Skip to content

පටුනට යන්න

ඩොමිනිකන් ජනරජය

තවත් ප්‍රචාරකයන් අවශ්‍යයි

තවත් ප්‍රචාරකයන් අවශ්‍යයි

ගම්බද ප්‍රදේශවලටත් ශුභාරංචිය

කාලයක් යද්දී පීට් පැස්කල්, ඒමොස් සහ බාබ්රා පාකර් යන මිෂනාරිවරුන් ආවා. ඒ වගේම බොලිවියාවෙන් රිචඩ් සහ බෙල්ව ස්ටාඩඩ් හා කොලොම්බියාවෙන් ජෙසී සහ ලින් කැන්ට්වෙල් කියන මිෂනාරි යුවළයන්ද සේවය සඳහා මෙහෙට ආවා. ඒ නිසා දේශනා සේවය තව තවත් වැඩි කරන්න පුළුවන් වුණා. 1973 වෙද්දී නගරවලට අමතරව ගම්බද ප්‍රදේශවලත් දේශනා කරන්න ඔවුන් සැලසුම් යෙදුවා. ගම්බද පැතිවල මාස 2කට සේවය කරන්න ආරාධනා කළාම ස්ථාවර පුරෝගාමීන් 19දෙනෙක් ඒකට ඉදිරිපත් වුණා. 1973 දෙසැම්බර් සිට 1977 ජනවාරි අතර කාලය තුළ දී එතරම් සේවය කරලා නැති හෝ කොහොමටවත් සේවය කරලා නැති ප්‍රදේශවලට පුරෝගාමීන්ව කණ්ඩායම් වශයෙන් යැව්වා.

“අපි පොත් දුන්නාම එයාලා අපිට බිත්තර, කුකුල්ලු, පළතුරු වගේ දේවල් දුන්නා”

ඒ සේවයේ හවුල් වුණු එක් පුරෝගාමියෙක් මෙහෙම කිව්වා. “අපි පළවෙනි දවසේ හැමෝටම බයිබලයේ පණිවිඩය කියලා පොත් පත් දුන්නා. ඊළඟ දවසේ උනන්දුව දක්වපු අයව බලන්න ගියා. ගම්වල අයට එච්චර සල්ලි නැති නිසා අපි පොත් දුන්නාම එයාලා අපිට බිත්තර, කුකුල්ලු, පළතුරු වගේ දේවල් දුන්නා. යෙහෝවා දෙවිට ස්තුතිවන්ත වෙන්න අපි කවදාවත් බඩගින්නේ හිටියේ නැහැ.” ගොඩක් අයට බයිබලයේ තියෙන දෙයක් අහන්න ලැබිලා තිබුණේ එයාලාගේ ජීවිතේ මුල් වතාවටයි. සමහර ආගමික නායකයන් යෙහෝවා කියන්නේ යක්ෂයාටයි කියලා මිනිස්සුන්ට කියලා තිබුණා. ඒ නිසා ඒ අය ගීතාවලිය 83:18 තියෙන “යෙහෝවා නම් වූ ඔබ පමණක් මුළු පොළොවටම මහෝත්තම දෙවි” කියන වචන දැක්කම පුදුම වුණා. සමහර ගම්වල ඉන්න අය ලොකු උනන්දුවක් දක්වපු නිසා ඒ තැන්වල රැස්වීම් තියන්නත් සැලසුම් කළා.

තවත් මිෂනාරිවරුන් සහ අලුත් ශාඛා කාර්යාලයක්

1979 සැප්තැම්බර් මාසයේ ආබිගයිල් පෙරෙස් සහ ඔහුගේ බිරිඳ ජෝර්ජිනා මිෂනාරිවරුන් හැටියට පැමිණි අතර ඔවුන් කළේ චාරිකා සේවයයි. ගිලියද් පාසැලෙන් පුහුණුව ලබපු ටොම් සහ ෂර්ලි ඩීන්ද 1987දී මේ රටට ආවා. ඒ කාලයේදී පෝටෝ රිකෝවලින් ආපු විශේෂ පුරොගාමීන්ගෙනුත් සේවයට ලැබුණේ ලොකු දායකත්වයක්. 1988 අගෝස්තුවලදී ආපු තවත් මිෂනාරි යුවළක් වන්නේ රේනර් සහ ජීන් තොම්සන් යුවළයි.

1989 වෙද්දී ප්‍රචාරකයන්ගේ ගණන 11,081 දක්වා ඉහළ ගියා. ඒ වෙද්දී ප්‍රචාරකයන් බයිබල් පාඩම් 20,494ක් පවත්වමින් හිටිය නිසා අනාගතයේදී ලොකු වර්ධනයක් බලාපොරොත්තු වුණා. ඒ නිසාම මතු වුණු අභියෝගත් තිබුණා. උදාහරණයකට මේ වෙන කල් වැඩකටයුතු සඳහා ශාඛා කාර්යාලය ප්‍රමාණවත් වුණත් 1980 අගභාගයේ ඉඳන් ඇති වුණු වර්ධනයත් එක්කම ඒ ඉඩ පහසුකම් මදි වුණා. ඒ ගැන සහෝදර රේනර් මෙහෙම කිව්වා. “ශාඛා කාර්යාලයේ අපිට තිබුණු ඉඩ පහසුකම් මදි වුණ නිසා ගෙවල් හා ගබඩාවල් කුලියට ගන්න සිද්ධ වුණා.”

ඔහු තවදුරටත් මෙහෙම කිව්වා. “ශාඛා කාර්යාලයක් හදන්න ඉඩමක් හොයාගන්න එක ලේසි වුණේ නැහැ. ඒත් අපි ඉඩමක් හොයනවා කියලා දැනගත්ත ව්‍යාපාරිකයෙක්, එයාගේ ඉඩම් වගයක් තියෙනවා කියලත් එයා ඒවා විකුණන්නේ සාක්ෂිකාරයන්ට විතරයි කියලත් කිව්වා. එයාට ඉස්සර තිබුණු මැහුම් වැඩපොළේ සාක්ෂිකරුවන් කිහිපදෙනෙක්ම වැඩ කරලා තියෙනවා. ඔවුන් හරිම අවංකව වැඩ කරපු නිසා සාක්ෂිකරුවන් ගැන පැහැදිලා හිටපු ඔහු ඉඩම අඩු ගාණකට අපිට දෙන්න කැමති වුණා.” 1988 දෙසැම්බර් මාසයේදී ඒ ඉඩමත් පස්සේ කාලයකදී ඊට යාබද ඉඩම් තුනකුත් ශාඛා කාර්යාලය මිල දී ගත්තා. ඒ නිසා දැන් අක්කර 22ක ඉඩමක ශාඛා කාර්යාලයත් සමුළු ශාලාවත් හදලා තියෙනවා.

ඒ ගොඩනැඟිලි හදන්න පිටරටින් ගොඩක් සහෝදරයන් ඩොමිනිකන් ජනරජයට ආවා. ඒවා 1996 නොවැම්බර් මාසයේ කැප කළ අතර ඒ උත්සවයට පාලක මණ්ඩලයෙන් පැමිණි සහෝදරයන් වන්නේ කැරී බාබර්, තියඩෝර් ජැරස් සහ ගෙරිට් ලෝෂ්. ඒ වගේම ඊළඟ දවසේ විශාල ක්‍රීඩාංගන දෙකක විශේෂ වැඩසටහනකුත් පැවැත්තුවා. අලුතින් ඉදි කළ ගොඩනැඟිලි දැක බලා ගන්න ආපු සංඛ්‍යාව 10,000කට වඩා වැඩියි.

මැසිඩෝනියාවට ගියා වගේ

ඩොමිනිකන් ජනරජයේ සාක්ෂිකරුවන්ගේ ඉතිහාසය ගැන කියද්දී වෙනත් රටවල්වලින් සේවය කරන්න ආපු අය ගැන කිව්වේ නැත්නම් ඒක ලොකු අඩුවක්. මැසිඩෝනියාවේ අවශ්‍යතාවක් තියෙනවා කියලා දැනගත්තාම පාවුල් එහෙට ගියා වගේ ඩොමිනිකන් ජනරජයේ හුඟක් අය බයිබලය ඉගෙනගන්න ආසාවෙන් ඉන්නවා කියලා දැනගත්තාම 1980 අගභාගයේදී වෙනත් රටවල ඉන්න සහෝදර සහෝදරියන්ද එහෙට ආවා. (ක්‍රියා 16:9) එහෙම ආපු අය සේවයෙන් ලබපු ප්‍රීතිය ගැන තවත් අයට කිව්වාම ඒ අයත් එන්න පටන්ගත්තා. ඒ නිසා 1990 වෙද්දී සේවය සඳහා ආපු අයගේ ගණන තවත් වැඩි වුණා.

ඩෙන්මාර්කයෙන් ආපු ස්ටීවන් සහ මීරියම් නොඑයාගේ අද්දැකීම බලන්න. ඔවුන් 2001 ඉඳන් ඩොමිනිකන් ජනරජයේ සේවය කරනවා. මීට කලින් මීරියම්ගේ අක්කා ඩොමිනිකන් ජනරජයේ සේවය කරපු කාලයේදී මීරියම් එයාත් එක්ක අවුරුදු එකහමාරක් විතර සේවය කරලා තියෙනවා. වෙනස් භාෂාවක් සංස්කෘතියක් තියෙන රටකට ඇවිත් සේවය කරන්න ස්ටීවන් හා මීරියම් පෙලඹුණු හේතුව ගැන ඇය මෙහෙම කිව්වා. “අපි දෙන්නගෙම දෙමව්පියෝ විශේෂ පුරෝගාමීන් හැටියට සේවය කරලා තියෙනවා. දරුවෝ හම්බ වුණාට පස්සේ ඒ අය ස්ථාවර පුරෝගාමි සේවය කළා. අම්මලා අපිට හැම තිස්සේම කිව්වේ පූර්ණ කාලීනව දෙවිට සේවය කරන්න කියලයි.”

2006 ඉඳන් විශේෂ පුරෝගාමීන් විදිහට සේවය කරන ස්ටීවන් සහ මීරියම් හුඟදෙනෙක්ට දෙවිට ළං වෙන්න උදව් කරලා තියෙනවා. සේවය ගැන ස්ටීවන් කිව්වේ මෙහෙමයි. “අපි අද්දකින ආශීර්වාද කියලා නිම කරන්න බැහැ. කොච්චර අපහසුකම් තිබුණත් අසනීප හැදුණත් අනිත් අයට දෙවිට ළං වෙන්න උදව් කරද්දී ලැබෙන සතුට එක්ක බැලුවාම ඒවා අපිට ලොකු ප්‍රශ්න නෙමෙයි. දැන් මෙහෙ අපිට හොඳ යාළුවෝ ගොඩක් ඉන්නවා. අපි එක පවුලක අය වගේ. මේ රටේ සේවය කරන නිසා නිහතමානිකම, ඉවසීම වගේ ගුණාංග වර්ධනය කරගන්නත් අපිට පුළුවන් වෙලා තියෙනවා. අපි ගත කරන්නේ සරල ජීවිතයක් නිසා හැම දවසකම යෙහෝවා දෙවි ගැන විශ්වාසය තියලා ජීවත් වෙන්න අපි පුරුදු වුණා.”

ජෙනිෆ ජෝයි සංඥා භාෂාවෙන් කරන සේවයට උදව් කරමින් අවුරුදු 20කට වඩා වැඩි කාලයක් පුරා සේවය කරනවා

ඩොමිනිකන් ජනරජයට සේවය කරන්න ආපු තනිකඩ සහෝදරියන් අතරින් කෙනෙක් තමයි ජෙනිෆ ජෝයි. 1992දී ජෙනිෆ මෙහෙට ආවේ කාලයක් තිස්සේ මිෂනාරි සේවය කරන එයාගේ ලොකු අම්මා ඊඩිත් වයිට්ව බලන්නයි. සේවයේ යද්දී එයාට තේරුණා මේ රටේ ඉන්න හුඟක් අය පණිවිඩය අහන්න ආසයි කියලා. ඒ වගේම සේවය කරන්න තවත් රටවල්වලින් ඇවිල්ලා හිටිය සහෝදරියන්වත් එයාට මුණ ගැහුණා. “මට නං මේ වගේ සේවය කරන්න පුළුවන් වෙයිද කියලා හිතුණත් ‘අනිත් සහෝදරියන්ට පුළුවන් නම් ඇයි මට බැරි’ කියලා මං හිතුවා” කියලා ජෙනිෆ කිව්වා.

මුලින්ම ජෙනිෆ සේවය කරන්න ආවේ එක අවුරුද්දකටයි. ඒත් ඒ අවුරුද්ද ඉවර වුණාම තවත් අවුරුද්දක් ඉඳලා බලනවා කියලා ඇය හිතුවා. එහෙම හිතපු ඇය දැන් අවුරුදු 20ක්ම ඩොමිනිකන් ජනරජයේ සේවය කරලා තියෙනවා. මේ වෙද්දී ඇයට පුළුවන් වෙලා තියෙනවා ගොඩක් බයිබල් ශිෂ්‍යයන්ට යෙහෝවා දෙවිට ළං වෙන්න උදව් කරන්න. ඒ විතරක් නෙමෙයි සංඥා භාෂාවෙන් කරන සේවයටත් ඇය ලොකු දායකත්වයක් ලබා දෙනවා. ඒ වගේම භාෂාව උගන්වන පන්තිවලට විෂය මාලා සකස් කරන්න සහාය වෙන එකත් ඇගෙන් වෙන තවත් සේවයක්.

“යෙහෝවා දෙවි මේ වෙනකම්ම මාව බලාගත්තා නම් ඊළඟ අවුරුද්දෙත් මාව බලාගනියි”

ජෙනිෆ එයාගේ වියහියදම් හොයාගන්නේ කොහොමද? “මම හැම අවුරුද්දකම මගේ රටට ඒ කියන්නේ කැනඩාවට ගිහින් මාස කිහිපයක් වැඩ කරනවා. පහුගිය අවුරුදුවල මං රස්සා කිහිපයක්ම කළා. ඡායාරූප ශිල්පයට සම්බන්ධ වැඩ, තීන්ත ගාන එක, කාර්යාල පිරිසිදු කරන එක, කාපට් හදන එක වගේ දේවල් කළා. ඒ විතරක් නෙමෙයි සංචාරකයන්ට මඟ පෙන්නුවා. ඉංග්‍රීසි ඉගැන්නුවා. භාෂා පරිවර්තනය වගේ දේවලුත් කළා.” ජෙනිෆ එයාව පාළුකරයේ හිටිය ඊශ්‍රායෙල්වරුන්ට සමාන කරමින් මෙහෙම කිව්වා. “ඊශ්‍රායෙල්වරු ජීවත් වුණේ යෙහෝවා දෙවි කියපු දේවල් විශ්වාස කරලා. දෙවි එයාලාව රැකබලා ගන්නවා කියලා වුණු පොරොන්දුව ඒ විදිහටම ඉෂ්ට කළා. දෙවි එයාලට කෑම දුන්නා. එයාලගේ ඇඳුම් පැළඳුම් දිරුවෙත් නැහැ. (ද්වි. 8:3, 4) අපිවත් ඒ විදිහටම බලාගන්නවා කියලා දෙවි පොරොන්දු වෙලා තියෙනවා. (මතෙ. 6:33) දෙවි මේ වෙනකම්ම මාව ඒ විදිහට බලාගත්තා නම් ඊළඟ අවුරුද්දෙත් මාව බලාගනියි කියන එක ගැන මට කිසිම සැකයක් නැහැ.”

එක්සත් ජනපදය, ඔස්ට්‍රියාව, ජපානය, තායිවානය, පෝලන්තය, පෝටෝ රිකෝ, රුසියාව, ස්පාඤ්ඤය සහ ස්වීඩනය වගේ රටවල් 30කින් සහෝදර සහෝදරියන් 1,000ක් විතර ඩොමිනිකන් ජනරජයේ සේවය කරන්න ආවා. ඔවුන් ඇමරිකානු සංඥා භාෂාව, ඉතාලි, ඉංග්‍රීසි, චීන, රුසියානු, ස්පාඤ්ඤ හා හයිටි ක්‍රියෝල් වගේ භාෂාවන් කතා කරන සභාවලට උදව් කරනවා. ඔවුනුත් හරියට “බලන්න, අපි සියල්ල අත්හැර ඔබ අනුව ආවා” කියලා කියපු පේතෘස් වගෙයි.—මාක් 10:28.