Skip to content

පටුනට යන්න

පවුල් කවය තුළ සෙනෙහස පෙන්වන්න

පවුල් කවය තුළ සෙනෙහස පෙන්වන්න

පවුල් කවය තුළ සෙනෙහස පෙන්වන්න

“පුච්චනවා! පුළුවන් නම් පුච්චනවා!” ටෝරු තම බිරිඳ යෝකෝට තර්ජනය කළේ එලෙසයි. a “ඔව් මං පුච්චනවා තමයි.” ඇය එසේ එකට එක පැවසුවේ ඔවුන් දෙදෙනා එකට ඉඳලා ගත් ඡායාරූපයක් පිළිස්සීමට ගිනිකූරක් පත්තු කරමිනුයි. ඉන්පසු ඇය, “මං ගේත් පුච්චලා දානවා!” කියා ඉතා සැරපරුෂ ලෙස පැවසුවා. ටෝරු ඇයට කම්මුල් පහරක් දුන් අතර එයින් ඔවුන් දෙදෙනා අතර ඇති වූ බහින් බස්වීම නිමාවකට පත් වුණා.

ටෝරු සහ යෝකෝ බලාපොරොත්තු පොදි බැඳගෙන යුග දිවියට පා තැබුවේ මීට අවුරුදු තුනකට කලිනුයි. එහෙනම් මේ වගේ තත්වයක් මතු වුණේ කොහොමද? ටෝරු පෙනුමෙන් ප්‍රියමනාප පුද්ගලයෙක්. එහෙත් ඔහුගේ බිරිඳට හැඟුණේ ඔහු කවදාවත් ඇයට සෙනෙහස දක්වන්නේවත් ඇගේ හැඟීම් සැලකිල්ලට ගන්නේවත් නැහැයි කියායි. ඇය ඔහුට සෙනෙහස පාන අවස්ථාවලදී එලෙසින්ම ප්‍රතිචාරය දක්වන්න ඔහුට නොහැකි වූ බවත් පෙනෙන්න තිබුණා. මෙය දරාගත නොහැකිව සිටි යෝකෝ තුළ හටගත් අමනාපය සහ කේන්තිය දවසින් දවස වැඩි වෙන්න පටන්ගත්තා. නින්ද නොයෑම, කාංසාව, කෑම අරුචිය, වහා කිපෙනසුලු ගතිය, මානසික අවපීඩනය වැනි රෝග ලක්ෂණ ඈ තුළ දක්නට ලැබුණු අතර අසාමාන්‍ය ලෙස කලබල වීමට හා භයවීමට හේතු වන ආබාධයකටද (panic attacks) ඇයට මුහුණ දෙන්න සිදු වුණා. නමුත් තමන්ගේ නිවසේ පැවති කලබලකාරී තත්වය ගැන ටෝරුට නම් ගානක්වත් තිබුණේ නැහැ. ඔහු එය සැලකුවේ නිකම් සාමාන්‍ය දෙයක් හැටියටයි.

“කටයුතු කිරීමට අසීරු අර්බුදකාරී කාලවල්”

මෙවැනි ගැටලු අද පොදුවේ සෑම තැනම දක්නට ලැබෙනවා. අපේ කාලය තුළදී “ජන්ම ස්නේහය නැති” මිනිසුන් සිටීවි කියා ප්‍රේරිත පාවුල් පුරෝකථනය කළා. (2 තිමෝති 3:1-5, NW) මෙහිදී “ජන්ම ස්නේහය නැති” ලෙස පරිවර්තනය කර ඇති මුල් ග්‍රීක් වචනය, පවුල් සාමාජිකයන් අතර ස්වභාවයෙන්ම ඇති වන සෙනෙහස විස්තර කිරීමට යොදන වචනයට ගොඩක් සමීපයි. ඇත්තෙන්ම, අප ජීවත් වන මේ දවස්වලදී එවැනි සෙනෙහසක් දැකගැනීමට නොහැකි තරම්. පවුල් සාමාජිකයන්ට එකිනෙකා කෙරෙහි සෙනෙහසක් තිබුණත් ඔවුන් එම හැඟීම් එකිනෙකාට පෙන්වන්නේ ඉතා කලාතුරකින්.

තමුන්ගේම දරුවන්ට ආදරය, සෙනෙහස පෙන්වන්නේ කොහොමද කියා බොහෝ දෙමව්පියන් දන්නේ නැහැ. ඇතමෙක් හැදී වැඩී තිබෙන්නේ සෙනෙහස නොලබපු පවුල් වාතාවරණයක් තුළයි. ඒ නිසා, අන්‍යයන් කෙරෙහි සෙනෙහසක් ඇති වන විට සහ එම හැඟීම් පළ කරන විට වඩාත් සන්තෝෂවත් ජීවිතයක් ගත කළ හැකි බව ඔවුන්ට නොවැටහෙනවා වෙන්න පුළුවන්. පෙනෙන ආකාරයට ටෝරුගේ ප්‍රශ්නය වූයේ එයයි. ටෝරුගේ ළමා කාලයේදී ඔහුගේ පියා නිතරම රැකියා ස්ථානයේ වැඩවල යෙදෙමින් සිටියා. ඔහු සාමාන්‍යයෙන් රැකියාවට ගිහින් ආපසු ගෙදර පැමිණියේ ගොඩක් රෑ වෙලයි. ටෝරු සමඟ ඔහු කතා බහ කළේ ඉතා කලාතුරකින්. අහම්බෙන් හරි ඔහු ටෝරු සමඟ කතා කළා නම් එසේ කළේ ඔහුට බැණ වදින්නයි. ටෝරුගේ මවත් පූර්ණ කාලීන රැකියාවක් කළ නිසා ඔහු සමඟ කාලය ගත කරන්න ඇයටත් පුළුවන්කම තිබුණේ නැහැ. ඔහුගේ තනියට සිටියේ රූපවාහිනිය විතරයි. ඔවුන්ගේ පවුල් කවය තුළ එකිනෙකාට ප්‍රශංසා කළේවත් එකිනෙකා සමඟ අදහස් හුවමාරු කළේවත් නැහැ.

මෙවැනි තත්වයක් හටගැනීමට තවත් හේතුවක් වන්නේ සංස්කෘතික බලපෑමයි. ලතින් අමෙරිකාවේ ඇතැම් ප්‍රදේශවල පුරුෂයෙකු තම බිරිඳට සෙනෙහස දක්වනවා නම්, ඉන් අදහස් කරන්නේ ඔහු තම ප්‍රදේශයේ සංස්කෘතිය නොසලකා හැර ඇති බවයි. වචනයෙන් හෝ ක්‍රියාවෙන් සෙනෙහස දැක්වීම ඇතැම් ආසියාතික සහ අප්‍රිකානු රටවල සංස්කෘතියට මුළුමනින්ම පටහැනියි. තම භාර්යාවන්ට හෝ දරුවන්ට “මං ඔයාට ආදරෙයි” කියා පැවසීම ඇතැම් පුරුෂයන්ට දුෂ්කර දෙයක් විය හැකියි. ඒ කොහොම වුණත් දීර්ඝ කාලයක් පුරා පැවතෙන පවුල් සබඳතා අතරින් තිබෙන විශිෂ්ටතම ආදර්ශය තුළින් අපට පාඩමක් ඉගෙනගන්න පුළුවන්.

ආදර්ශවත් පවුල් සබඳතාවක්

පවුල සඳහා තිබෙන හොඳම ආදර්ශය වන්නේ යෙහෝවා දෙවි හා ඔහුගේ ඒක ජාතක පුත්‍රයා අතර ඇති කුලුපග සබඳතාවයි. ඔවුන් එකිනෙකාට ප්‍රේමය සෙනෙහස පළ කරන්නේ පරිපූර්ණ ආකාරයකින්. පසු කලෙක යේසුස් ක්‍රිස්තුස් බවට පත් වූ ආත්ම ජීවියා ගණන් කළ නොහැකි අවුරුදු ගණනාවක් පුරා තම පියා සමඟ සන්තෝෂවත් සබඳතාවක් භුක්ති වින්දා. ඔවුන් දෙදෙනා අතර තිබූ බැඳීම ඔහු විස්තර කළේ මෙලෙසයි. “සෑම කල්හිම ඔහු ඉදිරියෙහි නිතර සන්තෝෂ වෙමින්, දවසින් දවස ඔහුගේ ප්‍රීතිය වීමි [ඔහුගේ ප්‍රියතම තැනැත්තා වුණෙමි, NW].” (හිතෝපදේශ 8:30) පියා ඔහු කෙරෙහි දැක්වූ ප්‍රේමය ගැන කොතරම් නිසැකභාවයක් ඔහුට තිබුණද කිව්වොත් දවසින් දවස ඔහුගේ ප්‍රියතම තැනැත්තා වූයේ තමායි කියා පැවසීමට පුත්‍රයාට පුළුවන් වුණා. ඔහු පියා සමඟ ගත කළ සෑම මොහොතකදීම සිටියේ සතුටින්.

දෙවිගේ පුත්‍රයා යේසුස් නමැති මනුෂ්‍යයා වශයෙන් පොළොවට පැමිණි විටදී පියා ඔහුට දැක්වූ ප්‍රේමය ගැන නැවතත් සහතික කළා. යේසුස් බව්තීස්ම වූ පසු ඔහුගේ පියා මෙසේ කියනවා ඔහුට ඇසුණා. “මේ මාගේ ප්‍රේමණීය පුත්‍රයාය, මම මොහුව අනුමත කළෙමි.” (මතෙව් 3:17, NW) පොළොව මත තම දේවසේවය ආරම්භ කරත්ම එවැනි ප්‍රේමණීය ප්‍රකාශයක් අසන්න ලැබීම යේසුස්ට මොනතරම් දිරිගැන්වීමක් වන්න ඇද්ද! ස්වර්ගයේ තමා ගත කළ ජීවිතය පිළිබඳව සියලුම මතකයන් ආවර්ජනය වූ ඒ මොහොතේදී පියාගේ අනුමැතිය ලැබී ඇති බව අසන්න ලැබීම ඔහුගේ හද ස්පර්ශ කළ බවට නම් කිසිම සැකයක් නැහැ.

තමාගේ විශ්වනීය පවුල කෙරෙහි පරිපූර්ණ ආකාරයකින් සෙනෙහස දක්වන යෙහෝවා, සෙනෙහස පෙන්වීම පිළිබඳව අපට උතුම්ම ආදර්ශය සපයන බව පැහැදිලියි. යේසුස් ක්‍රිස්තුස්ව පිළිගන්නවා නම් අපටත් යෙහෝවාගේ සෙනෙහස විඳින්න පුළුවන්. (යොහන් 16:27) අපිට ස්වර්ගයෙන් නික්මෙන කටහඬවල් ඇසෙන්නේ නැති වෙන්න පුළුවන්. එහෙත් ස්වභාව ධර්මය තුළින්, යේසුස්ගේ මිදීමේ මිලය නමැති සැපයුම තුළින් හා වෙනත් ක්‍රම තුළින් යෙහෝවාගේ ප්‍රේමය අපිට දැකගන්න පුළුවන් වේවි. (1 යොහන් 4:9, 10) යෙහෝවා අපේ යාච්ඤාවලට පවා සවන් දී අපට වඩාත්ම ප්‍රයෝජනවත් වන ආකාරයෙන් ඒවාට පිළිතුරු සපයනවා. (ගීතාවලිය 145:18; යෙසායා 48:17) යෙහෝවා සමඟ කුලුපග සබඳතාවක් වර්ධනය කරද්දී ඔහු අප කෙරෙහි දක්වන ප්‍රේමණීය සැලකිල්ල කෙරෙහි අපේ අගයද වැඩි වෙනවා.

සංවේදනය, අන්‍යයන්ගේ හැඟීම් තේරුම්ගැනීම, කරුණාව හා අන්‍යයන් කෙරෙහි දක්වන ගැඹුරු සැලකිල්ල වැනි ගුණාංග යේසුස් ඉගෙනගත්තේ තම පියාගෙන්. ඔහු එය පැහැදිලි කළේ මෙහෙමයි. “[පියා] යම් දෙයක් කරන්නේද, ඒ දෙය පුත්‍රයාත් ඒ ආකාරයෙන්ම කරන්නේය. මන්ද, පියාණන්ට පුත්‍රයා කෙරෙහි සෙනෙහසක් තිබෙන හෙයින් තමා කරන සියල්ල ඔහුට පෙන්වන්නේය.” (යොහන් 5:19, 20, NW) ඒ හා සමානව, අපටත් පුළුවන් යේසුස් පොළොවේ සිටියදී තැබූ ආදර්ශය අධ්‍යයනය කිරීමෙන් සෙනෙහස ප්‍රකාශ කිරීමේ රහස ඉගෙනගන්න.—පිලිප්පි 1:8.

පවුල තුළ සෙනෙහස පෙන්වන්නේ කොහොමද?

“දෙවි ප්‍රේමය” වන නිසාත් අපි ‘ඔහුගේ ස්වරූපයෙන්’ මවා ඇති නිසාත් සෙනෙහසේ හැඟීම් දැනීමටත් එම හැඟීම් ප්‍රකාශ කිරීමටත් අපට පුළුවන්. (1 යොහන් 4:8; උත්පත්ති 1:26, 27) එහෙත් එම හැඟීම් ප්‍රකාශ කිරීමට අප තුළ හැකියාව තිබූ පමණින්ම එය ඉබේම ප්‍රකාශ කෙරෙන බව ඉන් අදහස් නොකෙරේ. සෙනෙහස ප්‍රකාශ කරන්න නම් මුලින්ම අපේ කලත්‍රයා සහ දරුවන් ගැන එවැනි හැඟීම් ඇති කරගත යුතුයි. එමනිසා විමසිලිමත් වී ඔවුන් සතු ප්‍රියමනාප ගුණාංග දැකගැනීමට උත්සාහ කරන්න. මුලදී එම ගුණාංග ඒ තරම් සැලකිය යුතු ඒවා නොවෙයි කියා පෙනෙන්න තිබුණත් ඒවා ගැන මෙනෙහි කරන්න. ‘මගේ පුරුෂයා [බිරිඳ හෝ දරුවන්] වෙතට මගේ හිත ඇදිලා යන්න තරම් හොඳ හේතුවක් නැහැ’ කියා ඔබ පැවසිය හැකියි. සමහරවිට විවාහ යෝජනාවකින් යුග දිවියට පා තැබූ අයට මුලදී තම කලත්‍රයන් කෙරෙහි ඒ තරම් සෙනෙහසක් නොදැනුණා විය හැකියි. සමහර යුවළයන්ට දරුවන් ඇති දැඩි කරන්න කැමැත්තක් නොතිබෙන්න ඇති. එහෙත් පො.යු.පෙ. 10වන සියවසේදී තම සංකේතාත්මක භාර්යාව වන ඊශ්‍රායෙල් ජාතිය කෙරෙහි යෙහෝවාට හැඟුණ ආකාරය ගැන සිතා බලන්න. ඊශ්‍රායෙල්හි දස ගෝත්‍ර රාජ්‍යයේ තමා හැර යෙහෝවාට නමස්කාර කරන වෙන කිසිම කෙනෙක් නොසිටි බව ප්‍රොපේත එලියා නිගමනය කළා. එහෙත් ඊශ්‍රායෙල්වරුන්ව ඉතා හොඳින් පරීක්ෂා කර බැලූ යෙහෝවා තමා ප්‍රිය කරන ගුණාංග තිබූ 7,000දෙනෙකුව සොයාගත්තා. එය ඇත්තෙන්ම සැලකිය යුතු ප්‍රමාණයක්. ඔබේ පවුලේ අයගේ යහපත් ගුණාංග දැකගැනීමට වෑයම් කිරීමෙන් යෙහෝවාව අනුකරණය කරන්න ඔබට පුළුවන්ද?—1 රාජාවලිය 19:14-18.

කොහොම වුණත්, පවුලේ අය කෙරෙහි ඔබට ඇති සෙනෙහස දැනෙන්න සලස්වන්න නම් එය ඔවුන්ට පෙන්වීමට ඔබ පෞද්ගලික වෑයමක් දැරිය යුතුයි. ඔවුන්ගේ හැසිරීමේ ප්‍රශංසනීය යමක් දුටු විට ඔබේ අගය වචනයෙන් ප්‍රකාශ කරන්න. දෙවිගේ වචනයේ ගුණවත් ස්ත්‍රියක් විස්තර කරන විට ඇගේ පවුලේ අයගේ විශේෂිත යමක්ද සඳහන් කරනවා. “ඇගේ දරුවෝ නැඟිට ඈට ආශීර්වාද කරති. ඇගේ පුරුෂයාත් ඈට ප්‍රශංසා [කරන්නේය].” (හිතෝපදේශ 31:28) එම පවුල් සාමාජිකයන් එකිනෙකාට නොමසුරුව අගය ප්‍රකාශ කළ ආකාරය ඔබ දුටුවාද? බිරිඳ කෙරෙහි වචනයෙන් අගය ප්‍රකාශ කරන පියෙක් තම පුතාට කදිම ආදර්ශයක් තබනවා. යම් දිනක විවාහ වූ විට ඔහුගේ බිරිඳටත් නොමසුරුව අගය ප්‍රකාශ කරන්න පුතා එයින් දිරිගැන්වෙනවාට නොඅනුමානයි.

ඒ වගේම දෙමව්පියන් තම දරුවන්ටද ප්‍රශංසා කළ යුතුයි. දරුවන් තුළ ආත්ම ගෞරවයක් ගොඩනැංවීමට මෙය මහත් රුකුලක්. ඇත්තෙන්ම, පුද්ගලයෙකුට ආත්ම ගෞරවයක් නොමැති නම් ඔහු ‘තමාට මෙන් තමාගේ අසල්වාසියාට ප්‍රේම කරන්නේ’ කොහොමද? (මතෙව් 22:39) අනික් අතට, දෙමව්පියන් නිතරම තම දරුවන්ව විවේචනය කරනවා නම්, ඔවුන්ට කිසිවිටෙක ප්‍රශංසා කරන්නේ නැත්නම්, දරුවන්ගේ ආත්ම ගෞරවය පහසුවෙන්ම නැති විය හැකි අතර අන්‍යයන්ට සෙනෙහස දැක්වීමට ඔවුන්ට අපහසු විය හැකියි.—එපීස 4:31, 32.

ඔබට උපකාරය සොයාගත හැකියි

ඔබ ප්‍රේමණීය පවුල් වාතාවරණයක් තුළ හැදී වැඩුණේ නැත්නම් කළ යුත්තේ කුමක්ද? ඔබට දැන් වුණත් සෙනෙහස පෙන්වීමට ඉගෙනගත හැකියි. මූලික පියවර වන්නේ ඔබට එවන් ගැටලුවක් තිබෙන බව වටහාගැනීම හා ඔබ දියුණු විය යුතු පැති තිබෙන බව පිළිගැනීමයි. දෙවිගේ වචනය වන බයිබලය මේ සම්බන්ධයෙන් මහෝපකාරී වේ. එය හරියට කැඩපතක් හා සමානයි. කැඩපතක් වැනි වූ බයිබල් ඉගැන්වීම් තුළින් අප අපවම පරීක්ෂා කර බලද්දී අපේ සිතුවිලිවල ඇති දුර්වලතා හෝ දෝෂ අපටම දැකගත හැකි වෙනවා. (යාකොබ් 1:23) එවිට, අප තුළ ඇති නුසුදුසු නැඹුරුවාවන් බයිබල් ඉගැන්වීම් ආධාරයෙන් සකස් කිරීමට අපට පුළුවන්. (එපීස 4:20-24; පිලිප්පි 4:8, 9) අප ‘යහපත කිරීමට මැළි නොවී’ නිතරම මෙවැනි සකස් කිරීම් කළ යුතුයි.—ගලාති 6:9.

තමන් හැදී වැඩුණු පවුල් පසුබිම නිසා හෝ තමන්ගේ සංස්කෘතිය නිසා සෙනෙහස පෙන්වීම ඇතමෙකුට අපහසු විය හැකියි. කොහොම වුණත්, එවැනි බාධක ජයගත හැකි බව මෑතකදී කර තිබෙන අධ්‍යයනවලින් හෙළි වී තිබෙනවා. මානසික සෞඛ්‍ය පිළිබඳ විශේෂඥයෙක් වන වෛද්‍ය ඩැනියල් ගෝල්මන් පැහැදිලි කරන්නේ මෙලෙසයි. ‘ළමා කාලයේ සිටම පවතින ගැඹුරින් මුල් බැස ඇති පුරුදු පවා වෙනස් කළ හැකියි.’ ගැඹුරින් මුල් බැස ඇති ආකල්පයන් හා නැඹුරුවාවන් පවා දෙවිගේ ආත්මයේ උපකාරය ඇතිව මුලිනුපුටා දැමිය හැකි බව සියවස් 19කට වඩා ඉහතදී බයිබලයේ ඇඟවීමක් කර තිබුණා. “පරණ පෞද්ගලිකත්වය එහි ක්‍රියා සමඟ ගලවා දමා, අලුත් පෞද්ගලිකත්වය පැළඳගන්න” කියා එය අපට අවවාද කරනවා.—කොලොස්සි 3:9, 10, NW.

යම් ගැටලුවක් තිබෙන බව හඳුනාගත් පසු පවුලකට පුළුවන් බයිබලය ආධාරයෙන් එම විශේෂිත ගැටලුව සම්බන්ධව අධ්‍යයනය කරන්න. නිදසුනකට, “සෙනෙහස” යන වචනය සම්බන්ධයෙන් බයිබලය පවසන්නේ කුමක්ද කියා සෝදිසි කර නොබලන්නේ මන්ද? සමහරවිට ඔබට මෙවැනි බයිබල් පදයක් සම්බ විය හැකියි. “යෝබ්ගේ ඉවසීම ගැන නුඹලා අසා තිබේ. යෙහෝවාගේ තීරණයද නුඹලා දුටුවහුය. යෙහෝවා බොහෝ අනුකම්පාව [මුදු මොළොක් සෙනෙහස, NW] ඇත්තාවූ දයාවන්ත වූ කෙනෙක්ය.” (යාකොබ් 5:11) ඉන්පසු යෝබ් පිළිබඳ බයිබල් වාර්තාව කියවා බලා යෙහෝවා යෝබ් කෙරෙහි මුදු මොළොක් සෙනෙහස හා දයාව පෙන්වූයේ කෙසේද යන කාරණයට සිත යොමු කරන්න. යෙහෝවාව අනුකරණය කරමින් ඔබේ පවුලේ අය කෙරෙහි මුදු මොළොක් සෙනෙහස හා දයාව පෙන්වීමට ඔබ කැමති වන බවට නිසැකයි.

නමුත් අපි අසම්පූර්ණ වන නිසා දිව භාවිත කිරීමේදී ‘අප සියලුදෙනාම බොහෝ වර පැකිළෙනවා.’ (යාකොබ් 3:2) පවුල් කවය තුළ දිව දිරිගන්වනසුලු ආකාරයෙන් භාවිත කිරීමට අප අසමත් විය හැකියි. යාච්ඤාව සහ යෙහෝවා කෙරෙහි රඳා සිටීම වැදගත් වන්නේ මේ නිසයි. වෑයම අත්හරින්න එපා. “නොකඩවා යාච්ඤා කරන්න.” (1 තෙසලෝනික 5:17) සෙනෙහස ලබන්න දැඩි ආශාවකින් සිටින අයටද, එය පෙන්වන්න කැමැත්තක් තිබුණත් එසේ කිරීමට මහත් පොරබැදීමක් කළ යුතු අයටද යෙහෝවා උපකාර කරනවා නියතයි.

ඊට අමතරව, ක්‍රිස්තියානි සභාව තුළින්ද යෙහෝවා කාරුණිකව උපකාර සපයනවා. “නුඹලා අතරෙහි යමෙක් [ආත්මිකව] රෝගාතුරව සිටින්නේද? ඔහු සභාවේ වැඩිමහල්ලන්ට හඬගසාවා. ඔවුහු යෙහෝවාගේ නාමයෙන් ඔහුට තෙල් ආලේප කොට, ඔහු උදෙසා යාච්ඤා කරත්වා” කියා යාකොබ් ලීවා. (යාකොබ් 5:14) ඔව්, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාවල සිටින වැඩිමහල්ලන්ට පුළුවන් සෙනෙහස පෙන්වීම සම්බන්ධයෙන් ගැටලු තිබෙන පවුල්වලට මහත් සේ උපකාර කරන්න. මනෝ චිකිත්සකයන් නොවුවත් සෙසු නමස්කාරකයන්ට ඉවසිලිවන්තව උපකාර කිරීමට වැඩිමහල්ලන්ට පුළුවන්. ඔවුන් එසේ කරන්නේ සෙසු නමස්කාරකයන්ට කළ යුතු දේ මොකක්ද කියා පැවසීමෙන් නොව නමුත් යෙහෝවාගේ දෘෂ්ටිය කුමක්ද කියා මතක් කර දීමෙන් සහ ඔවුන් සමඟ මෙන්ම ඔවුන් උදෙසා යාච්ඤා කිරීමෙන්.—ගීතාවලිය 119:105; ගලාති 6:1.

ටෝරු හා යෝකෝට ගැටලු තිබුණු විට ඔවුන්ට සවන් දෙන්නත් සනසන්නත් වැඩිමහල්ලන් නිතරම සූදානමින් සිටියා. (1 පේතෘස් 5:2, 3) සමහර අවස්ථාවලදී ඔවුන්ව බැහැදැකීමට ගිය විට එක්තරා වැඩිමහල්ලෙක් ඔහුගේ භාර්යාවවත් රැගෙන ගියා. මේ නිසා ඇයව ‘පියවි සිහියට පමුණුවා ඇගේ ස්වාමිපුරුෂයාට ප්‍රේම කරන්න’ ඇයට මතක් කර දීමට හැකි අද්දැකීම් ලත් ක්‍රිස්තියානි සහෝදරියකගේ ආශ්‍රයෙන් යෝකෝ ප්‍රයෝජන ලැබුවා. (තීතස් 2:3, 4, 5ආ, NW) දුක්වේදනා විඳින, තැළුණු සිත් ඇති සෙසු ක්‍රිස්තියානීන්ට අනුකම්පාව දැක්වීමෙන් වැඩිමහල්ලන් ‘සුළඟෙන් මුවා වෙන ඉඩමක්ද කුණාටුවෙන් ආවරණයක්ද’ වෙනවා.—යෙසායා 32:1, 2.

හැඟීම් ප්‍රකාශ කිරීම පිළිබඳව තමාට ගැටලුවක් තිබෙන බවත් “අන්තිම දවස්වලදී” පවුල් විධිවිධානය කඩාකප්පල් කිරීමට සාතන් වෑයම් කරන බවත් වටහාගැනීමට වැඩිමහල්ලන් ටෝරුට කාරුණිකව උපකාර කළා. (2 තිමෝති 3:1) තමාගේ ගැටලුවට මුහුණ දී එයින් ජයගන්න නිසි පියවර ගැනීමට ටෝරු තීරණය කළා. ඔහුට ප්‍රේමය ප්‍රකාශ කිරීමට නොහැකි වුණේ ළමා කාලයේදී ඔහුට ප්‍රේමය නොලැබුණු නිසයි කියා ඔහු ක්‍රමක්‍රමයෙන් තේරුම්ගත්තා. අවංක බයිබල් අධ්‍යයනය හා යාච්ඤාව තුළින් ටෝරු යෝකෝගේ චිත්තවේගීය අවශ්‍යතාවලට වඩා සංවේදී වෙන්න පටන්ගත්තා.

යෝකෝ කලින් ටෝරු සමඟ කේන්තියෙන් සිටියත් ඔහු මොනවගේ පවුල් පසුබිමක් තුළද හැදී වැඩුණේ කියා ඇය තේරුම්ගත්තා. ඇයටත් දුර්වලතා තිබෙන බව ඇය වටහාගත්තා. ඉන්පසු ඇගේ පුරුෂයාගේ යහපත් ගුණාංග දැකගැනීමට ඇය අවංක වෑයමක් දැරුවා. (මතෙව් 7:1-3; රෝම 5:12; කොලොස්සි 3:12-14) ඇගේ පුරුෂයාට දිගින් දිගටම ප්‍රේම කිරීමට ශක්තිය දෙන මෙන් ඇය යෙහෝවාගෙන් අවංකව අයැද සිටියා. (පිලිප්පි 4:6, 7) කාලයක් ගෙවුණු පසු, ටෝරු තම බිරිඳට සෙනෙහස පෙන්වන්න පටන්ගත්තා. එවිට ඇයට දැනුණේ කියා නිම කරන්න බැරි ප්‍රීතියක්.

ඔව්, පවුලේ අය පිළිබඳව සෙනෙහසේ හැඟීම් ඇති කරගැනීම සහ එම හැඟීම් ප්‍රකාශ කිරීම අපහසු දෙයක් බව හැඟුණත් ඔබට එම බාධකය ජයගන්න පුළුවන්. දෙවිගේ වචනය අපට ඒ සම්බන්ධයෙන් හොඳ මඟ පෙන්වීම් සපයනවා. (ගීතාවලිය 19:7) මෙම බාධකය ජයගත නොහැකි එකක් සේ පෙනිය හැකියි. එහෙත් ගැටලුව කොයිතරම් බරපතළ එකක්ද කියා වටහාගැනීමෙන්, ඔබේ පවුලේ අයගේ යහපත් ගුණාංග දැකීමට උත්සාහයක් දැරීමෙන්, දේවවචනය අධ්‍යයනය කර එය අදාළ කරගැනීමෙන්, අවංකව කරන යාච්ඤාව තුළින් යෙහෝවා මත රඳා සිටීමෙන් සහ මේරු ක්‍රිස්තියානි වැඩිමහල්ලන්ගේ උපකාරය පැතීමෙන් ඔබට එය ජයගන්න පුළුවන්. (1 පේතෘස් 5:7) එක්සත් ජනපදයේ වෙසෙන එක්තරා පුරුෂයෙකුට මෙන් ඔබටත් ප්‍රීතිමත් විය හැකියි. ඔහුගේ බිරිඳට සෙනෙහස දක්වන්න කියා ඔහුට දිරිගැන්වීමක් ලැබුණා. මහත් පොරබැදීමක් කළ පසු ඔහු එක් දවසක් “මං ඔයාට ආදරෙයි” කියා ඇයට පැවසුවා. ඇගේ ප්‍රතිචාරය ඔහුව පුදුමයට පත් කළා. “මාත් ඔයාට ආදරෙයි. හැබැයි ඔයා ඔහොම දෙයක් මට ඔයි තරම් හැඟීම්බරව කිව්වේ අවුරුදු 25කට පස්සෙයි.” ඔබේ විවාහ කලත්‍රයාට සහ දරුවන්ට සෙනෙහස පෙන්වන්න ඒ තරම් දිගු කාලයක් යන තෙක් බලා සිටින්න එපා!

[පාදසටහන]

a සමහර නම් වෙනස් කර ඇත.

[28වන පිටුවේ පින්තූරය]

ඔහුගේ වචනය වන බයිබලය තුළින් යෙහෝවා උපකාරය සපයනවා