Skip to content

පටුනට යන්න

උපග්‍රන්ථය

පියා, පුත්‍රයා හා ශුද්ධාත්මය පිළිබඳ සත්‍යය

පියා, පුත්‍රයා හා ශුද්ධාත්මය පිළිබඳ සත්‍යය

ත්‍රිත්වය නමැති ඉගැන්වීම විශ්වාස කරන අය පවසන්නේ පියා, පුත්‍රයා හා ශුද්ධාත්මය යන පුද්ගලයන් තුන්දෙනාම එක් කෙනෙකු බවයි. එනම් පියා කියන්නෙත් දෙවිටයි. පුත්‍රයා කියන්නෙත් දෙවිටයි. ශුද්ධාත්මය කියන්නෙත් දෙවිටයි. ඒ තුන්දෙනාම එක හා සමාන බවත් සර්වබලධාරී බවත් ඔවුන් පවසනවා. එමෙන්ම තුන්දෙනාටම පටන්ගැන්මක් නැති බවත් ඔවුන් විශ්වාස කරනවා.

ත්‍රිත්වය විශ්වාස කරන බොහෝදෙනෙකු පවසන්නේ ඒ ඉගැන්වීම හරියටම පැහැදිලි කළ නොහැකි බවයි. එය බයිබලයේ උගන්වන දෙයක් බව ඔවුන් සිතනවා. නමුත් “ත්‍රිත්වය” යන වචනයවත් බයිබලයේ කිසිම තැනක සඳහන් වන්නේ නැහැ. ත්‍රිත්වය නමැති ඉගැන්වීමට අනුබල දෙන යම් අදහසක් බයිබලයේ තිබෙනවාද? ඒ ප්‍රශ්නයට පිළිතුරු සෙවීම සඳහා ත්‍රිත්වය ගැන විශ්වාස කරන අය එය තහවුරු කිරීමට යොදාගන්නා බයිබල් පදයක් සලකා බලමු.

“වාක්‍යයාණෝ දෙවියන්වහන්සේව සිටිසේක”

යොහන් 1:1හි මෙසේ සඳහන් වෙනවා. “පටන්ගැන්මෙහිදී වාක්‍යයාණෝ සිටිසේක. වාක්‍යයාණෝ දෙවියන්වහන්සේ හා සමඟ සිටිසේක, වාක්‍යයාණෝ දෙවියන්වහන්සේව සිටිසේක.” (පැරණි අනුවාදය) “වාක්‍යයාණෝ” වෙනුවට ඇතැම් බයිබල්වල “ධර්මයාණෝ” හා “‘වචනය’ නමැති තැනැත්තා” කියා සඳහන් කර තිබෙනවා. ඇත්තෙන්ම එම පදයේ නිවැරදිව යෙදිය යුත්තේ ‘වචනය’ නමැති තැනැත්තා යන්නයි. යොහන් එම පරිච්ඡේදයේම වෙනත් පදයක, “වාක්‍යයාණෝ” යේසුස් බව පැහැදිලිව පෙන්වා දෙනවා. (යොහන් 1:14) “වාක්‍යයාණෝ දෙවියන්වහන්සේව සිටි” බව සඳහන් වී තිබෙන නිසා පුත්‍රයා හා පියා යනු එකම දෙවි කෙනෙකු කියා සමහරුන් සිතනවා.

බයිබලයේ එම කොටස මුලින්ම ග්‍රීක භාෂාවෙන් ලියූ බව අප මතක තබාගත යුතුයි. පසු කාලයක පරිවර්තකයන් ග්‍රීක ශුද්ධ ලියවිල්ල වෙනත් භාෂාවලට පරිවර්තනය කළා. නමුත් බයිබලය පරිවර්තනය කළ බොහෝදෙනෙකු තීරණය කළේ, “වාක්‍යයාණෝ දෙවියන්වහන්සේව සිටිසේක” නමැති ප්‍රකාශය ඒ ආකාරයටම පරිවර්තනය නොකළ යුතු බවයි. ඔවුන් එසේ තීරණය කළේ ඇයි? එයට හේතුව නම් බයිබලය ලිවීමට යොදාගත් ග්‍රීක භාෂාව පිළිබඳව ඒ පරිවර්තකයන්ට හොඳ අවබෝධයක් තිබීමයි. ඔවුන් එම පදය පරිවර්තනය කළේ කෙසේද? උදාහරණ කිහිපයක් අපි බලමු. “ලෝගොස් [එනම් ‘වචනය’ නමැති තැනැත්තා] දේවත්වයේ ලා සැලකිය යුතු කෙනෙක් විය.” (A New Translation of the Bible) “වචනය නමැත්තා දෙවි කෙනෙක් හා සමාන විය.” (The New Testament in an Improved Version) “දෙවි සමඟ සිටි වචනය නමැත්තා ඔහුට සමාන ගතිලක්ෂණ ඇති කෙනෙක් විය.” (The Translator’s New Testament) ඒ පරිවර්තනවලට අනුව ‘වචනය’ නමැති තැනැත්තා දෙවි නොව යේසුස්. * යෙහෝවා දෙවිගේ නිර්මාණ අතරින් ‘වචනය’ වන යේසුස්ට ඉතා උසස් තැනක් හිමි වන නිසා ඔහුව ‘දෙවි කෙනෙකු’ ලෙස හඳුන්වා තිබෙනවා. එහි ‘දෙවි කෙනෙකු’ කියා පැවසීමෙන් අදහස් කරන්නේ ඔහු ‘බලවත් තැනැත්තෙකු’ වන බවයි.

තවත් තොරතුරු දැනගන්න

බයිබලය ලිවීමට භාවිත කළ ග්‍රීක භාෂාව ගැන අද සිටින බොහෝදෙනෙකුට වැඩි අවබෝධයක් නැහැ. එසේනම් යොහන් ලියූ වචනවල නියම අර්ථය අප දැනගන්නේ කෙසේද? උදාහරණයකට ගුරුවරයෙකු යම් කාරණයක් ගැන සිසුන්ට පැහැදිලි කරනවා කියා සිතන්න. සිසුන් එය තේරුම්ගන්නේ විවිධ ආකාරවලිනුයි. එසේනම් හරි තේරුම කුමක්ද කියා සිසුන් තවදුරටත් පැහැදිලි කරගන්නේ කෙසේද? ඒ ගුරුවරයාගෙන්ම තවත් තොරතුරු දැනගැනීමට ඔවුන්ට හැකියි. ඒ අමතර තොරතුරු, ගුරුවරයා පැහැදිලි කළ කාරණය වඩාත් හොඳින් තේරුම්ගැනීමට ඔවුන්ට උපකාරවත් වෙයි. ඒ හා සමානව යොහන් 1:1හි සඳහන් දෙය නිවැරදිව තේරුම්ගැනීම සඳහා යොහන්ගේම වාර්තාවේ යේසුස් ගැන සඳහන් දේවල් සොයා බැලීමට ඔබට හැකියි.

උදාහරණයකට යොහන් 1:18හි සඳහන් මේ දෙය සලකා බලන්න. “කිසිවෙක් කිසි කලක [සර්වබලධාරී] දෙවියන්වහන්සේ දුටුවේ නැත.” නමුත් මිනිසුන් යේසුස්ව දැක තිබෙනවා. ඒ ගැනත් යොහන් මෙසේ පැවසුවා. “වාක්‍යයාණෝ [එනම් යේසුස්] මාංසවත් වී, . . . අප අතරෙහි වාසය කළසේක. . . . උන්වහන්සේගේ මහිමය දුටිමුව.” (යොහන් 1:14, පැ.අ.) එසේනම් යේසුස් සර්වබලධාරී දෙවි විය හැකිද? යොහන් තවදුරටත් පවසන්නේ ‘වචනය’ නමැති තැනැත්තා නැත්නම් වාක්‍යයාණෝ දෙවි “සමඟ” සිටි බවයි. වාක්‍යයාණෝ දෙවි නම් ඔහු දෙවි සමඟ සිටිනවා කියා පැවසිය හැකිද? යොහන් 17:3හි යේසුස්ම තමා හා තම පියා අතර තිබෙන පැහැදිලි වෙනස පෙන්වා දුන්නා. එම පදයේ ඔහු තම පියාව හඳුන්වන්නේ “එකම සැබෑ දෙවි” ලෙසයි. යොහන් තමා ලියූ දේවල් සාරාංශ කරමින් මෙසේ පැවසුවා. “මේ දේවල් ලියා තිබෙන්නේ යේසුස් දෙවිගේ පුත්‍රයා බවත් ක්‍රිස්තුස් බවත් ඔබට විශ්වාස කිරීමට හැකි වීම සඳහාය.” (යොහන් 20:31) එහි යේසුස්ව හඳුන්වා තිබෙන්නේ දෙවි ලෙස නොව දෙවිගේ පුත්‍රයා ලෙසයි. යොහන් 1:1 අප තේරුම්ගත යුතු ආකාරය යොහන්ගේම වාර්තාවෙන් අප දැනගත් ඒ අමතර තොරතුරුවලින් පැහැදිලි වෙනවා. වචනය වන යේසුස් ‘දෙවි කෙනෙකු’ වන්නේ ඔහු ඉතා බලවත් තැනැත්තෙකු වන නිසයි. නමුත් ඔහු සර්වබලධාරී දෙවි නොවෙයි.

තොරතුරු තහවුරු කරගන්න

කලින් සඳහන් කළ ගුරුවරයා හා ශිෂ්‍යයන් පිළිබඳ උදාහරණය නැවත සලකා බලමු. තවමත් සමහර සිසුන්ට ගුරුවරයා පැවසූ අමතර තොරතුරු ගැන යම් සැක තිබෙනවා කියා සිතන්න. එසේනම් ඔවුන්ට කළ හැක්කේ කුමක්ද? ඒ කාරණය ගැන තවත් තොරතුරු වෙනත් ගුරුවරයෙකුගෙන් දැනගත හැකියි. ඒ ගුරුවරයාත් කලින් ගුරුවරයා කළ පැහැදිලි කිරීම තහවුරු කරනවා නම් බොහෝ ශිෂ්‍යයන්ගේ සැක දුරු වෙයි. ඒ හා සමානව යේසුස් හා සර්වබලධාරී දෙවි අතර තිබෙන සම්බන්ධය ගැන යොහන් පැවසූ දේ ගැන ඔබටත් යම් සැක තිබෙනවා නම් වෙනත් බයිබල් ලේඛකයන් ලියා ඇති දේවල් සලකා බැලීමට ඔබට හැකියි. උදාහරණයකට මතෙව් ලියූ දෙයක් ගැන සලකා බලන්න. පවතින දුෂ්ට සමාජයේ අවසානය ගැන යේසුස් පැවසූ දේ ඔහු මෙසේ වාර්තා කළා. “පියාණන් මිස ඒ දේ සිදු වන දවස හා වේලාව කිසිවෙක් දන්නේ නැහැ. ස්වර්ගයෙහි දේවදූතයන්වත් පුත්‍රයාවත් දන්නේ නැහැ.” (මතෙව් 24:36) යේසුස් සර්වබලධාරී දෙවි නොවන බව ඒ වචනවලින් සනාථ වන්නේ කෙසේද?

යේසුස් පැවසුවේ පියා පුත්‍රයාට වඩා බොහෝ දේවල් දන්නා බවයි. යේසුස් සර්වබලධාරී දෙවි වී සිටියා නම් තම පියා දැන සිටි සෑම තොරතුරක්ම ඔහුත් දැන සිටිය යුතුයි. නමුත් යේසුස් පැවසුවේ පියා දන්නා දේවල් ඔහු නොදන්නා බවයි. ඉන් පැහැදිලි වන්නේ පුත්‍රයා පියාට සමාන නැති බවයි. නමුත් සමහරුන් මෙසේ පවසනවා විය හැකියි. ‘යේසුස්ට ස්වරූප දෙකක් තිබුණා. ඒ අවස්ථාවේ ඔහු කතා කළේ මිනිසෙකු ලෙසයි.’ ඔවුන් කියා සිටින දේ සැබෑ නම් ශුද්ධාත්මය ගැන කුමක් කිව හැකිද? පියා මෙන් ශුද්ධාත්මයත් දෙවි නම් පියා දන්නා දේවල් ශුද්ධාත්මයත් දන්නවා කියා යේසුස් ඒ අවස්ථාවේ පැවසුවේ නැත්තේ ඇයි? ශුද්ධාත්මය යන වචනය බොහෝ බයිබල්වල භාවිත කර තිබුණත් එය නිවැරදි පරිවර්තනයක් නොවෙයි. මුල් හෙබ්‍රෙව් හා ග්‍රීක භාෂාවලට අනුව එය “දෙවිගේ බලය” ලෙස පරිවර්තනය කිරීම වඩාත් නිවැරදියි.

ඔබ බයිබලය දිගටම අධ්‍යයනය කරන විට පියා, පුත්‍රයා හා දෙවිගේ බලය පිළිබඳ සත්‍යය ගැන බයිබලයේ පැහැදිලි කර තිබෙන තවත් තොරතුරු හොඳින් තේරුම්ගැනීමට ඔබට හැකි වෙයි.—ගීතාවලිය 90:2; ක්‍රියා 7:55; කොලොස්සි 1:15.

^ 7 ඡේ. ග්‍රීක භාෂාවේ ව්‍යාකරණ රීති යොහන් 1:1හි පරිවර්තනයට බලපාන ආකාරය ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් පළ කරන ලද 2008 නොවැම්බර් 1 ‘මුරටැඹ’ කලාපයේ “යේසුස් සියලු බලැති දෙවිද?” කියන ලිපිය බලන්න.