Skip to content

පටුනට යන්න

සයුරෙන් බිහි වූ අසිරිමත් ලෝකයක්!

සයුරෙන් බිහි වූ අසිරිමත් ලෝකයක්!

සයුරෙන් බිහි වූ අසිරිමත් ලෝකයක්!

මෙක්සිකෝවේ පිබිදෙව්! ලේඛක විසින්

මෙක්සිකෝවත් බජා කැලිෆෝනියාවත් අතර පිහිටා තිබෙන නිල්කැට වන් ජලයෙන් පිරුණු සුන්දර ප්‍රදේශය නම් කර ඇත්තේ ගල්ෆ් බොක්ක ලෙසයි. මෙම ස්ථානය ආශ්‍රිතව බොහෝ වියළි බිම් හා ගල්පර දක්නට ලැබෙන අතර යුනෙස්කෝ සංවිධානය එය ලෝක උරුමයක් ලෙස නම් කර තිබෙනවා. එය එතරම්ම විශේෂ වන්නේ ඇයි?

දිගින් කිලෝමීටර් 1,000ක් සහ පළලින් කිලෝමීටර් 153කින් යුත් මෙම ගල්ෆ් බොක්ක සහ ඒ අවට ප්‍රදේශ ආකර්ෂණීය මෙන්ම ජලජ ජීවීන්ට තෝතැන්නක්. ගල්ෆ් බොක්ක ලොව විශාලතම මුහුදු රළවල් දක්නට ලැබෙන ප්‍රදේශයක් නිසා එහි ජල මට්ටම විශාල ලෙස වෙනස්වීම්වලට ලක් වෙනවා. එහි උතුරු ප්‍රදේශය ආසන්නයේ මුහුදු රළ මීටර් නවයක් දක්වා ඉහළ නඟින අවස්ථාද තිබෙනවා. එමෙන්ම මෙම ප්‍රදේශයට නොඅඩුව ලැබෙන හිරු එළිය නිසාත් දියවැල් ගහණව පවතින නිසාත් එහි තිබෙන ජලය පෝෂ්‍ය පදාර්ථවලින් අනූනයි. මේ නිසා මෙහි විවිධ ජලජ ජීවීන්ද ජලය මතුපිට පාවෙන ක්ෂුද්‍ර ජීවීන් හා ශාකද (ප්ලවාංග) බොහෝ සෙයින් දැකගන්න පුළුවන්. ගල්ෆ් බොක්කේ තිබෙන මේ විවිධත්වය හා බොහෝ තැන්වල දක්නට තිබෙන නිල් කැටවන් ජලය නිසා ගවේෂකයෙක් වන ෂාකීෆ් කුස්ටෝ එම ප්‍රදේශය මසුන්ගේ සුන්දර ලොව ලෙස හඳුන්වා තිබෙනවා.

විවිධ මත්ස්‍යය විශේෂ 890කට වඩා වැඩි ගණනක් එහි දක්නට ලැබෙන අතර ගල්ෆ් බොක්කටම අවේණික මත්ස්‍ය විශේෂ 90කට ආසන්න ගණනක් එහි වෙසෙනවා. මත්ස්‍යයින් පිළිබඳව අධ්‍යයනය කරන අයට නම් මෙය සොබාදහමෙන් ලද විද්‍යාගාරයක්. නමුත් කනගාටුවට කරුණක් වන්නේ බොහෝ මත්ස්‍යය විශේෂ වඳ වෙමින් යෑමයි. තල්මසුගේ පවුලට අයත් පුංචිම මත්ස්‍ය වර්ගය එවන් එක් විශේෂයක්. ස්පාඤ්ඤය භාෂාවෙන් පුංචි ගවයා යන අරුත ඇති මෙම පුංචි හැඩකාරයාව නමින් වාකීටා ලෙස හඳුන්වනවා.

අළු හෝ ලා දුඹුරු පැහැයකින් යුත් වාකීටා ආසන්න වශයෙන් සෙන්ටිමීටර් 150ක් පමණ දිගයි. මෙම හැඩකාරයාගේ ඇස් වටා කලු පැහැති තිත් දැකගන්න පුළුවන්. උන් වැඩි වශයෙන් සිටින්නේ කොලරාඩෝ ගංගාවේ මුවදොර අසල නොගැඹුරු ජලයේයි. වර්ෂ 1958දී උන්ගේ හිස් කබල් තුනක් බජා කැලිෆෝනියා වෙරළෙන් හමුවන තෙක් කිසිවෙක් උන් ගැන දැන සිටියේ නැත්තේ මේ ලැජ්ජාකාරයන් එළි පෙහෙළියට එන්න එතරම් කැමැත්තක් නොදක්වන නිසා විය හැකියි.

මෙම මසුන්ගේ ගණන ක්‍රමක්‍රමයෙන් අඩු වී ගෙන යන අතර 600කට වඩා අඩු ගණනක් දැනට මෙහි වෙසෙන බව ගණන් බලා තිබෙනවා. කෙසේවෙතත් සෑම වසරකම ධීවරයින් විසින් මෙම මත්ස්‍යයින්ව සැලකිය යුතු ප්‍රමාණයක් අල්ලාගැනීම කනගාටුවට කරුණක්. වාකීටා ඇතුළුව අනිකුත් වඳ වී ගෙන යන මත්ස්‍යයන්ව ආරක්ෂා කිරීමේ අරමුණින් මධ්‍යස්ථානයක් මෙක්සිකෝවේ පිහිටුවා තිබෙනවා. මෙම සුන්දර ගල්ෆ් බොක්කේ වාකීටාට අමතරව දාර කැස්බෑවන් හා තල්මසුන්, මුහුදු සිංහයින්, කෙලවල්ලන්, තලපත්, තෝරු වැනි මත්ස්‍යය රාශියක් දැකගන්න ලැබෙනවා.

ගල්ෆ් බොක්කේ සිටින අසාමාන්‍ය කුඩා ජීවී විශේෂයක්ද විද්‍යාඥයින් විසින් සොයාගෙන තිබෙනවා. මෙම ජීවීන් වෙසෙන්නේ මීටර් 2,000ක් පමණ ගැඹුරින් යුත් ග්වයිමාස් නම් ආගාධයේයි. උන් ශක්තිය (හයිඩ්‍රිජන් සල්ෆියඩ්) ලබාගන්නේ භූ තල අතරින් උණුසුම් ජලය විහිදෙන ස්ථානවලින් මිස හිරු එළියෙන් නම් නොවෙයි. මෙම ස්ථානයේ නාල පණු විශේෂයක්ද සිටිනවා. උන්ට මුඛයවත් උදරයවත් නැහැ. උන්ගේ පැවැත්මට දායක වන බැක්ටීරියා විශේෂයක් උන්ගේ ශරීරය තුළ සිටින අතර ඔක්සිජන් ලබාගැනීමට උන් සතු රතු පැහැති පිහාටු වර්ගයක් උපකාරවත් වෙනවා. උන් ජීවත් වෙන්නේ පඳුරක් ආකාරයටයි. උන්ගේ අග කොටස මුහුදු පතුළට සම්බන්ධ වී තිබෙන අතර ශීත ජලය තිබෙන තැන්වල සිට උණුසුම් ජලය ලබාගැනීම සඳහා ඒ මේ අත වැනෙමින් උන් ජීවත් වෙනවා.

ගල්ෆ් බොක්කේ අනාගතය කුමක් වෙයිද? එහි ජෛව විවිධත්වය ටිකෙන් ටික අඩු වී ගෙන ගියත් එයට සුරක්ෂිත අනාගතයක් තිබෙන බවට සහතිකයි. ඒ එහි නිර්මාතෘ වන දෙවි ඔහුගේ මෙම නිර්මාණය ගැන මහත් සේ සැලකිලිමත් වන නිසයි. දෙවි පොළොවේ සුන්දරත්වයට හානි සිදු කරන සෑම දෙයක්ම නැති කර දමනවා. ඉන්පසුව ඔහුගේ මුල් අරමුණට අනුව මේ පොළොව අලංකාරවත් ස්ථානයක් බවට පත් කරයි. (උත්පත්ති 1:26-28; එළිදරව් 11:18) එදාට වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එය සයුරෙන් බිහි වූ අසිරිමත් ලෝකයක් කියා පැවසීමට අපිට හැකි වේවි!

[25වන පිටුවේ පින්තූරය]

ගල්ෆ් බොක්කේ වෙසෙන තල්මසුන් විශේෂයක්

[25වන පිටුවේ පින්තූරය]

නාල පණු විශේෂයක්

[24වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Satellite view: NASA/​The Visible Earth (http://​visibleearth.nasa.gov/); reef: © Dirscherl Reinhard/​age fotostock

[25වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Beach: Mexico Tourism Board; whale: © Mark Jones/​age fotostock; tube worms: © Woods Hole Oceanographic Institution