Skip to content

අපි මැරෙන දවස කලින්ම තීරණය වෙලා තියෙනවාද?

අපි මැරෙන දවස කලින්ම තීරණය වෙලා තියෙනවාද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 අපි මැරෙන දවස කලින්ම තීරණය වෙලා නැහැ. කෙනෙක් බොහෝවිට මරණයට ගොදුරු වෙන්නේ “නොසිතන මොහොතක බලාපොරොත්තු නොවූ දේවල්” සිද්ධ වෙන නිසා කියලා බයිබලයේ කියනවා. (දේශනාකාරයා 9:11) එහෙමනම් අපි මැරෙන්නේ දෛවයට අනුව නෙමෙයි කියලා පැහැදිලියි.

“මිය යෑමට කාලයක්” තියෙනවා කියලා බයිබලයේ කියන්නේ ඇයි?

 “ඉපදීමට කාලයක්ද මිය යෑමට කාලයක්ද සිටුවන්න කාලයක්ද උදුරා දමන්න කාලයක්ද” තියෙනවා කියලා බයිබලයේ කියනවා. (දේශනාකාරයා 3:2) ඒ බයිබල් පදය එක්ක අවට පද කියවලා බැලුවම තේරෙනවා එතන කතා කරන්නේ ජීවිතයේ වෙනත් කාරණා වගේම ඉපදීම, මරණය වගේ දේවලුත් දිගින් දිගටම සිද්ධ වෙනවා කියලා. (දේශනාකාරයා 3:1-8) “සිටුවන්න කාලයක්” තියෙනවා කියන එකෙන් අදහස් කරන්නේ ගොවියාට පැළ හිටවන්න දෙවියන් කාලයක් නියම කරලා තියෙනවා කියන එක නෙමෙයි. ඒ හා සමානව “මිය යෑමට කාලයක්” තියෙනවා කියන එකෙන් අදහස් කරන්නේ කාගෙවත් මැරෙන දවස දෙවියන් නියම කරලා තියෙනවා කියන එක නෙමෙයි. ඒත් ඒ බයිබල් පදයෙන් කාවද්දන්නේ නිර්මාතෘ දෙවියන්ට අපේ කාලය දෙන්න බැරි තරමට අපි එදිනෙදා කාරණාවල ඇලී ගැලී ඉන්න එකෙන් වැළකෙන්න ඕන කියලයි.—දේශනාකාරයා 3:11; 12:1, 13.

ආයු කාලය දීර්ඝ කරගන්න පුළුවන්

 අපේ ජීවිතවලට ඕනම වෙලාවක ඕන දෙයක් සිද්ධ වෙන්න පුළුවන් වුණත් අපි නැණවත් තීරණ ගන්නවා නම් බොහෝවිට අපිට ආයු කාලය වැඩි කරගන්න පුළුවන්. බයිබලයේ මෙහෙම කියනවා. “ප්‍රඥාවන්තයාගේ නීතිය ජීවනයේ උල්පතකි. එය මාරාන්තික උගුල්වලින් ආරක්ෂාව ලබා දෙයි.” (හිතෝපදේශ 13:14) ඒ හා සමාන උපදෙසක් මෝසෙස් ඊශ්‍රායෙල්වරුන්ට දුන්නා. ඔහු කිව්වේ දෙවියන්ගේ නීතිවලට කීකරු වෙනවා නම් “බොහෝ කාලයක් ජීවත් වෙන්න” පුළුවන් වෙනවා කියලයි. (ද්විතීය කතාව 6:2) ඊට වෙනස්ව අපි මෝඩ වැඩ කරනවා නම් අපේ ආයු කාලය අපිම කෙටි කරගන්නවා.—දේශනාකාරයා 7:17.

 ඒත් අපි මේක මතක තියාගන්න ඕනේ. අපි මොන තරම් ඥානවන්ත වුණත් පරිස්සම් වුණත් අපිට මරණය උරුමයි. (රෝම 5:12) කොහොමවුණත් අපි හැමදාම මරණයට ගොදුරු වෙන්නේ නැහැ. අනාගතයේදී මරණය නැති කාලයක් එනවා කියන පොරොන්දුව බයිබලයේ තියෙනවා.—එළිදරව් 21:4.