Skip to content

පටුනට යන්න

යෙහෝවා දෙවිගේ සිහිගැන්වීම් විශ්වාසවන්තයි

යෙහෝවා දෙවිගේ සිහිගැන්වීම් විශ්වාසවන්තයි

“යෙහෝවා දෙවිගේ සිහිගැන්වීම් විශ්වාසවන්තය. ඒවා අද්දැකීම් අඩු තැනැත්තාට ප්‍රඥාව ලබා දෙන්නේය.”—ගීතා. 19:7.

1. අපි රැස්වීම්වලදී නිතර නිතර අධ්‍යයනය කරන්නේ මොන වගේ කාරණාද? ඒක අපිට උදව් වෙන්නේ කොහොමද?

‘මේ වගේම ලිපියක් අපි මීට කලිනුත් සාකච්ඡා කළා වගේ මට මතකයි.’ මුරටැඹ පාඩමට සූදානම් වෙද්දී ඔබටත් එහෙම හිතිලා තියෙනවද? දෙවිගේ රාජ්‍යය ගැන, යේසුස්ගේ ජීවිත පූජාව ගැන, දේශනා සේවය ගැන, ප්‍රේමය විශ්වාසය වගේ ගුණාංග ගැන අපි නිතර නිතර ඉගෙනගන්නවා. එහෙම කරන එකෙන් අපේ විශ්වාසය තවත් ශක්තිමත් වෙනවා. ඒ වගේම ‘සවන් දෙන්නන් පමණක් නොවී දෙවිගේ වදන් පිළිපදින්නන් වෙන්නත්’ අපිට ඒක උදව් වෙනවා.—යාකො. 1:22.

2. (අ) “සිහිගැන්වීම්” කියන වචනයෙන් හුඟක් වෙලාවට අදහස් වෙන්නේ මොනවද? (ආ) දෙවිගේ නීති මිනිසුන්ගේ නීතිවලට වඩා වෙනස් වෙන්නේ කොහොමද?

2 බයිබලයේ සඳහන් වන “සිහිගැන්වීම්” කියන වචනයෙන් හුඟක් වෙලාවට අදහස් වෙන්නේ යෙහෝවා දෙවි තමන්ගේ සෙනඟට දෙන නීති, අණපනත් වගේ දේවල්. දෙවිගේ නීති, මිනිසුන්ගේ නිතර නිතර වෙනස් වෙන, අඩුපාඩු තියෙන නීතිවලට වඩා හුඟක් වෙනස්. දෙවිගේ නීති පරිපූර්ණයි. ඒවාට කීකරු වුණොත් ප්‍රයෝජන ලැබෙන්නේ අපිටමයි. දෙවි අතීතයේදී දුන්න සමහර නීති අද අපිට අදාළ වෙන්නේ නැහැ තමයි. ඒත් ඒකෙන් අදහස් කරන්නේ ඒ නීතිවල වරදක්, අඩුපාඩුවක් තියෙනවා කියන එක නෙවෙයි. ගීතිකාකරු මේ විදිහට කිව්වේ ඒ නිසයි. “ඔබේ සිහිගැන්වීම් කොතරම් ධර්මිෂ්ඨද! ඒවා සදහටම එලෙසම පවතින්නේය.”—ගීතා. 119:144.

3, 4. (අ) දෙවිගේ සිහිගැන්වීම්වලට ඇතුළත් තවත් දෙයක් කියන්න. (ආ) දෙවිගේ නීතිවලට කීකරු වුණා නම් ඊශ්‍රායෙල්වරුන්ට ලැබෙන ප්‍රයෝජන මොනවද?

3 දෙවිගේ සිහිගැන්වීම්වලට, අනතුරු ඇඟවීමුත් ඇතුළත්. දෙවි තමන්ගේ අනාගතවක්තෘවරුන් මගින් නිතර නිතර ඊශ්‍රායෙල් සෙනඟට අනතුරු ඇඟවීම් දුන්නා. උදාහරණයකට, පොරොන්දු දේශයට ඇතුල් වෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී මෝසෙස් මගින් දෙවි මෙහෙම කිව්වා. ‘කල්පනාකාරී වන්න. ඔබේ සිත ඔබව නොමඟ යවන්න ඉඩ තිබෙනවා. එහෙම වුණොත් ඔබ දෙවිගෙන්  ඈත් වී වෙනත් දෙවිවරුන් ඉදිරියේ වැඳ වැටී නමස්කාර කරයි. එසේ කළොත් යෙහෝවා දෙවිගේ උදහස ඔබට විරුද්ධව ඇවිළෙයි.’—ද්වි. 11:16, 17.

4 යෙහෝවා දෙවිට ගරුබිය දක්වන්න, කීකරු වෙන්න සහ ඔහුගේ නාමය ගෞරවයට පත් කරන්න කියලා ඊශ්‍රායෙල් සෙනඟට නිතරම සිහිගැන්වීම් ලැබුණා. (ද්වි. 4:29-31; 5:28, 29) ඒවා පිළිපැද්දොත් ඔවුන්ට හුඟක් ආශීර්වාද කරනවා කියලා දෙවි පොරොන්දු වුණා.—ලෙවී. 26:3-6; ද්වි. 28:1-4.

ඊශ්‍රායෙල්වරුන් දෙවිගේ සිහිගැන්වීම් සලකපු විදිහ

5. යෙහෝවා දෙවි හෙසකියා රජට උදව් කළේ ඇයි?

5 තම සිහිගැන්වීම්වලට කීකරු වුණොත් ඊශ්‍රායෙල්වරුන්ට ආශීර්වාද කරනවා කියලා දෙවි දුන්න පොරොන්දුව ඔහු ඉටු කළා. එක අවස්ථාවක සෙනකෙරිබ් කියන ඇසිරියාවේ රජ, යූදා දේශය අල්ලගන්න විශාල සේනාවක් එක්ක ආවා. ඒත් දෙවි, දේවදූතයෙක්ව එවලා එක රැයක් ඇතුළත ඒ සේනාවේ හිටපු සෙබළු 1,85,000ක් මරලා දැම්මා. සෙනකෙරිබ් රජ ආපහු තමන්ගේ රටට ගියේ හොඳටම ලැජ්ජාවට පත් වෙලයි. (2 ලේක. 32:21; 2 රාජා. 19:35) ඒ අවස්ථාවේදී යෙහෝවා දෙවි හෙසකියා රජට උදව් කළේ ඔහු විශ්වාසවන්තව ‘දෙවි දුන් ආඥා පිළිපැද්ද’ නිසයි.—2 රාජා. 18:1, 5, 6.

යෙහෝවා දෙවිගේ සිහිගැන්වීම් නිසා යොෂියා සැබෑ නමස්කාරය වෙනුවෙන් හුඟක් දේවල් කළා (6වෙනි ඡේදය බලන්න)

6. යොෂියා රජ දෙවිව විශ්වාස කළා කියලා පෙන්නුවේ කොහොමද?

6 දෙවිගේ නීතිවලට කීකරු වුණ තවත් කෙනෙක් තමයි යොෂියා රජ. ඔහු කුඩා කාලයේ ඉඳන්ම “යෙහෝවා දෙවි යහපත්යයි සැලකූ දේ” කළා. (2 ලේක. 34:1, 2) ඔහු දේශයේ තිබුණ සියලුම රූප විනාශ කරලා, ආයෙත් යෙහෝවා දෙවිට නමස්කාර කරන්න මිනිසුන්ට උදව් කළා. එහෙම කරපු එකෙන් පැහැදිලි වුණේ ඔහු යෙහෝවා දෙවිව විශ්වාස කළා කියලයි. යොෂියා කරපු දේ නිසා දෙවි ඔහුට විතරක් නෙවෙයි මුළු ජාතියටම ආශීර්වාද කළා.—2 ලේකම් 34:31-33 කියවන්න.

7. ඊශ්‍රායෙල්වරුන් දෙවිට අකීකරු වෙද්දී වුණේ මොනවද?

7 ඒත් ඊශ්‍රායෙල්වරුන් හුඟක් අවස්ථාවලදී දෙවිට අකීකරු වුණා. දෙවි ගැන ඔවුන්ට තිබුණ විශ්වාසය දුර්වල කරගත්ත වෙලාවලදී වෙනත් ජාතීන්වල අය ලේසියෙන්ම ඔවුන්ව බොරු දෙවිවරුන්ට නමස්කාර කරන්න පෙලඹුවා. (එෆී. 4:13, 14) දෙවි දුන්න අනතුරු ඇඟවීම් පිළිගන්නේ නැතුව දෙවිට අකීකරු වුණ ඒ වගේ අවස්ථාවලදී ඔවුන්ට දුක් විඳින්න සිද්ධ වුණා.—ලෙවී. 26:23-25; යෙරෙ. 5:23-25.

8. ඊශ්‍රායෙල්වරුන්ට වගේ දෙවි අපිටත් ලබා දෙන්නේ මොනවද?

8 දෙවි ඊශ්‍රායෙල්වරුන්ට දුන්නා වගේ අද අපිටත් උපදෙස්, මඟ පෙන්වීම්, හික්මවීම් ලබා දෙනවා. (2 පේතෘ. 1:12) බයිබලය කියවද්දී අපිට ඒවා නිතරම වගේ මතක් වෙනවා.  ඒ දේවලට අපි කීකරු වෙනවද, නැත්නම් අපි කැමති විදිහට ජීවත් වෙනවද කියලා තීරණය කරන්න දෙවි අපිට නිදහස දීලා තියෙනවා. (හිතෝ. 14:12) දෙවිගේ සිහිගැන්වීම්වලට කීකරු වෙන්න ඕනෙ ඇයි කියලත් එයින් අපිට ලැබෙන ප්‍රයෝජන ගැනත් අපි දැන් බලමු.

දෙවිට කීකරු වෙලා ජීවනය ලබන්න

9. ඊශ්‍රායෙල්වරුන්ට පාළුකරයේදී දෙවිගේ උපකාරය තිබෙන බව දෙවි පෙන්නුවේ කොහොමද?

9 ඊශ්‍රායෙල්වරුන් අවුරුදු 40ක් පුරා පාළුකරය හරහා ගියේ භයානක ගමනක්. ඒත් ඒ ගමන යන්න කලින් ඒ ගමනේදී ඔවුන්ට මඟ පෙන්වන විදිහ, ඔවුන්ව ආරක්ෂා කරන විදිහ, රැකබලා ගන්න විදිහ ගැන හැම තොරතුරක්ම යෙහෝවා දෙවි කිව්වේ නැහැ. ඒත් දෙවිව විශ්වාස කරලා ඔහුගේ මඟ පෙන්වීම්වලට කීකරු වුණොත් ඔවුන්ට ප්‍රයෝජන ලැබෙනවා කියන එක දෙවි ඔවුන්ට පෙන්නුවා. දහවල් කාලයේදී වලා ටැඹකිනුත් රාත්‍රී කාලයේදී ගිනි ජාලාවකිනුත් මඟ පෙන්වලා, දෙවිගේ උපකාරය ඔවුන්ට තියෙනවා කියන එක දෙවි මතක් කරලා දුන්නා. (නික්. 40:36-38; ද්වි. 1:19) ඒ වගේම “ඔවුන්ගේ වස්ත්‍ර දිරා ගියේවත් ඔවුන්ගේ පාද ඉදිමුණේවත් නැහැ. ඇත්තටම ඔවුන්ට කිසි දෙයකින් අඩුවක් තිබුණේ නැහැ.”—නෙහෙ. 9:19-21.

10. දෙවි අපිට මඟ පෙන්වීම් දෙන්නේ කොහොමද?

10 අපිට ළඟදීම පාරාදීස පොළොවේ ජීවත් වෙන්න ලැබෙනවා. ඒත් ඊට කලින් සිදු වන ‘මහත් පීඩාවෙන්’ බේරී ජීවත් වෙන්න අවශ්‍ය කරන හැම දෙයක්ම යෙහෝවා දෙවි දෙනවා කියලා අපිට විශ්වාසද? (මතෙ. 24:21, 22; ගීතා. 119:40, 41) අද අපිට මඟ පෙන්වන්න වලා ටැඹක්, ගිනි ජාලාවක් දෙවි යොදාගන්නේ නැතත් ඔහු තමන්ගේ සංවිධානය යොදාගෙන අපිට සිහිගැන්වීම් දෙනවා. උදාහරණයකට, දිනපතා බයිබලය කියවන්න, පවුලේ නමස්කාරය කරන්න, නිතිපතා රැස්වීම් දේවසේවයේ යන්න කියලා අපිට මතක් කරනවා. ඒවාට අපි කීකරු වෙනවද? එහෙම කළොත් මේ දුෂ්කර ගමන යන්න අවශ්‍ය කරන විශ්වාසය අපිට ලැබෙයි.

අපේ නමස්කාර මධ්‍යස්ථානය ආරක්ෂාකාරීව හා පිළිවෙළකට තියාගන්න දෙවිගේ සිහිගැන්වීම් අපිට උපකාරයක් (11වෙනි ඡේදය බලන්න)

11. දෙවි අපි ගැනත් අපේ සතුට ගැනත් හිතනවා කියලා අපි දන්නේ කොහොමද?

11 දිනපතාම හරි තීරණ ගන්නත් දෙවිගේ සංවිධානය අපිට මඟ පෙන්වනවා. උදාහරණයකට, මුදල්වලට වැඩි අවධානයක් දෙන්නේ නැතුව, සරල ජීවිතයක් ගත කළොත් කනස්සලු නොවී ජීවත් වෙන්න ලැබෙනවා කියලා අපිට නිතරම මතක් කරනවා. අපි අඳින පළඳින විදිහ, අපේ විනෝදාංශ ගැන වගේම උසස් අධ්‍යාපනය ගැන හරි තීරණයක් ගන්නත් අපිට උදව් කරනවා. ඒ වගේම අපේ නිවසේදී, නමස්කාර මධ්‍යස්ථානයේදී ආරක්ෂාකාරීව දේවල් කරන විදිහ ගැනත්, අනතුරු අවම කරගෙන වාහන පාවිච්චි කරන විදිහ ගැනත්, හදිසි අවස්ථා සඳහා කලින් සූදානම් වෙන විදිහ ගැනත් අවශ්‍ය මඟ පෙන්වීම් දීලා තියෙනවා. ඒ හැම දේකින්ම පේන්නේ දෙවි අපි ගැනත් අපේ සතුට ගැනත් හිතනවා කියන එක නේද?

මුල් ක්‍රිස්තියානීන් ලබපු සිහිගැන්වීම්

12. (අ) යේසුස් නිතරම වගේ තම ගෝලයන්ට කතා කළේ මොන ගුණාංගය ගැනද? (ආ) පේතෘස්ගේ මනසට ඒක කොයි තරම් කාවැදුණද? යේසුස්ගේ ආදර්ශයෙන් අපිට ඉගෙනගන්න පුළුවන් පාඩම මොකක්ද?

12 පළවෙනි සියවසේ හිටපු ක්‍රිස්තියානීන්ටත් සිහිගැන්වීම් ලැබුණා. යේසුස් නිතරම වගේ තම ගෝලයන්ට නිහතමානී වීමේ වැදගත්කම ගැන කියලා දුන්නා විතරක් නෙවෙයි ඒක කරලත් පෙන්නුවා. යේසුස් මිය යන්න කලින් රාත්‍රියේදී ඔහුගේ ගෝලයන් කෑම කද්දී යේසුස් නැඟිටලා ගිහින් ඔවුන්ගේ පාද සේදුවා. ඒක සාමාන්‍යයෙන් ගෙදර වැඩට ඉන්න කෙනෙක් කරන දෙයක්. (යොහ. 13:1-17) එදා යේසුස් එහෙම කරලා තමන්ගේ ගෝලයන්ට අමතක නොවෙන පාඩමක් කියලා දුන්නා. එතන හිටපු පේතෘස්ට අවුරුදු 30කට විතර පස්සෙත් නිහතමානිකම ගැන අනිත් අයට කියලා දෙන්න පුළුවන් වුණේ ඒ නිසයි. (1 පේතෘ. 5:5) අපිත් යේසුස්ව ආදර්ශයට අරන් නිහතමානීව කටයුතු කරන්න ඕනෙ.—ෆිලි. 2:5-8.

13. යේසුස් නිතරම මතක් කළේ කුමක් ගැනද?

13 ශක්තිමත් විශ්වාසයක් ඇතුව ඉන්න එකේ වැදගත්කම ගැනත් යේසුස් නිතරම මතක් කළා. දවසක්, භූතයෙක් වැහිලා  හිටිය කෙනෙක්ව සුව කරන්න යේසුස්ගේ ගෝලයන්ට බැරි වුණා. “අපට ඒ භූතයාව දුරු කරන්න බැරි වුණේ ඇයි” කියලා ඔවුන් ඇහුවම, යේසුස් කිව්වේ “ඒ ඔබ තුළ තිබෙන විශ්වාසයේ මදිකම නිසයි” කියලා. “අබ ඇටයක් තරම්” විශ්වාසයක් ඔවුන්ට තියෙනවා නම් ඔවුන්ට ඕනෙම දෙයක් කරන්න පුළුවන් කියලා යේසුස් කිව්වා. (මතෙ. 17:14-20) දෙවි ගැන නොසැලෙන විශ්වාසයක් ඇතුව ඉන්න එක ජීවිතයට අත්‍යවශ්‍ය දෙයක් කියලා යේසුස් මේ පොළොවේ සේවය කළ කාලය පුරාම තමන්ගේ ගෝලයන්ට කියලා දුන්නා. (මතෙව් 21:18-22 කියවන්න.) අපිත් අපේ විශ්වාසය ශක්තිමත් කරන හැම සමුළුවකටම, රැස්වීමකටම සහභාගි වෙනවද? ඒවා නිකම්ම එකිනෙකාව ඇසුරු කරන්න ලැබෙන අවස්ථාවන් විතරක් කියලා හිතන්න එපා. ඒවා, දෙවිගේ සිහිගැන්වීම් ගැන අපිට මොන තරම් විශ්වාසයක් තියෙනවද කියලා පෙන්වන්න ලැබෙන අවස්ථාවන් කියලා මතක තියාගමු.

14. අපේ ජීවිතය ගැනවත් හිතන්නේ නැතුව අන් අයට ප්‍රේමය පෙන්වන්න ඕනෙ ඇයි?

14 එකිනෙකාට ප්‍රේමය පෙන්වීම ගැන හුඟක් සිහිගැන්වීම් ග්‍රීක ලියවිල්ලේ අපිට හොයාගන්න පුළුවන්. දෙවෙනි උතුම් ආඥාව හැටියට යේසුස් කිව්වේ “ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න” කියලයි. (මතෙ. 22:39) යාකොබ් ප්‍රේමය හැඳින්නුවේ “රාජකීය නීතිය” හැටියටයි. (යාකො. 2:8) යොහන් ප්‍රේමය ගැන ලිව්වේ මේ විදිහටයි. ‘ප්‍රේමණීය සහෝදරයෙනි, මා ඔබට ලියන්නේ අලුත් ආඥාවක් ගැන නොව මුල් කාලයේ සිටම ඔබට දී තිබූ පැරණි ආඥාවක් ගැනය.’ (1 යොහ. 2:7, 8) “පැරණි ආඥාවක්” කියලා යොහන් කිව්වේ ‘මුල් කාලයේ ඉඳලා,’ ඒ කියන්නේ ඊට අවුරුදු ගණනකට කලින් ඉඳලා ප්‍රේමය පෙන්වන්න කියලා යේසුස් දීලා තිබුණ ආඥාව ගැනයි. ඒක “අලුත්” ආඥාවක් වුණේ පසු කාලයේ ඇති වෙන තත්වයන් නිසා තමන්ගේ ජීවිතය ගැනවත් හිතන්නේ නැතුව අන් අයට ප්‍රේමය පෙන්වන්න ගෝලයන්ට සිදු වන නිසයි. අද ලෝකයේ ජීවත් වන හුඟක් අය වැඩ කරන්නේ තමන් ගැන විතරක් හිතලයි. ඒත් එහෙම වෙන්නේ නැතුව අන් අයට ප්‍රේමය පෙන්වන්න කියලා අපිට හුඟක් සිහිගැන්වීම් ලැබෙනවා.

15. යේසුස් පොළොවට ආපු ප්‍රධාන හේතුව මොකක්ද?

15 යේසුස් මිනිසුන්ට ඇත්තටම ප්‍රේම කළා. ඔහු රෝගීන්ව සුව කළේ, මිය ගිය අයව නැවත නැඟිටුවේ ඒ නිසයි. ඒත් යේසුස් පොළොවට ආපු ප්‍රධාන හේතුව ඒක නෙවෙයි. යේසුස් ඊට වඩා වැදගත් දෙයක් ලෙස සැලකුවේ මිනිසුන්ට දේවරාජ්‍ය ගැන දේශනා කරන එකයි. උගන්වන එකයි. ඒ ඇයි? යේසුස් සුව කළ රෝගීන් වගේම නැවත නැඟිටවපු අයත් කාලයක් ගිහිල්ලා මිය ගියා. ඒත් යේසුස් උගන්වපු දේවල් පිළිගත් අයට සදාකල් ජීවත් වීමේ අවස්ථාව ලැබෙනවා.—යොහ. 11:25, 26.

16. යේසුස් දුන්න ආඥාව යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඉටු කරන්නේ කොහොමද?

16 යේසුස් තමන්ගේ අනුගාමිකයන්ට  “ගොස් සෑම ජාතියකටම අයත් මිනිසුන්ට මගේ ගෝලයන් වෙන්න උපකාර කරන්න” කියලා ආඥාවක් දුන්නා. (මතෙ. 28:19) යේසුස් පටන්ගත්ත ඒ කාර්යය පළවෙනි සියවසේ හිටපු ක්‍රිස්තියානීන් දිගටම කරගෙන ගියා. අද අපිත් වෙන කවරදාටත් වැඩියෙන්, වැඩි ප්‍රදේශ ගණනක වැඩිදෙනෙකුට දේශනා කරනවා. මිලියන හතකට වැඩි සාක්ෂිකරුවන් පිරිසක් රටවල් 230කටත් වඩා වැඩි ගණනක උද්‍යෝගයෙන් දෙවිගේ රාජ්‍යය ගැන මිනිසුන්ට කියලා දෙනවා. මිලියන ගණනක් එක්ක බයිබලය පාඩම් කරනවා. ඒ දේශනා කිරීමේ කාර්යය නිසා අපි ඉන්නේ අන්තිම දවස්වල කියන එකත් ඔප්පු වෙනවා.

යෙහෝවා දෙවිව විශ්වාස කරන්න

17. මුල් ක්‍රිස්තියානීන්ට පාවුල් සහ පේතෘස් දුන්නේ මොන වගේ උපදෙස්ද?

17 නිතරම සිහිගැන්වීම් ලැබුණ නිසා තමන්ගේ විශ්වාසය තවත් ශක්තිමත් කරගන්න මුල් ක්‍රිස්තියානීන්ට පුළුවන් වුණා. රෝමයේ සිරගත වෙලා හිටපු පාවුල්, තිමෝතිට මෙහෙම ලිව්වා. “ඔබ මගෙන් අසා ඉගෙනගත් නිවැරදි මෙන්ම ප්‍රයෝජනවත් ඉගැන්වීම්වලට තදින් ඇලී සිටින්න. එහි දක්නට තිබෙන රටාවෙන් ඉවතට නොයන්න.” (2 තිමෝ. 1:13) ඒ වචන තිමෝතිට ලොකු දිරිගැන්වීමක් වෙන්න ඇති. ඒ වගේම විඳදරාගැනීම, සහෝදර ස්නේහය, තමාව පාලනය කරගැනීමේ හැකියාව වගේ ගතිලක්ෂණ පෙන්වන්න දැඩි උත්සාහයක් ගන්න කියලා ක්‍රිස්තියානීන්ට දිරිගැන්වූ පේතෘස්ද මෙහෙම කිව්වා. “ඔබ මේ දේවල් ගැන දැනගෙන සිටියත් ඉගෙනගෙන ඇති සත්‍ය ඉගැන්වීම් තුළ ඔබ ස්ථිරව පිහිටා සිටියත් ඔබට මේ දේවල් ගැන නිතරම සිහිගැන්වීමට මම කැමැත්තෙන් සිටිමි.”—2 පේතෘ. 1:5-8, 12.

18. තමන්ට ලැබුණ සිහිගැන්වීම් මුල් සියවසේ හිටපු ක්‍රිස්තියානීන් සැලකුවේ කොහොමද?

18 පාවුල් හා පේතෘස් ලිව්වේ “අතීතයේ ශුද්ධ අනාගතවක්තෘවරුන් පැවසූ දේවල්” හා සමාන දේවල් කියන එක ඇත්ත. (2 පේතෘ. 3:2) ඒත් ඒ වගේ සිහිගැන්වීම් ලැබෙද්දී මුල් සියවසේ හිටපු ක්‍රිස්තියානීන් ඒ ගැන කේන්ති ගත්තද? නැහැ. දෙවි ඒ වගේ සිහිගැන්වීම් නිතර නිතර දෙන්නේ ඔවුන්ට තියෙන ආදරේ නිසා කියලත් ඔවුන්ට දිගටම විශ්වාසවන්තව ඉන්න උපකාර කරන්න කියලත් ඔවුන් තේරුම්ගත්තා.—2 පේතෘ. 3:18.

19, 20. අපිට ලැබෙන්න පුළුවන් හොඳම මඟ පෙන්වීම් ලැබෙන්නේ යෙහෝවා දෙවිගෙන් කියලා කියන්නේ ඇයි? දෙවිගේ සිහිගැන්වීම් අපිට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද?

19 අපිට ලබන්න පුළුවන් හොඳම මඟ පෙන්වීම් තියෙන්නේ බයිබලයේ. ඒවා විශ්වාස කරන්න අපිට ඕනෙ තරම් හේතු තියෙනවා. ඒවා කවදාවත් වරදින්නේ නැහැ. (යොෂුවා 23:14 කියවන්න.) දෙවි මිනිසුන් සමඟ අවුරුදු දහස් ගණනක් පුරා කටයුතු කරපු විදිහ ගැන අපිට බයිබලයෙන් ඉගෙනගන්න පුළුවන්. ඒවා ලියලා තියෙන්නේ අපේම ප්‍රයෝජනයටයි. (රෝම 15:4; 1 කොරි. 10:11) ඒ වගේම එහි තියෙන අනාවැකි ඉටු වෙනවා දකින එකත් අපිට හොඳ සිහිගැන්වීමක්. උදාහරණයකට, “අවසාන කාලයේදී” මිලියන ගණනක් දෙවිට නමස්කාර කරනවා කියන අනාවැකිය අද ඉටු වෙනවා අපි දකිනවා. (යෙසා. 2:2, 3) මේ ලෝකය තව තවත් නරක අතට හැරෙනවා අපි දකින්නෙත් අනාවැකියක් ඉටු වෙන නිසයි. ඒ වගේම ලොව පුරා දේශනා කිරීමේ කාර්යය සාර්ථකව සිදු වෙන්නෙත් යේසුස්ගේ අනාවැකියක් ඉටු කරමිනුයි.—මතෙ. 24:14.

20 අපේ නිර්මාතෘ වන යෙහෝවා දෙවි සියවස් ගණනාවක් පුරා ඔප්පු කරලා පෙන්වපු දෙයක් තියෙනවා. ඒ තමයි අපිට ඔහුව විශ්වාස කරන්න පුළුවන් කියන එක. ඒ නිසා ‘ඔහු දෙන සිහිගැන්වීම්වලින් මම ප්‍රයෝජන ලබනවද’ කියලා අපි අපෙන්ම අහගමු. රොසලින් කියන සහෝදරිය මෙහෙම කියනවා. “යෙහෝවා දෙවිව විශ්වාස කරන්න කරන්න ඔහු මට කොච්චර ආදරෙයිද කියන එකත් මාව කොයි තරම් ශක්තිමත් කරනවද කියන එකත් මට වැඩි වැඩියෙන් පැහැදිලි වුණා.” ඇයට විතරක් නෙවෙයි, යෙහෝවා දෙවිගේ සිහිගැන්වීම්වලට කීකරු වුණොත් අපිටත් හුඟක් ප්‍රයෝජන ලැබෙනවා කියන එක ගැන කිසිම සැකයක් නැහැ.