Skip to content

පටුනට යන්න

කරුණාව පෙන්නලා හිත් ස්පර්ශ කරන්න!

කරුණාව පෙන්නලා හිත් ස්පර්ශ කරන්න!

හුඟදෙනෙක් සත්‍ය ඉගැන්වීම්වලට ආකර්ෂණය වෙලා තියෙන්නේ ඇයි? බලන්න ලීසා * කියන දේ. “සහෝදර සහෝදරියන් පෙන්නපු ආදරේ, කරුණාව තමයි මගේ ජීවිතේම වෙනස් කළේ.” ඈන් කියන්නෙත් ඒ වගේම දෙයක්. එයා මෙහෙම කියනවා. “ඇත්තම කිව්වොත් සාක්ෂිකරුවන්ගේ ඉගැන්වීම්වලට වඩා මගේ හිත ගියේ එයාලා පෙන්නපු කරුණාවටයි.” ඒ සහෝදරියන් දෙන්නා දැන් බයිබලේ කියවලා ඒකෙන් ගොඩක් ප්‍රයෝජන ලබනවා. හැබැයි සත්‍යය මේකයි කියලා තේරුම්ගන්න එයාලට මුලින්ම උදව් වුණේ සහෝදර සහෝදරියන් පෙන්නපු කරුණාවයි.

කරුණාව පෙන්නලා අනිත් අයගේ හිත් ස්පර්ශ කරන්න අපිට පුළුවන් කොහොමද? ඒක කරන්න පුළුවන් පැති දෙකක් ගැන දැන් අපි බලමු. (1) අපි කියන දේවල්වලින්. (2) අපි කරන දේවල්වලින්. ඊටපස්සේ බලමු අපි කරුණාව පෙන්නන්න ඕනෙ කාටද කියලා.

නිතරම කාරුණිකව කතා කරන්න

හිතෝපදේශ 31වෙනි පරිච්ඡේදයේ ගුණවත් බිරිඳක් ගැන කියලා තියෙනවා. එයා හැම වෙලාවෙම කතා කරන්නේ “ප්‍රේමය නමැති නීතිය රකිමින්.” (හිතෝ. 31:26) ආදරෙන් වැඩ කරන ඒ වගේ බිරිඳක් හැම තිස්සේම අනිත් අයට සලකන්නේ හරිම කරුණාවෙන්. එයා කියන දේ ගැන විතරක් නෙවෙයි ඒ දේ කියන විදිහ ගැනත් සැලකිලිමත්. ඒ හිතෝපදේශයේ කියන දේ බිරිඳකට වගේම සැමියාටත් අදාළයි. ගොඩක් දෙමාපියන් දන්නවා එයාලා අඩිය හප්පලා, කේන්තියෙන් දරුවන්ට කතා කළොත් ඒකෙන් කිසි හොඳක් වෙන්නේ නැහැ කියලා. මොකද එහෙම සැරෙන් කතා කළොත් දරුවන්ගේ හිත රිදෙනවා. එයාලා මුරණ්ඩු වෙන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා දෙමාපියෙනි, හැම වෙලාවෙම ළමයින්ට ආදරෙන්, කරුණාවෙන් කතා කරන්න. එහෙම කළොත් විතරයි දරුවන් කැමැත්තෙන්ම ඔයාලට කීකරු වෙන්නේ.

කරුණාවන්තව කතා කරන්න ඕනෙ දෙමාපියන් විතරක් නෙවෙයි. අපි හැමෝම ඒක කරන්න ඕනේ. ඒකට උදව් වෙන දෙයක් ගැන හිතෝපදේශ 31:26 මුල් කොටසේ මෙහෙම කියනවා. “ඇය ඥානවන්තව කතා කරන්නීය.” ඥානවන්තව කතා කරන කෙනෙක් වචන තෝරගන්නේ හරිම පරෙස්සමින්. ඒ වගේම දෙයක් කියන විදිහ, කියන ස්වරය ගැනත් එයා සැලකිලිමත් වෙනවා. ඒ නිසා අපි කතා කරන්න කලින් මේ ගැන හිතමු. ‘මං මේක කිව්වොත් තව කෙනෙක්ගේ කේන්තිය නිවෙයිද, නැත්නම් ඒක තව ඇවිලෙයිද?’—හිතෝ. 15:1.

තවත් හිතෝපදේශයක කියනවා “නොසැලකිලිමත් ලෙස කතා කරන තැනැත්තා කඩුවෙන් අනින්නාක් මෙන් වචන පිට කරයි” කියලා. (හිතෝ. 12:18) අපි කතා කරන වචන, කතා කරන විදිහ අනිත් අයට කොහොම බලපායිද කියලා කල්පනා කරනවා නම් කට අරින්න කලින් අපි දෙපාරක් හිතනවා. ඇත්තටම අපි ‘ප්‍රේමයේ නීතිය රකිනවා’ නම් කවදාවත් හිත් පෑරෙන විදිහට කතා කරන්නේ නැහැ. (එෆී. 4:31, 32) ඒ වෙනුවට අපි හැම වෙලාවෙම අනිත් අයව දිරිගැන්වෙන, එයාලට සහනයක් වෙන විදිහටයි කතා කරන්නේ. එතකොට අපේ වචන හරියට මැලවිලා ගිය හිතට සහනයක් දෙන සිසිල් පැන් පොදක් වගේ වෙයි. කරුණාවන්තව කතා කරන එක ගැන හොඳම ආදර්ශය තියලා තියෙන්නේ යෙහෝවා දෙවියන්. දවසක් හොඳටම බය වෙලා හිටපු එලියාට යෙහෝවා දේවදූතයෙක් මාර්ගයෙන් හරිම ‘සන්සුන්, මෘදු කටහඬකින්’ කතා කළා. (1 රාජා. 19:12) ඒ වෙලාවේ එලියාට කොච්චර සහනයක් දැනෙන්න ඇද්ද! හැබැයි කාරුණික කෙනෙක් කියන දේවල් ගැන විතරක් සැලකිලිමත් වෙලා මදි. එයා කරන දේවල් ගැනත් සැලකිලිමත් වෙනවා.

අනිත් අයගේ හිත්ගන්නේ අපේ කරුණාවයි

අනිත් අයට කරුණාව පෙන්නද්දී අපි ඇත්තටම ආදර්ශයට ගන්නේ යෙහෝවා දෙවියන්ව. (එෆී. 4:32; 5:1, 2) සාක්ෂිකරුවන් තමන්ට සලකපු විදිහ ගැන කලින් සඳහන් කරපු ලීසා මෙහෙම කියනවා. “අපිට හදිස්සියේම ගෙවල් මාරු කරන්න වුණා. ඒ වෙලාවේ අපිට උදව් කරන්න සභාවේ සහෝදර සහෝදරියන් හතරදෙනෙක් ආවා. එයාලා නිවාඩුත් දාලයි එදා ඇවිල්ලා හිටියේ. ඒ වෙද්දී මං බව්තීස්ම වෙලා තියා බයිබල් පාඩමක්වත් පටන් අරන් තිබ්බේ නෑ!” සත්‍යය හොයලා බලන්න ලීසා පෙලඹුණේ ඒ සහෝදර සහෝදරියන් එයාට පෙන්නපු ආදරය, කරුණාව නිසයි.

කලින් සඳහන් කරපු ඈන්ගේ හිතටත් සාක්ෂිකරුවන් පෙන්නපු කරුණාව තදින්ම වැදුණා. එයා මෙහෙම කියනවා. “අනිත් අය මට සලකපු විදිහ නිසා ඉස්සර මං හැම කෙනෙක් දිහාම බැලුවේ සැකෙන්. මං කාවවත් විශ්වාස කළේ නැහැ. ඒ නිසා සාක්ෂිකරුවන් දිහාත් මං බැලුවේ වපර ඇහෙන්. ‘එයාලා මට මෙච්චර කරුණාවෙන් සලකන්නේ ඇයි, එයාලගේ මොකක් හරි යටි අරමුණක් තියෙනවාද’ කියලා මං හිතුවා. හැබැයි මාත් එක්ක බයිබලේ පාඩම් කරපු කෙනා කරුණාවෙන් සැලකුවේ මට ඇත්තටම ආදරේ නිසයි කියලා මට තේරුණා. එතකොට මගේ හිතේ එයා ගැන තිබ්බ බය, සැක එහෙම්මම නැති වෙලා ගියා. එයාව සීයට සීයක් විශ්වාස කරන්න පුළුවන් කියලා මට තේරුණා.” ඒ ගොඩනැඟුණු විශ්වාසේ නිසා ඈන්ට කරන්න පුළුවන් වුණේ මොකක්ද? බලන්න එයා කියන දේ. “කාලෙත් එක්කම අනිත් දේවල් ගැන හිතන්නේ නැතුව ඉගෙනගන්න දේවල්වලට සම්පූර්ණයෙන්ම අවධානය දෙන්න මට පුළුවන් වුණා.”

ඔයාලා දැක්කාද ලීසායි, ඈනුයි සත්‍යය ඉගෙනගන්න පෙලඹුණේ මොකක් නිසාද කියලා? ඒ සභාවේ අය එයාලට පෙන්නපු ආදරය, කරුණාව නිසයි. දෙවියන්ගේ සෙනඟ ආදරෙන් බැඳුණු එක පවුලක් වගේ කියලා තේරුම්ගන්න ලීසාටයි, ඈන්ටයි පුළුවන් වුණා.

දෙවියන් වගේ අනිත් අයට කරුණාව පෙන්වමු

සමහර අය නිතරම අනිත් අය එක්ක සුහදව කතා කරනවා, එයාලට කරුණාව පෙන්නනවා. හැදී වැඩුණු සංස්කෘතිය නිසා එයාලට ඒක පිහිටන්නේ සහජයෙන්මයි. ඒක ඇත්තටම අගය කරන්න ඕනෙ දෙයක්! හැබැයි යෙහෝවා දෙවියන් වගේ කරුණාව පෙන්නන එකට ඊට වඩා වැඩි දෙයක් ඇතුළත්.—ක්‍රියා 28:2.

සැබෑ කරුණාවන්තකම කියන්නේ දෙවිගේ බලය ක්‍රියාත්මක වෙද්දී ඇති වනෙ ගුණාංගයක්. (ගලා. 5:22, 23) ඒ ගුණාංගය වර්ධනය කරගන්න නම් අපිට දෙවිගේ බලය නැතුවම බැහැ. ඒක වර්ධනය කරගද්දී අපි යෙහෝවාවයි, යේසුස්වයි ආදර්ශයට ගන්නවා. යේසුස්ගේ අනුගාමිකයන් විදිහට අපි අනිත් අය ගැන අවංක සැලකිල්ලක් පෙන්නනවා. අපි එහෙම කරන්නේ යෙහෝවා දෙවියන් ගැනයි, අනිත් අය ගැනයි අපේ හිතේ ලොකු ආදරයක් තියෙන නිසයි. ඒක නිකම්ම නිකම් හැඟීමක් නෙවෙයි. ඒක අපේ හද පතුලෙන්ම එන දෙයක්. ඒ විදිහට අපි අනිත් අයට කරුණාවන්තව සලකද්දී යෙහෝවා ඒ ගැන ගොඩක් සතුටු වෙනවා.

කරුණාව පෙන්නන්න ඕනෙ කාටද?

අපිට කරුණාව පෙන්නලා තියෙන අයට, එහෙම නැත්නම් අපි දන්න කියන අයට කරුණාව පෙන්නන එක හරිම ලේසියි. (2 සාමු. 2:6) ඒ වගේ අය කරන දේවල් අගය කරන්න අපි කොහොමටත් පෙලඹෙනවා. (කොලො. 3:15) හැබැයි කෙනෙක් කරුණාව ලබන්න වටින්නේ නැහැ කියලා අපිට හිතෙනවා නම්?

ඒ වගේ අයට කරුණාව පෙන්නන එක ගැනත් විශිෂ්ටතම ආදර්ශය තියලා තියෙන්නේ යෙහෝවා දෙවියන්. ඔහු කරුණාව පෙන්නලා තියෙන විදිහෙන් අපිට ඔහු ගැන හුඟක් දේවල් ඉගෙනගන්න පුළුවන්. බයිබලේ කියන්නේ දෙවියන් අපිට “මහත් කරුණාවක්” පෙන්නනවා කියලයි. ඒක බයිබලේ හුඟක් තැන්වල සඳහන් කරලා තියෙනවා. “මහත් කරුණාව” විදිහට පරිවර්තනය කරලා තියෙන ග්‍රීක යෙදුමෙන් අදහස් කරන්නේ දෙවියන්ගේ කරුණාව ලබන්න අපි වටින්නේ නැති වුණත් ඔහු කැමැත්තෙන්ම අපිට ගොඩක් කරුණාවන්තව සලකනවා කියන එකයි. ඒත් දෙවියන් ඒක කරලා තියෙන්නේ කොහොමද?

ටිකක් හිතලා බලන්න, එදා ඉඳලා අද වෙන කල් මේ පොළොවේ මිනිස්සු කීදෙනෙක් ජීවත් වෙලා තියෙනවාද? මිලියන ගාණක් මිනිස්සුන්ට ජීවිතේ පවත්වාගෙන යන්න ඕනෙ කරන හැම දේම දීලා තියෙන්නේ යෙහෝවා දෙවියන්. (මතෙ. 5:45) ඇත්තම කිව්වොත් මිනිස්සු ඔහු ගැන දැනගන්නත් කලින් යෙහෝවා එයාලට කරුණාව පෙන්නලා තියෙනවා. (එෆී. 2:4, 5, 8) ඒකට හොඳම උදාහරණය තමයි ඔහුගේ ආදරණීය පුතාගේ ජීවිතේ දුන්න එක. දෙවියන් ඒ වගේ කැප කිරීමක් කළේ “අප වෙනුවෙන් ත්‍යාගශීලීව පෙන්වා ඇති ඒ මහත් කරුණාව” නිසයි. (එෆී. 1:7) හැබැයි යෙහෝවාගේ මහත් කරුණාව එතනින් නතර වෙන්නේ නැහැ. පාපය උරුම කරගෙන ඉන්න අපි ගොඩක් අවස්ථාවලදී දෙවියන්ගේ හිත රිද්දනවා. හැබැයි ඔහු අපිව අත්හරින්නේ නැතුව, හරිම ඉවසීමෙන් අපිට හරි පාර පෙන්නලා දෙනවා. ඔහු හරිම ආදරෙන් අපිට උපදෙස් දෙද්දී ඒක අපේ හිතට දැනෙන්නේ හරියට ‘තණකොළ සිපගන්නා පොද වැස්සක් වගේ.’ (ද්වි. 32:2) එහෙම බලද්දී යෙහෝවා දෙවියන් අපිට පෙන්නලා තියෙන කරුණාවට අපි ඔහුට සදා ණයගැතියි. ඇත්තම කිව්වොත් ඔහු අපිට කරුණාව පෙන්නුවේ නැත්නම් අපිට අනාගතේකුත් නැහැ.—1 පේතෘ. 1:13.

යෙහෝවා අපිට පෙන්නලා තියෙන කරුණාව අපේ හිත් ස්පර්ශ කරනවා. ඒ කරුණාව ගැන හිතද්දී අපි පෙලඹෙන්නේ මොනවා කරන්නද? අපි කැමති අයට විතරක් නෙවෙයි අපි දන්න, නොදන්න හැමෝටම එක වගේ කරුණාව පෙන්නන්න අපි පෙලඹෙනවා. (1 තෙස. 5:15) අපි ඒ විදිහට අනිත් අයට කරුණාව පෙන්නද්දී රස්නේ දවසක සීතල වතුර වීදුරුවක් බිව්වා වගේ එයාලට දැනෙයි.

ඔයා කියන කාරුණික වචනෙකින්, ඔයා කරුණාවෙන් පෙලඹිලා කරන එක ක්‍රියාවකින් ඔයාගේ පවුලේ අය, සභාවේ අය කොච්චර ප්‍රයෝජන ලබනවාද කියලා හිතන්න. සමහර වෙලාවට ඔයාගේ සභාවේ කෙනෙක්ට ගෙදරදොරේ නැත්නම් වත්තේ පිටියේ වැඩක් කරගන්න ඕනෙ ඇති, කඩේට ගිහින් බඩු ටිකක් ගන්න උදව් ඕනෙ ඇති. එහෙම නැත්නම් සේවේදී හම්බ වෙන කෙනෙක්ට මොකක් හරි උදව්වක් ඕනෙ වෙන්න පුළුවන්. ආදරෙන්, කරුණාවෙන් පෙලඹිලා ඒ වගේ අයට උදව් කරන්න ඔයා ලෑස්තිද?

අපේ ආදරණීය තාත්තා වන යෙහෝවාව ආදර්ශයට අරන් “ප්‍රේමය නමැති නීතිය රකින්න” පුළුවන් හැම දේම කරමු. එහෙම කරද්දී කරුණාව පෙන්නලා අනිත් අයගේ හිත් ස්පර්ශ කරන්න අපිටත් පුළුවන්.

^ සමහර නම් වෙනස් කර ඇත.