Skip to content

පටුනට යන්න

සාර්ථකත්වයට මඟ සොයාගන්නේ කෙසේද?

සාර්ථකත්වයට මඟ සොයාගන්නේ කෙසේද?

සාර්ථකත්වයට මඟ සොයාගන්නේ කෙසේද?

සැබෑ සාර්ථකත්වය අත් කරගැනීමට අපට මඟ පෙන්විය හැක්කේ කාටද? කලින් ලිපියේ සාකච්ඡා කළ ආකාරයට සැබෑ සාර්ථකත්වය අද්දකින්න නම් හොඳ ප්‍රතිපත්ති සහ ජීවිතයට හොඳ බලාපොරොත්තුවක් තිබිය යුතුයි. ඊට කීර්තිය, ධනය සහ බලය බලපාන්නේ නැහැ.

ජීවිතයට ඇති බලාපොරොත්තුව හා සම්බන්ධව අපට පැනනඟින ප්‍රශ්නවලට විශ්වාසවන්ත පිළිතුරු සොයාගත හැක්කේ කොහෙන්ද? ඊට පිළිතුරු අපිටම සොයාගත හැකිද? අපි පව්කාරයන් වන නිසා වැරදි දේ කිරීමට අපි තුළ නැඹුරුවාවක් තිබෙනවා. එය වැරදි තීරණ ගැනීමට අපව පොලඹනවා. (උත්පත්ති 8:21) ඒ නිසයි මිලියන ගණන්දෙනා බයිබලයේ සඳහන් වන ආකාරයට “මාංසයේ ආශාවත්, ඇස්වල ආශාවත්, තමන්ගේ දේපළ ප්‍රදර්ශනය කිරීමත්” වැනි නිෂ්ඵල දේ පසුපස හඹා යන්නේ. (1 යොහන් 2:16) නමුත් එයින් කනස්සල්ල හා අසන්තෝෂය අත් වෙනවා මිස සැබෑ සාර්ථකත්වය අත් කරගත නොහැකියි. අද බොහෝදෙනා ඔවුන් අද්දකින ගැටලුවලට විසඳුම් සොයාගැනීම සඳහා නිර්මාණකරුගේ මඟ පෙන්වීම් පතන්නේ ඒ නිසයි. *

මඟ පෙන්වීම් පැතිය යුත්තේ දෙවිගෙන්ද?

දෙවිගෙන් මඟ පෙන්වීම් පැතීම සාධාරණ දෙයක් වන්නේ ඇයි? මන්ද අපව නිර්මාණය කිරීමට හේතුව සහ අරමුණ කුමක්ද යන්න ගැනත් අපව නිර්මාණය කළ ආකාරය ගැනත් හොඳින්ම දන්නේ ඔහුයි. එනම් අපේ ශාරීරික සැකැස්ම, අපි සිතන ආකාරය හා අපේ හැඟීම් ගැන ඔහු හොඳින් දන්නවා. ඒ නිසා සාර්ථකත්වය අත් කරගන්න අවශ්‍ය හොඳම මඟ පෙන්වීම් පැතිය හැක්කේ දෙවිගෙනුයි. දෙවි ප්‍රේමයේ උල්පත වන නිසා ඔහු කැමති අපි සැබෑ සතුට හා සාර්ථකත්වය අත් කරගන්නවාටයි. (1 යොහන් 4:8) ඔහුගේ මඟ පෙන්වීම් සොයාගත හැක්කේ කොහෙන්ද? දෙවිගේ බලයේ උපකාරයෙන් ලේඛකයන් 40දෙනෙකු විසින් ලියැවුණු බයිබලයෙනුයි. * (2 තිමෝති 3:16, 17) එහි සඳහන් මඟ පෙන්වීම් විශ්වාස කිරීමට අපට තිබෙන හේතු මොනවාද?

“ප්‍රඥාව ධර්මිෂ්ඨ බව එහි ක්‍රියාවලින් ඔප්පු වේ” කියා දෙවිගේ ප්‍රධාන නියෝජිතයා වූ යේසුස් සඳහන් කළා. (මතෙව් 11:19; යොහන් 7:29) “යහපත් ජීවිතයක් ගත කිරීමට ඇතුළත් වන සියල්ල” එනම් දෙවිගේ ප්‍රතිපත්ති මත පදනම් වූ ප්‍රඥාව මගින් සාර්ථකත්වය හා නිමක් නැති සතුට අද්දැකිය හැකියි. ඊට වෙනස්ව දෙවිගේ මඟ පෙන්වීම් නොපතා තම ප්‍රඥාවෙන් කටයුතු කරන අයට අත් වන්නේ අසාර්ථකත්වය හා අසතුටයි.—හිතෝපදේශ 2:8, 9, නව ලොව පරිවර්තනය, NW; යෙරෙමියා 8:9.

මේ ගැන මදක් සිතා බලමු. වර්ෂ 1960 ගණන්වල බටහිර සමාජයේ හිපි සංස්කෘතියක් බිහි වුණා. පරම්පරාවෙන් පැවත ආ ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කරමින් තමන්ගේම සංස්කෘතියක් බිහි කිරීමට ඔවුන් වෑයම් කළා. අනාගතයේදී කුමක් වුවත් අද දවස ගැන පමණක් සිතා ඔවුන් ජීවත් වූ අතර මත්ද්‍රව්‍ය භාවිතය සහ ලිංගික කාරණා ඔවුන් සුළුවෙන් තැකුවා. ජීවත් වීමට හොඳම ක්‍රමය වූයේ එයද? ඉන් ඔවුන්ගේ ජීවිතවලට සැබෑ බලාපොරොත්තුවක්, යහපත් සාරධර්ම, මනසේ සාමය හා නිමක් නැති සතුට අත් කරගැනීමට හැකි වූවාද? ඉතිහාසයෙන් පෙන්වා දෙන්නේ එවැනි ජීවිත රටාවක් මගින් මිනිසුන්ට කිසිදු යහපතක් සිදු නොවූ බවයි. ඒ වෙනුවට සමාජය තුළ සදාචාර ප්‍රමිති හා ගුණධර්ම පිරිහෙන්න පටන්ගත්තා.—2 තිමෝති 3:1-5.

කලින් සඳහන් කළ මිනිස් මතයන්ට වෙනස්ව බයිබලයේ සඳහන් ප්‍රඥාවන්ත උපදෙස් සැමවිටම අපට ප්‍රයෝජනදායක බව ඔප්පු වී තිබෙනවා. (යෙසායා 40:8) අපි ඊළඟ ලිපියෙන් සලකා බලන්න යන්නේ බයිබලයේ සඳහන් එවැනි ප්‍රතිපත්ති හයක් ගැනයි. එම ප්‍රතිපත්ති ලොව වටා වෙසෙන මිලියන ගණන්දෙනාට ඔවුන්ගේ ආර්ථික හා සමාජ මට්ටම කුමක් වුවත් සැබෑ සතුට හා සාර්ථකත්වය අත් කරගැනීමට උපකාරවත් වී තිබෙනවා.

[පාදසටහන්වල]

^ 5 ඡේ. “බයිබලය විශ්වාස කළ හැකිද?”යන 2007 නොවැම්බර් පිබිදෙව්! විශේෂ කලාපය බලන්න. එහි පුරාවිද්‍යාවෙන්, ඉතිහාසයෙන්, විද්‍යාවෙන් සහ වෙනත් සාධක මගින් බයිබලය දෙවිගෙන් ලැබුණු පොතක් බවට සාක්ෂි සපයා තිබෙනවා.

[5වන පිටුවේ කොටුව]

 සාර්ථකත්වය පිළිබඳ වැරදි මත

දෙවි කෙනෙක් නැහැ කියා විශ්වාස කරන බොහෝදෙනාගේ මතය වන්නේ මිනිසා පරිණාමයෙන් බිහි වූ බවයි. එසේනම් ජීවිතය බිහි විය යුත්තේ අහඹු සිදුවීම් රැසකගේ එකතුවකින් සහ රසායනික ප්‍රතික්‍රියාවක් මගිනුයි. එය සැබෑවක් නම් ජීවිතයේ බලාපොරොත්තුව හා එය සාර්ථක කරගැනීමට උපකාරවත් වන ප්‍රතිපත්ති සෙවීම නිෂ්ඵල දෙයක්.

තවත් අය දෙවි අපව නිර්මාණය කළත් ඔහු අපව අතහැර දමා ඇති බව විශ්වාස කරනවා. ඒ නිසා අපි කාත් කවුරුවත් නැති අනාථ දරුවන් හා සමාන තත්වයකට පත් වී සිටිනවා කියා ඔවුන් සිතනවා. එය එසේනම් අපේ ජීවිතයට කිසිම බලාපොරොත්තුවක් තිබිය නොහැකියි. නමුත් මේ ගැන ටිකක් සිතා බලන්න. දෙවි සෑම සත්වයෙකුම නිර්මාණය කර ඇත්තේ සහජ හැකියාවක් ඇතුවයි. ඉන් පෙනෙන්නේ දෙවි සතු ප්‍රඥාවයි. සතුන්ව පවා එවැනි හැකියාවක් ඇතුව නිර්මාණය කළා නම් දෙවි අපව අත්හැර දමයිද? කිසිසේත්ම නැහැ.—රෝම 1:19, 20.

දෙවි කෙනෙක් නැහැ කියා සිතන අය ජීවිතයට බලාපොරොත්තුවක් සෙවීම නිෂ්ඵල දෙයක් ලෙස විශ්වාස කරන්නේ එවැනි අය ධනය, කීර්තිය හා බලය වැනි දේවලින් සාර්ථකත්වය මනින නිසයි.

[5වන පිටුවේ පින්තූරය]

බයිබලයේ සඳහන් උපදෙස් අදාළ කරගැනීම ප්‍රඥාවන්ත බව ඔප්පු වී තිබෙනවා