Skip to content

පටුනට යන්න

මැරුණා නම් හොඳයි කියලා හිතෙද්දී

මැරුණා නම් හොඳයි කියලා හිතෙද්දී

බ්‍රසීලයේ ඉන්න ඒඩ්‍රියානා මෙහෙම කියනවා. “දරාගන්න බැරි වේදනාවක් දැනුණු නිසා ජීවිතේ නැති කරගත්තා නම් හොඳයි කියලා මට හිතුණා.”

කවදා හරි ඔයාටත් හිතිලා තියෙනවාද මැරිලා ගියා නම් හොඳයි කියලා? එහෙනම් ඒඩ්‍රියානාට හැඟුණු විදිහ තේරුම්ගන්න ඔයාට පුළුවන් වෙයි. මානසික අවපීඩනය නිසා එයාට ලොකු කනස්සල්ලක්, දුකක්, හිස්කමක් දැනිලා තියෙනවා.

මහලු වයසේ ඉන්න තමන්ගේ දෙමාපියන්ව බලාගත්ත ජපානයේ කාඕරු කියපු දේ බලන්න. “ඒ කාලේ රස්සාව නිසා මං හොඳටම හෙම්බත් වෙලයි හිටියේ. කාලයක් යද්දී මට කෑමත් එපා වුණා. හරියට නින්ද ගියෙත් නෑ. මැරිලා ගියා නම් මේ හැම දේකින්ම මං නිදහස්නේ කියලා මට හිතුණා.”

නයිජීරියාවේ ඉන්න ඕජෙබෝඩි මෙහෙම කියනවා. “මං දුකින් හිටිය නිසා හැම වෙලේම මට ඇඬුණා. ජීවිතේ නැති කරගන්න විදිහක් මං හෙව්වා.” ඕජෙබෝඩි, කාඕරු සහ ඒඩ්‍රියානා ජීවිතේ නැති කරගත්තේ නැහැ. ඒත් හැම අවුරුද්දකම සියදහස් ගණනක් ජීවිතේ නැති කරගන්නවා.

උදව් ලබාගන්න පුළුවන් කොහෙන්ද?

වැඩියෙන්ම ජීවිතය නැති කරගන්නේ පිරිමි අය. ඒ අය අතරින් වැඩිදෙනෙක් ලැජ්ජාව නිසා කාගෙන්වත් උදව් අරන් නැහැ. රෝගීන් වෛද්‍යවරයෙක් ළඟට යන එක හොඳයි කියලා යේසුස් කියපු දේකින් පැහැදිලි වෙනවා. (ලූක් 5:31) ඒ නිසා ජීවිතය නැති කරගන්න ඔයාට හිතෙනවා නම් උදව් ඉල්ලන්න අදිමදි කරන්න එපා. මානසික අවපීඩනයෙන් පෙළෙන හුඟක් අය වෛද්‍ය ප්‍රතිකාරවලින් සුවයක් ලබලා තියෙනවා. ඕජෙබෝඩි, කාඕරු සහ ඒඩ්‍රියානා දැන් ලොකු සහනයක් අද්දකින්නේ ප්‍රතිකාර ලබාගත්ත නිසයි.

රෝගියෙක්ට සුදුසු වෙන්නේ බෙහෙත් දෙන එකද, එයා එක්ක කතා කරලා ඕන කරන මඟ පෙන්වීම් දෙන එකද (මානසික උපදේශනය) නැත්නම් ඒ ක්‍රම දෙකම අනුගමනය කරන එකද කියලා වෛද්‍යවරයෙක් තීරණය කරයි. ඒ වගේ රෝගියෙක්ට පවුලේ අයගෙත් යාළුවන්ගෙත් ආදරය, සැලකිල්ල ඕනේ. අපිට ඉන්න පුළුවන් හොඳම යාළුවා යෙහෝවා දෙවියන්. බයිබලය මාර්ගයෙන් ඔහු අපිට සහනයක් ලබා දෙනවා.

සැබෑ විසඳුමක් ලැබෙයිද?

මානසික අවපීඩනයෙන් පෙළෙන කෙනෙක්ට කාලයක් තිස්සේ ප්‍රතිකාර ගන්නත් ජීවිතයේ සමහර පුරුදු වෙනස් කරගන්නත් සිද්ධ වෙයි. හැබැයි ඒ වගේ කෙනෙක්ට වුණත් අනාගතය ගැන ප්‍රීතිමත් බලාපොරොත්තුවක් ඇතුව ඉන්න පුළුවන්. ඕජෙබෝඩි මෙහෙම කියනවා. “මං හරිම ආසාවෙන් බලාගෙන ඉන්නේ යෙසායා 33:24 කියන විදිහට කිසිම කෙනෙක් ‘මා ලෙඩින්’ කියලා කියන්නේ නැති කාලය එන කල්.” ඔයාත් මානසික අවපීඩනයෙන් පීඩා විඳිනවා නම් කිසිම ‘වේදනාවක්’ නැති කාලයක් ගැන බයිබලයේ තියෙන පොරොන්දුවෙන් සැනසීමක් ලබාගන්න ඔයාටත් පුළුවන්. (එළිදරව් 21:1, 4) ඒ පොරොන්දුවට අනුව අනාගතයේදී කිසිම කෙනෙක් ශාරීරිකවවත් මානසිකවවත් වේදනා විඳින්නේ නැහැ. මේ කාලේදී විඳින්න වුණු වේදනාකාරී අද්දැකීම් ‘කිසි දිනක මතකයට නැඟෙන්නේවත් නැහැ.’—යෙසායා 65:17.