Skip to content

පටුනට යන්න

රෝමයේ විස්මිත වාරිමාර්ග

රෝමයේ විස්මිත වාරිමාර්ග

පුරාණ ඉංජිනේරු තාක්ෂණයේ වික්‍රමයන් අතුරින් රෝමයේ වාරිමාර්ග පද්ධති අග්‍රගණ්‍යයේ නිර්මාණයක් කියා අවිවාදයෙන් කිව හැකියි. “මහා ජල කඳක් රැගෙන යන රෝමයේ වාරිමාර්ග පද්ධතිවලින් මිනිසුන්ට ඉටු වුණේ අමිල සේවයක්. ඒ නිසා නිසොල්මනේ තියෙන පිරමීඩ සහ ප්‍රයෝජනයක් නැති ග්‍රීකවරුන්ගේ ප්‍රසිද්ධ නිර්මාණවලට වඩා ඒවා විශිෂ්ටයි” කියා ආණ්ඩුකාරයෙක් වූ සෙක්ස්ටස් ජුලියස් ෆ්‍රැන්ටයිනස් පැවසුවා. *

වාරිමාර්ග පද්ධති අවශ්‍ය වුණේ ඇයි?

පුරාණයේ නගර ඉදි කළේ ජලය පහසුවෙන් ලබාගන්න පුළුවන් ස්ථානවලයි. රෝමයත් එය අනුගමනය කළා. ටයිබර් ගඟෙනුත් උල්පත් හා පොකුණුවලිනුත් රෝම නගරයට අවශ්‍ය තරම් ජලය ලැබුණා. ඒත් ක්‍රි.පූ. 4වෙනි සියවසේ සිට රෝමයේ ජනගහනය ශීඝ්‍රයෙන් වර්ධනය වෙනවාත් සමඟම ජල අවශ්‍යතාවත් ඉහළ ගියා.

එහි වැසියන්ගෙන් සුළු පිරිසකට පමණයි තම නිවෙස්වල ජල නළ පහසුකම් තිබුණේ. ඒ නිසා රෝමවරු, පෞද්ගලික සහ පොදු නාන ස්ථාන බොහොමයක් තැනුවා. මුල්ම පොදු නාන ස්ථානයට ජලය සැපයුවේ ක්‍රි.පූ. 19වෙනි සියවසේ තැනූ ඇක්වා වර්ගෝ නම් වාරිමාර්ග පද්ධතියයි. එය තැනුවේ ඔගස්ටස් සීසර්ගේ මිතුරෙක් වූ මාකස් අග්‍රිපා විසින්. ඔහු රෝමයේ වාරිමාර්ග පද්ධති සංවර්ධනය කිරීමටත් පුළුල් කිරීමටත් ඔහුගේ ධනයෙන් වැඩි හරියක් යෙදෙව්වා.

එම නාන ස්ථාන මිනිසුන් වැඩි වශයෙන් ගැවසෙන තැන් බවට පත් වුණා. සමහර විශාල නාන ස්ථානවල උද්‍යාන සහ පුස්තකාල පවා තිබුණා. එම නාන තටාකවලට නොනැවතී ලැබුණු ජලය ඒවා අසළ තිබුණු වැසිකිළිත් පිරිසිදු කරමින් අපද්‍රව්‍ය බැහැර කිරීමේ කාණු පද්ධති හරහා බැස ගියා.

ඉදි කිරීම සහ නඩත්තු කිරීම

බොහෝදෙනෙක්ට රෝමයේ වාරිමාර්ග පද්ධති කිවූ පමණින් මතක් වෙන්නේ විශාල ප්‍රදේශයක් පුරා දිව යන ආරුක්කුයි. ඒත් ආරුක්කුවලින් සෑදී තිබුණේ මුළු වාරිමාර්ග පද්ධතියෙන් 20%ක් විතරයි. ජලය ගලා යන මාර්ග වැඩි හරියක් දිව ගියේ පොළොව යටින්. උදාහරණයකට ක්‍රි.පූ. 140දී නිම වුණ ඇක්වා මර්සියා වාරිමාර්ග පද්ධතිය කි.මී. 92ක් දිගයි. ඒත් ආරුක්කු හරහා ජලය ගෙන ගියේ කි.මී. 11ක දුරක් පමණයි. ආරුක්කු  මෝස්තරය යොදාගත් නිසා ඒවා ඛාදනය වීම වළක්වාගන්නත් වගාබිම් හා අවට ප්‍රදේශවලට සිදු වන හානිය අඩු කරගන්නත් හැකි වුණා.

වාරිමාර්ග පද්ධතියක් සාදන්න කලින් ඉංජිනේරුවන් ජලයේ පැහැදිලිකම, ගලන වේගය සහ වතුරවල රසය ගැන සැලකිලිමත් වුණා. ඒ වගේම ඒ වතුර බොන අයගේ ශරීර සෞඛ්‍යය ගැනත් හොයා බැලුවා. ජලය පාවිච්චිය සඳහා සුදුසුයි කියලා නිගමනය කළාට පසුව වාරිමාර්ග පද්ධතිය සෑදිය යුතු මාර්ගය තීරණය කළා. ඒ වගේම ජලය ගෙන යන මාර්ගය ඇල කළ යුතු ප්‍රමාණය ගණන් බලා එහි පළල සහ දිග තීරණය කළා. එම පද්ධති තනන්න ලොකු කාලයක් වගේම විශාල මුදලක් වැය වුණු අතර ඒවා ගොඩනැඟුවේ වහලුන්ව යොදාගෙනයි. විශේෂයෙන්ම එය ආරුක්කු සහිත එකක් නම් වැය වූ මුදල ඉතා ඉහළයි.

වාරිමාර්ග පද්ධති නඩත්තු කිරීම සහ ආරක්ෂා කිරීමත් ලේසි දෙයක් වුණේ නැහැ. එක් අවස්ථාවකදී ඒ සඳහා සේවකයන් 700ක් පමණ යොදාගෙන තිබුණා. ඒ නිසා වාරිමාර්ග පද්ධතියක් සැලසුම් කරද්දී එය අනාගතයේදී නඩත්තු කරන ආකාරය ගැනත් සැලකිලිමත් වුණා. උදාහරණයකට පොළොව යටින් ජලය ගලා යන තැන් පරීක්ෂා කරන්න වෙනම උමං මාර්ග තිබුණා. විශාල අලුත්වැඩියාවක් කිරීමට සිදු වන විට එම ස්ථානයෙන් ගලා යන ජලය තාවකාලිකව වෙනත් මඟකට හැරවීමට හැකියාවකුත් තිබුණා.

රෝමයේ නාගරික වාරිමාර්ග පද්ධති

3වෙනි සියවසේ මුල් කාලය වන විට විශාල වාරිමාර්ග පද්ධති 11ක් හරහා රෝමයට ජලය සැපයුවා. ඇක්වා ඇපියා ලෙස හඳුන්වන මුල්ම වාරිමාර්ග පද්ධතිය සෑදුවේ ක්‍රි.පු. 312දීයි. කි.මී. 16ක් දිග එය දිව ගියේ පොළොව යටින්. ඇක්වා ක්ලොඩියා තවත් එවැනිම වාරිමාර්ග පද්ධතියක්. කි.මී. 69ක් පමණ දිග එහි සමහර කොටස් තවමත් දකින්න තියෙනවා. එහි කි.මී. 10ක පමණ දුරක් ජලය ගලා ගියේ ආරුක්කු මතයි. ඒ ආරුක්කු බොහෝමයක් මීටර් 27ක් පමණ උසයි.

රෝමයේ වාරිමාර්ග පද්ධති හරහා විශාල ජල කන්දරාවක් ගලා ගියා. කලින් සඳහන් කළ ඇක්වා මර්සියා හරහා දිනකට ජලය ලීටර් මිලියන 190ක් රෝමයට ගලා ආවා. නගරයට ගලා ආ ජලය විශාල ටැංකිවලට එකතු වූ අතර ඉන් පසු නගරය පුරා තිබුණු වෙනත් ටැංකිවලට ගලා ගියා. සමහර ගණන් බැලීම්වලට අනුව රෝමයේ එක් වැසියෙකුට දිනකට ලීටර් 1,000ක් සැපයීමට තරම් හැකියාවක් රෝමයේ වාරිමාර්ග පද්ධතිවලට තියෙන්න ඇතැයි කියා වාර්තා වෙනවා.

රෝම අධිරාජ්‍යය ක්‍රමක්‍රමයෙන් පුළුල් වෙද්දී “ඔවුන්ගේ වාරිමාර්ග පද්ධතිත් පුළුල් වුණා” කියා එක් පොතක සඳහන් වෙනවා. (Roman Aqueducts & Water Supply) අදටත් කුඩා ආසියාව, ප්‍රංශය, ස්පාඤ්ඤය, උතුරු අප්‍රිකාව වැනි රටවල සංචාරය කරන අය රෝමයේ විස්මිත වාරිමාර්ග පද්ධති දකින විට මවිතයට පත් වීම පුදුමයක් නෙමෙයි.

^ 2 ඡේ. ඇසිරියාව, ඊජිප්තුව, ඉන්දියාව සහ පර්සියාව රෝමයට කලින් වාරිමාර්ග පද්ධති තනා තිබෙනවා.