Skip to content

යේසුස් පැමිණෙනවා කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද?

යේසුස් පැමිණෙනවා කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 මිනිසුන්ව විනිශ්චය කරන්න ඉදිරියේදී යේසුස් එනවා කියලා බයිබලයේ හුඟක් තැන්වල සඳහන් වෙනවා. a උදාහරණෙකට මතෙව් 25:31-33 මෙහෙම කියනවා.

 “මනුෂ්‍ය පුත්‍රයා [යේසුස් ක්‍රිස්තුස්] තම තේජසින් සියලු දේවදූතයන් සමඟ එන අවස්ථාවේදී ඔහු තම තේජවත් සිංහාසනයේ ඉඳගනියි. එවිට සියලු ජාතීන් ඔහු ඉදිරියට රැස් කරනු ලබයි. ඉන්පසුව එඬේරෙකු එළුවන්ගෙන් බැටළුවන් වෙන් කරන්නා සේ ඔහු මිනිසුන්ව වෙන් කරයි. ඔහු බැටළුවන්ව තම දකුණු පැත්තටත් එළුවන්ව තම වම් පැත්තටත් දමයි.”

 ඉතිහාසයේ කවදාවත් සිද්ධ වෙලා නැති “මහත් පීඩාවක්” සිද්ධ වෙන කාල පරිච්ඡේදයක් එනවා. විනිශ්චය කිරීම සිද්ධ වෙන්නේ ඒ කාලයේදියි. මහත් පීඩාව අවසන් වෙන්නේ හර්–මගෙදොන් කියන යුද්ධයෙනුයි. (මතෙව් 24:21; එළිදරව් 16:16) යේසුස් කියපු නිදර්ශනයේ ඔහුගේ සතුරන්ව එළුවන් කියලයි හැඳින්නුවේ. ඒ අයට “ලැබෙන දඬුවම නම් සදාකාල විනාශයයි.” (2 තෙසලෝනික 1:9; එළිදරව් 19:11, 15) හැබැයි බැටළුවන් කියලා හැඳින්නුව විශ්වාසවන්ත සේවකයන්ට ‘සදාකාල ජීවනය හිමි වෙනවා.’—මතෙව් 25:46.

යේසුස් පැමිණෙන්නේ කවදාද?

 යේසුස් මෙහෙම කිව්වා. ‘ඒ දවස හා වේලාව කිසිවෙක් දන්නේ නැහැ.’ (මතෙව් 24:36, 42; 25:13) හැබැයි විනිශ්චය සඳහා යේසුස්ගේ පැමිණීමට කලින් පවතින කාල පරිච්ඡේදය දැනගන්න ඔහු අංගයන් කීපයක් ඇතුළත් ලකුණක් ගැනත් සඳහන් කෙරුවා. ඒවා සිද්ධ වෙන විදිහ පැහැදිලිව දකින්න පුළුවන්.—මතෙව් 24:3, 7-14; ලූක් 21:10, 11.

යේසුස් පැමිණෙන්නේ කොහොමද?

 යේසුස්ව නැවත නැඟිට්ටෙව්වේ ස්වර්ගයේ ජීවත් වෙන්න පුළුවන් ශරීරයක් ඇතුවයි. ඒ කියන්නේ නොපෙනෙන ශරීරයක් ඇතුවයි. ඔහු නැවත එන්නෙත් ඒ විදිහටමයි. (1 කොරින්ති 15:45; 1 පේතෘස් 3:18) ඒ නිසයි “තව ටික දවසකින් පසු ලෝකය මාව තවත් දකින්නේ නැහැ” කියලා යේසුස් මිය යන්න ටිකකට කලින් ඔහුගේ ගෝලයන්ට කිව්වේ.—යොහන් 14:19.

යේසුස්ගේ පැමිණීම ගැන තියෙන වැරදි මත

 වැරදි මතය: “වලාකුළු මත පැමිණෙන” යේසුස්ව දකින්න ලැබෙනවා කියලා බයිබලයේ කියන නිසා යේසුස් එන එක අපේ ඇස්වලින්ම දකින්න පුළුවන්.—මතෙව් 24:30.

 ඇත්ත මේකයි: බයිබලයේ හුඟක් වෙලාවට වලාකුළු ගැන සඳහන් කරන්නේ නොපෙනෙන දෙයක් ගැන කියන්නයි. (ලෙවී කතාව 16:2; ගණන් කතාව 11:25; ද්විතීය කතාව 33:26) උදාහරණෙකට දෙවියන් මෝසෙස්ට මෙහෙම කිව්වා. “මම ගන වලාකුළකින් ඔබ වෙතට පැමිණෙන්නෙමි.” (නික්මයාම 19:9) මෝසෙස්ට දෙවියන්ව පියවි ඇසෙන් දකින්න ලැබුණේ නැහැ. ඒ වගේ, යේසුස් ‘වලාකුළු මත පැමිණෙද්දී’ ඔහුව දකින්න නොලැබුණත් ඔහු ආවා කියලා අවබෝධ කරගන්න මිනිසුන්ට පුළුවන් වෙනවා.

 වැරදි මතය: “සෑම පුද්ගලයෙකුගේම දෑසට ඔහුව පෙනෙනු ඇත” කියලා එළිදරව් 1:7 කියන නිසා ක්‍රිස්තුස් එන්නේ හැමෝටම පේන්නයි.

 ඇත්ත මේකයි: “දෑස” සහ “පෙනෙනවා” කියන වචනවලට බයිබලයේ ග්‍රීක භාෂාවෙන් දාලා තිබුණ වචන සමහර අවස්ථාවල යොදලා තියෙන්නේ පියවි ඇසෙන් දකිනවා කියන අදහස වෙනුවට අවබෝධ කරගන්නවා එහෙමත් නැත්නම් තේරුම්ගන්නවා කියන අදහස දෙන්නයි. b (මතෙව් 13:15; ලූක් 19:42; රෝම 15:21; එෆීස 1:18) නැවත නැඟිටුණු යේසුස් ‘කිසිවෙකුට ළඟා විය නොහැකි ආලෝකයක් තුළ වාසය කරයි. එසේ සිටින ඔහුව කිසි මිනිසෙකුට දැකීමටද නොහැක’ කියලා බයිබලයේ කියනවා. (1 තිමෝති 6:16) ඒ නිසා “සෑම පුද්ගලයෙකුගේම දෑසට ඔහුව පෙනෙනු ඇත” කියද්දී ඒකෙන් අදහස් කරන්නේ දෙවියන්ගේ විනිශ්චය ගෙනෙන තැනැත්තා යේසුස් කියලා හැමෝම අවබෝධ කරගන්නවා කියන එකයි.—මතෙව් 24:30.

a හුඟදෙනෙක් ක්‍රිස්තුස්ගේ “දෙවන පැමිණීම” හෝ “පුනරාගමනය” කියන වචන පාවිච්චි කෙරුවත් බයිබලයේ ඒවා සඳහන් වෙන්නේ නැහැ.

b The New Thayer’s Greek-English Lexicon of the New Testament (1981), 451 සහ 470 පිටු බලන්න.