Skip to content

පටුනට යන්න

නිවසේදී හිංසනයට ලක් වෙන අයට සහනයක්

නිවසේදී හිංසනයට ලක් වෙන අයට සහනයක්

 “කාන්තා හිංසනය ලෝකේ පුරාම වසංගතයක් වගේ පැතිර යනවා. ඒකට ඉක්මනින්ම විසඳුමක් හොයාගන්න ඕනෙ” කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා. ඒ සංවිධානය ගණන් බලලා තියෙන විදිහට විවාහ වෙලා ඉන්න එහෙම නැත්නම් ප්‍රේම සම්බන්ධයක් පවත්වන කාන්තාවන්ගෙන් 30% විතර එයාලගේ සැමියාගෙන් නැත්නම් පෙම්වතාගෙන් හිංසනයට ලක් වෙනවා. එයාලා පහර කෑම්වලට එහෙම නැත්නම් ලිංගික සම්බන්ධකම්වලදී හිංසනයට ලක් වෙනවා. සමහරුන්ට ඒ දෙකටම මුහුණ දෙන්න වෙලා තියෙනවා. මෑත අවුරුද්දකදී හැම දවසකම කාන්තාවන් 137දෙනෙක් තමන්ගේ සැමියා/පෙම්වතා අතින් නැත්නම් පවුලේ කෙනෙක්ගේ අතින් මිය ගිහින් තියෙනවා කියලා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාවක සඳහන් වෙලා තියෙනවා. a

 නිවසේදී හිංසනයට ලක් වෙන එක ලෝකේ පුරාම කොයි තරම් දුරට පැතිරිලා තියෙනවාද කියන එක ඒ සමීක්ෂණ වාර්තාවලින් පැහැදිලි වෙනවා. හැබැයි ඒ අය කොයි තරම් ශාරීරික සහ මානසික වේදනාවක් විඳිනවාද කියන එක ගැන ඒ වාර්තාවලින් හෙළි වෙන්නේ නැහැ.

 ඔයාත් නිවසේදී හිංසනයට ලක් වෙන කෙනෙක්ද? එහෙම නැත්නම් එහෙම කෙනෙක්ව ඔයා දන්නවාද? එහෙමනම් බයිබලේ සඳහන් මේ තොරතුරු ඔයාට උදව් වෙයි.

  ඔයා හිංසනයට ලක් වෙන්නේ ඔයාගේ වරදක් නිසා නෙමෙයි

  ඔයාට උදව් ලබාගන්න පුළුවන්

  ඔයා තනි වෙලා නැහැ

  කිසිම කෙනෙක් නිවසේදී හිංසනයට ලක් වෙන්නේ නැති කාලයක් එනවා

  හිංසනයට ලක් වෙන කෙනෙක්ට ඔයාට උදව් කරන්න පුළුවන් කොහොමද?

 ඔයා හිංසනයට ලක් වෙන්නේ ඔයාගේ වරදක් නිසා නෙමෙයි

 බයිබලේ මෙහෙම කියනවා: “අප කරන කියන දේවල් ගැන අප සියලුදෙනාවම දෙවි විසින් විනිශ්චය කරනු ලැබේ.”—රෝම 14:12.

 මේක අමතක කරන්න එපා: ඔයාව හිංසනයට ලක් කරන කෙනා තමයි එයා කියන කරන දේවල්වලට වග කියන්න ඕනේ.

 එයා ඔයාට හිංසා කරන්නේ ඔයාගේ වරදක් නිසා කියලා එයා කියනවා නම් ඒක වැරදියි. බයිබලේ කියන්නේ බිරිඳකට හිංසා කරන්න නෙමෙයි එයාට ආදරේ කරන්න කියලයි.—කොලොස්සි 3:19.

 සමහර වෙලාවට කෙනෙක් එයාගේ බිරිඳව/පෙම්වතියව හිංසනයට ලක් කරන්නේ මානසික ප්‍රශ්නයක් නිසා, හැදුණු වැඩුණු පරිසරය නිසා නැත්නම් මත්පැන්වලට ඇබ්බැහි වෙලා ඉන්න නිසා වෙන්න පුළුවන්. හේතුව මොකක් වුණත් එයා ඔයාට සලකන විදිහ ගැන එයා දෙවියන්ට වග කියන්න ඕනේ. ඒ වගේම එයාගේ වැරදි හදාගනියි කියලා දෙවියන් එයාගෙන් බලාපොරොත්තු වෙනවා.

 ඔයාට උදව් ලබාගන්න පුළුවන්

 බයිබලේ මෙහෙම කියනවා: “උපදේශකයන් බොහෝදෙනෙකු සිටින විට සැලසුම් සාර්ථක වෙයි.”—හිතෝපදේශ 15:22.

 මේක අමතක කරන්න එපා: ඔයාට බයක් දැනෙනවා නම්, කරන්න ඕනෙ මොනවාද කියලා දන්නේ නැත්නම් අනිත් අයගෙන් උදව් ඉල්ලන්න ඔයාට පුළුවන්.

 ඔයා හිංසනයට ලක් වෙන කෙනෙක් නම් අනිත් අයගෙන් උදව් ඉල්ලන එක වැදගත් ඇයි? සමහරවිට ඔයා මුහුණ දෙන තත්වයෙන් ගොඩ එන්න මොනවාද කරන්න ඕනෙ කියලා ඔයාට හිතාගන්න බැරුව ඇති. මොකද පහත සඳහන් දේවල්වලින් වැඩියෙන්ම වැදගත් වෙන්නේ මොකක්ද කියලා තීරණයක් ගන්න ඔයාට අමාරු ඇති.

  •   ඔයාගේ ආරක්ෂාව

  •   ඔයාගේ දරුවන්ගේ සතුට, ආරක්ෂාව

  •   ගෙදර වියහියදම් පිරිමහගන්න එක

  •   සැමියාට/පෙම්වතාට ඔයාගේ හිතේ තියෙන ආදරේ

  •   ‘එයා වෙනස් වුණොත් ආයෙත් අපිට සතුටින් ඉන්න පුළුවන්’ කියන බලාපොරොත්තුව

 සමහරවිට ඒ හැම දෙයක් ගැනම කල්පනා කරලා ඔයාගේ ඔළුව අවුල් වෙලා ඇති. ඔයාට උදව් ඉල්ලන්න පුළුවන් කාගෙන්ද?

 විශ්වාසය තියන්න පුළුවන් යාළුවෙක්ට නැත්නම් පවුලේ කෙනෙක්ට පුළුවන් වෙයි ඔයාට උදව් ඕනෙ මොන පැතිවලින්ද කියලා තේරුම් අරන් ඔයාට උදව් කරන්න. දුකින් ඉද්දී ඔයාව සනසන්නත් එයාට පුළුවන් වෙයි. ඔයාට ආදරේ කරන කෙනෙක්ට ඔයාගේ හිතේ තියෙන දේ කියන එක ඔයාට ලොකු සහනයක් වෙයි.

 නිවසේදී හිංසනයට ලක් වෙන අයට උදව් කරන ආයතනයක හදිසි ඇමතුම් අංකයට කතා කළොත් ඉක්මනින්ම උදව් ලබාගන්න ඔයාට පුළුවන් වෙයි. ඒ අයට පුළුවන් ඔයාගේ ආරක්ෂාව වෙනුවෙන් ඔයාට කරන්න පුළුවන් දේවල් ගැන හොඳ යෝජනා දෙන්න. ඔයාගේ සැමියා/පෙම්වතා තේරුම්ගත්තොත් එයා ඔයාට කරන්නේ ලොකු වරදක් කියලා, එයා ඒක වෙනස් කරගන්න ඕනෙ කියලා ඒ වෙනුවෙන් එයා මුලින්ම කරන්න ඕනෙ මොනවාද කියලා පෙන්නලා දෙන්න ඒ ආයතනවල අයට පුළුවන් වෙයි.

 හදිසි අවස්ථාවලදී උදව් කරන්න පුහුණු වෙලා ඉන්න දොස්තරලා, නර්ස්ලා වගේ අයගෙනුත් ඔයාට උදව් ගන්න පුළුවන්. හදිසි අවස්ථාවකදී එයාලට කතා කරන්න.

 ඔයා තනි වෙලා නැහැ

 බයිබලේ මෙහෙම කියනවා: “යෙහෝවා b දෙවි බිඳුණු සිත් ඇති අයට සමීපව සිටියි. තැළුණු හදවත් ඇති අයව ඔහු බේරාගනියි.”—ගීතාවලිය 34:18.

 මේක අමතක කරන්න එපා: ඔයාට උදව් කරනවා කියලා දෙවියන් පොරොන්දු වෙලා තියෙනවා.

 යෙහෝවා දෙවියන් ඔයාට ගොඩක් ආදරෙයි. (1 පේතෘස් 5:7) ඔයාට හැඟෙන විදිහ, ඔයාගේ හිතේ තියෙන හැම දෙයක්ම ඔහු දන්නවා. ඔහුට පුළුවන් ඔහුගේ වචනය වන බයිබලේ තියෙන දේවල්වලින් ඔයාගේ හිතට සහනයක් දෙන්න. ඔයාගේ හිතේ තියෙන දේවල් යාච්ඤා කරලා ඔහුට කියන්න කියලත් ඔහු ඔයාට කියනවා. හරි තීරණ ගන්න ඔයාට උදව් කරන්න කියලත් දරාගන්න ශක්තිය දෙන්න කියලත් දෙවියන්ගෙන් ඉල්ලන්න ඔයාට පුළුවන්.—යෙසායා 41:10.

 කිසිම කෙනෙක් නිවසේදී හිංසනයට ලක් වෙන්නේ නැති කාලයක් එනවා

 බයිබලේ මෙහෙම කියනවා: “ඔවුහු එක් එක් කෙනා තම තමාගේ මිදිවැල යටද අත්තික්කා ගස යටද සුව සේ කල් ගෙවනු ඇත. කිසිවෙක් ඔවුන්ව බියගන්වන්නේ නැත.”—මීකා 4:4.

 මේක අමතක කරන්න එපා: හැමෝටම තමන්ගේ ගෙදර කිසිම බයක් නැතුව නිදහසේ ඉන්න පුළුවන් කාලයක් ළඟදීම එනවා කියලා බයිබලේ පොරොන්දු වෙනවා.

 අපේ හැම ප්‍රශ්නයකටම ස්ථිර විසඳුම් දෙන්න පුළුවන් යෙහෝවා දෙවියන්ට විතරයි. බයිබලේ මෙහෙම කියනවා. “දෙවි ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය. මරණයද තවත් නොවන්නේය. වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය.” (එළිදරව් 21:4) එදාට අපි කොයි තරම් සතුටින් ඉන්න යනවාද කිව්වොත් මේ කාලේ අපි අද්දකින අමිහිරි දේවල් අපේ මතකයට එන්නෙවත් නැහැ. (යෙසායා 65:17) දෙවියන් ඔයාට පොරොන්දු වෙන්නේ ඒ වගේ ලස්සන අනාගතයක්.

a මේ ලිපියේ සඳහන් වෙන්නේ හිංසනයට ලක් වෙන කාන්තාවන් ගැන වුණත් ඒකේ තියෙන කරුණු හිංසනයට ලක් වෙන පුරුෂයන්ටත් අදාළයි.

b සැබෑ දෙවියන්ගේ නම යෙහෝවා කියලා බයිබලේ සඳහන් වෙනවා.