට කලින් සඳහන් වුණ නීතිවල තිබුණේ දෙවියන් එක්ක ඊශ්‍රායෙල්වරුන්ට තිබුණ බැඳීමට සම්බන්ධ කාරණා. දෙවියන්ට විතරක් නමස්කාර කරන්න කියන නීතිය ඒවාවලින් එකක්. නික්මයාම 20:12 තියෙන නීතියට පස්සේ සඳහන් වුණ නීතිවල තිබුණේ අනිත් මිනිසුන් එක්ක තිබුණ බැඳීම්වලට සම්බන්ධ කාරණා. තමන්ගේ බිරිඳට, සැමියාට විශ්වාසවන්තව ඉන්න එක, සොරකම් නොකරන එක ඒ නීතිවලින් කිහිපයක්. එහෙම බලද්දී “ඔබේ පියාටත් මවටත් ගෞරව කරන්න” කියන නීතියට කීකරු වෙන කෙනෙක්ට දෙවියන් එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගන්නත් මිනිසුන් එක්ක තියෙන බැඳීම් ශක්තිමත් කරගන්නත් පුළුවන්.

නික්මයාම 20වෙනි පරිච්ඡේදය කියවද්දී ඒකට අදාළ විස්තරාත්මක පාදසටහන්, යොමු දැක්වීම් බලන්න.