Skip to content

2014 වාර්ෂික රැස්වීම් වාර්තාව

දේවරාජ්‍යයේ පාලනය සියවස සපුරයි!

2014 වාර්ෂික රැස්වීම් වාර්තාව

වොච් ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් පෙන්සිල්වේනියා මගින් 2014 ඔක්තෝබර් 4වෙනිදා පැවැත්වුව 130වෙනි වාර්ෂික රැස්වීමට 19,000දෙනෙක් විතර සහභාගි වුණා. ඒක පැවැත්තුවේ එක්සත් ජනපදයේ නිව් ජර්සිවල ජර්සි සිටි කියන නගරයේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සමුළු ශාලාවේදියි. ඒ වැඩසටහන වීඩියෝ මාර්ගයෙන් වෙනත් තැන්වලටත් සම්බන්ධ කරලා තිබුණා.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වන මාක් සැන්ඩසන් වැඩසටහනේ සභාපති විදිහට කටයුතු කළා. ඔහු වැඩසටහන පටන්ගත්තේ මේ වාර්ෂික රැස්වීම ඉතිහාසගත එකක් වෙනවා කියලයි. ඒකට හේතුව දේවරාජ්‍යය පිහිටුවලා අවුරුදු 100ක් සම්පූර්ණ වීමයි.

ඒ අවුරුදු 100 අතරතුරේ දේවරාජ්‍ය මගින් ඉටු කරපු ප්‍රධාන දේවල් 3ක් ගැන සහෝදර සැන්ඩසන් කිව්වා.

  • ලොව පුරා ශුභාරංචිය දේශනා කිරීම. යෙහෝවා දෙවියන්ගේ ආශීර්වාද ඇතුව ඔහුගේ සෙනඟ වෙහෙස මහන්සි නොබලා රාජ්‍යය ගැන ශුභාරංචිය කියලා තියෙනවා. 1914දී හිටිය ප්‍රචාරකයන් දහස් ගණන 2014 වෙද්දී මිලියන 8ත් ඉක්මවලා. මේ සේවය සම්පූර්ණ කරලා ඉවරයි කියලා යෙහෝවා දෙවියන් කියන තුරු අපි උද්‍යෝගයෙන් දේශනා කරනවා.

  • කණ්ඩායමක් හැටියට දේවරාජ්‍යයේ යටත්වැසියන්ව ආරක්ෂා කිරීම. ආගමික සහ දේශපාලනික නායකයන් දැඩි පීඩා ගෙනල්ලා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව මුළුමනින්ම නැති කරන්න උත්සාහ කරලා තියෙනවා. ඒත් යෙහෝවා දෙවියන් ඔහුට නමස්කාර කරන අයව කණ්ඩායමක් හැටියට ආරක්ෂා කළා. එක්සත් ජනපදයේ ශ්‍රේෂ්ඨාධිකරණය සහ මානව හිමිකම් පිළිබඳ යුරෝපීය අධිකරණයේ පැවැත්තුව නඩු ගණනාවකින් නීතික ජයග්‍රහණ ලැබිලා තියෙනවා. ඒකෙන් තහවුරු වෙන්නේ මේ වෙන තෙක් යෙහෝවා දෙවියන් අපිව ආරක්ෂා කරලා තියෙනවා කියලයි.

  • හැම පසුබිමකම ඉන්න අයව එකමුතු සෙනඟක් කිරීම. විවිධ පසුබිම්වලට, විවිධ ජාතීන්වලට, විවිධ භාෂාවලට අයිති අයට නොයෙකුත් අභියෝග ජය අරගෙන කණ්ඩායමක් හැටියට එකමුතුව නමස්කාර කරන්න දේවරාජ්‍යය මගින් උදව් කරලා තියෙනවා. සහෝදර සැන්ඩසන් කිව්වේ “මේක නම් පුදුමයක්! මේ වගේ දෙයක් කරන්න පුළුවන් යෙහෝවා දෙවියන්ට විතරයි” කියලයි. මේ ඉතිහාසගත රැස්වීමට එන්න ලැබීම වරප්‍රසාදයක් කියන එක ඇවිත් ඉන්න හැමෝටම හැඟෙනවා කියලා ඔහු කිව්වා.

‘යෙහෝවා දෙවිගේ යාළුවෝ’ වීඩියෝ මාලාව.

ඊළඟට වැඩසටහනේ තිබුණේ දරුවන් වෙනුවෙන් හදලා තියෙන වීඩියෝ ගැනයි. අවුරුදු දෙකක් පුරා දරුවන් මේ වීඩියෝවලින් ප්‍රයෝජන අරන් තියෙනවා. ලෝකේ පුරාම ඉන්න දරුවන් එක්ක කරපු සාකච්ඡාවන් ඇතුළත් වීඩියෝ එකක් මේ අවස්ථාවේදී සහෝදර සැන්ඩසන් හඳුන්වලා දුන්නා. මේ වීඩියෝවලින් ඉගෙනගත්ත දේවල් අගය කරමින් පුංචි එවුන් ඒගොල්ලන්ට දැනුණ දේ අවංකව හදවතින්ම කිව්ව දේ ඇවිත් හිටිය අයගේ හිතට කාවැදුණා.

බය වෙන්න එපා යෙහෝවා දෙවි ඔයා ළඟමයි’ කියන අලුත්ම වීඩියෝ එක ඒ වෙලාවෙම පෙන්නුවා. විනාඩි 12කින් යුත් මේ වීඩියෝ එකේ තියෙන්නේ බයිබලයේ කතන්දරයක්. ඒ තමයි නාමන්ගේ භාර්යාවට යෙහෝවා දෙවියන් ගැන ඊශ්‍රායෙල් දැරියක් නිර්භීතව කතා කරපු සිද්ධිය. (2 රාජාවලිය 5:1-14) 2014 ඔක්තෝබර් 6වෙනි සඳුදා වෙද්දී මේ වීඩියෝ එක භාෂා 20කට වැඩි ගණනකින් jw.org වෙබ් අඩවියට ඇතුළත් කරලා තිබුණා.

‘JW භාෂා.’

තම දේවසේවය පුළුල් කරගන්න වෙනත් භාෂාවක් ඉගෙනගන්න කැමති යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට උපකාරයක් හැටියට ඔවුන්ගේ ඩිජිටල් ඩිවයිසස්වලට ලබාගන්න පුළුවන් අලුත් ඇප් එකක් ගැන සහෝදර සැන්ඩසන් නිවේදනය කළා. මේ ඇප් එකට භාෂා 18කින් වචන සහ යෙදුම් 4,000කට වඩා ඇතුල් කරලා තියෙනවා. ඊට අමතරව තවත් වචන, යෙදුම්, දේශනා සේවයේදී පාවිච්චි කරන්න පුළුවන් යෝජනා සහ වෙනත් අංග ඇතුළත් කරන්න සැලසුම් යොදමින් ඉන්නවා.

JW බ්‍රෝඩ්කාස්ටිං.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ අලුත්ම ඔන්ලයින් TV වැඩසටහනක් ගැන කියද්දී ඇවිත් හිටිය අය හුඟක් සතුටු වුණා. අත්හදා බැලීමක් හැටියට සාක්ෂිකරුවන් ඒක පටන් අරන් තියෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් විතරයි. එක්සත් ජනපදයේ නිව් යෝර්ක්, බෘක්ලින්වල අපේ මූලස්ථානයේ තියෙන JW බ්‍රෝඩ්කාස්ටිං ස්ටූඩියෝ එකේදී නිපදවපු මේ වැඩසටහනෙන් අපේ වීඩියෝ, සංගීතය, නාට්‍යමය ආකාරයට ඇති බයිබල් කියවීම් බලන්න පුළුවන්. ඒ වගේම හැම මාසයකම පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් හරි පාලක මණ්ඩලයේ කමිටුවකට උපකාර කරන සහෝදරයෙක් හරි ඉදිරිපත් කරන වැඩසටහනකුත් බලන්න පුළුවන්.

මේ වැඩසටහන්වලින් මුල්ම එක ගැන සහෝදර සැන්ඩසන් කෙටි විස්තරයක් ඉදිරිපත් කළා. පාලක මණ්ඩලයේ සහෝදරයෙක් වන ස්ටීවන් ලෙට් මෙහෙයවපු ඒ වැඩසටහනේදී ඔන්ලයින් TV ස්ටේෂන් එක සකස් කරන්න දැරුව වෑයම ඇතුළත් වීඩියෝ එකකුත් පෙන්නුවා. JW බ්‍රෝඩ්කාස්ටිං එක මුලින්ම විකාශනය වුණේ 2014 ඔක්තෝබර් 6වෙනිදා. tv.dan124.com හරහා ඒක බලන්න පුළුවන්.

“දේවරාජ්‍යය සියවස සපුරයි.”

පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වන සැමුවෙල් හර්ඩ්, වීඩියෝ එකක තියෙන තොරතුරු ගැන කිව්වා. ඒකේ තියෙන්නේ සාක්ෂිකරුවන්ගේ වර්ධනයටත් දේශනා සේවය දියුණු කරගන්නත් දේවරාජ්‍යය අපිට උදව් කරලා තියෙන විදිහ ගැනයි. ඒ වීඩියෝ එකේ දශක ගණනාවක් සාක්ෂිකරුවන් වෙලා හිටිය අයගේ අද්දැකීම් සහ නිරූපණ තියෙනවා. ඒවායින් අතීතයෙන් බිඳක් අපිට මතක් කරලා දෙනවා. ඒ වගේම “ෆොටෝ ඩ්‍රාමා ඔෆ් ක්‍රියේෂන්” (දෙවිගේ නිර්මාණ පිළිබඳ ඡායාරූප සහ දර්ශන ඇතුළත් වැඩසටහන) හැදුව විදිහ සහ පෙන්නුව විදිහත්, තැටි වාදන යන්ත්‍ර, සාක්ෂිපත්, කරේ එල්ලන් යන දැන්වීම් පුවරු, ශබ්ද විකාශන යන්ත්‍ර සවි කරපු කාර් සේවය සඳහා පාවිච්චි කරපු විදිහත්, සේවයට අපිව පුහුණු කරන්න පිහිටුවලා තියෙන පාසැල් ගැනත් ඇතුළත් කරලා තියෙනවා.

අවුරුදු 100ක් පුරා දේවරාජ්‍යය මගින් ඉටු කරලා තියෙන දේවල් ගැන කල්පනා කරන එක අපිට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද? එතකොට දේවරාජ්‍යය අපිට සැබෑ එකක් වෙනවා විතරක් නෙමෙයි ඉදිරියේදී ඒකෙන් ඉටු කරන දේවල් ගැන අපේ අගයත් වැඩි වෙනවා.

ගීතිකා.

‘ගයමු ගී දෙවි යෙහෝවාට’ කියන අපේ ගීතිකා පොත අලුත් කරන්න යනවා කියලා පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වන ඩේවිඩ් ස්ප්ලේන් නිවේදනය කළාම රැස් වෙලා හිටිය අය හුඟක් සතුටු වුණා. ඒකත් අලුතෙන් අපිට ලැබුණු ‘නව ලොව පරිවර්තනය’ කියන බයිබලය වගේම අළු පාට ලස්සන එකක්. ගීතිකා පොත හදන්න හොඳම වර්ගයේ ද්‍රව්‍ය පාවිච්චි කරන එකෙන් ගීතිකාවලට අපේ නමස්කාරයේ වැදගත් තැනක් තියෙනවා කියන එක පැහැදිලියි.

තව ගීතිකා කීපයක් ඒකට එකතු කරනවා කියලත් සහෝදර ස්ප්ලේන් කිව්වා. හැබැයි අපිට ඒ ගීතිකා ගායනා කරන්න අලුත් ගීතිකා පොත ලැබෙන කල්ම ඉන්න ඕන නැහැ. අපේ jw.org වෙබ් අඩවියට ඇතුළත් කරද්දී ඒවා ලබාගන්න පුළුවන්.

වාර්ෂික රැස්වීමට කලින් සතියේදී බෙතෙල් පවුලේ අය අලුත් ගීතිකා තුන ගායනා කරන්න පුරුදු වුණා. ගීතිකා කණ්ඩායම “අයැදිමු දේවරාජ්‍යයේ ආශීර්වාද” කියන අලුත් ගීතිකාව ගායනා කරද්දී සහෝදර ස්ප්ලේන් ඒක මෙහෙයෙව්වා. මේ ගීතිකාව හදලා තියෙන්නේ දේවරාජ්‍යයේ පාලනය ආරම්භ වෙලා වසර 100ක් පිරීම සනිටුහන් කරන්නයි. ගීතිකා කණ්ඩායම ගායනා කළාට පස්සේ සබයේ ඉන්න අයත් ඔවුන් එක්කම ගායනා කළා. වැඩසටහනේ තවත් අවස්ථාවකදී ගීතිකා කණ්ඩායමයි සබයේ ඉන්න අයයි එකතු වෙලා “දෙනු මැන නිර්භීතකම” කියන අලුත් ගීතිකාව ගැයුවා.

සම්මුඛ සාකච්ඡාව.

කලින් පටිගත කරපු සාකච්ඡාවක් පෙන්නුවා. ඒක අවුරුදු ගාණක් බෙතෙල් සේවය කරපු විවාහක යුවළ තුනක් එක්ක පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වන ගෙරිට් ලෝෂ් කරපු සාකච්ඡාවක්. ගත වුණ අවුරුදුවල සිද්ධ වුණ වෙනස්කම් ගැන ඔවුන් කිව්වා. දෙවියන්ගේ සෙනඟ ඉදිරියට යනවා කියලා ඒකෙන් පැහැදිලි වුණා. බයිබලේ තියෙන අනාවැකිවලට අනුව දෙවියන්ගේ සංවිධානය දියුණු වෙනවා කියලා සහෝදර ලෝෂ් කිව්වා. ඒ නිසා ඔහු හැමෝවම උනන්දු කළේ ඒ වෙනස්කම්වලට හුරු වෙලා සංවිධානය එක්ක ඉදිරියට යන්න කියලයි.—යෙසායා 60:17.

“බයිබල් වාර්තා, සිද්ධීන් සහ ඒවායින් නියෝජනය වන දේ හෝ ඒවායේ දෙවෙනි ඉටු වීම.”

මේ කතාව දුන්නේ සහෝදර ස්ප්ලේන්. කලින් නම් නිතරම අපේ ප්‍රකාශනවල බයිබල් වාර්තා, සිද්ධීන් සහ ඒවායින් නියෝජනය වන දේ හෝ ඒවායේ දෙවෙනි ඉටු වීම ගැන සාකච්ඡා කළත් මෑත කාලයේදී නම් වැඩිය ඒ ගැන සඳහන් වෙන්නේ නැහැ. ඒකට හේතුව ඔහු පැහැදිලි කළා.

බයිබලයේ සඳහන් අතීතයේ හිටිය විශ්වාසවන්ත පුරුෂයන් සහ ස්ත්‍රීන් හුඟදෙනෙක්ගෙන් අපේ කාලයේ ඉන්න විශ්වාසවන්ත ක්‍රිස්තියානි කණ්ඩායම් නියෝජනය වෙනවා. බයිබල් සිද්ධීන් කීපයකිනුත් අද ඉන්න දෙවිගේ සේවකයන් සම්බන්ධ සිද්ධීන් නියෝජනය වෙනවා. ඒ වගේ දේවල් සන්සන්දනය කරලා බලන එකෙන් අධ්‍යයනය කරන්න තියෙන ආසාව වැඩි වෙනවා. එහෙනම් මෑතක පළ වුණ ප්‍රකාශනවල බයිබල් වාර්තා, සිද්ධීන් සහ ඒවායින් නියෝජනය වන දේ හෝ ඒවායේ දෙවෙනි ඉටු වීම කලාතුරකින් සඳහන් කරලා තියෙන්නේ ඇයි?

බයිබලයේ සඳහන් සමහර අය සහ සිද්ධීන් ඊට වඩා ශ්‍රේෂ්ඨ පුද්ගලයන්ට සහ සිද්ධීන්වලට යොමු දක්වනවා. ඒ නිසා කරන්න පුළුවන් හොඳම දේ තමයි යම් කෙනෙක්ගෙන්, සිද්ධියකින්, භාණ්ඩයකින් යම් දෙයක් නියෝජනය වෙනවා කියලා බයිබලේම සඳහන් වෙනවා නම් ඒක පිළිගන්න එක. සහෝදර ස්ප්ලේන් කිව්වේ “ඒත් එහෙම දෙයක් බයිබලේ සඳහන් වෙන්නේ නැත්නම් අපි යම් තීරණවලට එන එක වැරදියි” කියලයි. ඕනෑවට වඩා ඒවා ගැන හොයන්න කාලය ගත කළොත් බයිබල් වාර්තාවලින් ඉගෙනගන්න පුළුවන් පාඩම් සහ එදිනෙදා ජීවිතයට අත්‍යවශ්‍ය දේවල් අපිට අතපසු වෙන්න පුළුවන්.—රෝම 15:4. *

“ඔයාත් දිගටම සෝදිසියෙන් ඉන්නවද?”

මේ කතාව සහෝදර ලෙට් දෙද්දී අවිවාහක තරුණියන් දහදෙනාගේ උපමාව ගැන අපිට තිබුණු අවබෝධයේ යම් සකස් කිරීමක් කළා. (මතෙව් 25:1-13) දැන් අපි ඒ උපමාව අවබෝධ කරගෙන තියෙන්නේ මේ විදිහටයි. මනාලයා කියන්නේ යේසුස්. අවිවාහක තරුණියන් කියන්නේ යේසුස්ගේ අභිෂේක ලත් අනුගාමිකයන්. (ලූක් 5:34, 35; 2 කොරින්ති 11:2) මේ උපමාව අදාළ වෙන්නේ අවසාන කාලයටයි. අවසාන කාලයේ තීරණාත්මක අවස්ථාව මහත් පීඩාව අතරතුර කාලයයි. අනුවණ තරුණියන් පස්දෙනා ගැන කරපු විස්තරයෙන් යේසුස් අදහස් කළේ අභිෂේක ලත් අයගෙන් හුඟදෙනෙක් අවිශ්වාසවන්ත වෙලා ඒ වෙනුවට තව අයව තෝරගන්න සිද්ධ වෙනවා කියන එක නෙමෙයි. ඔහු කළේ ප්‍රබල අනතුරු ඇඟවීමක්. ඒකෙන් අදහස් කළේ පස්දෙනෙක් නුවණ ඇතුවත් පස්දෙනෙක් අනුවණ විදිහටත් වැඩ කළා වගේ තමන් සූදානමින්, සෝදිසියෙන් ඉන්නවද නැද්ද කියන තේරීම කරන්න හැම අභිෂේක ලත් කෙනෙක්ටම අවස්ථාව තියෙනවා කියන එකයි.

යම් දෙයක් බයිබලේ කෙළින්ම කියලා නැති අවස්ථාවලදී අපි යම් තීරණවලට එන එක වැරදි නම් මේ උපමාවේ හැම පුංචි විස්තරේටම අර්ථයක් හොයන එක අනුවණකමක්. අපි කරන්න ඕන උපමාවෙන් අපිට ගන්න ඕන පාඩම් මොනවාද කියලා හොයලා බලන එකයි. අභිෂේක ලත් වුණත් “වෙනත් බැටළුවන්” වුණත් අපි හැමෝගෙම වගකීම අපේ ආලෝකය මිනිසුන් ඉදිරියේ විහිදුවන එක සහ “සෝදිසියෙන්” ඉන්න එකයි. (යොහන් 10:16; මාක් 13:37; මතෙව් 5:16) කෙනෙක් වෙනුවෙන් තව කෙනෙකුට විශ්වාසවන්තව ඉන්න බැහැ. “ජීවනයේ මාර්ගය” තෝරගන්න ඕන තනි තනිවමයි. ඒකට අපි එක් එක් කෙනා දෙවියන්ට විශ්වාසවන්තව ඉන්නත් කඩිසරව දේවසේවයේ යෙදෙන්නත් ඕනේ.—ද්විතීය කතාව 30:19.

“තලෙන්ත ගැන උපමාව.”

ඊළඟට කතා කළේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වන ඇන්තනි මොරිස්. ඒ උපමාව දැන් අවබෝධ කරගෙන තියෙන විදිහ ඔහු පැහැදිලි කළා. (මතෙව් 25:14-30) ඒ උපමාවේ ස්වාමියා (යේසුස්) අනාගතයේදී ආපුවාම ඔහුගේ දාසයන්ට (පොළොවේ ඉන්න ඔහුගේ විශ්වාසවන්ත අභිෂේක ලත් අනුගාමිකයන්ට) ස්වර්ගික ජීවිතයක් ලබා දෙනවා. ‘දුෂ්ට, කම්මැළි දාසයාට’ සිද්ධ වෙන දේ ගැන යේසුස් කිව්ව දෙයින් අදහස් කළේ අභිෂේක ලත් අනුගාමිකයන් හුඟදෙනෙක් අවිශ්වාසවන්ත වෙනවා කියන එක නෙමෙයි. ඒ වෙනුවට ඔහු අභිෂේක ලත් අයට අවවාද කළේ කම්මැළි, දුෂ්ට දාසයාගේ ආකල්ප සහ ක්‍රියාවන්වලින් වැළකිලා දිගටම උද්‍යෝගයෙන් සේවය කරමින් ඉන්න ඕන කියලයි.

තලෙන්ත උපමාවෙන් අපිට ඉගෙනගන්න පුළුවන් පාඩම් මොනවාද? ස්වාමියා දාසයන්ට දුන්නේ වටිනා වස්තුවක්. යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට දුන්න ඒ වටිනා වස්තුව තමයි ශුභාරංචිය දේශනා කිරීමේ සහ මිනිසුන්ට යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කිරීමේ වගකීම. අපි හැමෝම අපිට පුළුවන් උපරිමයෙන් දේශනා සේවයේ කඩිසරව හවුල් වෙනවා දකින එකයි ඔහුගේ කැමැත්ත. රැස් වෙලා හිටිය හැමෝම දේවරාජ්‍යයේ කටයුතුවල උද්‍යෝගයෙන් යෙදෙන එක ගැන සහෝදර මොරිස් ප්‍රශංසා කළා.

“දෙවිගේ සෙනඟට ප්‍රහාරය එල්ල කරන්නේ කවුද?”

වැඩසටහනේ අවසන් දේශනය කාගෙත් කුතුහලය ඇවිස්සුණ එකක්. ඒක දුන්නේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වන ජෙෆ්රි ජැක්සන්. ඊටපස්සේ සහෝදර ජැක්සන් සාකච්ඡා කළේ අනාගතයේදී යෙහෝවා දෙවිගේ සෙනඟට පහර දෙන මාගොග් දේශයේ ගොග් ගැනයි.—එසකියෙල් 38:14-23.

ගොග් කියන්නේ සාතන්ටම කියන තවත් නමක් කියලයි අපි කලින් හිතුවේ. ඒත් අපි හිතුව ඒ දේ නිසා මතු වුණ ප්‍රශ්න කීපයක් ගැන සහෝදර ජැක්සන් පැහැදිලි කළා. උදාහරණයකට යෙහෝවා දෙවියන් කිව්වා ගොග්ව පරාජය කරන අවස්ථාවේදී “මම ගොදුරු අල්ලාගෙන කන පක්ෂීන්ටත් වෙනත් පක්ෂීන්ටත් වනමෘගයන්ටත් ඔබව ආහාර පිණිස දෙන්නෙමි” කියලා. (එසකියෙල් 39:4) ඒ වගේම ගොග්වත් ඔහුගේ මුළු සෙනඟවත් පොළොවේ ‘වළලනවා’ කියලත් කිව්වා. (එසකියෙල් 39:11) ඒත් නොපෙනෙන කෙනෙක්ට ඒ වගේ දේවල් වෙන්නේ කොහොමද? බයිබලයේ කියන්නේ සාතන්ව අවුරුදු 1,000කට අගාධයට දානවා කියලා මිසක කුරුල්ලෝ කනවා කියලවත්, පොළොවේ වළලනවා කියලවත් නෙමෙයි. (එළිදරව් 20:1, 2) අවුරුදු 1,000 අවසානයේදී සාතන්ව අගාධයෙන් නිදහස් කරනවා. ඊටපස්සේ ඔහු ‘පොළොවේ සතරදිග්භාගයේ විසිර සිටින ගොග් සහ මාගොග් යන ජාතීන්ව නොමඟ යවනවා’ කියලයි සඳහන් වෙන්නේ. (එළිදරව් 20:7, 8) සාතන් ගොග්ව නොමඟ යවනවා නම් ඔහු ගොග් වෙන්නේ කොහොමද?

එසකියෙල් අනාවැකියේ සඳහන් මාගොග් දේශයේ ගොග් කියන්නේ සාතන් නෙමෙයි අනාගතයේදී දෙවියන්ගේ සෙනඟට පහර දෙන විවිධ ජාතීන්ගේ එකතුවක් කියලා සහෝදර ජැක්සන් පැහැදිලි කළා. ‘උතුරේ රජගේ’ සහ ‘පොළොවේ රජවරුන්ගේ’ ප්‍රහාරය යන දෙකෙන්ම අදහස් වෙන්නේ ගොග්ගේ ප්‍රහාරය වෙන්න පුළුවන්.—දානියෙල් 11:40, 44, 45; එළිදරව් 17:12-14; 19:19.

‘උතුරේ රජගෙන්’ අදහස් වෙන්නේ කවුද? හරියටම දන්නේ නැති නිසා ඒ ගැන දැනගන්න තුරු බලාගෙන ඉන්න වෙනවා. කොහොමවුණත් අනාගතයේ සිද්ධ වෙන ඒ දේවලට අපි ළඟා වෙද්දී ඒවා ගැන නිවැරදි අවබෝධයක් ලැබෙන එකෙන් අපේ විශ්වාසය තවත් ශක්තිමත් වෙනවා. ඉදිරියේදී දෙවියන්ගේ සෙනඟට එල්ල වෙන ප්‍රහාරය ගැන අපි බය වෙන්නේ නැහැ. ප්‍රහාරයක් එල්ල කළත් පරාද වෙන්නෙත් සම්පූර්ණයෙන්ම විනාශ වෙන්නෙත් මාගොග් දේශයේ ගොග්මයි. හැබැයි දෙවියන්ගේ සෙනඟ සදහටම ජීවත් වෙනවා. *

අවසානය.

‘නව ලොව පරිවර්තනයේ’ පුංචි බයිබලය දැන් ලබාගන්න පුළුවන් කියලා සහෝදර සැන්ඩසන් නිවේදනය කළා. දැන් බයිබලයේ පටිගත කිරීම් කරනවා. ඒක පටිගත කරන්නේ බයිබල් චරිතවලට ගැළපෙන කටහඬවල් ඇතුළත් කරලා. මුලින්ම මතෙව් පොතත් ඊළඟට අනිත් ඒවාත් ක්‍රම ක්‍රමයෙන් jw.org වෙබ් අඩවියට දානවා.

2015 වාර්ෂික පදය ගීතාවලිය 106:1 තියෙන “යෙහෝවා දෙවිට ස්තුති කරන්න. මන්ද ඔහු යහපත්ය” කියන එකයි කියලා සහෝදර සැන්ඩසන් නිවේදනය කළා. දෙවියන්ට ස්තුතිවන්ත වෙන්න හැම දවසකම හේතු හොයාගන්න කියලා ඔහු දිරිගැන්නුවා.

අවසාන ගීතිකාව වුණේ අලුත් ගීතිකා තුනෙන් “යෙහෝවා, ඒ ඔබේ නාමයයි” කියන ගීතිකාවයි. පාලක මණ්ඩලයේ සාමාජිකයන් හත්දෙනාම වේදිකාවේ හිටිය ගීතිකා කණ්ඩායමට එකතු වෙලා ගීතිකාව ගායනා කරද්දී රැස්වෙලා හිටපු අයත් ඒකට එකතු වුණා. ඉතිහාසගත වන මේ රැස්වීමට ඒක හොඳ අවසානයක් වුණා.

^ 22 ඡේ. මේ කතාවටයි ඊළඟ කතා දෙකටයි ඇතුළත් කරුණු තියෙන්නේ 2015 මාර්තු 15 ‘මුරටැඹ’ කලාපයේ.

^ 30 ඡේ. මේ කතාවට ඇතුළත් කරුණු තියෙන්නේ 2015 මැයි 15 ‘මුරටැඹ’ කලාපයේ.