Skip to content

පටුනට යන්න

සත්‍යය වෙනුවෙන් නොබියව කතා කළ තෝමස් එම්ලින්

සත්‍යය වෙනුවෙන් නොබියව කතා කළ තෝමස් එම්ලින්

තෝමස් එම්ලින් කියන්නේ කවුද? සත්‍යය වෙනුවෙන් නොබියව කතා කරන්න ඔහු පෙලඹුණේ ඇයි? ඔහුගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

පිළිතුරු දැනගැනීමට මීට අවුරුදු 300කට පමණ පෙර එංගලන්තයේ හා අයර්ලන්තයේ සිදු වූ සමහර දේවල් ගැන සොයා බලමු. ඒ කාලයේ එංගලන්ත සභාවට තිබුණේ පුදුම බලයක්. ඔවුන් බයිබලයට පටහැනි ඉගැන්වීම් හා චාරිත්‍ර වාරිත්‍රවල යෙදීම සමහර රෙපරමාදු ආගම්වල සහ පුද්ගලයන්ගේ ප්‍රසාදයට හේතු වුණේ නැහැ.

ඔහු කවුද?

එම්ලින් උපත ලැබුවේ එවැනි කාල වකවානුවක. ඔහු ඉපදුණේ 1663 මැයි 27වෙනිදා එංගලන්තයේදී. ඔහුගේ මුල්ම දේශනය ඉදිරිපත් කරන විට ඔහුට වයස අවුරුදු 19යි. පසු කලෙක ඔහු එංගලන්තයේ ආදිපාදවරියකට අයත් වූ පුංචි දේවස්ථානයක දේවගැතිවරයෙක් ලෙස සේවය කළා. ඉන් ටික කලකට පසු ඔහු අයර්ලන්තයේ බෙල්ෆාස්ට් නගරයට ගියා.

එහි මීසමක් භාර දේවගැතිවරයෙක් ලෙස සේවය කළ ඔහු පසු කාලයේදී ඩබ්ලින් ඇතුළු වෙනත් ප්‍රදේශවලත් සේවය කළා.

ඔහුට චෝදනා කළේ ඇයි?

එම කාල වකවානුවේදී එම්ලින් ඉතා උනන්දුවෙන් බයිබලය අධ්‍යයනය කළා. ඔහු මුලින් ත්‍රිත්වය විශ්වාස කළත් බයිබලය ගැඹුරින් අධ්‍යයනය කරන විට ඒ ගැන සැක මතු වුණා. ත්‍රිත්වය බයිබලයේ ඉගැන්වීම්වලට පටහැනි බව ඔහුට තහවුරු වුණේ සුවිශේෂ පොත් හතර ගවේෂණය කිරීමෙන් අනතුරුවයි.

කෙසේවෙතත් ඔහු සත්‍යය සොයාගත් සැණින් අනිත් අයට ඒ ගැන කිව්වේ නැහැ. නමුත් ඩබ්ලින් නගරයේ තිබුණු පල්ලියේ බැතිමතුන්ට වැටහුණා ඔහු දේශනවලදී ත්‍රිත්වය ගැන සඳහන් නොකරන බව. තමන් සොයාගත් සත්‍යය කිසි කෙනෙක් නොපිළිගන්නා බව දැනගත් ඔහු “මං සොයාගත් සත්‍යය ගැන කිව්වොත් මට තවදුරටත් මේ සේවය කරන්න බැරි වෙයි” කියා සටහන් කර තිබුණා. ඔහු දේශනවලදී ත්‍රිත්වය ගැන සඳහන් නොකළේ ඇයි කියා ප්‍රශ්න කිරීමට 1702 ජූනි මාසයේදී පූජකයන් දෙදෙනෙක් පැමිණියා. තවදුරටත් ත්‍රිත්වය විශ්වාස නොකරන නිසා පූජක පදවියෙන් ඉල්ලා අස් වෙන්න වුණත් තමා සූදානම් බව එම්ලින් ඔවුන්ට පැවසුවා.

යේසුස් මහෝත්තම දෙවියන් නොවෙයි කියා බයිබලයෙන් හේතු දැක්වූ එම්ලින්ගේ සඟරාව

ඉන් ටික දිනකට පසු ඔහු එංගලන්තයට ගියා. සති 10කට පසු ඔහු නැවත ඩබ්ලින් වෙත ආවේ පෞද්ගලික කටයුතු එකලසක් කරගෙන නැවත එංගලන්තයට ගොස් පදිංචි වීමේ අදහසින්. ඒත් තමන් විශ්වාස කළ දේ අන් අයට දන්වන්න සිතූ ඔහු සඟරාවක් පළ කළා. (An Humble Inquiry Into the Scripture-Account of Jesus Christ) යේසුස් මහෝත්තම දෙවියන් නොවීමට බයිබලයේ සඳහන් හේතු එහි පැහැදිලිව පෙන්වා තිබුණා. එය කියවූ ඩබ්ලින් නගරයේ තිබුණු පල්ලියේ අය කුපිත වී ඔහුට විරුද්ධව පැමිණිල්ලක් ගොනු කළා.

1703 ජූනි 14වෙනිදා ඔහුව අත්අඩංගුවට ගෙන ඩබ්ලින් නගරයේ ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළා. ඔහුට විරුද්ධව තිබුණ චෝදනාව විභාග කළ ආකාරය ගැන ඔහු පොතක ලිව්වේ මෙසේයි. “මම නින්දා කරන්නෙක් හා බොරුකාරයෙක් කියා චෝදනා කළා. එසේ කළේ මම යේසුස් සහ දෙවි පියාණන් එක් කෙනෙක් නොවේ කියා සඟරාවක් පළ කළ නිසයි.” (True Narrative of the Proceedings) එම්ලින්ට ලැබුණේ අසාධාරණ තීන්දුවක්. ඔහුගේ නඩුව විභාග කරන්නත් කලින් ඔහු වරදකරුවෙකු බවට තීරණය කර තිබුණා. නඩුව විභාග කිරීමට විනිසුරුවන් සමඟ අයර්ලන්තයේ බිෂොප්වරු 7දෙනෙක් එකතු වුණා. තමන්ගේ නිදහස වෙනුවෙන් ඔහුට වචනයක්වත් කීමට ඉඩ දුන්නේ නැහැ. සුප්‍රකට නීතිඥ රිචර්ඩ් ලෙවන්ස් කිව්වේ ඔහු කොහොමත් වරදකරුවෙක් බවට පත් වෙනවා කියායි. නඩු විභාගය අවසානයේදී අයර්ලන්තයේ අග්‍රවිනිසුරුවරයා වන රිචඩ් පයින් ජූරි සභාවට පැවසුවේ තමන් බලාපොරොත්තු වන තීන්දුව ලබා දුන්නේ නැත්නම් බිෂොප්වරු ඉතුරු ටික බලාගනියි කියායි. ඔහු ඇඟෙව්වේ ඊට නිසි දඬුවම් ජූරියට විඳින්න සිදු වෙයි කියායි. එම්ලින් වරදකරු බවට තීන්දු වුණා.

“මම දුක් විඳින්නේ දෙවියන් ගැන සත්‍යය කතා කළ නිසයි.”—තෝමස් එම්ලින්

සමාව ඉල්ලන්න කියා ඉහළ පෙළේ නීතිඥයෙක් ඔහුට පැවසුවත් එය ප්‍රතික්ෂේප කළ ඔහුට දඩයක් සහ වසරක සිර දඬුවමක් නියම වුණා. දඩය ගෙවීමට නොහැකි වූ නිසා වසර කිහිපයක් සිරගතව සිටීමට සිදු වුණත් මිතුරෙක් බලධාරීන්ට කාරණා පහදා දීම නිසා වසර 2කින් නිදහස් වීමට ඔහුට හැකි වුණා. 1705 ජූලි 21වෙනිදා නිදහස ලැබූ එම්ලින් තමන් වින්ද දුක් වේදනා හා අපහාස නිසා මෙසේ පැවසුවා. “මම දුක් විඳින්නේ දෙවියන් ගැන සත්‍යය කතා කළ නිසයි.”

පසුව එම්ලින් ලන්ඩන් බලා පිටත් වුණා. එහිදී බයිබල් විශාරදයෙක් වූ විලියම් විස්ටන්ව ඔහුට මුණගැසුණා. ඔහුත් බයිබලයේ තියෙන සත්‍යය ගැන පොත් ලිවීම නිසා අපහාසයට ලක් වූ කෙනෙක්. එම්ලින් කෙරෙහි ගෞරවාදරයක් දැක්වූ විස්ටන් ඔහුව හැඳින්වූයේ පාරම්පරික ක්‍රිස්තියානි ඉගැන්වීම්වලින් මිදුණු පළවෙනි තැනැත්තා ලෙසයි.

ත්‍රිත්වය තවදුරටත් පිළි නොගැනීමට හේතුව

ත්‍රිත්වය යන ඉගැන්වීම බයිබලයට පටහැනියි කියා බයිබල් විශාරදයන් වූ විලියම් විස්ටන් හා අයිසැක් නිව්ටන් වැනි අය වගේ එම්ලින්ද තේරුම්ගත්තා. ඔහු පැවසුවේ මෙසේයි. ‘ශුද්ධ බයිබලය ගැඹුරට අධ්‍යයනය කිරීමෙන් පසු ත්‍රිත්වය ගැන විශ්වාස කරපු දේ වැරදි බව තේරුම්ගන්න ඇති තරම් හේතු මට හම්බ වුණා.’ ඔහුගේ අවසන් නිගමනය වූයේ “මහෝත්තම දෙවියන් යනු යේසුස් ක්‍රිස්තුස්ගේ පියාණන් සහ දෙවියන්” බවයි.

ඔහු එවැනි නිගමනයකට ආවේ ඇයි? යේසුස් සහ ඔහුගේ පියා එක් කෙනෙක් නොව දෙදෙනෙක් කියා දක්වන බයිබල් වගන්ති රාශියක් ඔහුට හමු වූ නිසයි. පහත දැක්වෙන්නේ ඉන් සමහරක්. (බයිබල් වගන්තිය ගැන එම්ලින් දැක්වූ අදහස් ඇල අකුරින් දැක්වෙයි.)

  •  යොහන් 17:3: “තමන් එකම දෙවියන් කියා යේසුස් කිසිවිටක පැවසුවේ නැහැ.” “එකම සැබෑ දෙවි” වන්නේ පියාණන් පමණයි.

  •  යොහන් 5:30: “පුත්‍රයා තම කැමැත්තට අනුව කිසිම දෙයක් කරන්නේ නැහැ. ඔහු කරන්නේ පියාණන්ගේ කැමැත්තයි.”

  •  යොහන් 5:26: “යේසුස්ට ජීවිතය දුන්නේ ඔහුගේ පියාණන්.”

  •  එෆීස 1:3: “යේසුස් ක්‍රිස්තුස්ව සාමාන්‍යයෙන් හඳුන්වා තිබෙන්නේ දෙවියන්ගේ පුත්‍රයා කියායි. පියාණන්ව දෙවියන්ගේ පියාණන් කියා කිසිම තැනක හඳුන්වා දී නැහැ. ඒ වෙනුවට පියාණන්ව බොහෝවිට හඳුන්වා තිබෙන්නේ යේසුස් ක්‍රිස්තුස්ගේ පියාණන් කියායි.”

සියලුම සාක්ෂි සලකා බැලීමෙන් පසු එම්ලින් පැහැදිලිවම පැවසුවේ මෙසේයි. “පියා, පුත්‍රයා සහ ශුද්ධාත්මය එක් කෙනෙක් කියා බයිබලයේ කොතැනකවත් සඳහන් වෙලා නැහැ.”

අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

බයිබලයේ සඳහන් සත්‍යය වෙනුවෙන් කතා කරන්න අද හුඟදෙනෙක් බයයි. ඒත් එම්ලින් ඒ දේ කළා. ඔහු මෙවැනි ප්‍රශ්නයක් ඇසුවා. “බයිබලයේ පැහැදිලිවත් සාක්ෂි ඇතුවත් පෙන්වා තිබෙන සත්‍යයන් කෙනෙක් පිළිගන්නේ නැත්නම් එය නිකම්ම කියවීමෙන් හා සෙවීමෙන් පලක් තියෙනවාද?” එම්ලින් බයිබලයේ සඳහන් සත්‍යය වාසි ප්‍රයෝජන තකා වෙනස් කළේ නැහැ.

නින්දා අපහාස විඳින්න සිදු වුණත් අපි විශ්වාස කරන දේ වෙනුවෙන් නොබියව කතා කරන්න සූදානම්ද කියා සිතා බලන්න එම්ලින් වැනි අයගේ ආදර්ශ අපිට උදව් වෙනවා. අපිටත් මේ ගැන කල්පනා කර බලන්න පුළුවන්. ‘මට වැදගත් වෙන්නේ සමාජයේ ප්‍රසාදය දිනාගැනීමද නැත්නම් දෙවියන්ගේ වචනයේ ඇති සත්‍යය වෙනුවෙන් නොබියව කතා කිරීමද?’