Skip to content

පටුනට යන්න

ගෙහිමියෙකු සමඟ සාකච්ඡාවක්

අපි විඳින වේදනා දෙවියන්ට දැනෙනවද?

අපි විඳින වේදනා දෙවියන්ට දැනෙනවද?

පහත සඳහන් වෙන්නේ අනුරාධා කියන කාන්තාව හා මිෂෙල් කියන යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරිය අතර ඇති වුණු සංවාදයක්. මේ සංවාදය සිදු වෙන්නේ අනුරාධාගේ නිවසෙදියි.

මෙහෙම වෙන්න දෙවියන් ඉඩ දුන්නේ ඇයි?

මිෂෙල්: මම ආවේ මේ පත්‍රිකාව ඔයාට දෙන්න. මේ පත්‍රිකාවේ අහන්නේ “ඔබත් මේ ප්‍රශ්න ගැන කල්පනා කර තිබෙනවාද?” කියලයි. ඔයා කැමතිද මේක කියවලා බලන්න?

අනුරාධා: ආගමක් ගැනද?

මිෂෙල්: ඔව්. හැබැයි බලන්න මේ පත්‍රිකාවේ අහලා තියෙන ප්‍රශ්න හය දිහා. මේ ප්‍රශ්නවලින් කොයි ප්‍රශ්නෙට . . .

අනුරාධා: පොඩ්ඩක් ඉන්න, මේකෙන් වෙන්නේ අපි දෙන්නගෙම කාලේ නාස්ති වෙන එක විතරයි.

මිෂෙල්: ඇයි එහෙම කිව්වේ?

අනුරාධා: ආගමක් ගැන කතා කරන්න මං කැමති නෑ. ඇත්තම කියනවා නම් දෙවියන්වහන්සේ ගැන මට කිසිම විශ්වාසයක් නෑ.

මිෂෙල්: දෙවියන් ගැන විශ්වාසේ නැති වුණේ මෑතකදිද නැත්නම් ඉස්සර ඉඳලමද?

අනුරාධා: පොඩි කාලේ නම් මං පල්ලි ගියා. හැබැයි දැන් නම් පල්ලි ගිය කාලයක්වත් මතක නෑ.

මිෂෙල්: කතාවෙන් කතාවෙන් මගේ නමවත් ඔයාට කියන්න අමතක වුණානේ. මම මිෂෙල්. ඔයාගේ නම?

අනුරාධා: අනුරාධා.

මිෂෙල්: අනුරාධාට මීට කලින් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව හම්බ වෙලා තියෙනවද?

අනුරාධා: නෑ.

මිෂෙල්: අනුරාධා ඔයා දෙවියන්ව විශ්වාස කරන්නේ නෑ කිව්වේ මොකක් හරි හේතුවක් නිසාද?

අනුරාධා: ඔව්. මගේ අම්මා අවුරුදු 17කට කලින් ඇක්සිඩන්ට් වුණා.

මිෂෙල්: අනේ ඇත්තද?

අනුරාධා: අම්මට දැන් ඇවිදින්නත් බෑ.

මිෂෙල්: ඒ ගැන මට හරිම දුකයි. ඔයාට ඒක දරාගන්න ගොඩක් අමාරු ඇති.

අනුරාධා: ඔව්. දෙවියන් ගැන මට විශ්වාසයක් නැත්තේ ඒ නිසයි. දෙවියන් ඉන්නවා නම් එහෙම දෙයක් වෙයිද? අපි දුක් විඳිද්දී ඇස් කන් පියාගෙන ඉඳීද?

ඇයි මෙහෙම වෙන්නේ කියලා දෙවිගෙන් අහන්න බැරිද?

මිෂෙල්: දුකක් කරදරයක් වුණාම ඇයි මෙහෙම වෙන්නේ කියලා අපි කාටත් හිතෙනවා. ඉස්සර කාලේ හිටපු දෙවිගේ සමහර සේවකයන්ටත් එහෙම හිතිලා තියෙනවා.

අනුරාධා: ඒ කාටද?

මිෂෙල්: මං ඔයාට බයිබලෙන්ම පෙන්නන්නද?

අනුරාධා: හා!

මිෂෙල්: බලන්න දෙවිට විශ්වාසවන්තව සේවය කරපු හබක්කුක් දෙවිගෙන් අහපු ප්‍රශ්න. “යෙහෝවා දෙවියනි, තව කොතරම් කාලයක් ඔබෙන් උපකාර ඉල්ලා අඬන්නද? දාමරිකයන්ගේ අතින් අපව බේරගන්න කියා තව කොතරම් කාලයක් ඔබෙන් අයැද සිටින්නද? ඔබ මට ඇහුම්කන් දී පියවර ගන්නා තුරු මා තව කොපමණ කල් බලා සිටින්නද? ඔබ මේ නපුරුකම් දෙස බලා සිටින්නේ කෙසේද? මා බලන බලන සෑම තැනම සොරකම්ද මැරවරකම්ද සිදු වෙයි. මගේ දෑසින් මේ දුෂ්ට දේවල් දකින්න ඔබ මට ඉඩහරින්නේ ඇයි?” (හබක්කුක් 1:2, 3) ඔයාගේ හිතේ තියෙන්නෙත් මේ වගේ ප්‍රශ්න නෙමෙයිද?

අනුරාධා: ඔව්, මේ වගේ ඒවා තමයි.

මිෂෙල්: ඒ වගේ ප්‍රශ්න ඇහුවා කියලා දෙවියන් හබක්කුක් එක්ක කේන්ති ගත්තේ නෑ. එහෙම අහන්නේ විශ්වාසය අඩු නිසයි කියලා දෙවියන් එයාට කිව්වෙත් නෑ.

අනුරාධා: හ්ම් . . .

මිනිසුන් දුක් විඳිනවා දකින්න දෙවියන් කැමති නැහැ

මිෂෙල්: අනුරාධා ඔයා දන්නවද අපි විඳින දුක් වේදනා දෙවිට පේනවා කියලා? දෙවියන් ඒ ගැන දුක් වෙනවා කියලා?

අනුරාධා: නෑ මං නම් හිතන්නෑ.

මිෂෙල්: නික්මයාම තුනේ හත්වෙනි පදේ කියන දේ බලන්න. ඔයාට පුළුවන්ද ඒක කියවන්න.

අනුරාධා: හා. “යෙහෝවා දෙවි තවදුරටත් මෙසේ කීවේය. ‘ඊජිප්තුවේ සිටින මාගේ සෙනඟ විඳින දුක් ගැහැට මම දුටුවෙමි. ඔවුන්ගෙන් බලෙන් වැඩ ගන්න අය ඔවුන්ට කරන පීඩා නිසා ඔවුන් අඬමින් කරන කන්නලව් මට ඇසිණ. ඔවුන් විඳින වේදනාව මට තේරුම්ගත හැකියි.’”

මිෂෙල්: මෙතන කියන විදිහට දෙවිගේ සෙනඟ දුක් විඳිද්දී ඒක දෙවියන් දැක්කද?

අනුරාධා: ඔව්.

මිෂෙල්: දෙවියන් නිකම්ම මිනිස්සු විඳින වේදනා දැක්කා විතරද? බලන්න එතන අන්තිමට කියන දේ. “ඔවුන් විඳින වේදනාව මට තේරුම්ගත හැකියි” කියලා දෙවියන් කියනවා. ඒකෙන් මොකද්ද ඔයාට තේරෙන්නේ? දුක් වේදනා විඳිනවා දැක්කත් දෙවිට ඒ ගැන කිසිම හැඟීමක් නෑ කියලද?

අනුරාධා: නෑ. එතන කියන විදිහට මිනිස්සු විඳින වේදනා දෙවිට තේරෙනවා.

මිෂෙල්: අන්න හරි. මිනිස්සු විඳින දුක් ගැහැට පේනවා කියන්නේ එක දෙයක්. හැබැයි ඒ දුක තේරුම්ගන්නවා කියද්දී ඊට වඩා වැඩි දෙයක් ඒකට ඇතුළත් වෙනවා.

අනුරාධා: ඔව්, ඒක හරි.

මිෂෙල්: දෙවිගේ සෙනඟ දුක් වේදනා අද්දැක්ක තවත් අවස්ථාවක් ගැන යෙසායා 63:9 කියන දේ බලමුද? මේ පදේ පළවෙනි වාක්‍යයේ මෙහෙම කියනවා. “ඔවුන් වින්ද සෑම දුකක්ම ඔහුටත් දැනුණි.” දෙවිගේ සෙනඟ දුක් විඳිද්දී දෙවිට හැඟුණේ කොහොමද?

අනුරාධා: දෙවිටත් දුකක් දැනුණා.

මිෂෙල්: දෙවියන් අපිට කොච්චර ආදරේද කියනවා නම් අපි දුක් විඳිනවා දකින්න දෙවියන් පොඩ්ඩක්වත් කැමති නෑ. අපි දුකෙන් ඉද්දී දෙවිටත් ඒ දුක දැනෙනවා.

එහෙමනම් අපිට දුක් විඳින්න ඉඩ දීලා තියෙන්නේ ඇයි?

මිෂෙල්: මං යන්න කලින් තව එක දෙයක් ඔයාට පැහැදිලි කරලා දෙන්න කැමතියි.

අනුරාධා: මොකද්ද?

මිෂෙල්: මං කැමති ඔයාට යෙරෙමියා 10:12 කියන දේ පෙන්නන්න. ඔයාට පුළුවන්ද ඒක කියවන්න?

අනුරාධා: මේක නේද? “දෙවි තම බලයෙන් මේ පොළොව සෑදුවේය. තම ප්‍රඥාවෙන් එය ස්ථිර ලෙස පිහිටෙව්වේය. ඔහු තම නුවණින් අහස්තලය ඇතිරිල්ලක් මෙන් දිගහැරියේය.”

මිෂෙල්: මේ අහස, පොළොව, මුළු විශ්වය හදන්න දෙවිට කොච්චර බලයක් තියෙන්න ඕනද?

අනුරාධා: සෑහෙන බලයක් තියෙන්න ඕන.

මිෂෙල්: ටිකක් හිතන්න. මේ හැම දෙයක්ම හදන්න දෙවිට එච්චර බලයක් තියෙනවා නම් අපි විඳින දුක් වේදනා නැති කරලා දාන්න දෙවිට බලය නැද්ද?

අනුරාධා: තියෙන්න ඕන.

මිෂෙල්: ඔයාගේ අම්මට වෙච්ච දේ ගැන ඔයාට ලොකු දුකක් දැනෙන්නේ ඔයා අම්මට හුඟක් ආදරේ නිසයි. ඔයාට හැකියාව තියෙනවා නම් අම්මගේ වේදනාව ඔයා අදම නැති කරලා දාන්නේ නැද්ද?

අනුරාධා: අනිවාර්යයෙන්ම මම ඒක කරනවා.

මිෂෙල්: එහෙමනම් අනුරාධා දෙවිට අපේ දුක පෙනිලත්, ඒ දුක තේරිලත්, ඒක නැති කරන්න බලය තිබිලත් තවමත් එහෙම කරලා නැත්තේ හොඳ හේතුවක් ඇතුවයි කියලා ඔයා හිතන්නේ නැද්ද?

අනුරාධා: මම කවදාවත් ඒ විදිහට හිතුවේ නෑ.

මිෂෙල්: ඒ හේතුව මොකද්ද කියලා බයිබලේ කියනවා. * ඔයා කැමතිද ඒක දැනගන්න?

අනුරාධා: මං කැමතියි.

මිෂෙල්: ඒ ගැන කතා කරන්න මං ආයේ දවසක එන්නං.

අනුරාධා: හා කමක් නෑ ආයේ දවසක එන්න. *

බයිබලයේ සඳහන් ඉගැන්වීම් ගැන ඔයාට යම් ප්‍රශ්නයක් තියෙනවද? නැත්නම් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ආගමික විශ්වාසයන් ගැන ඔයාට ප්‍රශ්න තියෙනවද? එහෙමනම් සාක්ෂිකරුවන්ගෙන් ඒ ගැන අහන්න. ඒ ගැන ඔයාට පැහැදිලි කරලා දෙන්න එයාලා කැමතියි.

^ 59 ඡේ. වැඩි විස්තර දැනගන්න ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ නමැති පොතේ 11වෙනි පරිච්ඡේදය බලන්න. එය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්.

^ 62 ඡේ. ඉදිරියේ පළ වෙන ලිපියක දෙවියන් දුක් වේදනාවලට ඉඩහැර තිබෙන්නේ ඇයි කියලා සාකච්ඡා කරනවා.