Skip to content

පටුනට යන්න

ජීවිත වෙනස් කළ පොතක්

“යෙහෝවා දෙවියන් මාව අමතක කරලා නැහැ”

“යෙහෝවා දෙවියන් මාව අමතක කරලා නැහැ”
  • ඉපදුණ අවුරුද්ද: 1922

  • රට: ස්පාඤ්ඤය

  • අතීතයේදී: කතෝලික ධර්මය ඉගැන්වූ ගුරුවරියක්

මගේ අතීතය:

මම ඉපදුණේ උතුරු ස්පාඤ්ඤයේ බිල්බාවෝ නගරයෙයි. ගැහැනු දරුවන් හතරදෙනෙක් හිටපු පවුලේ මම දෙවෙනියා. අපේ පවුලේ අයට ආගම ගැන තිබුණේ පුදුම භක්තියක්. මම හැමදාම පූජාවට ගියා. අවුරුදු 23දී ගුරුවරියක් වුණු මම අවුරුදු 40ක් පුරාම ගුරු වෘත්තිය කළේ හරිම ආසාවෙන්. විෂයන් කීපයක්ම ඉගැන්නුවත් ආගම උගන්වන්න ලැබුණ එක මම සැලකුවේ ලොකු දෙයක් හැටියටයි. සත්ප්‍රසාද ලබන්න හිටපු ගැහැනු දරුවන්ටත් මම හවස් වරුවේ ආගම ඉගැන්නුවා.

විවාහ වෙලා අවුරුදු 12කට පස්සේ මගේ ආදරණීය සැමියා නැති වුණා. දූවරුන් හතරදෙනා එක්ක තනි වෙද්දී මට වයස 33යි. මම සැනසීම හෙව්වේ ආගමෙන් වුණත් මගේ හිතට වධ දෙන ප්‍රශ්න තිබුණා. ‘යේසුස් අපිව ගලවගන්න ජීවිතය පූජා කළා නම් තාමත් මිනිස්සු මැරෙන්නේ ඇයි? හොඳ මිනිස්සු ස්වර්ගයට යනවා නම් දේවරාජ්‍යය පැමිණේවා කියලා අපි යාච්ඤා කරන්නේ ඇයි?’ මට තිබුණු ලොකුම ප්‍රශ්නේ මේකයි. ‘අපි මැරුණාම, දෙවියන් අපිව විනිශ්චය කරලා ස්වර්ගෙට හරි නිරයට හරි යවනවා නම් ඇයි ආපහු ඒ තැන්වලින් ගෙන්නලා අවසාන විනිශ්චයක් කරන්නේ?’

මම ඒ ප්‍රශ්න පූජකයන්ගෙන් ඇහුවා. එක පූජකයෙක් මෙහෙම කිව්වා. “මම දන්නේ නැහැ. බිෂොප්ගෙන් අහලා බලන්න. ඇයි ඕවා ප්‍රශ්නයක් කරගන්නේ? ඔයාට දෙවියන්ව විශ්වාසයිනේ. ඒ නිසා ඔය දේවල් ගැන ඔච්චර හිතන්න එපා.” ඒත් මම ඒ ප්‍රශ්නවලට උත්තර හොයන එක නැවැත්තුවේ නැහැ. මම ජේසු නිකායටත්, පෙන්තකොස්ත සභාවටත් තවත් සභාවකටත් ගියා. හැබැයි ඒ කිසිම තැනකින් හරි උත්තර ලැබුණේ නැහැ.

මගේ ජීවිතේ වෙනස් වුණේ මෙහෙමයි:

වයස අවුරුදු 60 ගණන්වල ඉද්දී දවසක් අවුරුදු 7ක පුංචි දුවෙක් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීමකට එන්න කියලා මට කිව්වා. එතැනට ගියාම අහපු දේවල්වලටයි එයාලගේ හැසිරීමටයි මට ආස හිතුණා. ඒත් මගේ කාර්යබහුල ජීවිතේ නිසා ආපහු රැස්වීමකට යන්න ලැබුණේ නැහැ. අවුරුදු දෙකකට පස්සේ ක්වාන් හා මයිටේ කියන යුවළ මගේ ගෙදර ආවා. එයාලා සාක්ෂිකරුවන්. ආගම ගැන තිබුණු ගොඩක් ප්‍රශ්න මාස තුනක් තිස්සේ මම එයාලා එක්ක සාකච්ඡා කළා. ඊටපස්සේ තමයි මම බයිබලේ ඉගෙනගන්න කැමති වුණේ.

එයාලා පාඩමට එනකම් මම බලන් හිටියේ හරිම ආසාවෙන්. සාක්ෂිකරුවන් උගන්වන දේවල් ඇත්තද කියලා බලන්න මම බයිබල් පරිවර්තන තුනක්ම පාවිච්චි කළා. පාඩම කරගෙන යද්දී අවුරුදු ගාණක් තිස්සේ මම විශ්වාස කරගෙන හිටපු දේවල් බයිබලේට පටහැනියි කියලා මට තේරුණා. මම භක්තියෙන් විශ්වාස කරපු දේවල් එකින් එක බොරු වෙද්දී මට දැනුණේ මගේ හිතේ ගැඹුරට මුල් ඇදලා තිබුණ විශ්වාසයන් එකින් එක උදුරලා දානවා වගෙයි.

වටිනා දෙයක් හම්බ වෙලා තියෙනවා කියන දේ මගේ හිතට දැනුණා

මම දෙවෙනි පාර විවාහ වෙලා හිටපු මහත්තයත් අසනීප වෙලා නැති වුණා. ඒ කාලෙදිම වගේ තමයි මම රස්සාවෙන් විශ්‍රාම ගිහින් ටික කාලෙකට පදිංචිය මාරු කළේ. ක්වාන් හා මයිටේත් වෙන පළාතකට ගියා. මම පාඩම නතර කළා. ඒත් වටිනා දෙයක් හම්බ වෙලා තියෙනවා කියන දේ මගේ හිතට දැනුණා. ඒක මං කවදාවත් අමතක කළේ නැහැ.

අවුරුදු 20කට විතර පස්සේ ක්වාන් හා මයිටේ ආපහු බිල්බාවෝවලට ආවම මාව බලන්න ආවා. එතකොට මට අවුරුදු 82යි. එයාලව දැක්කම දැනුණ සතුට කියන්න මට වචන නැහැ. යෙහෝවා දෙවියන් මාව අමතක කරලා නැහැ කියලා මට තේරුණා. මම ආයිත් බයිබල් පාඩම පටන්ගත්තා. මගේ හිතේ ගැඹුරුටම මුල් බැහැලා තිබුණ ආගමික විශ්වාසයන් අයින් කරගන්නත් මගේ නෑයන්ටයි යාළුවන්ටයි බයිබල් සත්‍යයන් තේරුම් කරලා දෙන්නත් මට ඕන වුණ නිසා මම එකම ප්‍රශ්නය කිහිප සැරයක්ම ඒ දෙන්නාගෙන් ඇහුවා. ඒත් එයාලා හරිම ඉවසීමකින් මට කියලා දුන්නා.

මගේ ජීවිතේ සතුටුම දවස මම බව්තීස්ම වුණ දවස. එතකොට මට අවුරුදු 87යි. මං බව්තීස්ම වුණේ සාක්ෂිකරුවන්ගේ සමුළුවක. බව්තීස්ම වෙන්න හිටපු අය වෙනුවෙන් දීපු කතාව අහද්දී මගේ ඇස්වලට කඳුළු ආවා. ඒ වෙලාවේ යෙහෝවා දෙවියන් මටම කතා කරනවා වගේ මට දැනුණා. බව්තීස්ම වුණාට පස්සේ මං කලින් දැකලා තිබුණේ නැති අයත් ඇවිල්ලා මට සුබ පැතුවා.

මං දැන් අද්දකින ආශීර්වාද:

මම මුල ඉඳලම විශ්වාස කළා යේසුස් තමයි “මාර්ගය” කියලා. (යොහන් 14:6) බයිබලය පාඩම් කරපු නිසා යේසුස් අපිව ළං කරන්න හදපු යෙහෝවා දෙවියන්ව හොඳින් දැන හඳුනා ගන්න මට පුළුවන් වුණා. දැන් මට කිට්ටු මිතුරෙකුට කතා කරනවා වගේ යෙහෝවා දෙවියන්ට ඕනම වෙලාවක යාච්ඤා කරන්න පුළුවන්. දෙවියන්ට ඒ තරම් කිට්ටු වෙන්න මට උදව් වුණේ ‘යෙහෝවාට ළං වන්න’ කියන පොතයි. * ඒක මගේ ජීවිතයේ ලොකු වෙනසක් කරපු පොතක්. මම එක රැයකින් ඒක කියවලා ඉවර කළා. දෙවියන් කොච්චර ප්‍රේමණීය දෙවි කෙනෙක්ද කියලා එදා මට තේරුණා.

අවුරුදු ගාණක් පුරා මම සත්‍යය හෙව්වා. “නොකඩවාම ඉල්ලන්න. එවිට ඔබට දෙනු ලැබෙයි. නොකඩවාම සොයන්න. එවිට ඔබට සම්බ වෙයි. නොකඩවාම තට්ටු කරන්න. එවිට ඔබට විවෘත කර දෙනු ලැබෙයි” කියලා යේසුස් කියපු දේ කොච්චර ඇත්තද කියලා මට දැන් තේරෙනවා. (මතෙව් 7:7) මුලින් මට තිබුණ ප්‍රශ්නවලට දැන් මං උත්තර දන්නවා. ඒ දැනුම අනිත් අයත් එක්ක බෙදාගන්න එකෙන් දැන් මම අද්දකින්නේ පුදුම සතුටක්.

මට දැන් වයස 90යි. ඒ වුණත් මට ඉගෙනගන්න තව ගොඩක් දේවල් තියෙනවා. රැස්වීම්වලට සහභාගි වෙන හැම දවසක්ම මට හරි විශේෂයි. මොකද වටිනා දේවල් ඉගෙනගන්නත් අනිත් අයව ආශ්‍රය කරන්නත් මට පුළුවන් වෙනවා. මම ආසාවෙන් බලාගෙන ඉන්නේ පාරාදීස පොළොවේදිත් අනිත් අයට සත්‍යය කියලා දෙන ගුරුවරියක් වෙන්න. (එළිදරව් 21:3, 4) විශේෂයෙන්ම මිය ගිය අය නැවත නැඟිටිද්දී මගේ පවුලේ අයව දකින්නත් එයාලට බයිබල් සත්‍යයන් කියලා දෙන්නත් මම ඉන්නේ ගොඩක් ආසාවෙන්. (ක්‍රියා 24:15) මගේ මහලු වයසේදි දෙවියන් මට දුන්නේ මොන තරම් වටිනා වස්තුවක්ද කියලා එදාට මම එයාලට කියලා දෙනවා.

^ 15 ඡේ. එය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්.