Skip to content

පටුනට යන්න

කාලගුණය වියරු වැටුණත් බයිබලෙන් සහනයක්!

කාලගුණය වියරු වැටුණත් බයිබලෙන් සහනයක්!

 කාලගුණය අද වියරු වැටිලා, ප්‍රචණ්ඩ වෙලා. මිලියන ගාණක් ඒකෙන් බැට කනවා. ඔයාත් ඒ වගේ කෙනෙක්ද? දරුණු සුළිසුළං සහ සුළිකුණාටු නිසා වෙරළබඩ ප්‍රදේශ මුහුදට බිලි වෙනවා. ගංවතුර, ජල ගැලීම් තත්වයන් ඇති වෙනවා. සුළඟෙනුත් දේපළ සහ ජීවිත හානි වෙනවා. ධාරානිපාත වර්ෂා නිසා කඳු නාය යනවා, පොළොව ගිලා බහිනවා. මහා වැසි එක්ක ගහන අකුණු නිසා විනාශකාරී ළැව් ගිනි ඇති වෙනවා. නියඟයන්, රටවල් හරහා හමාගෙන යන දරාගන්න බැරි තරම් උණුසුම් තාප තරංග, හිම කුණාටු එන්න එන්නම මාරාන්තික වෙලා.

 ලෝකේ හුඟක් රටවල්වල මේ කාලගුණික වෙනස්කම් සිද්ධ වෙන වාර ගාණ ඉස්සරට වඩා වැඩි වෙලා. ඒ වගේම ඒවා තව දරුණු වෙලා. ජාත්‍යන්තර රතු කුරුස සංගමය ඒ ගැන කියන්නේ මෙහෙමයි. “එන්න එන්නම වැඩි වෙන ගංවතුර, සුළිකුණාටු සහ නියඟ නිසා හුඟදෙනෙක් අන්ත අසරණ වෙලා. මිලියන ගාණකට ඉන්න හිටින්නවත් තැනක් නැහැ.”

 ඒ දේවල් නිසා මිනිස්සු අද මානසිකවත් බින්දුවටම වැටිලා. මොකද එයාලා ජීවිත කාලෙම හම්බ කරපු දේවල් විතරක් නෙවෙයි එයාලා ආදරේ කරපු අයත් එයාලට නැති වෙලා.

 ඔයාත් අයහපත් කාලගුණික වෙනස්කම් නිසා පීඩා විඳින කෙනෙක්ද? එහෙනම් ඔයාට බයිබලෙන් සහනයක් ලබාගන්න පුළුවන්. හොඳ බලාපොරොත්තුවක් ඇතුව ඉන්නත් විශ්වාසවන්ත මඟ පෙන්වීම් හොයාගන්නත් හුඟදෙනෙක්ට ඒක උදව් වෙලා තියෙනවා. (රෝම 15:4) ඒ වගේම හුඟදෙනෙක් අහන මේ වගේ ප්‍රශ්නවලට උත්තරත් බයිබලේ තියෙනවා. “ඇයි දෙවියන් මේ දේවල්වලට ඉඩහරින්නේ? දෙවියන් මට දඬුවම් කරනවාවත්ද?”

දෙවියන්ගෙන් ලැබුණු දඬුවමක් නෙවෙයි

 මිනිස්සු දුක් විඳින එකට වග කියන්න ඕනෙ දෙවියන් නෙවෙයි. ඇයි අපි එහෙම කියන්නේ? බයිබලේ මෙහෙම කියනවා. ‘ඔබ මොන තරම් ශුද්ධ දෙවි කෙනෙක්ද කිවහොත් නපුර ගණන් නොගෙන ඉන්න ඔබට බැහැ. දුෂ්ටකම් නොසලකාහරින්න ඔබට බැහැ.’ (හබක්කුක් 1:13) එහෙනම් දරුණු කාලගුණය නිසා මිනිස්සු දුක් විඳිද්දී ඒකට වග කියන්න ඕනෙ දෙවියන් නෙවෙයි කියලා පැහැදිලියි.

 ස්වාභාවික බලයන් පාවිච්චි කරලා දෙවියන් දුෂ්ට මිනිසුන්ව විනාශ කරපු අවස්ථා ගැන බයිබලේ තියෙනවා. හැබැයි ඊට කලින් ඔහු ගේන්න යන ඒ විනාශය ගැනත් විනාශ කරන හේතුව ගැනත් මිනිසුන්ට දැනුම් දුන්නා. ඒ වගේම හොඳ අයව ඒ විනාශයෙන් බේරගත්තා. නෝවාගේ කාලේ දෙවියන් ගෙනාපු ජලගැල්ම ඒකට හොඳ උදාහරණයක්. ඒක ගේන්න කාලෙකට කලින් ඉඳන් දෙවියන් ඒ ගැන අනතුරු ඇඟෙව්වා. ඒ දේ කරන්නේ ඇයි කියලත් කිව්වා. අන්තිමට නෝවාවයි එයාගේ පවුලේ අයවයි බේරගත්තා. (උත්පත්ති 6:13; 2 පේතෘස් 2:5) හැබැයි අද කාලගුණය නිසා සිද්ධ වෙන විනාශයන් ඊට වඩා හාත්පසින්ම වෙනස්. මොකද ඒ විනාශයන් වෙන්නේ කලින් දැනුම් දීලා නෙවෙයි. ඒ වගේම නරක අයයි, හොඳ අයයි දෙගොල්ලන්ම ඒවායින් බැට කනවා.

 අද සිද්ධ වෙන ස්වාභාවික විපත් දෙවියන්ගේ දඬුවමක් නෙවෙයි කියලා කියන්න තියෙන තව හේතු ගැන දැනගන්න “ස්වාභාවික විපත් ගැන බයිබලයේ මොනවාද කියලා තියෙන්නේ?” කියන ලිපිය බලන්න.

වියරු වැටුණු කාලගුණයෙන් බැට කන අය ගැන දෙවියන් සැලකිලිමත්

 බයිබලේ කියනවා යෙහෝවා a දෙවියන් අපි ගැන සැලකිලිමත්, දයානුකම්පිත කෙනෙක් කියලා. බයිබලේ ඔහු ගැන කියලා තියෙන මේ දේවල් ඔයාට සහනයක් වෙයි.

  •   යෙසායා 63:9: ‘ඔවුන් වින්ද සෑම දුකක්ම දෙවියන්ටත් දැනුණි.’

     තේරුම: මිනිසුන් දුක් විඳිනවා දකිද්දී ඒ ගැන දෙවියන්ටත් ලොකු දුකක් දැනෙනවා.

  •   1 පේතෘස් 5:7: “ඔහු ඔබ ගැන සැලකිලිමත්.”

     තේරුම: යෙහෝවා දෙවියන් ඔයාගේ යහපත ගැන හිතනවා.

 යෙහෝවා දෙවියන් අපි ගැන සැලකිලිමත්, දයානුකම්පිත කෙනෙක් නිසා අපිට උදව් කරන්න ඔහු ආසාවෙන් ඉන්නවා. සතුටින් ඉන්න උදව් වෙන මඟ පෙන්වීම් ගැන වගේම කාලගුණය නිසා කිසිම විපතක් වෙන්නේ නැති කාලයක් ගැනත් ඔහු බයිබලෙන් අපිට දැනුම් දීලා තියෙනවා.—2 කොරින්ති 1:3, 4.

වියරු වැටුණු කාලගුණයෙන් බැට කන්න වෙන්නේ නැති කාලයක්

 යෙහෝවා දෙවියන් “සාමයෙන් පිරුණු ප්‍රීතිමත් ජීවිතයක් ගැන බලාපොරොත්තුවක්” අපිට දීලා තියෙනවා. (යෙරෙමියා 29:11) ඒ කාලේදී අයහපත් කාලගුණයක් ගැන හිතේ කිසි බරක් නැතුව පාරාදීස පොළොවක සතුටින් ජීවත් වෙන්න අපිට පුළුවන්.—උත්පත්ති 1:28; 2:15; යෙසායා 32:18.

 දෙවියන් ඒ දේ කරන්නේ ස්වර්ගයේ පිහිටුවලා තියෙන ඔහුගේ ආණ්ඩුව මාර්ගයෙන්. (මතෙව් 6:10) ඒකේ රජු විදිහට දෙවියන් පත් කරලා තියෙන්නේ යේසුස්ව. කාලගුණය පාලනය කරන්න යේසුස්ට බලයත් අවබෝධයත් තියෙනවා. මේ පොළොවේ හිටිය කාලේදී ඔහු ඒක කරලා පෙන්නුවා. (මාක් 4:37-41) යේසුස් තේරුම්ගැනීමේ හැකියාව තියෙන ප්‍රඥාවන්ත කෙනෙක්. ඒ නිසා ඔහු මේ පොළොව පාලනය කරන කාලේදී පරිසරයට හානියක් වෙන්නේ නැති විදිහට ජීවත් වෙන්නේ කොහොමද කියලා මිනිසුන්ට උගන්වන්න යනවා. (යෙසායා 11:2) වියරු වැටුණු, ප්‍රචණ්ඩ කාලගුණයක් ගැන එදාට හිතන්නවත් ඕන වෙන්නේ නැහැ.

 සමහරවිට ඔයා හිතනවා ඇති ‘යේසුස් ඒ දේ කරන්නේ කවදාද’ කියලා. ඒකට උත්තරේ දැනගන්න “දේවරාජ්‍යයෙන් මේ පොළොව පාලනය කරන්න පටන්ගන්නේ කවදාද?” කියන ලිපිය බලන්න.

දැන් කරන්න පුළුවන් දේ

 අයහපත් කාලගුණය නිසා විපතක් ඇති වෙන්න කලින්, ඒක අතරතුරේ සහ විපතක් වුණාට පස්සේ කරන්න පුළුවන් හුඟක් දේවල් බයිබලේ තියෙනවා.

  •   ආපදාවකට කලින්: ලෑස්ති පිට ඉන්න.

     බයිබලයේ මෙහෙම කියනවා: “බුද්ධිමත් අය අවදානම දුර තියාම හඳුනාගෙන එයින් ඉවත් වෙති. නමුත් අද්දැකීම් අඩු අය ඒ දෙසටම ගමන් කර ප්‍රතිඵල විඳිති.”—හිතෝපදේශ 22:3.

     තේරුම: ඔයා ඉන්න ප්‍රදේශයේ වෙන්න පුළුවන් අනතුරු ගැන කලින්ම හිතන්න. එතකොට පවුලේ අයගේ ආරක්ෂාව වෙනුවෙන් ඉක්මනින්ම පියවර ගන්න ඔයාට පුළුවන්.

     අද්දැකීමක්: “අපේ පැත්තේ ළැව් ගින්නක් පැතිරුණා. හොඳ වෙලාවට අපි ආපදා මල්ලයි, බේත්හේතුයි, වැඩිපුර ඇඳුම් ටිකකුයි ලෑස්ති කරන් හිටියේ. කරන්නේ මොනවාද කියලා හිතාගන්න බැරුව මිනිස්සු එහෙට මෙහෙට දිව්වා. හැබැයි අපේ ළඟ අවශ්‍ය හැම දේම තිබ්බා. කලින්ම ලෑස්ති වෙලා හිටිය එක කොච්චර හොඳද!”—කැලිෆෝර්නියාවේ ටමාරා.

  •   ආපදාවක් අතරතුර: වැදගත් දේට මුල් තැන දෙන්න.

     බයිබලයේ මෙහෙම කියනවා: “කෙනෙකුට කොතරම් දේවල් තිබුණත් ඔහුට තිබෙන දේවලින් ඔහුගේ ජීවිතය රැකගන්න ඔහුට බැහැ.”—ලූක් 12:15.

     තේරුම: දේපොළට වඩා වටින්නේ ජීවිතය.

     අද්දැකීමක්: “ලාවින් b සුළිකුණාටුවෙන් අපේ මුළු ගේම බිමට සමතලා වුණා. කරන්නේ මොනවාද කියලා හිතාගන්න බැරුව මගේ ඔළුව ගිනි අරන් තිබුණේ. ඒත් හිතේ තියෙන හැම බරක් ගැනම මං යෙහෝවා දෙවියන්ට කිව්වා. තිබ්බ දේවල් නැති වුණත් අපේ ජීවිත බේරුණානේ කියලා තේරුම්ගන්න ඒක මට උදව් වුණා.”—පිලිපීනයේ ලෙස්ලි.

  •   ආපදාවකට පස්සේ: අද දවස ගැන විතරක් හිතන්න.

     බයිබලයේ මෙහෙම කියනවා: “හෙට දවස ගැන කිසිවිටක කනස්සලු නොවන්න. මන්ද හෙට දවසෙත් කරදර තිබෙයි.”—මතෙව් 6:34.

     තේරුම: ඉස්සරහාට වෙන්න ඉඩ තියෙන ප්‍රශ්න ගැන ඕනෑවට වඩා කරදර වෙන්න එපා.

     අද්දැකීමක්: “ඉර්මා සුළිකුණාටුව නිසා අපේ ගේ වතුරෙන් යට වුණා. මොනවා කරන්නද, කොහෙන් පටන්ගන්නද කියලා හිතාගන්න බැරුව මං පිස්සුවෙන් වගේ හිටියේ. ඒත් බයිබලේ කියනවානේ හැම දවසකම කරදර තියෙන නිසා දවසේ කරදර ගැන විතරක් හිතන්න කියලා. මං කෙරුවෙත් ඒකමයි. යෙහෝවාගේ උදව්වෙන් ඕනෙම දෙයක් දරාගන්න පුළුවන් කියලා මං තේරුම්ගත්තා.”—ෆ්ලොරිඩාවල සැලී.

 කරන්න පුළුවන් තවත් දේවල් ගැන දැනගන්න “හදිසි ආපදාවකදී ජීවිත රැක දෙන පියවර” කියන ලිපිය බලන්න.

a යෙහෝවා කියන්නේ සැබෑ දෙවියන්ගේ නමයි.—ගීතාවලිය 83:18.

b ඒ සුළිකුණාටුව හායිමා කියලත් හඳුන්වනවා.