Skip to content

පටුනට යන්න

පිළිසඳරක් | ෆෑන් යූ

පරිගණක මෘදුකාංග ඉංජිනේරුවෙක් ඔහුගේ විශ්වාසය ගැන කියයි

පරිගණක මෘදුකාංග ඉංජිනේරුවෙක් ඔහුගේ විශ්වාසය ගැන කියයි

වෛද්‍ය ෆෑන් යූ මුලින්ම වැඩ කළේ චීනයේ බීජිං නගරයේ පරමාණු බලශක්තිය ගැන පර්යේෂණ පවත්වන ආයතනයක ගණිතඥයෙක් විදිහටයි. ඔහු විශ්වාස කළේ පරිණාමවාදය. ඒත් දැන් හැම දෙයක්ම දෙවි කෙනෙක් නිර්මාණය කළා කියලා ඔහු විශ්වාස කරනවා. ඔහුට ඒ වගේ විශ්වාසයක් ඇති වුණේ කොහොමද කියලා අපි අහලා බලමු.

ඔයාගේ විස්තර ටිකක් අපිට කිව්වොත් . . .

මම ඉපදුණේ 1959 චීනයේ ෆුසිටේ නගරයේ. මගේ තාත්තා සිවිල් ඉංජිනේරුවෙක්. එයා කාලයක්ම වැඩ කළේ ගොඩක් ඈත පළාතක. ඒ කාලෙදී තාත්තා ගෙදර ආවේ අවුරුද්දට වතාවයි. අම්මා ප්‍රාථමික අංශයේ ගුරුවරියක්. අපි නතර වෙලා හිටියේ අම්මා උගන්නපු ඉස්කෝලෙමයි. 1970දී අපි ලියුෆෑන්ග්වල පදිංචියට ගියා. ඒ කාලේ නම් ඒක හරිම දුප්පත් ගම්බද පළාතක්. කෑමත් හිඟයි.

පවුලේ අය විශ්වාස කෙරුවේ මොනවාද?

මගේ තාත්තාට දේශපාලනය, ආගම ගැන එච්චර උනන්දුවක් තිබුණේ නැහැ. අම්මා බෞද්ධ. ඉස්කෝලෙදි ගුරුවරු කියලා දුන්නේ හැම දෙයක්ම ඉබේ ඇති වුණා කියලා. මමත් ඒක විශ්වාස කරා.

ගණිතය ඉගෙනගන්න ආසාවක් ඇති වුණේ කොහොමද?

ගණිතයේදී මොකක් හරි දෙයක් ගැන නිගමනයකට එන්නේ දත්ත පාවිච්චි කරලා තර්කානුකූල විදිහටයි. ඒකට මම ගොඩක් කැමතියි. විශ්වවිද්‍යාලෙදිත් මම ප්‍රධාන විෂය හැටියට තෝරගත්තේ ගණිතය. ආචාර්ය උපාධිය ගත්තාට පස්සේ මම න්‍යෂ්ටික බලාගාර සැලසුම් කිරීමට අදාළ ගණිත පර්යේෂණ වැඩවලට හවුල් වුණා.

බයිබලය ගැන මුලින්ම ඔයා කොයි විදිහටද හිතුවේ?

1987දී මම ඇමරිකාවට ආවා පශ්චාත් උපාධියට ඉගෙනගන්න. එහේ හුඟක් අය දෙවි කෙනෙක්ව විශ්වාස කරනවා. බයිබලයත් කියවනවා. අනික ජීවිතයට වටින මඟ පෙන්වීම් බයිබලයේ තියෙනවා කියලා මම අහලා තිබුණා. ඒ නිසා මටත් හිතුණා බයිබලය කියවලා බලන්න.

කියවද්දී මට තේරුණා ඒකේ තියෙන දේවල් ජීවිතේ හැම පැත්තකටම අදාළ කරගන්න පුළුවන් කියලා. ඒත් සමහර දේවල් මට තේරුණේ නැහැ. ඒ නිසා මං කියවන එක නැවැත්තුවා.

බයිබලය කියවන්න ආයෙත් ආසාවක් ඇති වුණේ කොහොමද?

නිර්මාතෘ කෙනෙක් ඉන්නවා කියන දේ මට අලුත්. ඉතිං මම ඒ ගැන වැඩිදුර හොයලා බලන්න හිතුවා

1990දී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් අපේ ගෙදරට ආවා. එයා මට බයිබලයෙන් පෙන්නුවා මිනිසුන්ට ඉදිරියේදී ලැබෙන්න යන හොඳ අනාගතය ගැන. පස්සේ මම බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා. මගේ බිරිඳ භෞතික විද්‍යා ගුරුවරියක්. එයාත් දෙවි කෙනෙක්ව විශ්වාස කළේ නැහැ. ඒත් පස්සේ එයාත් බයිබලය පාඩම් කරන්න කැමති වුණා. ජීවය ආරම්භ වුණේ කොහොමද කියන එක ගැන බයිබලයේ තියෙන තොරතුරු අපි ඉගෙනගත්තා. ඒත් නිර්මාතෘ කෙනෙක් ඉන්නවා කියන දේ මට අලුත්. ඉතිං මම ඒ ගැන වැඩිදුර හොයලා බලන්න හිතුවා.

නිර්මාතෘ කෙනෙක් ගැන විශ්වාසයක් ඇති වුණේ කොහොමද?

ගණිතඥයන් දෙයක් ඔහේ විශ්වාස කරන්නේ නැහැ. අපි නිගමනයකට එන්න කලින් දෙයක් වෙන්න පුළුවන් සම්භාවිතාව ගැන හිතනවා. ඉතිං ජීවය ඉබේ ඇති වුණා කියලා කියන්න තියෙන සම්භාවිතාවය හොයන්න මම තීරණය කළා. ජීවය ඉබේ ඇති වෙන්න නම් අඩුම තරමින් ප්‍රෝටීන අණු හරි තියෙන්න ඕනෙ කියලා මම ඉගෙනගෙන තියෙනවා. ප්‍රෝටීන අණුවක් ඉබේ ඇති වෙන්න පුළුවන්ද? එහෙම හිතන්න අමාරුයි. මොකද ප්‍රෝටීන අණුවක් කොච්චර සංකීර්ණද! සෛලවල එක එක ප්‍රෝටීන වර්ග දහස් ගණනක් තියෙනවා. ඒවායින් කෙරෙන කාර්යයනුත් එකිනෙකට වෙනස්. ප්‍රෝටීන අණුවක් ඉබේ ඇති වීමේ සම්භාවිතාවයක් නැති තරම්. අද හුඟක් අය ඒක පිළිගන්නවා. එක අණුවක්වත් ඉබේ ඇති වුණා කියලා ඔප්පු කරන්න හොඳ සාක්ෂි මට කවදාවත් ලැබිලා නැහැ. එහෙනම් මිනිස් සිරුර ඉබේ ආවා කියලා හිතන්න පුළුවන්ද? ඒකෙන් මට තේරුණා නිර්මාතෘ කෙනෙක් ඉන්නම ඕනෙ කියලා.

බයිබලය දෙවියන්ගෙන් ලැබුණු පොතක් කියලා ඔයාට විශ්වාසයක් ඇති වුණේ කොහොමද?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එක්ක බයිබලය ඉගෙනගද්දී මම දැනගත්තා බයිබලේ තියෙන හුඟක් අනාවැකි අකුරක් නෑර ඉටු වෙලා තියෙනවා කියලා. ඒක මගේ හිතට වැදුණා. අනිත් එක බයිබලය කියවලා ඒ මඟ පෙන්වීම් ජීවිතයට අදාළ කරගද්දී ලැබෙන ප්‍රයෝජන මං පෞද්ගලිකව අද්දැක්කා. මට පුදුම, අවුරුදු දහස් ගණනකට කලින් හිටිය බයිබල් ලේඛකයන් කොහොමද අද කාලෙටත් ගැළපෙන උපදෙස් ලිව්වේ කියන එක. ඒ දේවල් මට උදව් වුණා බයිබලය දෙවිගෙන් ලැබුණු පොතක් කියලා පිළිගන්න.

හැම දෙයක්ම නිර්මාණය කළේ දෙවියන් කියන විශ්වාසය තව ශක්තිමත් වුණේ කොහොමද?

අපි අවට තියෙන දේවල් දිහා බලන එකම ඇති ඒ විශ්වාසය තවත් ශක්තිමත් කරගන්න. මේ දවස්වල මම පරිගණක මෘදුකාංග හදන වැඩ තමයි කරන්නේ. අපේ මොළේට කරන්න පුළුවන් දේවල් ඒවා එක්ක සසඳලා බැලුවාම මට පුදුම හිතෙනවා. මොළේ ඒවාට වඩා කොච්චර සංකීර්ණද! උදාහරණයකට අපිට වචන ඇහෙද්දී ඒවා තේරුම්ගන්න මොළේට තියෙන හැකියාව ගැන හිතන්න. කහින ගමන්, හිනා වෙන ගමන්, ගොත ගගහා, සද්ද බද්ද මැද්දේ වුණත් කෙනෙක් මොනවා හරි කිව්වොත් අපි ඔක්කොටම වගේ ඒ කියන දේ තේරුම්ගන්න පුළුවන්. ඒක එච්චර ලොකු දෙයක් නෙමෙයි කියලා හිතෙන්න පුළුවන්. ඒත් කටින් පිට වෙන වචන හඳුනාගන්න හදලා තියෙන හොඳම මෘදුකාංග පවා මිනිස් මොළේට තියෙන හැකියාවට ළං කරන්නවත් බැහැ.

ඒ විතරක් නෙමෙයි මොළේට පුළුවන් අපි දෙයක් කියන්නේ සතුටින්ද දුකෙන්ද වගේ දේවල් අඳුරගන්න. කට හඬක් ඇහෙනකොට කතා කරන කෙනා කවුද කියලා හඳුනගන්නත් පුළුවන්. හොඳම පරිගණකවලටවත් බැහැ මේ දේවල් කරන්න. මොළේට කට හඬ හඳුනාගන්න තියෙන හැකියාව අනුකරණය කරන්න පුළුවන් විදිහේ මෘදුකාංග හදන්න පරිගණක ඉංජිනේරුවන් මහන්සි වෙනවා. එයාලා ඒ වෙනුවෙන් මොළය ගැන හුඟක් අධ්‍යයනයන් කරනවා. ඇත්තටම බැලුවොත් එයාලා කරන්නේ දෙවියන්ගේ නිර්මාණ අධ්‍යයනය කරන එකයි. ඒකේ කිසිම සැකයක් නැහැ.