Skip to content

මේ කාලේ මිනිස්සු ගැන බයිබලේ කියලා තියෙනවාද?

මේ කාලේ මිනිස්සු ගැන බයිබලේ කියලා තියෙනවාද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 අපේ කාලේ ජීවත් වෙන මිනිසුන්ගේ නරක ගතිගුණ එන්න එන්නම වැඩි වෙනවා කියලත් එයාලගේ සදාචාර ප්‍රමිති පහළටම බහිනවා කියලත් බයිබලේ පැහැදිලිව කියලා තියෙනවා. a (2 තිමෝති 3:1-5) හැබැයි සමහර අය දෙවියන්ගේ උදව්වෙන් නරක පෙලඹීම්වලට විරුද්ධව ඉඳලා දෙවියන් කැමති විදිහට හිතන්න, වැඩ කරන්න ඉගෙනගන්නවා කියලත් බයිබලේ කියලා තියෙනවා.—යෙසායා 2:2, 3.

මේ ලිපියෙන්

 අපේ කාලේ මිනිස්සු හිතන පතන, වැඩ කරන විදිහ ගැන බයිබලේ කලින්ම කියලා තියෙන්නේ මොනවාද?

 හුඟක් මිනිස්සු තමන් ගැනම විතරක් හිතනවා කියලත් එයාලා හිතන පතන, වැඩ කරන විදිහ නිසා අද්දකින්න වෙන ප්‍රතිඵල පැහැදිලිව පේන්න තියෙනවා කියලත් බයිබලේ කියලා තියෙනවා. ඒ වගේම මිනිස්සු ‘තමන්ව පාලනය කරගන්නේ නැහැ’ කියලත් ‘තමන් ගැනම හිතනවා’ කියලත් ‘දෙවිට වඩා විනෝදයට ඇල්මක් දක්වනවා’ කියලත් බයිබලේ කියලා තියෙනවා.—2 තිමෝති 3:2-4.

 ඇත්තටම අද ඉන්න මිනිස්සු හිතන්නේ තමන් ගැන, තමන්ගේ සතුට ගැන, තමන්ගේ වාසිය ගැන විතරයි. තමන් ගැනම විතරක් හිතලා වැඩ කරන එක වෙන කවදාටත් වඩා වැඩියෙන් අද දකින්න තියෙනවා. ඒ විදිහට වැඩ කරන මිනිස්සු ‘යහපත්කමට කිසි ඇල්මක් දක්වන්නේ නැහැ.’ ඒ කියන්නේ එයාලා හොඳ ගතිගුණ අගය කරන්නේවත් ඒවා වර්ධනය කරගන්න උත්සාහ කරන්නේවත් නැහැ. ඒ වගේම අනිත් අය තමන්ට කරන දේවල් ගැන එයාලා ‘ස්තුතිවන්ත වෙන්නේ නැහැ.’ තමන්ට තියෙන දේවල් අගය කරන්නේවත් නැහැ.—2 තිමෝති 3:2, 3.

 තමන් ගැනම විතරක් හිතලා වැඩ කරන මිනිසුන්ගේ තව ගතිලක්ෂණ ගැනත් බයිබලේ කියලා තියෙනවා.

  •   කෑදරකම. හුඟක් මිනිස්සු “මුදලට ලොල් වෙලා” නිසා එයාලා හිතන්නේ ජීවිතේ සාර්ථක කරගන්න නම් ධන සම්පත් තියෙන්නම ඕනෙ කියලා.—2 තිමෝති 3:2.

  •   උඩඟුකම. අද ඉන්න හුඟක් මිනිස්සු “පුරසාරම් දොඩනවා, උඩඟුයි,” “අහංකාරයි.” (2 තිමෝති 3:2, 4) ඒ වගේ අය තමන්ට තියෙන හැකියාවන් ගැන තමන් කරන දේවල් ගැන, තමන්ට තියෙන ධන සම්පත් ගැන, මහ ඉහළින් කතා කරනවා.

  •   නින්දා කරනවා. අද ලෝකේ අස්සක් මුල්ලක් නෑර ඉන්න මිනිස්සු “දෙවිට අපහාස කරනවා,” “නින්දා කරනවා.” (2 තිමෝති 3:2, 3) දෙවියන්ට විතරක් නෙවෙයි එයාලා මිනිසුන්ටත් අපහාස කරනවා. දෙවියන් ගැනත් මිනිස්සු ගැනත් බොරු කියනවා.

  •   මුරණ්ඩුයි. හුඟක් මිනිස්සු “ද්‍රෝහිකම් කරනවා,” “කිසිම දෙයක් ගැන එකඟ වෙන්නේ නැහැ,” “අනුන්ව පාවලා දෙනවා,” “හිතුවක්කාරයි.” (2 තිමෝති 3:2-4) ඒ වගේ අය තමන්ගේ මතේම එල්බගෙන ඉන්නවා. ප්‍රශ්නයක් ඇති වුණාම ඒක විසඳගන්න හදන්නේ නැහැ. පොරොන්දු කඩ කරනවා.

  •   ප්‍රචණ්ඩකාරියි. අද ඉන්න හුඟක් අය “දරුණුයි.” පොඩි දේටත් කේන්ති ගන්නවා. කේන්තිය පාලනය කරගන්නේ නැති නිසා හුඟක් දරුණු දේවල් සිද්ධ වෙනවා.—2 තිමෝති 3:3.

  •   අධර්මිෂ්ඨයි. යේසුස් කලින්ම කිව්වා අපේ කාලේ මිනිසුන්ගේ ‘අධර්මිෂ්ඨ ක්‍රියා වැඩි වෙනවා’ කියලා. (මතෙව් 24:12) ඒ වගේම කැරලි “කෝලහල” වැඩි වෙනවා කියලත් ඔහු කිව්වා.—ලූක් 21:9.

  •   පවුලේ අය ගැන කිසි සෙනෙහසක් නැහැ. හුඟක් අය “දෙමාපියන්ට අකීකරු වෙනවා.” “තමන්ගේම පවුලේ අය කෙරෙහිවත් කිසි සෙනෙහසක් නැහැ.” (2 තිමෝති 3:2, 3) ඒ නිසා පවුලේ අයව නොසලකාහරින එක, එයාලට දරුණු විදිහට සලකන එක, එයාලව අපයෝජනය කරන එක අද වෙනදාට වඩා දකින්න තියෙනවා.

  •   ආගමේ මුවාවෙන් සිද්ධ වෙන කුහකකම්. ‘මිනිසුන්ට පේන්න දෙවි සඳහා භක්තියකින් වැඩ කරන’ එක අද සාමාන්‍ය දෙයක් වෙලා. (2 තිමෝති 3:5) ඒ වගේ අය දෙවියන්ට කීකරු වෙනවා වෙනුවට එයාලා කැමති දේවල් උගන්නන ආගමික නායකයන්ගේ පස්සේ දුවනවා.—2 තිමෝති 4:3, 4.

 මිනිස්සු ආත්මාර්ථකාමී විදිහට වැඩ කරන එක අනිත් අයට බලපාන්නේ කොහොමද?

 මිනිස්සු තමන් ගැනම විතරක් හිතලා වැඩ කරන නිසා ඒකෙන් අනිත් අයට දැනෙන පීඩනය එන්න එන්නම වැඩි වෙනවා. (දේශනාකාරයා 7:7) උදාහරණෙකට සල්ලිවලට කෑදර මිනිස්සු අනිත් අයට වංචා කරනවා. පවුලේ අයගෙන් කිසිම ආදරයක්, සැලකිල්ලක් ලැබෙන්නේ නැති නිසා සමහරු මානසික පීඩනයට ගොදුරු වෙලා තියෙනවා. සියදිවි හානි කරගන්නත් පෙලඹිලා තියෙනවා. තමන්ට විශ්වාසවන්තව හිටපු අය ද්‍රෝහි වෙන නිසා සමහර අය මුළු ජීවිත කාලෙම ඒකෙන් දුක් විඳිනවා.

 මිනිස්සු එන්න එන්නම නරක අතට හැරෙන්නේ ඇයි?

 ඒකට හේතු බයිබලේ විස්තර කරලා තියෙනවා.

  •   මිනිසුන්ට දෙවියන් ගැනත් අසල්වැසියන් ගැනත් තියෙන ආදරේ එන්න එන්නම අඩු වෙනවා. (මතෙව් 24:12) ඒ නිසා මිනිස්සු හිතන්නේ තමන් ගැනම විතරයි.

  •   සාතන් විදිහට හඳුන්වන යක්ෂයාව ස්වර්ගයෙන් පොළොවට හෙළලයි තියෙන්නේ. (එළිදරව් 12:9, 12) ඒ නිසා දුෂ්ට විදිහට තමන් ගැනම විතරක් හිතලා වැඩ කරන්න එයා මිනිසුන්ව පොලඹවනවා.—1 යොහන් 5:19.

 මිනිසුන්ගේ නරක ගතිගුණ වැඩි වෙද්දී අපි කරන්න ඕනෙ මොනවාද?

 බයිබලේ කියනවා “එවැනි අයගෙන් අහක්ව සිටින්න” කියලා. (2 තිමෝති 3:5) ඒකෙන් අදහස් කරන්නේ අපි මිනිසුන්ව ආශ්‍රය කරන්නේ නැතුව තනියම ඉන්න ඕනෙ කියන එක නෙවෙයි. ඒ වෙනුවට දෙවියන් ගැන කිසිම තැකීමක් නැති, තමන් ගැනම විතරක් හිතලා වැඩ කරන අයව කිට්ටු යාළුවෝ කරගන්නේ නැතුව ඉන්න ඕනෙ කියන එකයි.—යාකොබ් 4:4.

 හැමෝම නරක අතට හැරෙයිද?

 නැහැ. බයිබලේ කියලා තියෙනවා සමහර අය “සිදු වන සියලුම පිළිකුල්සහගත දේවල් ගැන දුක් වෙමින් සුසුම්ලනවා” කියලා. (එසකියෙල් 9:4) ඒ අය තමන් ගැනම විතරක් හිතන්නේ නැහැ. දෙවියන් දීලා තියෙන මඟ පෙන්වීම්වලට එකඟව ජීවත් වෙනවා. ඒ අය කතා බහ කරන විදිහෙන්, හැසිරෙන විදිහෙන් එයාලා අනිත් මිනිසුන්ට වඩා වෙනස් කියලා පැහැදිලිව පේන්න තියෙනවා. (මලාකි 3:16, 18) උදාහරණෙකට අනිත් අයත් එක්ක සාමයෙන් ඉන්න එයාලා උපරිමයෙන් මහන්සි වෙනවා. ඒ වගේම යුද්ධවලටවත් ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලටවත් හවුල් වෙන්නේ නැහැ.—මීකා 4:3.

 අන්තිමේදී මුළු මිනිස් සමාජයම විනාශ වෙලා යයිද?

 නැහැ. එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඒ වෙනුවට දෙවියන් පොරොන්දු වෙලා තියෙනවා හිතාමතාම ඔහුට අකීකරු වෙන අයව විනාශ කරනවා කියලා. (ගීතාවලිය 37:38) ඊටපස්සේ දෙවියන් ඔහුට කීකරු වෙන, නිහතමානී අයට මේ පොළොවේ හැමදාටම සතුටින් ජීවත් වෙන්න අවස්ථාව දෙනවා. (2 පේතෘස් 3:13; ගීතාවලිය 37:11, 29) ඒක නිකම්ම සුරංගනා කතාවක් නෙවෙයි. මේ කාලෙදිත් බයිබලේ තියෙන මඟ පෙන්වීම් අදාළ කරගෙන දෙවියන් කැමති විදිහට ජීවිත වෙනස් කරගන්න හුඟදෙනෙක්ට පුළුවන් වෙලා තියෙනවා.—එෆීස 4:23, 24.

a බයිබලේ තියෙන අනාවැකි සහ ලෝක සිද්ධීන් දිහා බලද්දී පැහැදිලි වෙනවා අපි ඉන්නේ “අවසාන කාලයේ” කියලා. ඒක හරිම “අනතුරු සහිත” නැත්නම් “අන්තරා සහිත” කාලයක් කියලා බයිබලේ කියනවා. (2 තිමෝති 3:1; ‘පැරණි අනුවාදය’) තව තොරතුරු දැනගන්න කැමති නම් “විනාශය ළඟයි කියන්න තියෙන ලකුණ මොකක්ද?” කියන ලිපිය බලන්න.