Skip to content

පටුනට යන්න

5වෙනි පරිච්ඡේදය

දෙවි මිනිසුන්ට දුන් වටිනාම තෑග්ග

දෙවි මිනිසුන්ට දුන් වටිනාම තෑග්ග
  • ජීවිත පූජාවක් අවශ්‍ය වුණේ ඇයි?

  • මිනිසාව ගලවාගැනීමට දෙවි පියවර ගත්තේ කෙසේද?

  • ජීවිත පූජාව නිසා ලබාගත හැකි ප්‍රයෝජන මොනවාද?

  • එය අගය කරන බව ඔබට පෙන්විය හැක්කේ කෙසේද?

1, 2. (අ) ඔබට වටින්නේ මොන වගේ තෑග්ගක්ද? (ආ) අපට දී තිබෙන වටිනාම තෑග්ග කුමක්ද? එය එතරම් වටින්නේ ඇයි?

ඔබට ලැබී තිබෙන තෑගි අතරින් වටිනාම තෑග්ග කුමක්ද? තෑග්ගක් වටිනා එකක් වීමට එය මිල අධික එකක් විය යුතුම නැහැ. ලැබුණු තෑග්ග ගැන ඔබ සතුටට පත් වෙනවා නම් හෝ තෑග්ගක් ලෙස ලැබුණු දේ ඔබට අත්‍යවශ්‍යව තිබූ දෙයක් නම් හෝ ඒ තෑග්ග ඔබට බොහෝ සෙයින් වටිනවා.

2 යෙහෝවා දෙවිත් අපට බොහෝ තෑගි දී තිබෙනවා. ඔහු අපට දී තිබෙන තෑගි අතරින් වටිනාම තෑග්ග වන්නේ ඔහුගේ පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස්. දෙවි ඔහුව පොළොවට එව්වේ මිනිස් වර්ගයා වෙනුවෙන් ඔහුගේ ජීවිතය පූජා කිරීමටයි. (මතෙව් 20:28 කියවන්න.) ඒ ජීවිත පූජාව මගින් කියා නිම කළ නොහැකි ආශීර්වාද භුක්ති විඳීමට ඔබට මඟ විවෘත වන අතර මහත් ප්‍රීතියක් අද්දැකීමටද හැකි වෙනවා. යෙහෝවා දෙවි එවැනි වටිනා තෑග්ගක් මුළු මිනිස් වර්ගයා වෙනුවෙන්ම ලබා දීමෙන් පැහැදිලි වන්නේ ඔහුට මිනිසුන් කෙරෙහි කොතරම් ප්‍රේමයක් තිබෙනවාද යන්නයි.

යේසුස්ගේ ජීවිත පූජාව අවශ්‍ය වුණේ ඇයි?

3. යේසුස්ගේ ජීවිත පූජාව අවශ්‍ය වුණේ ඇයි? එහි වටිනාකම අපට තේරුම්ගත හැක්කේ කෙසේද?

3 යේසුස්ගේ ජීවිත පූජාව අවශ්‍ය වුණේ මිනිස් වර්ගයාව පාපයෙන් හා මරණයෙන් ගලවාගැනීමටයි. (එෆීස 1:7) නමුත් ඔහුගේ ජීවිත පූජාව කොතරම් වටිනවාද කියා තේරුම්ගැනීමට නම් ආදම් පව් කිරීමෙන් අහිමි කරගත් දේ කුමක්ද කියා අප තේරුම්ගත යුතුයි.

4. ආදම් ගත කළේ මොන වගේ ජීවිතයක්ද?

4 යෙහෝවා දෙවි ආදම්ව සෑදූ අවස්ථාවේදී ඔහුට කිසිම අඩුවක් නැති පරිපූර්ණ ජීවිතයක් ලබා දුන්නා. ඉන් අදහස් වන්නේ කවදාවත් අසනීප නොවී, වයසට නොගොස්, මරණය අත් නොදැක ජීවත් වීමට ඔහුට හැකිකම තිබූ බවයි. ඔහු හා යෙහෝවා දෙවි අතර ඉතා කිට්ටු බැඳීමක් තිබුණා. ඒ නිසයි, “ආදම්ගේ පියා දෙවි” කියා බයිබලයේ සඳහන් වන්නේ. (ලූක් 3:38) ඉන් පැහැදිලි වන්නේ ආදරණීය පියෙකු හා පුතෙකු අතර තිබෙන කිට්ටු බැඳීමකට සමාන බැඳීමක් ඔවුන් අතර තිබූ බවයි. දෙවි ආදම් සමඟ කතා කළා. ප්‍රීතිය ලැබිය හැකි කාර්යයන් බොහොමයක් ඔහුට භාර දුන්නා. එමෙන්ම ඔහුගෙන් බලාපොරොත්තු වන දේ ගැන දෙවි පැහැදිලිවම ඔහුට පැවසුවා.—උත්පත්ති 1:28-30; 2:16, 17.

5. දෙවි ආදම්ව සෑදුවේ කුමන හැකියාවන් ඇතුවද?

5 දෙවි ආදම්ව සෑදුවේ, ‘දෙවිගේම ගතිලක්ෂණ ඇතුවයි.’ (උත්පත්ති 1:27) ආදම් බාහිර පෙනුමෙන් දෙවිට සමාන වුණේ නැහැ. මන්ද දෙවිට තිබෙන්නේ අපට වගේ ශරීරයක් නොවෙයි. (යොහන් 4:24) නමුත් ආදම්ට ප්‍රේමය, ප්‍රඥාව, යුක්තිය හා බලය වැනි දෙවිගේ ගතිලක්ෂණ විදහාපෙන්වීමේ හැකියාව තිබුණා. ඔහුට දෙවිගෙන් තවත් වටිනා දෙයක් ලැබුණා. එනම් තීරණ ගැනීමේ නිදහසයි. යම් නිශ්චිත කාර්යයක් කිරීමට සාදා තිබෙන යන්ත්‍රයකට වඩා ආදම් වෙනස් වුණේ ඒ නිසයි. හරි වැරැද්ද අවබෝධ කරගෙන තමන් කළ යුත්තේ කුමක්ද කියා තීරණය කිරීමේ හැකියාව ඔහුට තිබුණා. ඔහු යෙහෝවා දෙවිට කීකරු වෙන්න තීරණය කළා නම් පාරාදීස පොළොවක සැමදා ජීවත් වීමේ ප්‍රස්තාව ඔහුට තිබුණා.

6. ආදම් දෙවිට අකීකරු වීමේ ප්‍රතිඵලය කුමක්ද? එය ඔහුගෙන් පැවතෙන්නන්ට බලපෑවේ කෙසේද?

6 එතරම් වටිනා ජීවිතයක් භුක්ති වින්ද ආදම්ට, ඒ සෑම දෙයක්ම අහිමි වුණේ ඔහු දෙවිට අකීකරු වූ නිසයි. ඔහුට ලැබුණු දඬුවම මරණයයි. (උත්පත්ති 3:17-19) කනගාටුදායක ලෙස ඒ සෑම දෙයක්ම අහිමි වුණේ ඔහුට පමණක් නොවෙයි. ඔහුගෙන් පැවතෙන සියලුදෙනාටත් ඒ දේවල් අහිමි වුණා. “එක් මිනිසෙකු පව් කළ නිසා මුළු මිනිස් වර්ගයාටම පව්කාර ස්වභාවය ඇතුල් විය. එහි ප්‍රතිඵලය මරණයයි. සියලුදෙනා තුළම මෙම පව්කාර ස්වභාවය තිබෙන නිසා මරණය සියලුදෙනාටම උරුම විය” කියා බයිබලයේ සඳහන් වන්නේ ඒ නිසයි. (රෝම 5:12) ආදම්ගෙන් පැවතෙන අප සියලුදෙනාටම පව්කාර ස්වභාවය උරුම වුණා. ආදම් සහ ඔහුගෙන් පැවතෙන සියලුදෙනා පාපයට හා මරණයට “වහල් වී” සිටිනවා කියා බයිබලයේ සඳහන් වන්නේ ඒ නිසයි. (රෝම 7:14) හිතාමතාම දෙවිට අකීකරු වීමෙන් අත් වූ ප්‍රතිඵලවලින් ගැලවීමට ආදම් සහ ඒවට කිසිම මඟක් තිබුණේ නැහැ. ඉන් අදහස් කරන්නේ ඔවුන්ගෙන් පැවතෙන්නන්ටත් කිසිම බලාපොරොත්තුවක් තබාගත නොහැකි බවද?

7, 8. මිනිස් වර්ගයාව ගලවාගැනීමට අවශ්‍ය වුණේ කුමක්ද?

7 එසේ පැවසිය නොහැකියි. මන්ද ඔවුන්ට බලාපොරොත්තුවක් ලබා දීමට දෙවි පියවර ගත්තා. මිනිස් වර්ගයාව ගලවාගැනීමට අවශ්‍ය වුණේ කුමක්ද? ඔවුන් පාපයට හා මරණයට වහල් වී සිටි නිසා ඔවුන්ව ඉන් ගලවාගැනීමට යම් වන්දියක් ගෙවීමට අවශ්‍ය වුණා. එමෙන්ම ආදම් නැති කරගත් ජීවිතය ඉතා අනර්ඝ වූ නිසා ගෙවන වන්දිය ඊට සමාන වටිනාකමක් තිබිය යුතු වුණා. ඒ ගැන තේරුම්ගැනීමට මේ උදාහරණය ගැන සිතා බලන්න. යම් අනතුරක් සිදු වූ විට අලාභය සිදු වූ පුද්ගලයාට ඒ වෙනුවෙන් වන්දියක් ගෙවිය යුතුයි. ඒ ගෙවන වන්දිය අලාභයට සරිලන වන්දියක් විය යුතුයි.

8 අපට උරුම වූ පව්කාර ස්වභාවයෙන් හා මරණයෙන් අපව ගලවාගැනීම සඳහා සරිලන වන්දියක් ගෙවීමට දෙවි පියවර ගත් ආකාරය දැන් අපි සලකා බලමු. ඒ ගැන දැනගැනීමෙන් ඔබට දෙවි කෙරෙහි මහත් අගයක් ඇති වන බවට සැකයක් නැහැ.

මිනිසාව ගලවාගැනීමට දෙවි පියවර ගත්තේ කෙසේද?

9. ආදම් නැති කරගත් ජීවිතයට නියමිත වන්දිය කුමක්ද?

9 ආදම් නැති කරගත් ජීවිතය කිසිම අඩුවක් නැති පරිපූර්ණ ජීවිතයක් වූ නිසා එය නැවත ලබාගැනීමට පව්කාර ස්වභාවය උරුම කරගත් කිසිම මිනිසෙකුට බැහැ. (ගීතාවලිය 49:7, 8) මන්ද, “ජීවිතයකට ජීවිතයක්” යන දෙවිගේ ප්‍රමිතියට අනුව නැති වූ ජීවිතයට ඊට සරිලන වටිනාකමකින් යුත් ජීවිතයක් දිය යුතුයි. (ද්විතීය කතාව 19:21) එසේනම් ආදම් නැති කරගත් පරිපූර්ණ ජීවිතය වෙනුවෙන් “නියමිත වන්දිය” වන්නේ තවත් පරිපූර්ණ ජීවිතයක් දීමයි. (1 තිමෝති 2:6) දෙවි ඒ සඳහා පියවර ගත් ආකාරය දැන් අපි සලකා බලමු.

10. දෙවි මිනිසුන්ව ගලවාගැනීමට පියවර ගත්තේ කෙසේද?

10 දෙවි මුලින්ම ස්වර්ගයේ සිටි පුත්‍රයෙකුව මිනිසෙකු ලෙස පොළොවට එව්වා. ඔහුට ඒ සඳහා ස්වර්ගයේ සිටි ඕනෑම දේවදූතයෙකුව යොදාගන්න තිබුණා. නමුත් දෙවි ඒ සඳහා යොදාගත්තේ ඔහුට වඩාත්ම කිට්ටුවෙන් සිටි ඔහුගේ එකම පුත්‍රයාවයි. (1 යොහන් 4:9, 10 කියවන්න.) ඒ පුත්‍රයාත් ස්වර්ගයේ ගත කළ ජීවිතය අත්හැර කැමැත්තෙන්ම පොළොවට ආවා. (ෆිලිප්පි 2:7) දෙවි තම බලය මාර්ගයෙන් ආශ්චර්යවත් ලෙස තම පුත්‍රයාව මරියාගේ ගර්භාශයේ වැඩෙන්න සැලැස්වූවා. ඒ නිසයි පව්කාර ස්වභාවය උරුම කර නොගෙන ආදම් හා සමාන පරිපූර්ණ කෙනෙකු ලෙස ඉපදෙන්න යේසුස්ට හැකි වුණේ.—ලූක් 1:35.

ජීවිතය පූජා කර අපව ගලවාගැනීම සඳහා යෙහෝවා දෙවි ඔහුගේ එකම පුත්‍රයාව එව්වා

11. එක් මිනිසෙකුගේ ජීවිතය පූජා කිරීමෙන් මිනිස් වර්ගයාගේම පව්කාර ස්වභාවය නැති කර දැමිය හැක්කේ කෙසේද?

11 දැන් මතු වන ප්‍රශ්නය නම් එක් මිනිසෙකුගේ ජීවිතය පූජා කිරීමෙන් මුළු මිනිස් වර්ගයාගේම පව්කාර ස්වභාවය නැති කිරීමට හැකි වන්නේ කෙසේද යන්නයි. අපි කලින් සලකා බැලූ ආකාරයට මුළු මිනිස් වර්ගයාටම පාපය හා මරණය උරුම වුණේ එක් මිනිසෙකු, එනම් ආදම් කළ පාපය නිසයි. ඒ නිසා මිනිසුන්ව ගලවාගැනීමට ආදම් හා සමාන එක් මිනිසෙකුගේ ජීවිතය පූජා කිරීම ප්‍රමාණවත්. ඒ දේ කිරීමට පුළුවන් වන්නේ පව්කාර ස්වභාවය උරුම කර නොගෙන මේ පොළොවේ ඉපදුණු යේසුස්ට පමණයි. යේසුස්ව “අන්තිම ආදම්” ලෙස බයිබලයේ හඳුන්වා තිබෙනවා. (1 කොරින්ති 15:45) මන්ද ආදම් නැති කරගත් දේ එනම්, සදාකල් ජීවත් වීමේ අයිතිය නැවත මිනිස් වර්ගයාට ලබා දීමට මඟ සැලැස්වූයේ ඔහුයි. යේසුස් පරිපූර්ණ කෙනෙකු වූ නිසාත් ඔහු සෑම අතින්ම දෙවිට කීකරු වූ නිසාත් මිනිසෙකු ලෙස සදාකල් ජීවත් වීමට ඔහුට නිත්‍යානුකූලව අයිතියක් තිබුණා. නමුත් පාපයට හා මරණයට වහල් වී සිටි මිනිසුන්ව ගලවාගැනීමට ඔහු ඒ අයිතිය කැමැත්තෙන්ම කැප කළා.—රෝම 5:19; 1 කොරින්ති 15:21, 22.

12. යේසුස් වින්ද දුක් වේදනාවලින් ඔප්පු කර පෙන්වූයේ මොනවාද?

12 යේසුස්ට තම ජීවිතය පූජා කිරීමට පෙර බොහෝ දුක් වේදනාවලට මුහුණ දීමට සිදු වුණා. ඔහුට කසයෙන් තැළුවා. කණුවක * ඇණ ගසා එල්ලා තැබුවා. බොහෝ වේදනා විඳ අවසානයේදී ඔහු මිය ගියා. (යොහන් 19:1, 16-18, 30) එවැනි වේදනාකාරී මරණයකට මුහුණ දීමට ඔහුට සිදු වුණේ ඇයි? දෙවිගේ සේවකයන් ගැන සාතන් නැඟූ චෝදනාව ඊට සම්බන්ධයි. ඔහු චෝදනා කළේ දුක් පීඩා හමුවේ දෙවිගේ සේවකයන් දෙවිට විශ්වාසවන්තව සිටින්නේ නැහැ කියායි. නමුත් යේසුස්ට බොහෝ දුක් වේදනා විඳින්න සිදු වුණත් මරණය දක්වාම ඔහු දෙවිට විශ්වාසවන්තව සිටියා. එමගින් සාතන් නැඟූ ඒ චෝදනාව බොරු බව යේසුස් ප්‍රබල ලෙස ඔප්පු කර පෙන්වූවා. එමෙන්ම තීරණ ගැනීමේ නිදහස තිබෙන පරිපූර්ණ කෙනෙකුට සාතන් මොන තරම් පීඩා ගෙනාවත් ඔහුට දිගටම විශ්වාසවන්තව සිටිය හැකි බව යේසුස් ඔප්පු කළා. එලෙස විශ්වාසවන්තව සිටි තම පුත්‍රයා ගැන යෙහෝවා දෙවි මොන තරම් සතුටු වන්න ඇද්ද!—හිතෝපදේශ 27:11.

13. මිනිසාව ගලවාගැනීමට ගෙවිය යුතු වන්දිය යේසුස් ගෙව්වේ කෙසේද?

13 ක්‍රිස්තු වර්ෂ 33 නීසාන් යන යුදෙව් මාසයේ 14වෙනිදා කිසිම පාපයක් නොකළ තම පුත්‍රයාව මරණයට පත් කිරීමට දෙවි තම සතුරන්ට ඉඩහැරියා. එසේ යේසුස් ඔහුගේ ජීවිතය පූජාවක් ලෙස “එක් වරක්” ඔප්පු කළා. (හෙබ්‍රෙව් 10:10) ඔහු මිය ගොස් දින තුනකට පසු යෙහෝවා දෙවි ඔහුව ස්වර්ගයේ ජීවත් වීම සඳහා නැවත නැඟිට්ටෙව්වා. ඉන් දින 40කට පසු ඔහු දෙවි ඉදිරියේ පෙනී සිටියා. ඉන් පැහැදිලි වුණේ මිනිසාව ගලවාගැනීමට ගෙවිය යුතු වූ වන්දිය ඒ වන විට යේසුස් ගෙවා තිබූ බවයි.—හෙබ්‍රෙව් 9:24; රෝම 3:23, 24 කියවන්න.

යේසුස්ගේ ජීවිත පූජාවෙන් ඔබට ලබාගත හැකි ප්‍රයෝජන

14, 15. “අපේ වැරදිවලට සමාව” ලබාගැනීමට නම් අප කළ යුත්තේ මොනවාද?

14 අප පාපය උරුම කරගෙන සිටියත් යේසුස්ගේ ජීවිත පූජාව නිසා මිල කළ නොහැකි ආශීර්වාද අපට භුක්ති විඳිය හැකියි. දෙවි අපට දී තිබෙන ඒ උතුම් තෑග්ග නිසා දැනුත් අනාගතයේදීත් භුක්ති විඳින ආශීර්වාද කිහිපයක් ගැන අපි දැන් සලකා බලමු.

15 පව්වලට සමාව. වැරදි කිරීමේ නැඹුරුවාව අපට උරුම වී තිබෙන නිසා හරි දෙය කිරීමට ලොකු සටනක් කරන්න අපට සිදු වෙනවා. අප කරන කියන දේවලින් බොහෝවිට අප අතින් වැරදි සිදු වුණත් යේසුස්ගේ ජීවිත පූජාවෙන්, “අපේ වැරදිවලට සමාව” ලබාගත හැකියි. (කොලොස්සි 1:13, 14) නමුත් මේ කාරණා අපි මතකයේ තබාගත යුතුයි. එනම් අපේ වැරදිවලට සමාව ලබාගැනීමට නම් අප අවංකවම පසුතැවිලි විය යුතු බවයි. එමෙන්ම සමාව ලබාගත හැකි එකම මාර්ගය යේසුස්ගේ ජීවිත පූජාව බව විශ්වාස කරමින් යටහත්ව දෙවිගෙන් සමාව ඉල්ලා කන්නලව් කළ යුතු බවත් මතකයේ තබාගත යුතුයි.—1 යොහන් 1:8, 9 කියවන්න.

16. දෙවි ඉදිරියේ නිදොස් හෘදය සාක්ෂියක් ඇතුව සිටීමට අපට හැක්කේ කෙසේද? නිදොස් හෘදය සාක්ෂියක් ඇතුව සිටීමේ ප්‍රතිඵල මොනවාද?

16 දෙවි ඉදිරියේ නිදොස් හෘදය සාක්ෂියක්. අප අතින් යම් වරදක් සිදු වූ විට ඒ ගැන අපේ සිත, එනම් අපේ හෘදය සාක්ෂිය අපට දොස් කියනවා. ඒ නිසා අපි බොහෝවිට කලකිරීමට පත් වෙනවා. නමුත් යේසුස්ගේ ජීවිත පූජාවෙන් අපේ වැරදිවලට සමාව ලබාගත හැකි නිසා දැන් වුණත් නිදොස් හෘදය සාක්ෂියක් ඇතුව දෙවිට නමස්කාර කිරීමේ අවස්ථාව අපට ලැබී තිබෙනවා. (හෙබ්‍රෙව් 9:13, 14) එමනිසා කිසි බියක් සැකක් නැතුව දෙවිට යාච්ඤා කර ඔහුට ළං වෙන්න අපට පුළුවන්. (හෙබ්‍රෙව් 4:14-16) එහි ප්‍රතිඵලයක් ලෙස සමාදානය හා සතුට අපට අද්දැකීමට හැකි වන අතර අප ගැනම හොඳ හැඟීමක් අපට ඇති කරගත හැකියි. එමනිසා නිතරම අපේ හෘදය සාක්ෂිය දෙවි ඉදිරියේ නිදොස්ව තබාගැනීමට උත්සාහ දරමු.

17. යේසුස්ගේ ජීවිත පූජාව නිසා අපට ලැබෙන ආශීර්වාද මොනවාද?

17 සදාකල් ජීවත් වීමේ බලාපොරොත්තුව. “ඇත්තෙන්ම අපේ පව්කාර ස්වභාවයට ගෙවිය යුතු කුලිය මරණයයි. නමුත් අපේ ස්වාමීන් වන ක්‍රිස්තුස් යේසුස් මාර්ගයෙන් දෙවි අපට ලබා දෙන තෑග්ග නම් සදාකාල ජීවනයයි” කියා රෝම 6:23හි පවසා තිබෙනවා. පාරාදීස පොළොවේදී භුක්ති විඳීමට තිබෙන ආශීර්වාද ගැන අප තුන්වෙනි පරිච්ඡේදයේදී ඉගෙනගත්තා ඔබට මතක ඇති. (එළිදරව් 21:3, 4) සදාකල් ජීවත් වීම ඇතුළු ඒ සියලුම ආශීර්වාද භුක්ති විඳීමේ බලාපොරොත්තුව අපට ලැබුණේ යේසුස් අප වෙනුවෙන් තම ජීවිතය පූජා කළ නිසයි. එම ආශීර්වාද භුක්ති විඳීමට නම් යේසුස්ගේ ජීවිත පූජාව ඔබ අගය කරන බව පෙන්විය යුතුයි.

යේසුස්ගේ ජීවිත පූජාව අගය කරන බව ඔබට පෙන්විය හැක්කේ කෙසේද?

18. යේසුස්ගේ ජීවිත පූජාව අප බොහෝ සෙයින් අගය කළ යුත්තේ ඇයි?

18 යේසුස්ගේ ජීවිත පූජාව අප බොහෝ සෙයින් අගය කළ යුත්තේ ඇයි? උදාහරණයකට අපට තෑග්ගක් දුන් කෙනෙක් ඒ තෑග්ග දීම සඳහා ලොකු පරිත්‍යාගයක් කර ඇති බව අප දැනගත් විට අපට ඔහු ගැන මහත් අගයක් නිතැතින්ම ඇති වෙනවා. මන්ද ඒ තැනැත්තාට අප ගැන කොතරම් ප්‍රේමයක් තිබෙනවාද කියා ඉන් අපට වැටහෙනවා. අප වෙනුවෙන් ජීවිතය පූජා කිරීම සඳහා ඔහුගේ එකම පුත්‍රයාව පොළොවට එවීමෙන් යෙහෝවා දෙවි කළෙත් ලොකු පරිත්‍යාගයක්. දෙවිට මිනිස් වර්ගයා කෙරෙහි කොතරම් ප්‍රේමයක් තිබෙනවාද කියා ඉන් පැහැදිලි වෙනවා. ඒ නිසයි, “දෙවි මුළු ලෝකයටම කොතරම් ප්‍රේම කළාද කියනවා නම් ඔහු තමාගේ එකම පුත්‍රයාව ඔවුන් වෙනුවෙන් ලබා දුන්නා” කියා යොහන් 3:16හි සඳහන් වන්නේ. ඉන් දෙවිට මිනිසුන් කෙරෙහි තිබෙන මහත් ප්‍රේමය පමණක් නොව කැමැත්තෙන්ම ජීවිතය පූජා කළ යේසුස්ටත් මිනිසුන් කෙරෙහි කොතරම් ප්‍රේමයක් තිබෙනවාද කියා පැහැදිලි වෙනවා. (යොහන් 15:13 කියවන්න.) ඇත්තෙන්ම අපට ලැබී තිබෙන ඒ වටිනා තෑග්ගෙන් පෙනී යන්නේ යෙහෝවා දෙවිත් ඔහුගේ පුත්‍රයාත් අප එක් එක් කෙනාට බොහෝ සෙයින් ප්‍රේම කරන බවයි.—ගලාති 2:20.

යේසුස්ගේ ජීවිත පූජාව අගය කරන බව පෙන්විය හැකි ආකාරයක් වන්නේ යෙහෝවා දෙවිව හොඳින් දැන හඳුනා ගැනීමයි

19, 20. යේසුස්ගේ ජීවිත පූජාව අගය කරන බව පෙන්විය හැකි ආකාර දෙකක් සඳහන් කරන්න.

19 යේසුස්ගේ ජීවිත පූජාව අගය කරන බව ඔබට පෙන්විය හැක්කේ කෙසේද? ඒ සඳහා මුලින්ම යේසුස්ව මේ පොළොවට එවීමට පියවර ගත් යෙහෝවා දෙවිව හොඳින් දැන හඳුනා ගත යුතුයි. (යොහන් 17:3) මේ පොත යොදාගනිමින් දිගටම බයිබලයේ සඳහන් තොරතුරු ඉගෙනගන්නා විට ඔබට පුළුවන් යෙහෝවා දෙවිව හොඳින් දැන හඳුනා ගන්න. එමගින් ඔහු කෙරෙහි ඔබට තිබෙන ප්‍රේමය තව තවත් වැඩි වන බව නිසැකයි. එසේ ඔහුට තිබෙන ප්‍රේමය වැඩි වෙද්දී ඔහු කැමති දේවල් කරන්න ඔබ නිතැතින්ම පෙලඹෙයි.—1 යොහන් 5:3.

20 යේසුස් කෙරෙහි විශ්වාසය තැබිය යුතුයි. යේසුස් ගැන පවසා තිබෙන්නේ, ‘පුත්‍රයා කෙරෙහි විශ්වාසය තබන තැනැත්තාට සදහටම ජීවත් වීමේ ප්‍රස්තාව ලැබෙන’ බවයි. (යොහන් 3:36) යේසුස් කෙරෙහි විශ්වාසයක් තිබෙන බව අපට පෙන්විය හැක්කේ කෙසේද? ඒ සඳහා අප යේසුස්ව විශ්වාස කරනවා කියා පැවසීම පමණක් මදි. මන්ද යාකොබ් 2:26හි පවසන්නේ, “ක්‍රියාවන් නැති විශ්වාසය මිය ගොස් ඇති විශ්වාසයකි” කියායි. එසේනම් යේසුස් කෙරෙහි අපට තිබෙන විශ්වාසය අපේ ‘ක්‍රියාවලින්’ පැහැදිලිව දිස් විය යුතුයි. එසේ කළ හැකි ආකාරයක් වන්නේ අපේ ජීවිතයේ සෑම අවස්ථාවකදීම යේසුස් මෙන් කටයුතු කිරීමයි.—යොහන් 13:15.

21, 22. (අ) යේසුස්ගේ මරණය සිහි කිරීමට අප සහභාගි විය යුත්තේ ඇයි? (ආ) හයවෙනි හා හත්වෙනි පරිච්ඡේදවලදී සලකා බලන්නේ මොනවාද?

21 යේසුස්ගේ මරණය වාර්ෂිකව සිහි කළ යුතුයි. ක්‍රිස්තු වර්ෂ 33 නීසාන් මාසයේ 14වෙනිදා යේසුස් විශේෂ සැමරීමක් හඳුන්වා දුන්නා. එය ඔහුගේ මරණය සිහි කිරීමයි. බයිබලයේ එය හඳුන්වන්නේ, “ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය” ලෙසයි. (1 කොරින්ති 11:20; මතෙව් 26:26-28) යේසුස් එවැනි සැමරීමක් හඳුන්වා දුන්නේ ඔහුගේ ජීවිත පූජාවේ වටිනාකම ගෝලයන්ටත් පසු කාලයකදී සියලුම ක්‍රිස්තියානීන්ටත් මතකයේ තබාගැනීම සඳහායි. “මාව සිහි කිරීමට මේ දේ නොකඩවා කරන්න” යන ආඥාව ඔහු දුන්නේ ඒ නිසයි. (ලූක් 22:19) යේසුස්ගේ මරණය සිහි කිරීමට සහභාගි වන විට යෙහෝවා දෙවි හා යේසුස් අපට පෙන්වා ඇති ප්‍රේමය මතක් කරගැනීමට අපට හැකි වෙනවා. එමනිසා එම සිහි කිරීම අප මහත් අගයකින් යුතුව වාර්ෂිකව සැමරිය යුතුයි. *

22 මිල කළ නොහැකි යේසුස්ගේ ජීවිත පූජාව ගැන අප දෙවිට කොතරම් ස්තුතිවන්ත විය යුතුද! (2 කොරින්ති 9:14, 15) ඔහුගේ ජීවිත පූජාව නිසා මිය ගොස් සිටින අය ගැනත් අපට බලාපොරොත්තුවක් තබාගත හැකියි. ඒ ගැන හයවෙනි හා හත්වෙනි පරිච්ඡේදවලදී සලකා බලමු.

^ 12 ඡේ. වැඩි විස්තර දැනගන්න උපග්‍රන්ථයේ “සැබෑ ක්‍රිස්තියානීන් නමස්කාරයේදී කුරුසය භාවිත නොකරන්නේ ඇයි?” කියන ලිපිය බලන්න.

^ 21 ඡේ. වැඩි විස්තර දැනගන්න උපග්‍රන්ථයේ “දෙවිව ගෞරවයට පත් කරන සැමරීමක් - ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය” කියන ලිපිය බලන්න.