Skip to content

පටුනට යන්න

දෙවි කෙබඳු ආකාරයේ කෙනෙක්ද?

දෙවි කෙබඳු ආකාරයේ කෙනෙක්ද?

බයිබලයෙන් පිළිතුරක්

දෙවි කෙබඳු ආකාරයේ කෙනෙක්ද?

“දෙවි ආත්මයක්ය. ඔහුට නමස්කාර කරන්නන් ආත්මයෙන්ද සත්‍යතාවෙන්ද නමස්කාර කළ යුතුය” කියා බයිබලයේ සඳහන් වෙනවා. (යොහන් 4:19-24) එහි “ආත්මයක්” යන වචනය භාවිත කර තිබෙන්නේ නොපෙනෙන කෙනෙක්ව විස්තර කිරීමටයි. ඉන් අදහස් කරන්නේ ඔහු නොපෙනෙන දෙවි කෙනෙක් බවයි. තවදුරටත් බයිබලයේ දෙවිව තනි පුද්ගලයෙක් ලෙසද විස්තර කර තිබෙනවා. දෙවිගේ නම යෙහෝවා.—ගීතාවලිය 83:17.

බයිබලය කියවන සමහර අයට දෙවි කෙබඳු ආකාරයේ කෙනෙක්ද යන්න ගැන පැහැදිලි පින්තූරයක් නැහැ. දෙවි නොපෙනෙන කෙනෙක් නම් බයිබලයේ බොහෝ පදවල දෙවි ගැන සඳහන් වෙද්දී ඔහුගේ ඇස්, කන්, නාසය, සිත, අත්, ඇඟිලි සහ පය ගැන කතා කරන්නේ ඇයි කියා ඔවුන් සිතනවා. * දෙවිගේ ස්වරූපයෙන් හෙවත් ඔහු හා සමාන ගතිලක්ෂණ ඇතුව මිනිසුන්ව නිර්මාණය කර තිබෙන බව බයිබලයේ පවසන නිසා ඔහුට මිනිසෙකුට වගේ ශරීරයක් තිබෙනවා කියා සමහරුන් නිගමනය කරනවා. නමුත් බයිබලයේ සඳහන් වී ඇති කාරණා සලකා බැලීමෙන් එවැනි අපැහැදිලි මත පැහැදිලි කරගැනීමට හැකි වෙනවා.—උත්පත්ති 1:26.

මිනිස් ගතිලක්ෂණවලින් දෙවිව විස්තර කරන්නේ ඇයි?

දෙවිගේ ස්වභාවය හා ඔහුගේ පෞද්ගලිකත්වය එයාකාරයෙන්ම විස්තර කිරීමට වචන නැති තරම්. ඒ නිසා බයිබල් ලේඛකයන් දෙවිගේ බලයේ උපකාරය මගින් අපිට තේරුම්ගැනීමට පහසු ආකාරයෙන් මනුෂ්‍යයන්ට ආවේණික ගතිලක්ෂණ යොදාගෙන දෙවිව විස්තර කර තිබෙනවා. බයිබලයේ දෙවිව විස්තර කිරීමට ‘පලිහ’, ‘සූර්යයා’ හා ‘පර්වතය’ යන යෙදුම්ද භාවිත කරනවා. ඇත්තටම දෙවි පලිහක්, පර්වතයක් නැත්නම් සූර්යයා කියා ඉන් අදහස් කරන්නේ නැහැ. ඒ නිසා දෙවිව විස්තර කිරීමට භාවිත කර තිබෙන මිනිස් ගතිලක්ෂණ අපි වචනානුසාරයෙන් නොගත යුතුයි.—ද්විතීය කතාව 32:4; ගීතාවලිය 84:11.

එසේනම් දෙවි හා සමාන ගතිලක්ෂණ ඇතුව මිනිසාව නිර්මාණය කළා කියා බයිබලයේ සඳහන් වන දෙයින් අදහස් කරන්නේ කුමක්ද? මිනිසා සම්පූර්ණයෙන්ම දෙවිට සමානයි කියා හෝ මිනිසුන්ට මෙන් ශරීරයක් දෙවිට තිබෙනවා කියා ඉන් අදහස් කරන්නේ නැහැ. නමුත් ඉන් ඇත්තටම අදහස් කරන්නේ යම් ආකාරවලින් දෙවිට හා සමාන ගතිලක්ෂණ මිනිසාට තිබෙන බවයි.

දෙවි ස්ත්‍රියක්ද? පුරුෂයෙක්ද?

ස්ත්‍රී පුරුෂභාවයෙන් වෙන් කළ හැක්කේ සතුන්ව සහ මිනිසුන්ව පමණයි. බයිබලයේ දෙවිව මිනිස් ගතිලක්ෂණ ඇතුව විස්තර කර ඇති ආකාරය වචනානුසාරයෙන්ම නොගත යුතු වනවා සේම දෙවිව විස්තර කිරීමට පුරුෂ ලිංගයෙන් යොදා තිබෙන යෙදුම්ද වචනානුසාරයෙන් නොගත යුතුයි. නමුත් අපි භාවිත කරන භාෂාවේ යෙදුම්වලින් සියලු බලැති දෙවි යෙහෝවාව විස්තර කළ හැකි උපරිම ආකාරය එයයි.

බයිබලයේ දෙවිව හැඳින්වීමට “පියා” යන යෙදුම භාවිත කර තිබෙනවා. ප්‍රේමණීය පියෙක් තම දරුවන්ව ආදරයෙන් රැක බලාගන්නා ආකාරය දෙස බලද්දී අපේ නිර්මාණකරුත් එවැනි ප්‍රේමණීය කෙනෙක් කියා තේරුම්ගැනීමට “පියා” යන යෙදුම අපට උපකාරවත් වෙනවා. (මතෙව් 6:9) දෙවිව හැඳින්වීමට එවැනි යෙදුම් භාවිත කළත් දෙවි සහ ස්වර්ගයේ අනිකුත් මැවිලි පුරුෂයන් හෝ ස්ත්‍රීන් ලෙස වෙන් කළ නොහැකියි. ඊට හේතුව දේවරාජ්‍යයේ රජු වන යේසුස් සමඟ හවුලේ පාලනය කිරීමට තෝරාගන්නා අයව ස්වර්ගයේදී දෙවිගේ පුත්‍රයන් ලෙස භාරගැනීමයි. ඔවුන් අතර “පුරුෂයෙකුවත් ස්ත්‍රියකවත් නැත” කියා පාවුල් පැවසූ දෙයද සැලකිල්ලට ගන්න. එමෙන්ම ඔවුන්ව බැටළු පැටවා වන යේසුස් ක්‍රිස්තුස්ගේ මනාලිය ලෙසද බයිබලයේ සංකේතාත්මකව විස්තර කර තිබෙනවා. ඒ සියලු නිදර්ශනවලින් පැහැදිලි වන්නේ දෙවි ඔහුගේ පුත් යේසුස් සහ අනිකුත් ස්වර්ගික මැවිලි විස්තර කිරීමට මිනිසුන් යොදා ඇති යෙදුම් වචනානුසාරයෙන්ම නොගත යුතු බවයි.—ගලාති 3:26, 28; එළිදරව් 21:9; 1 යොහන් 3:1, 2.

බයිබල් ලේඛකයන් දෙවිව පුරුෂ ලිංගයෙන් විස්තර කර තිබෙන්නේ ඇයි? දෙවිගේ ප්‍රතිපත්ති අදාළ කරගන්නා පුරුෂයෙක් කටයුතු කරන ආකාරය සහ ඔහුගේ ගුණාංගවලින් දෙවි ප්‍රේමණීය පියෙකු ලෙස පොළොව මත සිටින ඔහුගේ දරුවන්ව රැක බලාගන්නා ආකාරය මනාව පිළිබිඹු කරන බව බයිබල් ලේඛකයන් හොඳින් දැන සිටියා.—මලාකි 3:17; මතෙව් 5:45; ලූක් 11:11-13.

දෙවි ප්‍රේමයය

විශ්වයේ උසස්ම තැනැත්තා වන යෙහෝවා දෙවි නොපෙනෙන කෙනෙක් වුණත් ඔහු මිනිසුන්ගෙන් ඈත් වී සිටින්නේවත් මිනිසුන් සමඟ අදහස් හුවමාරු කරගන්නේවත් නැති ගුප්ත කෙනෙක් නොවෙයි. ඔහු ස්වර්ගයේ ජීවත් වුණත් ඔහුව දැන හඳුනාගන්න එය කිසිවෙකුට බාධාවක් නොවෙයි. දෙවි ගැන දැනගන්න අවංක ආශාවක් තිබෙන කෙනෙකුට ප්‍රේමය, බලය, ප්‍රඥාව, යුක්තිය වැනි ඔහුගේ කැපීපෙනෙන ගතිලක්ෂණ ගැනත් ඔහු මොන වගේ කෙනෙක්ද කියාත් හොඳින් දැනගත හැකියි. ඔහුගේ මැවිලිද ඊට උපකාරවත් වෙනවා.—රෝම 1:19-21.

දෙවිගේ කැපීපෙනෙන ගුණාංගය ප්‍රේමය වන අතර එය කොතරම් ප්‍රබලද කිවහොත් ඔහු ප්‍රේමයය කියා බයිබලයේ හඳුන්වා දී තිබෙනවා. (1 යොහන් 4:8) ප්‍රේමය යන ඔහුගේ ප්‍රධාන ගුණාංගය තුළින් ඔහු සතු අනුකම්පාව, සමාව දීම, උදහස් වීමට ප්‍රමාද වීම නැත්නම් බොහෝ ඉවසීම වැනි ගතිලක්ෂණද පිළිබිඹු වෙනවා. (නික්මයාම 34:6; ගීතාවලිය 103:8-14; යෙසායා 55:7; රෝම 5:8) ප්‍රේමයේ දෙවි යෙහෝවා සියලුදෙනාටම ඇරයුම් කරන්නේ ඔහු වෙතට ළං වෙන ලෙසයි.—යොහන් 4:23.

[පාදසටහන]

මේ ගැන ඔබ සිතුවාද?

දෙවිගේ නම කුමක්ද?—ගීතාවලිය 83:17.

▪ දෙවිගේ ගතිලක්ෂණ ගැන දැනගත හැක්කේ කොහෙන්ද?—රෝම 1:19-21.

▪ දෙවි සතු ප්‍රධාන ගුණාංගය කුමක්ද?—1 යොහන් 4:8.