Skip to content

පටුනට යන්න

 බයිබලයෙන් පිළිතුරක්

විවාහය

විවාහය

විවාහය සැහැල්ලුවට ගත යුතු දෙයක්ද?

“දෙවි ඔවුන්ව එලෙස එක් කළ නිසා කිසි මිනිසෙක් ඔවුන්ව වෙන් නොකළ යුතුයි.”මතෙව් 19:6.

බයිබලයේ කියන්නේ මෙහෙමයි.

“දෙවි මිනිසුන්ව සෑදූ කාලයේදී ‘ඔහු ඔවුන්ව පුරුෂයෙකු සහ ස්ත්‍රියක වශයෙන් සෑදුවා. ඉන්පසු මිනිසෙක් තම පියාගෙන්ද මවගෙන්ද වෙන් වෙයි. එවිට ඔවුන් දෙදෙනා එක් කෙනෙකු මෙන් වෙයි’ දෙවි ඔවුන්ව එලෙස එක් කළ නිසා කිසි මිනිසෙක් ඔවුන්ව වෙන් නොකළ යුතුයි.” *මාක් 10:6-9; උත්පත්ති 2:24.

“දෙවි ඔවුන්ව එලෙස එක් කළ නිසා” යන වචනවලින් අදහස් කරන්නේ කෙනෙක් විවාහ වෙන්නේ කා සමඟද කියා දෙවියන් තීරණය කරනවා කියන එක නෙවෙයි. විවාහ සැලැස්ම ඇති කළේ දෙවියන් නිසා එය සැහැල්ලුවට නොගත යුතු බව එයින් කාවද්දනවා. එය තේරුම්ගන්න අය විවාහය සලකන්නේ පරිශුද්ධ, ජීවිතය ඇති තුරා තිබිය යුතු බැඳීමක් ලෙසයි. ඔවුන් සෑමවිටම උත්සාහ කරන්නේ තම විවාහය රැකගන්නයි. ඒ සඳහා සැමියා හා බිරිඳ වශයෙන් තම වගකීම් හොඳින් ඉටු කරන්න ඔවුන් බයිබලයේ ඇති මඟ පෙන්වීම් පැතුවොත් සාර්ථක වෙනවා.

 සැමියාගේ වගකීම් මොනවාද?

‘ස්වාමිපුරුෂයා තම භාර්යාවගේ හිස ලෙස කටයුතු කරයි.’එෆීස 5:23.

බයිබලයේ කියන්නේ මෙහෙමයි.

පවුලේ කටයුතු හොඳින් සිදු වෙන්න නම් කවුරු හරි කෙනෙක් තීරණ ගන්න ඕනේ. බයිබලයේ සඳහන් වෙන්නේ ඒ වගකීම ගන්න ඕනේ ස්වාමිපුරුෂයන් කියලයි. ඒත් ඒ වගකීම තමන්ට ලැබුණයි කියලා කිසි කෙනෙකුට ඇහුම්කන් නොදී තනි මතයට කටයුතු කරන්න පුළුවන් කියලා ඉන් අදහස් කරන්නේ නැහැ. ඒ වගේම එය සැහැල්ලුවට ගැනීමත් සුදුසු නැහැ. තම වගකීම පැහැරහැරියොත් බිරිඳට සැමියා ගැන තියෙන ගෞරවය ටිකෙන් ටික අඩු වෙනවා. ඒ වගේම බිරිඳට වගකීම් ගන්න සිදු වෙන නිසා ඇය මත අනවශ්‍ය බරක් පැටවෙනවා. නමුත් දෙවියන් බලාපොරොත්තු වෙන්නේ සැමියෙක් වෙහෙස මහන්සි වී වැඩ කර බිරිඳව රැකබලා ගැනීමයි. ඒ විතරක් නෙවෙයි ඇගේ සහයෝගය ලබාගෙන ඇයව කිට්ටුම මිතුරිය ලෙස සලකා ඇයට ගෞරවය පෙන්වීමත් දෙවියන් බලාපොරොත්තු වෙනවා. (1 තිමෝති 5:8; 1 පේතෘස් 3:7) ‘ස්වාමිපුරුෂයන් තම ශරීර ගැන සැලකිලිමත් වෙනවා වගේ තම භාර්යාවන්ට ප්‍රේම කළ යුතුයි’ කියලා බයිබලයේ සඳහන් වෙනවා.—එෆීස 5:28.

ඇත්තටම තම බිරිඳට ආදරය කරන සැමියෙක් ඇගේ හැකියාවන් අගය කරන අතර ඇගේ අදහස්වලට ගරු කරනවා. විශේෂයෙන්ම පවුලට බලපාන කාරණා සම්බන්ධයෙන් ඇය දක්වන අදහස්වලට ඇහුම්කන් දෙනවා. ඔහු පවුලේ මූලිකයා නිසා තමන්ගේ මතයම පිළිගන්න කියා බල කිරීම සුදුසු නැහැ. ඈත අතීතයේ සිටි දෙවිගේ සේවකයෙක් වූ ආබ්‍රහම්ට තම බිරිඳ යම් යෝජනාවක් දුන්න අවස්ථාවේදී එය පිළිගන්න ඔහු අකමැති වුණා. ඒ මොහොතේ යෙහෝවා දෙවියන් ඔහුට මෙහෙම කිව්වා. “ඇයට සවන් දෙන්න.” (උත්පත්ති 21:9-12) ආබ්‍රහම් නිහතමානීව ඒ උපදෙස පිළිගත් නිසා එය පවුලේ සමඟියටත් දෙවිගේ ආශීර්වාද ලැබීමටත් දායක වුණා.

බිරිඳගේ වගකීම් මොනවාද?

“භාර්යාවෙනි, ඔබේ ස්වාමිපුරුෂයන්ට යටත්ව සිටින්න.”1 පේතෘස් 3:1.

බයිබලයේ කියන්නේ මෙහෙමයි.

මුල්ම පුරුෂයාට භාර්යාවක් ලබා දෙන්න කලින් යෙහෝවා දෙවියන් මෙහෙම කිව්වා. “මිනිසා තනිව සිටීම හොඳ නැත. ඔහුට ගැළපෙන සහකාරියකව සාදා දෙන්නෙමි.” (උත්පත්ති 2:18) සහකාරියක් කියන්නේ අනිත් කෙනාට සහයෝගය දෙමින් අඩුව පිරවිය හැකි කෙනෙක්ටයි. ඒ නිසා දෙවියන් ස්ත්‍රියව සෑදුවේ පුරුෂයා හා සමානව නෙවෙයි. ඔහුගේ තැන ගන්න පුළුවන් කෙනෙකු විදිහටත් නෙවෙයි. ඇයව සෑදුවේ සැමියට අතහිත දෙන්න පුළුවන් කෙනෙකු විදිහටයි. ඒ නිසා දරුවන් බිහි කර මේ පොළොව ජනාවාස කරන්න කියා දෙවියන් ඔවුන්ට දුන්න පැවරුම ඉටු කරන්න පුළුවන් වෙන්නේ දෙදෙනාගේම සහයෝගයෙන් පමණයි.—උත්පත්ති 1:28.

බිරිඳක් ලෙස තම වගකීම් ඉටු කරන්න පුළුවන් ආකාරයේ ශාරීරික හා මානසික හැකියාවක් ස්ත්‍රියට දෙවියන් ලබා දුන්නා. ඒ හැකියාව නැණවත්ව හා ප්‍රේමයෙන් භාවිතා කරද්දී ඇගේ විවාහ ජීවිතය සාර්ථක කරගන්න ඇයට පුළුවන් වෙනවා. ඒ විතරක් නෙවෙයි සැමියාගේ සතුටටත් මානසික සුවයටත් ඇය දායක වෙනවා. එවැනි ගුණවත් බිරිඳක් දෙවියන්ගේ ප්‍රශංසාවත් ලබනවා. *හිතෝපදේශ 31:28, 31.

^ par. 5 බයිබලයට අනුව දික්කාසද වීමට ඇති එකම පදනම වේශ්‍යාකමයි.—මතෙව් 19:9.

^ par. 14 විවාහය හා පවුල් ජීවිතය සම්බන්ධයෙන් ප්‍රායෝගික යෝජනා ‘පිබිදෙව්!’ සඟරාවේ “මේ ඔබේ පවුලටයි” යන ලිපිමාලාවෙන් දැනගන්න.