Skip to content

පටුනට යන්න

පවුලේ සතුටට මඟ පෙන්වීම්

පවුලේ සතුටට මඟ පෙන්වීම්

විවාහය සහ දරුවන් කියන්නේ අපේ නිර්මාතෘගෙන් අපිට ලැබිලා තියෙන වටිනා තෑගි. ඔහු කැමති අපි සතුටින් පවුල් ජීවිතය ගත කරනවා දකින්න. ඒ නිසා පැරණි ශුද්ධ පොතක පවුල් ජීවිතය සතුටින් ගත කරන්න උදව් වෙන මඟ පෙන්වීම් ඔහු දීලා තියෙනවා. ඒවායින් කීපයක් ගැන දැන් අපි බලමු.

ස්වාමිපුරුෂයෙනි, භාර්යාවට ආදරේ කරන්න

“ස්වාමිපුරුෂයන්ද තම ශරීර ගැන සැලකිලිමත් වෙනවා වගේ තම භාර්යාවන්ට ප්‍රේම කළ යුතුයි. තම භාර්යාවට ප්‍රේම කරන තැනැත්තා තමාටම ප්‍රේම කරන බව කිව හැකියි. මන්ද කිසි මිනිසෙක් කිසිදාක තමාගේම ශරීරයට වෛර කළේ නැත. ඒ වෙනුවට ඔහු තම ශරීරයට අවශ්‍ය පෝෂණය සහ සැලකිල්ල මහත් ආදරයකින් ලබා දෙයි. එය ක්‍රිස්තුස් සභාව වෙනුවෙන් දක්වන සැලකිල්ලට සමාන සැලකිල්ලක් විය යුතුයි.”—එෆීස 5:28, 29.

සැමියා තමයි පවුලේ මූලිකයා. (එෆීස 5:23) හොඳ පවුල් මූලිකයෙක් බිරිඳට නපුරු විදිහට සලකන්නේ නැහැ. හැම තිස්සෙම තමන් කියන විදිහට දේවල් කරන්න කියලා එයාට බල කරන්නෙත් නැහැ. (ෆිලිප්පි 2:4) ඒ වෙනුවට එයා බිරිඳට ඕන කරන දේවල් දීලා බිරිඳව ආදරෙන් බලාගන්නවා. එයාට ඕනෙ බිරිඳව සතුටින් තියන්න. ආදරණීය සැමියෙක් එයාගේ හිතේ තියෙන දේවල් බිරිඳට කියනවා. බිරිඳ දෙයක් කියද්දී හොඳින් ඇහුම්කන් දෙනවා. ඒ වගේ සැමියෙක් කේන්ති අරන් බිරිඳට ගහන්නෙවත් එයාගේ හිත පෑරෙන විදිහට කතා කරන්නෙවත් නැහැ.—කොලොස්සි 3:19.

භාර්යාවෙනි, ස්වාමිපුරුෂයාට ගෞරව කරන්න

“භාර්යාව තම ස්වාමිපුරුෂයාට ගැඹුරු ගෞරවයක් දැක්විය යුතුයි.”—එෆීස 5:33.

බිරිඳක් සැමියාට ගෞරව කරනවා නම්, සැමියා ගන්න තීරණවලට උපරිමෙන් සහයෝගය දෙනවා නම් එයාලගේ පුංචි කැදැල්ල සතුටින් පිරුණු එකක් වෙයි. ඒ වගේ බිරිඳක් සැමියාගේ අතින් වරදක් වෙද්දී සැමියාව පහත් කරන්නේ නැහැ. ඒ වෙනුවට එයා දිගටම සැමියාට ගෞරවෙන් සලකනවා. (1 පේතෘස් 3:4) මොකක් හරි ප්‍රශ්නයක් ගැන සැමියාත් එක්ක කතා කරන්න ඕන වුණාම ඒකට සුදුසු වෙලාවක් බලලා, හරිම ගෞරවෙන් තමයි ඒ ගැන කතා කරන්නේ.—දේශනාකාරයා 3:7.

විශ්වාසය බිඳින්න එපා

‘මිනිසෙක් තම බිරිඳට ඇලුම් වන්නේය. ඔවුහු දෙදෙනා එක් කෙනෙකු මෙන් වන්නෝය.’—උත්පත්ති 2:24.

දෙන්නෙක් විවාහ වුණාට පස්සේ එයාලා අතර හරිම කිට්ටු බැඳීමක් ඇති වෙනවා. ඒ බැඳීම රැකගන්න දෙන්නාම ගොඩක් මහන්සි වෙන්න ඕනේ. එකිනෙකාව සතුටින් තියන්න පුංචි පුංචි දේවල් කරන එක, දෙන්නා අතර හොඳ කතාබහක් තියෙන එක පවුල් බැඳීම දිගටම ශක්තිමත්ව තියාගන්න ගොඩක් උදව් වෙනවා. හොඳ සහකරුවෙක් තව කෙනෙක් එක්ක ලිංගික සම්බන්ධකම් පවත්වලා තමන්ගේ බිරිඳව, සැමියාව රිද්දන්න හීනෙකින්වත් හිතන්නේ නැහැ. මොකද ඒකෙන් දෙන්නා අතර තියෙන විශ්වාසය, බැඳීම දෙදරලා යනවා කියලා එයා දන්නවා.—හෙබ්‍රෙව් 13:4.

දෙමාපියෙනි, දරුවන්ව පුහුණු කරන්න

“දරුවෙකුට හරි මඟෙහි යෑමට අවශ්‍ය පුහුණුව ලබා දෙන්න. එවිට ඔහු වයසට ගිය පසුත් එයින් අහක්ව යන්නේ නැත.”—හිතෝපදේශ 22:6.

දරුවන්ව පුහුණු කරන වගකීම දෙවියන් දීලා තියෙන්නේ දෙමාපියන්ට. ඒකට දරුවන් හැසිරෙන්න ඕනෙ කොහොමද කියලා උගන්වන එක ඇතුළත්. ඒ වගේම එයාලගේ ආදර්ශයෙන් උගන්වන එකත් ඇතුළත්. “මා අද ඔබට කියා දෙන මේ වචන හොඳින් සිතේ තබාගන්න. ඒවා ඔබේ දූපුතුන්ගේ සිත්වලට කාවද්දන්න. නිවසේ සිටින විටත් ගමන්බිමන් යන විටත් විවේක සුවයෙන් සිටින විටත් අවදි වන විටත් ඔබ ඒ දේවල් ගැන කතා කරන්න.” (ද්විතීය කතාව 6:6, 7) දරුවන් අකීකරු වෙද්දී ඥානවන්ත දෙමාපියන් කේන්ති ගන්නේ නැහැ. ඒ වගේ අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් ඇහුම්කන් දෙන්න ඉක්මන් වෙනවා. කතා කරන්න ප්‍රමාද වෙනවා. කෝප වෙන්නත් ප්‍රමාද වෙනවා. (යාකොබ් 1:19) දරුවන්ව හික්මවන්න ඕනෙ කියලා එයාලා දන්නවා. හැබැයි එයාලා ඒක කරන්නේ ආදරෙන් මිසක් කේන්තියෙන් නෙවෙයි.

දරුවෙනි, දෙමාපියන්ට කීකරු වෙන්න

‘දරුවෙනි, ඔබේ දෙමාපියන්ට කීකරු වන්න. ඔවුන්ට ගෞරව කරන්න.’—එෆීස 6:1, 2.

දරුවන් දෙමාපියන්ට කීකරු වෙන්න ඕනේ. එයාලට ගරු කරන්න ඕනේ. දරුවන් දෙමාපියන්ට ගෞරවෙන් සලකද්දී එයාලා අතර තියෙන සතුට, එකමුතුකම තවත් වැඩි වෙනවා. දරුවන් වැඩිහිටියන් වුණාට පස්සේ මහලු වයසේ ඉන්න දෙමාපියන්ව ආදරෙන් රැකබලා ගන්න ඕනේ. එයාලගේ ගේදොර සුද්ද පවිත්‍ර කරන්න සහ නඩත්තු කරන්න උදව් කරන එක, එයාලගේ අවශ්‍යතාවයන් ගැන හොයලා බලන එක ඒකට ඇතුළත්.—1 තිමෝති 5:3, 4.