Skip to content

පටුනට යන්න

“දෙවිට ළං වෙන්න”

“දෙවිට ළං වෙන්න”

“දෙවිට ළං වෙන්න”

“දෙවිට ළං වෙන්න, එවිට ඔහු ඔබට ළං වන්නේය.”—යාකොබ් 4:8, NW.

1, 2. (අ) මිනිසුන් බොහෝවිට කියා සිටින දෙය කුමක්ද? (ආ) යාකොබ් දුන්නේ කිනම් අවවාදයද? තවද එය දීම අවශ්‍ය වුණේ ඇයි?

 “දෙවියන් අප සමඟයි.” මේ වචන ජාතික ලාංඡනවලද, එමෙන්ම සොල්දාදුවන්ගේ නිල ඇඳුම්වලද දක්නට තිබෙනවා. “දෙවියන් කෙරෙහි විශ්වාස කරමු” යන කියමන අද දින භාවිත වන අසංඛ්‍යාත කාසි සහ මුදල් නෝට්ටුවලත් සඳහන් වෙනවා. මේ නිසා තමන්ට දෙවියන් සමඟ කිට්ටු සම්බන්ධයක් තිබෙන බව මිනිසුන් පොදුවේ කියා සිටින දෙයක්. ඒ වුණත්, මේ වගේ සම්බන්ධතාවක් ඇත්තටම තබාගන්නට නම්, ඒ ගැන කතා කිරීම හෝ යම් උද්ධෘත පාඨ ප්‍රදර්ශනය කිරීමට වඩා වැඩි යමක් අවශ්‍ය වන බවට ඔබ එකඟ වෙන්නේ නැද්ද?

2 දෙවි සමඟ සම්බන්ධතාවක් තබාගන්නට පුළුවන් කියලායි බයිබලය පෙන්වන්නේ. ඒ වුණත් අපිත් ඒ සඳහා උත්සාහයක් දරන්න ඕනේ. මුල් සියවසේ හිටපු ආලේප ලත් ක්‍රිස්තියානීන්ටත් යෙහෝවා දෙවි සමඟ තිබූ ඔවුන්ගේ සම්බන්ධතාව ශක්තිමත් කරගැනීමට අවශ්‍ය වෙලා තිබුණා. ඉතිං සමහරක් අයට ඔවුන් තුළ තිබූ මාංසික නැඹුරුවාවන් ගැනත් ආත්මික පිරිසිදුකම නැති කරගැනීම ගැනත් උපදෙස් දෙන්න ක්‍රිස්තියානි අවේක්ෂකයෙකු වූ යාකොබ්හට සිදු වුණා. ඒත් සමඟම මෙන්න මේ ප්‍රබල අවවාදයත් ඔවුන්ට දෙන්නට ඔහු අමතක කළේ නැහැ. “දෙවිට ළං වෙන්න, එවිට ඔහු ඔබට ළං වන්නේය.”[NW] (යාකොබ් 4:1-12) “ළං වෙන්න” කියා කීමෙන් යාකොබ් අදහස් කරපු දේ මොකක්ද?

3, 4. (අ) “දෙවිට ළං වෙන්න” යන කියමනෙන් පළමු සියවසේ විසූ යාකොබ්ගේ සමහරක් පාඨකයන්ට මොන වගේ දෙයක් මතක් වුණා වෙන්න පුළුවන්ද? (ආ) දෙවි වෙතට ළඟා වෙනවා කියන කාරණය ගැන අපිට හරියටම ස්ථිර වෙන්න පුළුවන් ඇයි?

3 තම පාඨකයන්ගෙන් හුඟාක්දෙනෙකුට හුරු පුරුදුව තිබූ ප්‍රකාශයකුයි යාකොබ් මෙහිදී යොදාගත්තේ. සෙනඟ වෙනුවෙන් පූජකයන් තමන් ‘ළඟට ආ යුතු’ ආකාරය සම්බන්ධයෙන් යෙහෝවා මෝසෙස්ගේ නීතිය තුළ විශේෂ උපදෙස් දී තිබුණා. (නික්මයාම 19:22) මේ ආකාරයෙන්, යෙහෝවා වෙතට ළං වෙනවා කියන එක සැහැල්ලුවට නොගත යුතු දෙයක්ය යන කාරණය යාකොබ් තමන්ගේ පාඨකයන්හට සිහිගැන්වූවා විය හැකියි. ඒකට හේතුව යෙහෝවා විශ්වයේ උත්තරීතරම තනතුර හොබවන නිසායි.

4 අනෙක් අතට ගත්තහම, එක්තරා බයිබල් විශාරදයෙක් අදහස් දැක්වූවාක් මෙන්, “[යාකොබ් 4:8හි සඳහන] මෙම අවවාදය ප්‍රබල බලාපොරොත්තුක් ජනිත කරවයි.” යෙහෝවා තමාට ළං වෙන්න කියා සෑමවිටම ප්‍රේමණීය ලෙස අසම්පූර්ණ මිනිසුන්ට ආරාධනා කර තිබූ බව යාකොබ් දැන සිටියා. (2 ලේකම් 15:2) යෙහෝවා වෙතට වඩාත් පූර්ණ අර්ථයකින් ළඟා වෙන්න මාර්ගය විවෘත කර දුන්නේ යේසුස්ගේ මිදීමේ මිල පූජාවයි. (එපීස 3:10, 12) ඔන්න දැන් දෙවි වෙතට ළඟා වෙන මාර්ගය මිලියන ගණනකට විවෘත වෙලා. එහෙමනම්, අපට මෙම මවිතාකාර ප්‍රස්තාවෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් කොහොමද? හොඳයි, එහෙමනම් යෙහෝවා දෙවි වෙතට අපිට ළඟා වෙන්න පුළුවන් මාර්ග තුනක් ගැන දැන් අපි කෙටියෙන් සලකා බලමු.

දෙවි පිළිබඳ ‘දැනුම ලබාගනිමින්’ සිටින්න

5, 6. දෙවි ගැන ‘දැනුම ලබාගැනීමට’ ඇතුළත් වන දේ ගැන කුඩා සාමුවෙල්ගේ ආදර්ශය තුළින් පෙන්වා දී ඇත්තේ කොහොමද?

5 යොහන් 17:3ට [NW] අනුව, යේසුස් මෙසේ පැවසුවා. “සදාකාල ජීවනය නම් මේය. එකම සැබෑ දෙවි වන ඔබ ගැනත් ඔබ එවූ තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ගැනත් ඔවුන් දැනුම ලබාගැනීමය.” බොහෝ පරිවර්තනවල නම් මෙම පදය නව ලෝක පරිවර්තනයට වඩා ටිකක් වෙනස් විදිහටයි පරිවර්තනය කර තියෙන්නේ. දෙවි පිළිබඳ “දැනුම ලබාගැනීම” කියා කියනවා වෙනුවට, එම පරිවර්තනවල නිකම් සරලව කියන්නේ දෙවිව “හැඳිනගැනීම,” නැත්නම් දෙවිව “දැනගැනීම” කියලායි. කොහොමවුණත්, විශාරදයන් බොහෝදෙනෙක් මෙහිදී දකින දෙයක් තමයි, මෙහි යොදා ඇති මුල් ග්‍රීක් වචනයේ අරුතට මීට වඩා වැඩි යමක් ඇතුළත්ය කියන එක. ඒ කියන්නේ, දිගටම සිදු වෙන ක්‍රියාවලියක්, එනම් තවත් කෙනෙකු සමඟ ඉතා සමීප සම්බන්ධතාවකට තුඩු දෙන ක්‍රියාවලියක් මීට ඇතුළත් වන බවයි.

6 දෙවිව ඉතා සමීප ලෙස දැනගැනීමට හැකිවීම යන අදහස යේසුස් විසූ කාලයේ සිටි අයට අලුත් අදහසක් වුණේ නම් නැහැ. අපි උදාහරණයක් ගනිමු. හෙබ්‍රෙව් ශුද්ධ ලියවිල්ලේ අපට කියවීමට තිබෙනවා, සාමුවෙල් ළමයෙකුව සිටින විට, ඔහු “ඒ වන විටත් යෙහෝවාව දැනගැනීමට පැමිණ නොසිටි” බව. (1 සාමුවෙල් 3:7, NW) මේකෙන් අදහස් කරනවාද සාමුවෙල් තම දෙවි ගැන දැන සිටියේ බොහොම ටිකයි කියලා? නැහැ. ඔහුගේ දෙමාපියන් සහ පූජකයන් ඔහුට බොහෝ දේවල් උගන්වා තිබූ බවට කිසිම සැකයක් නැහැ. කොහොමවුණත්, එක්තරා විශාරදයෙක් කියන විදිහට, මෙම පදයේ භාවිත කර ඇති හෙබ්‍රෙව් වචනය “වඩාත් සමීපතම මිත්‍රයෙකුට භාවිත කරන්න පුළුවන්.” සාමුවෙල් පසුව යෙහෝවා වෙනුවෙන් කතා කරන්නෙකු වශයෙන් සේවය කරද්දී දැන සිටි තරම් කිට්ටුවෙන් යෙහෝවාව ඒ වන විට දැනගෙන තිබුණේ නැහැ. සාමුවෙල් ලොකු මහත් වෙලා මේරූ කෙනෙක් වෙද්දී, ඔහු යෙහෝවාව දැනහඳුනා ගෙන ඔහු සමඟ සමීපතම සම්බන්ධතාවක් අත් කරගත් බවට කිසිම සැකයක් නැහැ.—1 සාමුවෙල් 3:19, 20.

7, 8. (අ) බයිබලයේ වඩාත් ගැඹුරු ඉගැන්වීම් තේරුම්ගන්න අමාරුයි කියා අපි නොසිතිය යුත්තේ ඇයි? (ආ) අප අධ්‍යයනය කළ යුතු දේවවචනයේ අඩංගු ගැඹුරු සත්‍යතාවන් සමහරක් මොනවාද?

7 ඔබ දැන් කුමක්ද කරමින් සිටින්නේ? යෙහෝවාව ඉතා කිට්ටුවෙන් දැනහඳුනා ගත හැකි වන විදිහට ඔබ ඔහු පිළිබඳව දැනුම ලබාගනිමින් සිටිනවාද? එහෙම කරන්න නම්, ඔබ දෙවි සපයන ආත්මික ආහාර කෙරෙහි ‘බොහෝ ආශාවක්’ ඇති කරගත යුතුයි. (1 පේතෘස් 2:3) මූලික කාරණා විතරක් පාඩම් කරලා සෑහීමට පත් වෙන්න එපා. බයිබලයේ සමහර වඩාත් ගැඹුරු කාරණා ගැන ඉගෙනගන්න උත්සාහ කරන්න. (හෙබ්‍රෙව් 5:12-14) ඒ කාරණා තේරුම්ගන්නට හුඟාක් අමාරුයි කියලා ඔබට හිතෙනවාද? එහෙමනම් මෙන්න මේක මතක තියාගන්න. යෙහෝවායි අපේ “උදාර උපදේශකයා.” (යෙසායා 30:20 NW) ගැඹුරු සත්‍යතාවන් අසම්පූර්ණ මිනිසුන්ගේ මනස්වලට ඇතුල් කරන්නේ කොහොමද කියලා ඔහු දන්නවා. එවගේම ඔහු ඔබට උගන්වන දේ වටහාගන්නට ඔබ දරන අවංක ප්‍රයත්නයට ආශීර්වාද කරන්නත් ඔහුට පුළුවන්. ඔව්, ඒ ගැන නම් කිසිම සැකයක් තියාගන්න එපා!—ගීතාවලිය 25:4.

8 ඇයි ඔබම “දෙවිගේ ගැඹුරු දේවල්” සමහරක් ගැන පරීක්ෂා කරලා බලන්නේ නැත්තේ? (1 කොරින්ති 2:10) මේවා දේවධර්මාධරයන් හෝ පූජකයන් විසින් වාද විවාදවලට භාජන කළ හැකි නිකම්ම නිරස කාරණා නම් නොවේ. මේවා අපගේ මේ ස්නේහවන්ත පියාණන්ගේ මනස සහ හදවත පිළිබඳව සියුම් අවබෝධයක් ලබා දෙන මූලධර්මයන්. ඇත්තටම කියනවා නම්, ඒ වගේ අවබෝධයක් ලබාගනිද්දී එයින් ලැබෙන තෘප්තිය හරිම චමත්කාරජනකයි. උදාහරණයක් හැටියට මිදීමේ මිලය, “පරිශුද්ධ රහස,” වගේ විෂයන් ගන්න. ඒ වගේම යෙහෝවා තමන්ගේ ජනයාට ආශීර්වාද කිරීමටත් තම අරමුණ ඉටු කරගැනීමටත් යොදාගෙන ඇති විවිධ ගිවිසුම් දිහා බලන්න. මේ විෂයන් වගේම මේ හා සමාන තවත් විෂයන්, පෞද්ගලිකව පර්යේෂණය කරන්න වගේම අධ්‍යයනය කරන්නත් අපූරු ක්ෂේත්‍රයන්ය.—1 කොරින්ති 2:7.

9, 10. (අ) උඩඟුකම භයානක දෙයක් වන්නේ ඇයි? තවද එයින් වැළකී සිටීමට අපට උපකාරවත් වන්නේ කුමක්ද? (ආ) යෙහෝවා පිළිබඳව දැනුම ලබාගනිද්දී, අප යටහත් පහත් අය වීමට දැඩි වෑයමක් ගත යුත්තේ ඇයි?

9 ඔබ වඩාත් ගැඹුරු ආත්මික සත්‍යතාවන් පිළිබඳ දැනුමෙන් වැඩෙනකොට, ඒ වගේ දැනුමක අන්තරායක් තියෙන්න පුළුවන්. ඒකෙන් පරෙස්සම් වෙන්න. ඒ තමයි, උඩඟුකම. (1 කොරින්ති 8:1) උඩඟුකම කියන මේ උගුල හරිම භයානකයි. මොකද ඒක මිනිසුන්ව දෙවිගෙන් ඈත් කරනවා. (හිතෝපදේශ 16:5; යාකොබ් 4:6) මේක මතක තියාගන්න. එනම් තමන්ගේ දැනුම නිසා කිසිම මිනිසෙකුට පාරට්ටු කරගන්නට කිසිදු හේතුවක් නැහැ. මෙය පැහැදිලි කරගන්න එක් උදාහරණයක් ගමු. මිනිස් සංහතියේ වඩාත් නවීනතම විද්‍යාත්මක ප්‍රගතිය පිළිබඳව සමීක්ෂණයක විස්තර සපයන එක්තරා පොතක හැඳින්වීමේ සඳහන් වෙන්නේ මෙන්න මෙහෙමයි. “අප වඩ වඩාත් කාරණා දැනගන්න, දැනගන්න, අපි දන්නේ කොච්චර අල්පයක්ද යන වග අපට වැටෙහනවා. . . . අපට තවමත් ඉගෙනගන්නට තිබෙන දේවල් සමඟ සසඳද්දී, අප ඉගෙනගෙන තිබෙන හැම දෙයක්ම හුදෙක් අංශු මාත්‍රයක් පමණයි.” එවන් යටහත් පහත් මානසිකත්වයක් ඇතුව සිටීම කොතරම් යෝග්‍යද! එහෙමනම්, ලබාගත හැකි ශ්‍රේෂ්ඨතම දැනුම, ඒ කියන්නේ යෙහෝවා දෙවි පිළිබඳ දැනුම හා සසඳද්දී, අප ඊටත් වඩා කොපමණ වැඩියෙන් යටහත් පහත්ව සිතන්න ඕනෑද! ඒ ඇයි?

10 යෙහෝවා ගැන බයිබලයේ කියන සමහරක් කියමන් ගැන සලකා බලන්න. “ඔබගේ කල්පනා ඉතා ගැඹුරුය.” (ගීතාවලිය 92:5) “[යෙහෝවාගේ] ඥානය අසීමිතය.” (ගීතාවලිය 147:5, නව අනුවාදය) “[යෙහෝවාගේ] ඥානය දැනගන්ට බැරිය.” (යෙසායා 40:28) “අහෝ, දෙවිගේ ප්‍රඥාවෙත් දැනගැන්මෙත් බහුලත්වය කොපමණ ගැඹුරුද!” (රෝම 11:33) යෙහෝවා ගැන දැනගන්නට තියෙන සියලුම දේවල් අපිට කවදාවත් දැනගන්නට ලැබෙන්නේ නැති බව නම් පැහැදිලියි. (දේශනාකාරයා 3:11) ඔහු අපට පුදුමාකාර දේවල් බොහොමයක් උගන්වා තියෙනවා. ඒ වුණත් තවත් අපමණ දේවල් ඔහු ඉදිරි අනාගතයේදී අපට උගන්වාවි. මේවායින් අප තවත් බොහෝ දේවල් ඉගෙනගනීවි. එහෙම අපේක්ෂාවක් අපගේ සිත් සතන් තුළ මහත් සන්තුෂ්ටියක් ඇති කරවන්නේ නැද්ද? ඒ වගේම අපව තවත් යටහත් පහත් කරවන්නේ නැද්ද? එහෙමනම්, අප තව තවත් ඉගෙනගනිමින් ලබාගන්නා දැනුම යෙහෝවාට තව තවත් ළං වෙන්නත්, ඒ විදිහටම ඔහු වෙත ළං වෙන්න අනිත් අයට උදව් කරන්නත් සෑමවිටම යොදාගමු. හැබැයි, අනුන්ට වඩා ඉහළින් කැපීපෙනෙන්න නම් ඒ වගේ දැනුමක් කිසිදාක යොදා නොගනිමු.—මතෙව් 23:12; ලූක් 9:48.

යෙහෝවා කෙරෙහි ඇති ඔබේ ප්‍රේමය ප්‍රකාශ කරන්න

11, 12. (අ) යෙහෝවා පිළිබඳව අප ලබාගනිමින් සිටින දැනුම අපට බලපාන්න ඕනෑ කොහොමද? (ආ) යම් පුද්ගලයෙකු තුළ දෙවි කෙරෙහි ඇති ප්‍රේමය අවංකද කියා නිශ්චය කරන්නේ කුමකින්ද?

11 ප්‍රේරිත පාවුල් මෙහිදී දැනුම හා ප්‍රේමය අතර ඇති සම්බන්ධය කදිම ලෙස ගෙනහැර දක්වා තිබෙනවා. ඔහු මෙහෙම ලිව්වා. “මා නොකඩවා යාච්ඤා කරන්නේ, ඔබේ ප්‍රේමය නිවැරදි දැනුමෙන් සහ පූර්ණ විචාර බුද්ධියෙන් වඩ වඩා බහුල වන්න” කියායි. (පිලිප්පි 1:9, NW; [1:11, පැ.අ.]) අහංකාරයෙන් හිස උදුම්මාගන්නවා වෙනුවට, යෙහෝවා ගැනත් ඔහුගේ අරමුණ ගැනත් අප ඉගෙනගන්නාවූ සෑම වටිනා සත්‍යයක්ම අපගේ ස්වර්ගික පියාණන් සඳහාවූ අපගේ ප්‍රේමය වැඩි කරන්න ඕනෑ.

12 ඇත්ත වශයෙන්ම, තමන් දෙවිට ප්‍රේම කරනවායයි කියන බොහෝදෙනෙක් ඇත්තටම එසේ කරන්නේ නැහැයි කියන එක අපි දන්නවා. ඔවුන්ගේ හදවත් පිරී පවතින්නේ අවංක චිත්තවේගී හැඟීම්වලින් වෙන්න පුළුවන්. නිවැරදි දැනුමට එකඟව පවතින විට, ඒ වගේ හැඟීම් තියෙන එක හොඳයි, ප්‍රශංසාකටයුතුයි. කෙසේවෙතත්, දෙවි කෙරෙහි සැබෑ ප්‍රේමයක් ඇති බවට එය ප්‍රමාණවත් සාක්ෂියක් නොවෙයි. ඒ ඇයි? දැන් බලන්න, සැබෑ ප්‍රේමයක් දේවවචනයේම නිර්වචනය කර ඇති විදිහ. “දෙවිට ප්‍රේමවීම නම්, අප විසින් ඔහුගේ ආඥා පැවැත්වීමය. ඔහුගේ ආඥා බර නැත.” (1 යොහන් 5:3) එහෙමනම්, යෙහෝවා කෙරෙහි ඇති ප්‍රේමය අවංකයි කියලා පේන්නේ කීකරුකමින් කරන ක්‍රියා තුළින් විතරයි.

13. යෙහෝවා කෙරෙහි ඇති ප්‍රේමය නිරූපණය කිරීමට දේවභය අපට උපකාරවත් වන්නේ කොහොමද?

13 දේවභය යෙහෝවාට කීකරු වීමට අපට මහෝපකාරී වෙනවා. යෙහෝවා උදෙසා ඉමහත් වූ ගැඹුරු භයක් අප තුළ ඇති වන්නේ ඔහු ගැන දැනගැනීමෙන්. ඔහුගේ අසීමිත ශුද්ධකම, මහිමය, බලය, යුක්තිය, ප්‍රඥාව සහ ප්‍රේමය ගැන ඉගෙනගැනීමෙන්. එවන් භයක් අප තුළ තිබීම යෙහෝවාට ළංවීම සඳහා තිබිය යුතු අනිවාර්ය අවශ්‍යතාවක්. මේ සම්බන්ධයෙන් ගීතාවලිය 25:14හි [NW] කියන දෙය බලන්න. “යෙහෝවා සමඟ සමීප සම්බන්ධතාවක් ඇත්තේ ඔහුට භය වෙන අයටය.” මේ අනුව, අපගේ ස්නේහවන්ත දයාබර ස්වර්ගික පියාණන්ව අසතුටු කිරීමේ සුවදායක භයක් අපට තිබෙනවා නම්, ඔහු වෙතට ළං වෙන්න අපට පුළුවන්. හිතෝපදේශ 3:6හි වාර්තා කර ඇති ඥානවන්ත උපදෙසට අවනත වීමට අපට ඉවහල් වන්නේ දේවභයයි. “නුඹේ සියලු මාර්ගවලදී නුඹ ඔහුව සලකන්න, එවිට ඔහු නුඹේ මාවත් සමතලා කරනවා ඇත.” මේ කියමනෙන් මොකක්ද අදහස් කරන්නේ?

14, 15. (අ) අපට අපගේ දෛනික ජීවිතයේ ගැනීමට තිබෙන සමහරක් තීරණ මොනවාද? (ආ) අපගේ දේවභක්තිය පිළිබිඹු වන ආකාරයකින් තීරණ ගැනීමට අපට හැක්කේ කෙසේද?

14 සෑම දවසකම වගේ තීරණ ගැනීමට ඔබට සිදු වෙනවා. සමහරක් ඒවා වැදගත් කාරණා පිළිබඳ තීරණ, සමහරක් ඒවා සුළු සුළු කාරණා ගැන. උදාහරණයක් හැටියට, ඔබත් සමඟ එකට වැඩ කරන අය සමඟ, ඔබගේ පාසැලේ ළමුන් සමඟ, අසල්වාසීන් සමඟ ඔබ කරන්නේ මොන වගේ කතා බහද? (ලූක් 6:45) ඔබට කරන්නට තිබෙන වැඩ ඔබ මහන්සි වී කඩිසර ලෙස කරනවාද? නැත්නම් හැකි තරම් අඩු ප්‍රයත්නයක් දරා එය ඉවරයක් කර දමන්නටද ඔබ උත්සාහ කරන්නේ? (කොලොස්සි 3:24) ඔබ ළං වෙන්න උත්සාහ කරන්නේ යෙහෝවා කෙරෙහි මද ප්‍රේමයක් තිබෙන හෝ කිසිම ප්‍රේමයක් නැති අය වෙතටද? නැත්නම් ඔබේ උත්සාහ දරන්නේ ආත්මික මනසක් ඇති අය සමඟ ඔබේ සම්බන්ධතාවන් ශක්තිමත් කරගන්නටද? (හිතෝපදේශ 13:20) දේවරාජ්‍යයේ කාරණා වැඩිදියුණු කරන්න, සුළු වශයෙන් හරි ඔබ කරන්නේ කුමක්ද? (මතෙව් 6:33) එදිනෙදා ජීවිතයේ තීරණ ගැනීමට සිදු වන විට, මෙහි සඳහන් කර ඇති ශුද්ධ ලියවිලිමය ප්‍රතිපත්ති අදාළ කරගන්නවා නම්, ඇත්ත වශයෙන්ම ඔබ ‘ඔබේ සියලු මාර්ගවලදී’ යෙහෝවාව සලකනවා කියා කියන්න පුළුවන්.

15 ඇත්ත වශයෙන්ම, අප ගන්නා සෑම තීරණයකදීම, මෙම සිතිවිල්ලෙන් අප පාලනය විය යුතුය. එනම්, මා කුමක් කරනවාටද යෙහෝවා කැමති වෙන්නේ? ඔහුව වඩාත්ම සතුටු කිරීමට මට හැක්කේ මා ගන්නා කොයි වගේ ක්‍රියාමාර්ගයකින්ද? (හිතෝපදේශ 27:11) මේ විදිහට දේවභය පෙන්වීම යෙහෝවා කෙරෙහි වූ අපගේ ප්‍රේමය පළ කිරීමට තිබෙන බොහොම හොඳ ක්‍රමයක්. ඒ විතරක් නෙවෙයි, ආත්මිකව, සදාචාරාත්මකව සහ ශාරීරිකව පිරිසිදුව සිටීමටද දේවභය අපව පොලඹවනවා. මෙය මතක තබාගන්න. “දෙවිට ළං වෙන්න” කියා යාකොබ් ක්‍රිස්තියානීන්ගෙන් උදක්ම ඉල්ලා සිටි එම පදයේ ඊළඟට ඔහු දෙන අවවාදය සිතට ගන්න. “පව්කාරයෙනි, ඔබේ දෑත් පිරිසිදු කරගන්න. දෙගෙඩියාවෙන් සිටින්නෙනි, ඔබේ සිත් පවිත්‍ර කරගන්න.”—යාකොබ් 4:8, NW.

16. යෙහෝවාට දීම මගින්, අපට කිසිදා ඉටු කරගත නොහැක්කේ කුමක්ද? එහෙත් කුමක් කිරීමෙන් අපට සෑමවිටම සාර්ථකත්වය ලැබිය හැකිද?

16 ඇත්ත වශයෙන්ම, යෙහෝවා කෙරෙහි වූ අප සතු ප්‍රේමය අපට පෙන්විය හැක්කේ නපුරෙන් වැළකී සිටීමෙන් පමණක් නොවෙයි. ඊට වඩා බොහෝ සෙයින් වැඩි යමක් එයට ඇතුළත් වෙනවා. තවද, හරි දෙය කිරීමටද ප්‍රේමය අපව පොලඹවයි. උදාහරණයක් හැටියට, යෙහෝවාගේ අපරිමිත ත්‍යාගශීලීවන්තභාවයට අප ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද? යාකොබ් ලීවේ මෙසේයි. “සෑම යහපත් දීමනාවක්ද සෑම සම්පූර්ණ ත්‍යාගයක්ද ඉහළින්ය. මන්ද, අහසෙහි ආලෝකවල පියාණන් කෙරෙන් එය බැස එන්නේය.” (යාකොබ් 1:17, NW) අප අපේ දේපළවලින් යමක් යෙහෝවාට දීමේදී, අපි ඔහුව ධනවත් නොකරන බව ඇත්තයි. තිබෙන හැම දෙයක්ම හැම සම්පතක්ම අයිති ඔහුටයි. (ගීතාවලිය 50:12) අපගේ කාලය හා ශක්තිය අප යෙහෝවාට දෙන විට, ඔහුට වෙනත් ක්‍රමයකින් ලබාගන්නට බැරි අවශ්‍යතාවක් අප විසින් සපුරාලමින් සිටිනවාත් නෙවෙයි. දෙවිගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය දේශනා කිරීම අපි නොකරනවායයි සිතමු. එහෙමනම්, ගල් ලවා මොරගස්වන්නට ඔහුට පුළුවන්. එසේනම්, අපේ සම්පත්, කාලය හා ශක්තිය අපි යෙහෝවාට දෙන්නේ ඇයි? ඒ අපගේ මුළු සිතින්, ජීවිතයෙන්, මනසින් හා ශක්තියෙන් අප ඔහුට ප්‍රේම කරන බව පෙන්වන්නටයි.—මාර්ක් 12:29, 30, NW.

17. යෙහෝවාට සතුටු සිතින් දීමට අපව පෙලඹිය හැක්කේ කුමකටද?

17 අප යෙහෝවාට දෙන විට, එසේ කළ යුත්තේ හද පිරි සතුටකිනුයි. “මක්නිසාද, සතුටු සිතින් දෙන්නාට දෙවි ප්‍රේම කරන්නේය.” (2 කොරින්ති 9:7) ද්විතීය කථාව 16:17හි වාර්තා කර ඇති ප්‍රතිපත්තිය සතුටු සිතින් දීමට අපට උපකාරවත් වෙනවා. “නුඹේ දෙවි වූ යෙහෝවා නුඹට දී තිබෙන ආශීර්වාදයේ හැටියට, එකිනෙකා තම තමාගේ පුළුවන්කම ප්‍රකාර දීමනාවක් ඇතුව පෙනී සිටීවා.” ඇත්ත වශයෙන්ම යෙහෝවා අප කෙරෙහි කොතරම් ත්‍යාගශීලී වී තිබෙනවාද කියා කල්පනා කර බලන විට, අප තුළ බලවත් ආශාවක් ඇති වෙන්නේ ඔහුට නොමසුරුව දීමටයි. අන්න එහෙම දෙනකොට, ඔහුගේ හදවත සතුටින් ඉපිල යයි. ඒක හරියට පියෙක් තම සිඟිති දරුවාගෙන් කුඩා තෑග්ගක් ලබන විට දැනෙන සතුට වගේ. මේ අන්දමින් අපගේ ප්‍රේමය යෙහෝවාට පළ කරන විට, නිතැතින්ම අපි ඔහු වෙතට ළං වෙමු.

යාච්ඤාව මගින් සමීප සම්බන්ධතාවක් ගොඩනඟා ගැනීම

18. අපගේ යාච්ඤාවල ගුණාත්මකභාවය දියුණු කරන ආකාරය සලකා බැලීම වටින්නේ මන්ද?

18 අප පෞද්ගලිකව යාච්ඤාපූර්වකව ගත කරන මොහොතවල් අපට ඉතා උතුම් ප්‍රස්තාවක් විවෘත කර දෙනවා. එය නම් අපගේ ස්වර්ගික පියාණන් සමඟ ඉතා කුලුපග සමීප කතා බහක නියැලීමට ලැබෙන අවස්ථාවයි. (පිලිප්පි 4:6) යාච්ඤාව කියන්නේ දෙවි වෙතට ළංවීමට තිබෙන ඉතා වැදගත්ම මාර්ගයක් නිසා, අපගේ යාච්ඤාවල ගුණාත්මකභාවය ගැන මදක් නැවතී සලකා බැලීම වටිනවා. ඉන් අදහස් කරන්නේ යාච්ඤාවල අදහස් හොඳින් පෙළගස්වා භාෂාවේ ඇති හර බර වචන යොදා කරන යාච්ඤා නොව, ඒවා හදවතින්ම නික්මෙන අවංක ප්‍රකාශන විය යුතු බවය. අපගේ යාච්ඤාවල ගුණාත්මකභාවය දියුණු කරන්න අපට හැක්කේ කොහොමද?

19, 20. අප යාච්ඤා කිරීමට පෙර මෙනෙහි කළ යුත්තේ ඇයි? එවන් මෙනෙහි කිරීමක් සඳහා සුදුසු සමහරක් විෂයන් මොනවාද?

19 යාච්ඤා කිරීම ආරම්භ කරන්න ඉස්සර වෙලා අපට ඒ ගැන මෙනෙහි කර බලන්න පුළුවන්. අප යාච්ඤා කරන්නට කලින් මෙනෙහි කරනවා නම්, අපගේ යාච්ඤා නිශ්චිත වෙනවා, අරුත්බර වෙනවා. මෙසේ එකම දේ යළි යළිත් කීමෙන් හා මතකයේ රැඳී තිබෙන යම් හුරු පුරුදු අදහස් නැවත කීමේ පුරුද්දෙන් වළකින්න පුළුවන්. (හිතෝපදේශ 15:28, 29) ඒ සඳහා යේසුස් සඳහන් කළ ආදර්ශ යාච්ඤාවේ අන්තර්ගත යම් තේමාවන් ගැන මෙනෙහි කර බැලීම සහ අනතුරුව ඒවා අපගේම තත්වයන්ට අදාළ වන්නේ කෙසේදැයි සලකා බැලීම උපකාරවත් වෙන්න පුළුවන්. (මතෙව් 6:9-13) නිදසුනක් වශයෙන්, මේ පොළොව මත යෙහෝවාගේ කැමැත්ත ඉටු කිරීමෙහිලා අප විසින් කරන්නට බලාපොරොත්තු වන කුඩා කොටස කුමක්ද කියා අපට අපගෙන්ම අසාගත හැකියි. හැකි තාක් දුරට යෙහෝවා අපව පාවිච්චි කරනවාට අප තුළ ඇති කැමැත්ත ප්‍රකාශ කරන්නටත් ඔහු අපට දී තිබෙන මොනයම් හෝ පැවරුමක් ඉෂ්ට කරන්නට අවශ්‍ය උපකාර ඉල්ලන්නටත් අපට පුළුවන්ද? අපගේ ද්‍රව්‍යමය අවශ්‍යතා ගැන සිත සිතා සිටීමෙන් අප හොඳටම වෙහෙසට පත් වී සිටිනවාද? අපට සමාව අවශ්‍ය වන්නේ කිනම් වැරදිවලටද? අප විසින් වැඩියෙන් සමාව දීමට අවශ්‍ය වන්නේ කාටද? අප වරදට පෙලඹෙන්නේ කොයි පැත්තෙන්ද? මේ කාරණයේදී යෙහෝවාගේ ආරක්ෂාව ලැබීමේ අවශ්‍යතාව අප කොතරම් දුරකට වටහාගෙන සිටිනවාද?

20 මීට අමතරව, යෙහෝවාගේ උපකාරය විශේෂයෙන්ම අවශ්‍ය වන්නාවූ අය ගැන අප දන්නවා වෙන්න පුළුවන්. (2 කොරින්ති 1:11) ඒ වගේම, අමතක නොකළ යුතු දෙයක් වන්නේ ස්තුති දීමයි. අප මදක් නැවතී ඒ ගැන කල්පනා කර බැලුවහොත්, යෙහෝවා අප වෙත දක්වා තිබෙන යහපත්කමේ බහුලත්වය වෙනුවෙන් සෑම දවසකම ඔහුට ස්තුති කරන්නටත් ප්‍රශංසා දෙන්නටත් අපට පමණටත් වඩා හේතු තිබෙනවාට සැකයක් නැහැ. (ද්විතීය කථාව 8:10; ලූක් 10:21) මෙසේ කිරීම අමතර ප්‍රයෝජනයක්ද ගෙන දෙයි. එනම්, ජීවිතය පිළිබඳව වඩාත් සුබවාදී, කෘතඥපූර්වක ආකල්පයක් ඇති කරගැනීමට හැකිවීමයි.

21. අප යෙහෝවා වෙතට යාච්ඤාවෙන් ළඟා වන විට, අපට උපකාරවත් විය හැක්කේ කිනම් ශුද්ධ ලියවිලි ආදර්ශයන් අධ්‍යයනය කිරීමද?

21 එමෙන්ම අධ්‍යයනය කිරීමෙන්ද අපගේ යාච්ඤාවල ගුණය නංවාලන්න පුළුවන්. විශ්වාසවන්ත පුරුෂයන් හා ස්ත්‍රීන් විසින් කරන ලද කැපීපෙනෙන යාච්ඤා දේවවචනයේ සඳහන් වෙලා තිබෙනවා. උදාහරණයක් හැටියට, අප ඉදිරියේ යම් අභියෝගාත්මක ගැටලුවක් තිබෙනවා නම්, මේ නිසා අප තුළ යම් කනස්සල්ලක් හෝ අපගේ හෝ අප ප්‍රේම කරන අයගේ ශුභසාධනය ගැන බියක් ඇති වෙලා කියා සිතමු. එවිට, යාකොබ්ගේ යාච්ඤාව කියවන්නට අපට හැකියි. එහි සඳහන් වෙන්නේ පළිගැනීමට අදිටන් කරගෙන සිටි තම සහෝදරයා වූ එසව්ව හමුවීමට යෑමට පෙර යාකොබ් කළ යාච්ඤාවයි. (උත්පත්ති 32:9-12) එසේ නැතහොත්, මිලියනයක් පමණ වූ එතියෝපියන්ගෙන් සමන්විත හමුදාව, දෙවිගේ සෙනඟට තර්ජනය කළ විට ආසා රජ කළ යාච්ඤාව ගැන අපට අධ්‍යයනය කරලා බලන්න පුළුවන්. (2 ලේකම් 14:11, 12) යෙහෝවාගේ නාමය මතට නින්දාවක් ගෙන දිය හැකි ගැටලුවක් නිසා අප කැලඹීමට පත් වී සිටිනවා නම්, කර්මෙල් කන්ද මත බාල් වන්දනාකරුවන් ඉදිරියේ එලියා කළ යාච්ඤාව සලකා බලන එක හොඳයි. නැත්නම් යෙරුසලමේ කනගාටුදායක තත්වය පිළිබඳව නෙහෙමියා කළ යාච්ඤාව සලකා බැලීම වටිනවා. (1 රාජාවලිය 18:36, 37; නෙහෙමියා 1:4-11) ඒ වගේ යාච්ඤා කියවා මෙනෙහි කිරීමෙන් අපගේ ඇදහිල්ල ශක්තිමත් වෙනවා විතරක් නෙවෙයි, අපට මහා බරක් වී ඇති මෙම කාරණා පිළිබඳව යෙහෝවා සමඟ වඩාත් හොඳම ආකාරයෙන් කතා කළ හැක්කේ කොහොමද යන්න පිළිබඳවත් යම් අදහසක් ගත හැකියි.

22. වර්ෂ 2003 සඳහා වාර්ෂික පදය කුමක්ද? එම වසර පුරාම වරින් වර අපට අපෙන්ම කුමක් ඇසිය හැකිද?

22 එසේනම්, “දෙවිට ළං වෙන්න” යනුවෙන් යාකොබ් දෙන උපදෙසට අවනත වීම තරම් වඩා උතුම් ගෞරවයක්, වඩා උතුම් ඉලක්කයක් නැති බව පැහැදිලියි. (යාකොබ් 4:8, NW) දෙවි පිළිබඳව දැනුම ලබාගැනීමෙහි ප්‍රගතියක් ලැබීම මගින්, ඔහු කෙරෙහි ඇති අපගේ ප්‍රේමය වඩ වඩාත් ප්‍රකාශ කිරීමට මං සෙවීම මගින් සහ යාච්ඤාව තුළින් ඔහු සමඟ ඇති සමීප සම්බන්ධතාව ශක්තිමත් කරගැනීම මගින් අපි ඔහුට ළං වෙමු. වර්ෂ 2003 තුළදී යාකොබ් 4:8 සඳහන් වාර්ෂික පදය මනසේ පෙරදැරි කරගෙන, අප ඇත්ත වශයෙන්ම යෙහෝවාට ළං වෙමින් සිටිනවාද කියා දිගටම අපිවම පරීක්ෂා කර බලමු. නමුත්, එම ප්‍රකාශයේ පසුව සඳහන් වූ කොටස ගැන කුමක් කියන්නට පුළුවන්ද? යෙහෝවා ‘ඔබට ළං වන්නේ’ කිනම් අර්ථයෙන්ද? ඉන් අත් වන ආශීර්වාද මොනවාද? ඊළඟ ලිපියේ මෙම කාරණය සාකච්ඡා වේවි.

ඔබට මතකද?

• යෙහෝවාට ළංවීම බැරෑරුම් ලෙස සැලකිය යුතු කාරණයක් වන්නේ මන්ද?

• යෙහෝවා පිළිබඳ දැනුම ලබාගැනීම සම්බන්ධව ගත් කල අපට තබාගත හැකි යම් ඉලක්කයන් සමහරක් මොනවාද?

• යෙහෝවා කෙරෙහි අව්‍යාජ ප්‍රේමයක් තිබෙන බවට නිරූපණය කිරීමට අපට හැක්කේ කෙසේද?

• අපට යාච්ඤාව තුළින් යෙහෝවා සමඟ වඩාත් උතුම් සමීප සම්බන්ධතාවක් පවත්වාගත හැක්කේ කිනම් මාර්ගවලින්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[12වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

2003 වසර සඳහා වාර්ෂික පදය මෙයයි. “දෙවිට ළං වෙන්න, එවිට ඔහු ඔබට ළං වන්නේය,”—යාකොබ් 4:8, NW.

[8, 9වන පිටුවේ පින්තූරය]

සාමුවෙල් මේරූභාවයට පැමිණෙත්ම, යෙහෝවාව සමීපව දැනහඳුනා ගැනීමට ඔහුට හැකි වුණා

[12වන පිටුවේ පින්තූරය]

කර්මෙල් කන්දේදී එලියා කළ යාච්ඤාව අපට කදිම ආදර්ශයක්