Skip to content

පටුනට යන්න

ඩොමිනිකන් ජනරජය

වර්ධනයත් එක්ක ආපු අභියෝගවලට මුහුණ දීම

වර්ධනයත් එක්ක ආපු අභියෝගවලට මුහුණ දීම

දෙවිගේ කැමැත්ත නම් සෑම තරාතිරමකම සිටින මිනිසුන් ගැලවීම ලැබීමයි

“සෑම තරාතිරමකම සිටින මිනිසුන් ගැලවීම ලැබීමත් සත්‍යය පිළිබඳව නිවැරදි දැනුමක් ලබාගැනීමත්” යෙහෝවා දෙවිගේ කැමැත්තයි. (1 තිමෝ. 2:4) ඒ නිසා දෙවිගේ කැමැත්ත ඉෂ්ට කරන්න ඩොමිනිකන් ජනරජයේ සාක්ෂිකරුවන් ඒ රටේ සෑම තැනකම ඉන්න අයට පණිවිඩය දේශනා කරන්න ඔවුන්ගේ උපරිමය කළා. ඔවුන් හිරගෙවල්වල ඉන්න අයවත් අමතක කළේ නැහැ.

1997දී විශේෂ පුරෝගාමීන් දෙන්නෙක් බයිබල් සත්‍යයන් කියලා දෙන්න හැම සතියකම වාගේ සාන් ක්‍රිස්ටොබාල්වල තියෙන නාකායෝ හිරගෙදරට ගියා. එහිදී ඔවුන්ට මත්ද්‍රව්‍ය ජාවාරම් කරපු නිසා හිරේ හිටිය ග්ලෝරියා කියන කොලොම්බියානු කාන්තාව හම්බ වුණා. ඇගේ වයස අවුරුදු 23යි. ඒ වෙද්දී ඇය නිරපරාදේ හිර දඬුවම් විඳපු සාක්ෂිකාර සහෝදරියක් එක්ක බයිබලය සාකච්ඡා කරලා තිබුණා. ග්ලෝරියාට උත්තර දැනගන්න තවත් ප්‍රශ්න තිබුණු නිසා සහෝදරයන් අපේ ප්‍රකාශන කිහිපයක්ම ඇයට දුන්නා. බයිබලය ඉගෙනගන්න ඇයට තිබුණු ආසාව දැක්ක අනෙක් සිරකරුවනුත් ඒ ගැන හොයලා බලන්න කැමති වුණු නිසා බයිබලය පාඩම් කරන කණ්ඩායම ටිකෙන් ටික වැඩි වුණා.

ඉගෙනගත්ත දේවල් නිසා ග්ලෝරියාගේ ජීවිතය වෙනස් වුණා. 1999දී බව්තීස්ම නොලත් ප්‍රචාරකයෙක් වෙන්න සුදුසුකම් ලබපු ඇය හිරගෙදර ඉන්න අයට දේශනා කරන්න හැම මාසයකම පැය 70කට වඩා වැඩි කාලයක් වැය කළා. ඒ වගේම උනන්දුව දක්වපු සිරකරුවන් 6දෙනෙක්ට ඇය බයිබලය කියලා දුන්නා. 2000දී හොඳ හැසිරීම නිසා ග්ලෝරියාට නිදහස ලැබුණා. කොලොම්බියාවට ගිය ඇය ඉන් ටික කාලයකට පස්සේ පවුලේ අයගේ දැඩි විරුද්ධවාදිකම් මැද 2001දී බව්තීස්ම වුණා.

ග්ලෝරියා සත්‍යය ඉගෙනගත්තේ හිරගෙදරදීයි. ඇය දැන් මහත්තයාත් එක්ක පුරෝගාමි සේවය කරනවා

ඊටපස්සේ පුරෝගාමි සේවය පටන්ගත්ත ග්ලෝරියා වැඩිමහල්ලෙක් විදිහට සේවය කරමින් හිටිය සහෝදරයෙක් එක්ක විවාහ වුණා. ස්ථාවර පුරෝගාමීන් වන ඔවුන් දැන් සේවය කරන්නේ කොලොම්බියාවේ ප්‍රචාරකයන් අඩු ප්‍රදේශයක. දෙවිට කැප වී බව්තීස්ම වෙන්න කිහිපදෙනෙක්ට උදව් කරන්නත් ග්ලෝරියාට පුළුවන් වෙලා තියෙනවා. තමන් යෙහෝවා දෙවිට ගොඩක් ණයගැතියි කියලත් ඒ ණය ගෙවන්න පුළුවන් හොඳම ක්‍රමය අනිත් අයට සත්‍යය කියලා දෙන එකයි කියලත් ග්ලෝරියා කියනවා.

ඒ අද්දැකීමෙන් පේන්නේ ගැලවීම ලබා දෙන සත්‍ය පණිවිඩය හිරකරුවන්ට ලැබෙන එක වළක්වන්න හිරගෙවල්වල යකඩ කූරුවලටවත් බැහැ කියලයි. ශාඛා කාර්යාලයෙන් වෙනත් හිරගෙවල්වල ඉන්න අයටත් බයිබල් සත්‍යයන් කියා දෙන්න බන්ධනාගාර අධිකාරීන්ගෙන් අවසර ඉල්ලුවා. ඒකෙ ප්‍රතිඵලයක් හැටියට සහෝදරයන් 43දෙනෙකුට සහ සහෝදරියන් 6දෙනෙකුට හිරගෙවල් 13කට ගිහින් දේශනා කරන්න පුළුවන් වුණා.

‘කූඩාරමේ තිර රෙදි දිගහැර එහි ලණු දික් කරන්න’

20වෙනි ශතවර්ෂය අගභාගය වෙද්දී ඩොමිනිකන් ජනරජයේ සභා 342ක ප්‍රචාරකයන් 21,684දෙනෙක් ශුභාරංචිය දේශනා කරමින් හිටියා. ඔවුන් බයිබල් පාඩම් 34,380ක් පැවැත්තුවා. 1999දී සිහි කිරීමට පැමිණි සංඛ්‍යාව 72,679යි. මේ වර්ධනයත් එක්කම යෙසායා කියපු වදන් සාක්ෂිකරුවන්ගේ මතකයට නැඟුණා. “ඔබේ කූඩාරම තවත් විශාල කරගන්න. ඔබේ තේජවත් කූඩාරමේ තිර රෙදි දිගහැර හැකි තාක් දුරට එහි සීමා පුළුල් කරන්න. එහි ලණු දික් කරන්න.”—යෙසායා 54:2.

වර්ධනයත් එක්කම ඉඩකඩ තියෙන සමුළු ශාලාවක අවශ්‍යතාවක් මතු වුණා. 1996දී සැන්ටො ඩොමින්ගෝවල තියෙන ශාඛා කාර්යාලයට යාබදව හදපු සමුළු ශාලාව ප්‍රධාන නගරය හා ඒ අවට ඉන්න අයට රැස් වෙන්න ප්‍රමාණවත් වුණා. ඒත් අනිත් පළාත්වල ඉන්න අයට රැස් වෙන්න වියා ගොන්සාලෙස්වල සාදා තිබුණු සමුළු ශාලාව ඉක්මනින්ම අලුත්වැඩියා කිරීමේ හෝ අලුතින්ම ඉදි කිරීමේ අවශ්‍යතාවක් මතු වුණා.

2,500කට රැස් වෙන්න පුළුවන් අලුත් සමුළු ශාලාවක් වියා ගොන්සාලෙස්වල ඉදි කරන්න පාලක මණ්ඩලය 2001දී අනුමැතිය ලබා දුන්නා. ඒ සමඟම දේවසේවා පුහුණු පාසැල (දැන් ශුභාරංචිය ප්‍රකාශ කරන්නන්ගේ පාසැල) පවත්වන්න ගොඩනැඟිල්ලක්ද හදන්න අනුමැතිය ලැබුණා. එය සමුළු ශාලාවට යාබදව හදන්න සැලසුම් කළ අතර එහි පන්ති කාමරයක්, පුස්තකාලයක්, මුලුතැන්ගෙයක්, කෑම කාමරයක් සහ කාමර හදන්න තීරණය කළා. මේ ගොඩනැඟිලි කැප කිරීමේ උත්සවය 2004දී පැවැත්වූ අතර කැප කිරීමේ කතාව දුන්නේ පාලක මණ්ඩලයේ සහෝදරයෙක් වන තියඩෝර් ජැරස්. මේ වෙද්දී ඒ ගොඩනැඟිල්ලේ පාසැල් 15ක් පවත්වලා තියෙනවා.