Skip to content

පටුනට යන්න

යෞවන අය අසති

මම දෙවිට කරන යාච්ඤා අර්ථවත්ද?

මම දෙවිට කරන යාච්ඤා අර්ථවත්ද?

“ඔබ පාසලේ හෝ රැකියා ස්ථානයේ සිටිද්දී නැත්නම් මිතුරන් සමඟ හෝ පවුලේ අය සමඟ කාලය ගත කරද්දී ඔබට ඔබගේ ජීවිතයේ වැදගත්ම පුද්ගලයා වන දෙවිව අමතක වෙන්න පුළුවන්.” මෙසේ පැවසුවේ ඇමරිකාවේ වෙසෙන 15 හැවිරිදි ෆේවියෝලායි.

යාච්ඤාව සම්බන්ධයෙන් බයිබලයේ මෙවැනි දෙයක් පවසා තිබෙනවා. “නොකඩවා යාච්ඤා කරන්න.” (1 තෙසලෝනික 5:17) “අත් නෑර නොකඩවා යාච්ඤා කරන්න” (රෝම 12:12) “යාච්ඤාවෙන් හා කන්නලව්වෙන් ඔබේ ඉල්ලීම් දෙවිට දන්වන්න.” (ෆිලිප්පි 4:6) ඔබ ක්‍රිස්තියානියෙක් නම් එවැනි බයිබල් පද ඔබට හුරු ඇති. ඒ වගේම යාච්ඤාව කියන්නේ දෙවි සමඟ අදහස් හුවමාරු කළ හැකි ක්‍රමයක් බවත් ඔබ දන්නවා ඇති. අපට දවසේ ඕනෑම වේලාවක සියලු බලැති දෙවිට කතා කිරීමේ හැකියාව තිබෙනවා. එමෙන්ම අපගේ යාච්ඤාවලට ‘ඔහු සවන් දෙන බව’ * බයිබලයේ අපට සහතික කර තිබෙනවා.—1 යොහන් 5:14.

ඉහත සදහන් කළ යෞවනියට වගේ ඔබටත් යාච්ඤා කිරීම අමාරු දෙයක් ලෙස හැඟෙන්න පුළුවන්. එසේනම් ඔබට කළ හැක්කේ කුමක්ද? පළමුව බාධාව හඳුනාගන්න. දෙවනුව ඉලක්ක තබාගන්න. තුන්වෙනුව බාධාව ජයගන්න.

මුලින්ම බාධාව හඳුනාගනිමු.

ඔබේ ඊළග පියවර විය යුත්තේ ඉලක්කයක් තබාගැනීමයි. ඔබට ඉටු කරගත හැකි ඉලක්කයක් පහත සඳහන් වේ නම් එය ලකුණු කරන්න. නැත්නම් “වෙනත්” කියන ස්ථානයේ ඔබේ ඉලක්කය සඳහන් කරන්න.

  • මම නිතර නිතර යාච්ඤා කිරීමට කැමතියි.

  • මගේ යාච්ඤාව ඒකාකාරී නොවෙනවට මම කැමතියි.

  • මට හැඟෙන හැම දෙයක්ම කියලා යාච්ඤා කරන්න මම කැමතියි.

  • වෙනත් ․․․․․

බාධාව ජයගැනීම

යාච්ඤාව ඕනෑම වේලාවක විවෘත කළ හැකි දොරකට සමාන කළ හැකියි. නමුත් බොහෝ යෞවනයන් කියා සිටින්නේ යාච්ඤාව නැමති එම දොර ඔවුන් නිතර නිතර හෝ අවශ්‍ය විටකදීවත් විවෘත නොකරන බවයි. ඔබේ තත්වයත් එය නම් උත්සාහය අත්හරින්න එපා! ඔබ දැනටමත් බාධාව හඳුනාගෙන නිසි ඉලක්කයක් තබා තිබෙනවා. දැන් ඔබට අවශ්‍ය වන්නේ දොර විවෘත කිරීමට යතුරක් එනම් බාධාව ජය ගත හැකි ආකාරය දැනගැනීමයි. දැන් අපි සලකා බලමු ඔබට ඇතිවිය හැකි බාධා සහ ඒවා ජය ගත හැකි ආකාර ගැන.

බාධාව: අතපසු වීම “සමහර වෙලාවට මගේ කාර්යබහුල ජීවිතය නිසා මට යාච්ඤාව අතපසු වෙනවා.”—බ්‍රිතාන්‍යයේ 20 හැවිරිදි ප්‍රීටී.

 

ජය ගත හැකි ආකාරය: “මේ නිසා ඔබ අඥානයන් මෙන් නොව, ප්‍රඥාවන්තයන් මෙන් ගමන් කිරීමට ඉතා සැලකිලිමත් වන්න. දවස් නපුරු බැවින්, ඔබට ඇති සෑම අවස්ථාවකින්ම උපරිම ප්‍රයෝජන ගන්න.”—එෆීස 5:15, 16.

යෝජනාව: සෑම දවසකම යාච්ඤා කිරීම සඳහා සුදුසු වේලාවක් තෝරාගන්න. කෙනෙකුව හමුවීමට වේලාවක් වෙන් කරගනිද්දී එය සටහන් කරගන්නවා හා සමානව යාච්ඤා කිරීම සඳහාද සුදුසු වේලාවක් සටහන් කරගන්න. ජපානයේ ජීවත් වන 18 හැවිරිදි යොෂිකෝ ඒ ගැන මෙවැනි අදහසක් පල කළා. “මම යාච්ඤාවට නියමිත වෙලාවක් වෙන් කළේ නැත්නම් ඒ කාලය වෙනත් දෙයකට වැය වෙනවා.”

බාධාව: මනස වෙනතකට යොමු වීම.

“යාච්ඤා කරද්දී මට වෙන වෙන දේවල් කල්පනාවට එනවා.”—මෙක්සිකෝවේ 17 හැවිරිදි පැමලා.

ජය ගත හැකි ආකාරය: “මුඛයෙන් පිට වෙන්නේ සිත තුළ පිරී ඇති දෙයයි.”—මතෙව් 12:34.

යෝජනාව: ඔබ යාච්ඤා කරන විට ඔබේ අවධානය වෙනතකට යොමු වෙනවා නම් ඒ සම්බන්ධයෙන් යම් දියුණුවක් ලබන තුරු ඔබේ යාච්ඤා කෙටි කරන්න. එසේත් නැත්නම් තමන්ගේ සිතට ගොඩාක්ම සමීප දෙයක් ගැන යාච්ඤා කරන්න. රුසියාවේ වෙසෙන වයස අවුරුදු 14ක් වන මරිනා පැවසුවේ මෙසේයි “මම මීට අවුරුද්දකට විතර කලින් තමයි යාච්ඤාව කියන්නේ ඇත්තටම දෙවිත් එක්ක කතා කිරීම බව තේරුම්ගත්තේ. ඒ නිසා මට හැකි වුණා මගේ හිතේ තියෙන හැම දෙයක්ම දෙවිට භය නැතුව කියන්න.”

බාධාව: එකම දේ නැවත නැවත කීම.

“යාච්ඤා කරද්දි මම එකම දේ නැවත නැවත කියනවා කියලා මට තේරුණා.”—බෙනින්හි 17 හැවිරිදි ඩියූප්.

ජය ගත හැකි ආකාරය: “දෙවියනි, ඔබේ සියලු ක්‍රියා ගැන මම ගැඹුරින් කල්පනා කරමි. ඔබ කළ දේවල් ගැන සිතා බලමි.”—ගීතාවලිය 77:12, නව ලොව පරිවර්තනය, NW.

යෝජනාව: ඔබ යාච්ඤා කරන විට ඔබට ඒකාකාරීබවක් හැඟෙනවා නම් සෑම දවසකම යෙහෝවා දෙවි ඔබට ආශිර්වාද කර ඇති ආකාරය ගැන යම් පොතක සටහන් කරගන්න. පසුව එම කාරණය ගැන යෙහෝවා දෙවිට ස්තුති කරන්න. සතියක් පමණ දිගටම මෙසේ කිරීමෙන් අලුත් විෂයන් හතක් ගැන යාච්ඤා කර ඇති බවත් එකම දේ නැවත නැවත පවසා නැති බවත් ඔබ තේරුම්ගනීවි. දවසේ සිදුවන අනිත් කාරණා ගැනද එලෙස සඳහන් කරන්න ඔබට පුළුවන්. බ්‍රසීලයේ වෙසෙන වයස අවුරුදු 21ක් වන බෲනෝ නම් යෞවනයා මෙසේ පැවසුවා. “මම උත්සාහ කරන්නේ ඒ දවසේ සිදු වූ සිදුවීම් ඇතුළත් කර යාච්ඤා කරන්නයි.” ඒ හා සමාන දෙයක් කරන බව ඇමරිකාවේ වෙසෙන 18 හැවිරිදි සැමැන්තාද පැවසුවා. “මම හැම දවසකම සිදුවන දේවල් සඳහන් කරලා යාච්ඤා කරනවා. ඒ නිසා මට පුළුවන් වෙලා තියෙනවා එකම දේ නැවත නැවත නොකියා ඉන්න.” *

බාධාව: සැකය.

“පාසැලේ ඇති වූ යම් ගැටලුවක් ගැන මම යාච්ඤා කළත් සිදු වුණේ ඒ ප්‍රශ්නය විසඳෙනවා වෙනුවට ඒක තවත් උග්‍ර වෙන එකයි. මම හිතුවා යෙහෝවා දෙවි මගේ යාච්ඤාවලට ඇහුම්කන් දෙන්නේ නැත්නම් මම මොකටද තවත් යාච්ඤා කරන්නේ කියලා.”—ජපානයේ 15 හැවිරිදි මෙනොරි.

ජය ගත හැකි ආකාරය: “පරීක්ෂාවත් සමඟම, ඔබට එය විඳදරාගත හැකි වන පිණිස ඔහු [යෙහෝවා දෙවි] ඉන් ගැලවීමට මඟද සලසා දෙන්නේය.”—1 කොරින්ති 10:13.

යෝජනාව: ඇත්තටම යෙහෝවා දෙවි අපේ “යාච්ඤා අසන” බව ස්ථීරයි. (ගීතාවලිය 65:2) ඔබ යම් කාරණයක් ගැන යාච්ඤා කළ පසු එම කාරණය දෙස පුළුල්ව බැලීමට උත්සාහ කරන්න. යාච්ඤාවෙන් ඔබ බලාපොරොත්තු වූ දේ ගැන නොව දැනටමත් ඔබට ලැබී තිබෙන දේ ගැන සිතා බලන්න. ඔබ තවමත් ක්‍රිස්තියානියෙකු වී සිටින්නේ ඔබට ඔබේ යාච්ඤාවලට පිළිතුරු ලැබී තිබෙන නිසා නොවෙයිද! ඉන් පෙනෙන්නේ යෙහෝවා දෙවි ඔබේ ප්‍රශ්නය ඉවත් නොකළත් එය විඳදරාගැනීමට අවශ්‍ය ශක්තිය සපයා ඇති බවයි.—ෆිලිප්පි 4:13.

බාධාව: ලැජ්ජාව.

“මම කෑමට කලින් යාච්ඤා කරනවා මගේ යාළුවෝ දැක්කොත් මට ලැජ්ජා හිතෙයි.”—ජපානයේ 17 හැවිරිදි හිකාරූ.

ජය ගත හැකි ආකාරය: “අහස යට සිදු වන සෑම දෙයකටම නියමිත කාලයක් ඇත.”—දේශනාකාරයා 3:1NW.

යෝජනාව: ඔබ නිහඬව කරන යාච්ඤාවක් පවා අන් අයගේ අවධානයට ලක් වෙන්න පුළුවන්. නමුත් ඔබ යාච්ඤා කරන විට එය අන් අයට පෙනෙන්න කිරීම අවශ්‍ය නැහැ. උදාහරණයකට අර්තක්ෂස්තා රජ ඉදිරියේ නෙහෙමියා කළ නිහඬ යාච්ඤාව ඔහුගේ අවධානයට ලක් වුයේ නැහැ. (නෙහෙමියා 2:1-5) ඔබටත් අන් අයගේ අවධානයට ලක් නොවන ආකාරයෙන් යාච්ඤා කළ හැකියි.—ෆිලිප්පි 4:5.

බාධාව: නොවටිනාකමේ හැඟීම.

“මට තියෙන හැම ප්‍රශ්නයක්ම යෙහෝවා දෙවි දන්නවා. මගේ ප්‍රශ්න මටම එපා වෙලා නම් යෙහෝවා දෙවිටත් ඒවා එපා වෙලා ඇති. ඒ නිසා මට හිතෙනවා මම දෙවිට කතා කරන්න වටින්නේ නැහැයි කියාලා.”—අයර්ලන්තයේ 20 හැවිරිදි එලිසබෙත්.

ජය ගත හැකි ආකාරය: “ඔහු ඔබ ගැන සලකන නිසා, ඔබේ සියලු කරදර ඔහු පිට තබන්න.”—1 පේතෘස් 5:7.

යෝජනාව: ඔබේ පෞද්ගලික අධ්‍යයනය සඳහා පහත සඳහන් බයිබල් පද කියවා මෙනෙහි කරන්න. ලූක් 12:6, 7; යොහන් 6:44; හෙබ්‍රෙව් 4:16; 6:10; 2 පේතෘස් 3:9. යෙහෝවා දෙවි ඔබගේ යාච්ඤා අසන්න ආශාවෙන් සිටින බවත් දෙවිට යාච්ඤා කිරීම සඳහා ඔබට විශේෂ සුදුසුකමක් අවශ්‍ය නැති බවත් ඔබට එම පදවලින් වැටහේවි. කනස්සල්ලෙන් හා පීඩනයෙන් සිටි ගීතිකාකරු දාවිත් ඒ ගැන මෙවැනි සහතිකයක් දුන්නා. “යෙහෝවා දෙවි බිඳුණු සිත් ඇති අයට සමීපව සිටියි. තැළුණු හදවත් ඇති අයව ඔහු බේරාගනියි.” *ගීතාවලිය 34:18NW.

යෙහෝවා දෙවි අපේ යාච්ඤා ඇසීමට වෙන කිසිවකු පත් නොකර ඔහුම එය කිරීමෙන් පෙනෙන්නේ ඔහු ඔබ ගැන සලකන බවයි. ඉතාලියේ වෙසෙන 17 හැවිරිදි නිකොල් පැවසුවේ “යෙහෝවා දෙවි අපි කරන යාච්ඤා අසන්න දේවදූතයන් පත් කරලා නැහැ. යෙහෝවා දෙවිම අපේ යාච්ඤා අසන්නේ ඒවා ඔහුට වටින නිසා” කියායි.

^ 4 ඡේ. නිර්මාතෘට අපේ යාච්ඤා ඇසීමට ශබ්ද තරංග අවශ්‍ය නැහැ. ඒ නිසා අප නිහඬව කරන යාච්ඤාවලට පවා ඔහුට “සවන්” දිය හැකියි.—ගීතාවලිය 19:14.

^ 32 ඡේ. ඔබ අතින් බරපතල වරදක් සිදු වී ඇති නිසා දෙවිට යාච්ඤා කිරීමට එය බාධාවක් කියා ඔබට සිතෙනවා නම් ඒ ගැන දෙමාපියන් සමඟ කතා කරන්න. ඒ වගේම ‘සභාවේ වැඩිමහල්ලන්ව කැඳවාගන්න.’ (යාකොබ් 5:14) ඔවුන්ට හැකියි දෙවි සමඟ ඔබට තිබෙන මිත්‍රත්තවය නැවතත් ශක්තිමත් කරගන්න ඔබට උපකාර කරන්න.

සිතා බලන්න

  • යෙහෝවා දෙවි සැලකිලිමත් වන කුමන කාරණා ගැන ඔබට යාච්ඤා කළ හැකිද?

  • ඔබ අන් අයගේ කාරණා ගැන යෙහෝවා දෙවිට යාච්ඤා කරනවාද?