Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 26

බය පරදන ආදරය

බය පරදන ආදරය

“යෙහෝවා දෙවි මාගේ පැත්තේ සිටින බැවින් මම බිය නොවන්නෙමි.”—ගීතා. 118:6.

ගීතිකාව 105 “දෙවි ප්‍රේමයයි”

මේ ලිපියෙන් *

1. සාමාන්‍යයෙන් අපිට බයක් දැනෙන්න පුළුවන් මොන දේවල් ගැනද?

 මේ අද්දැකීම් ගැන බලන්න. නෙස්ටර් සහ එයාගේ බිරිඳ මරියාට ඕනෙ වුණා ප්‍රචාරකයන් අඩු පැත්තකට ගිහිල්ලා සේවේ කරන්න. * එහෙම කරන්න නම් එයාලට ජීවිතේ සරල කරගන්න වෙනවා කියලා එයාලා දැනන් හිටියා. හැබැයි ඒ පියවර ගන්න එයාලගේ හිතේ ලොකු බයක් තිබුණා. මොකද එයාලා කල්පනා කළා අඩු ආදායමකින් සතුටින් ජීවත් වෙන්න පුළුවන්ද කියලා. බිනියම් කියන්නේ සාක්ෂිකරුවන්ගේ වැඩ තහනම් කරපු රටක ජීවත් වෙන කෙනෙක්. එයා දැනන් හිටියා සාක්ෂිකරුවෙක් වුණොත් අනිවාර්යයෙන්ම පීඩා, විරුද්ධවාදීකම්වලට මුහුණ දෙන්න වෙනවාමයි කියලා. හැබැයි එයා වැඩියෙන්ම බය වුණේ ආගම වෙනස් කළා කියලා දැනගත්තාම පවුලේ අය මොනවා කියයිද කියන එක ගැන. වැලෙරිට දරුණු පිළිකාවක් තිබුණා. ඒ නිසා එයාට ඉක්මනින්ම ඔපරේෂන් එකක් කරන්න සිද්ධ වුණා. හැබැයි ‘ලේ ගන්නේ නැතුව ඒක කරන්න පුළුවන් වෙයිද’ කියලා එයා හැම තිස්සේම හිතුවා. ‘ඒක කරගන්න බැරි වුණොත් මැරෙන්න වෙයිද’ කියලා එයා හිටියේ ගොඩක් බයෙන්.

2. බයෙන් ගොඩ එන්න අපි ලොකු උත්සාහයක් ගන්න ඕනෙ ඇයි?

2 ඔයාටත් කවදා හරි ඒ වගේ බයක් දැනිලා තියෙනවාද? හුඟදෙනෙක්ට එහෙම දැනිලා තියෙනවා. හැබැයි අපි ඒ බය පාලනය කරගන්න උත්සාහ කළේ නැත්නම් ඒකෙන් අපිට ලොකු හානියක් වෙන්න පුළුවන්. කොටින්ම කිව්වොත් ඒක යෙහෝවාත් එක්ක තියෙන බැඳීමටත් බලපාන්න පුළුවන්. ඒක වෙනවා දකින්නයි සාතන්ටත් ඕනේ. ශුභාරංචිය දේශනා කරන්න යෙහෝවා දීලා තියෙන ආඥාව වගේම දෙවියන්ගේ අනිත් ආඥා අපි කඩ කරද්දී සාතන් හුඟක් සතුටු වෙනවා. (එළි. 12:17) සාතන් කියන්නේ කිසිම හිතක් පපුවක් නැති දුෂ්ට කෙනෙක්. ඒ වගේම එයා ගොඩක් බලවත්. හැබැයි බය වෙන්න එපා. ඔයාට පුළුවන් සාතන්ගෙන් ආරක්ෂා වෙන්න. ඒ කොහොමද?

3. අපිට දැනෙන බයෙන් ගොඩ එන්න උදව් වෙන්නේ මොනවාද?

3 යෙහෝවා දෙවියන් අපිට ආදරෙයි, ඔහු හැම තිස්සේම අපේ පැත්තේ ඉන්නවා කියලා අපිට ස්ථිර විශ්වාසයක් තියෙනවා නම් සාතන් මොන දේ කළත් අපි බය වෙන්නේ නැහැ. (ගීතා. 118:6) ඒක තේරුම්ගන්න 118වෙනි ගීතිකාව ලියපු කෙනා ගැන අපි ටිකක් බලමු. එයා ජීවිතේ ගොඩක් ප්‍රශ්නවලට මුහුණ දුන්නා. එයාට ගොඩක් හතුරෝ හිටියා. ඒ අතරින් සමහරු ගොඩක් බලවත් අය (9 සහ 10 පද). සමහර අවස්ථාවලදී එයාට ලොකු පීඩනයකුත් දැනුණා (13වෙනි පදය). ඒ විතරක් නෙවෙයි එයාට දෙවියන්ගෙනුත් තද හික්මවීමක් ලැබුණා (18වෙනි පදය). ඒ මොන දේ වුණත් එයා කියනවා “මම බිය නොවන්නෙමි” කියලා. එයාට එහෙම කියන්න පුළුවන් වුණේ ඇයි? හික්මවීම් දුන්නත් යෙහෝවා දෙවියන් එයාට ගොඩක් ආදරෙයි කියලා එයා දැනන් හිටියා. ඒ ආදරේ එයාට දැනුණා. ඒ නිසා මොන ප්‍රශ්නෙට මුහුණ දෙන්න වුණත් තමන්ගේ ආදරණීය තාත්තා වන යෙහෝවා ඕනම දේකදී තමන්ගේ උදව්වට ඉන්නවා කියලා ගීතිකාකරුට අබ මල් රේණුවක තරම්වත් සැකයක් තිබුණේ නැහැ.—ගීතා. 118:29.

4. දෙවියන් අපිට ආදරෙයි කියලා විශ්වාස කරනවා නම් අපිට ගොඩ එන්න පුළුවන් මොන වගේ දේවල්වලින්ද?

4 යෙහෝවා දෙවියන්ගේ හිතේ පෞද්ගලිකවම අපි එක් එක් කෙනා ගැන ආදරයක් තියෙනවා කියලා අපි අපිටම සහතික කරගන්න ඕනේ. එහෙම කළොත් දැනෙන ඕනම බයකින් ගොඩ එන්න අපිට පුළුවන්. අපි දැන් බයක් දැනෙන ඒ වගේ පැති තුනක් ගැන බලමු. (1) පවුලේ අයට අවශ්‍ය දේවල් දෙන්න බැරි වෙයි කියන බය. (2) මිනිස්සුන්ට තියෙන බය. (3) මැරෙන්න තියෙන බය. මේ ලිපියේ මුල්ම ඡේදයේ කතා කරපු සහෝදර සහෝදරියන්ට පුළුවන් වුණා එයාලට දැනුණ බයෙන් ගොඩ එන්න. ඒකට එයාලටත් උදව් වුණේ යෙහෝවා එයාලට ආදරෙයි කියලා එයාලගේ හිතේ තිබුණ විශ්වාසයයි.

පවුලේ අයට අවශ්‍ය දේවල් දෙන්න බැරි වෙයි කියන බය

සහෝදරයෙක් පවුලේ අයව රැකබලා ගන්න එයාගේ පුතාත් එක්ක මාළු අල්ලනවා (5 ඡේදය බලන්න)

5. පවුලේ මූලිකයෙක්ට ලොකු පීඩනයක් දැනෙන්න පුළුවන් ඇයි? (කවරයේ පින්තූරය බලන්න.)

5 පවුලේ මූලිකයෙක්ට තමන්ගේ පවුලේ අයව රැකබලා ගන්න ලොකු වගකීමක් තියෙනවා. (1 තිමෝ. 5:8) ඔයාත් පවුලේ මූලිකයෙක් නම් මේ වසංගත කාලේ ඒක කරන්න ඔයා ලොකු සටනක් කරන්න ඇති. සමහරවිට ඔයාගේ රස්සාව නැති වෙයිද කියලත් ඔයාට ලොකු බයක් දැනෙන්න ඇති. රස්සාව නැති වුණොත් පවුලේ අයට කන්න අඳින්න දෙන්නේ කොහොමද, ගෙවල් කුලී ගෙවාගන්නේ කොහොමද කියලා ඔයා ගොඩක් වධ වෙන්නත් ඇති. සමහරවිට ඔයා කරකර ඉන්න රස්සාව නැති වුණොත් ඒ තරම් හොඳ එකක් ආයෙත් හම්බ වෙයිද කියලා ඔයා දහ අතේ කල්පනා කරන්නත් ඇති. එහෙමත් නැත්නම් නෙස්ටර්ට සහ මරියාට හිතුණා වගේ අඩු ආදායමකින් පවුලේ අයවත් බලාගෙන සතුටින් ඉන්න පුළුවන් වෙයිද කියලත් ඔයා හිතන්න ඇති. ඒ වගේ සිතුවිලි පාවිච්චි කරලා සාතන් හුඟක් අයව බයෙන් යටපත් කරලා තියෙනවා.

6. සාතන් කැමති අපි කොහොම හිතනවා දකින්නද?

6 ‘යෙහෝවා දෙවියන් අපි ගැන පොඩ්ඩක්වත් සැලකිලිමත් නැහැ. මේ සටන මට කරන්න වෙලා තියෙන්නේ තනියම. මොනවා කරලා හරි මං හම්බ කළේ නැත්තං කොහොමද පවුලේ අය කාලා ඇඳලා ඉන්නේ?’ අපි එහෙම හිතනවා දකින්නයි සාතන්ට ඕනේ. ඒ නිසා කෙනෙක් රස්සාව රැකගන්න නමස්කාරයේ දේවල් උකසට තියන්න වුණත් පෙලඹෙන්න පුළුවන්. ඒ වගේ කෙනෙක්ට හිතෙන්න පුළුවන් ‘බයිබල් ප්‍රතිපත්තියක් කැඩුණත් කමක් නෑ කොහොමහරි පවුලේ අයට ඕන කරන දේවල් දෙන්න ඕනෙ’ කියලා.

7. යේසුස් අපිට දුන්න සහතිකය මොකක්ද?

7 එක අවස්ථාවකදී යේසුස් මේ වගේ දෙයක් කිව්වා. “ඔබේ පියාණන් වන දෙවිගෙන් ඔබ ඉල්ලන්නත් කලින් ඔබට අවශ්‍ය කුමක්ද කියා ඔහු දන්නවා.” (මතෙ. 6:8) වෙන කිසිම කෙනෙක්ට වඩා යෙහෝවා දෙවියන් ගැන හොඳටම දන්නේ යේසුස්. ඒ නිසා යේසුස් දැනන් හිටියා යෙහෝවා පොරොන්දු වුණ විදිහටම අපිට අවශ්‍ය දේ, අවශ්‍ය වෙලාවට අනිවාර්යයෙන්ම දෙනවා කියලා. ඒ නිසයි යේසුස් ඒ වගේ සහතිකයක් දුන්නේ. අපි හැමෝම දෙවියන්ගේ පවුලේ අය. ඒ පවුලේ තාත්තා තමයි යෙහෝවා. ඉතින් අපේ තාත්තා විදිහට 1 තිමෝති 5:8 ඔහුම කියපු දේ ඔහු ඉටු නොකර ඉඳියිද?

අපිට අවශ්‍ය දේවල් දෙන එක යෙහෝවා සලකන්නේ ඔහුගේ වගකීමක් විදිහට. ඒ දේවල් දෙන්න සමහර වෙලාවට ඔහු සහෝදරයන්වත් පොලඹවනවා (8 ඡේදය බලන්න) *

8. (අ) පවුලේ අයට අවශ්‍ය දේවල් දෙන්න බැරි වෙයි කියන බයෙන් ගොඩ එන්න අපිට උදව් වෙන්නේ මොනවාද? (මතෙව් 6:31-33) (ආ) පින්තූරෙනුත් පෙන්නන විදිහට සහෝදරියක් වෙනුවෙන් කෑමක් අරන් එන යුවළව ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද?

8 යෙහෝවා දෙවියන් අපිටයි, අපේ පවුලේ අයටයි ආදරෙයි කියලා අපිට විශ්වාස නම් ඔහු අපිට අවශ්‍ය දේවල් අනිවාර්යයෙන්ම ලබා දෙනවා කියලත් අපි විශ්වාස කරනවා. (මතෙව් 6:31-33 කියවන්න.) දෙවියන් අපිට ඕනෙ කරන දේවල් දෙද්දී ඔහේ දෙන්නන් වාලේ දෙන්නෙත් නැහැ. ඒ වෙනුවට කිසිම ලෝභකමක් නැතුව අත දිගහැරලා තමයි ඔහු අපිට අවශ්‍ය දේවල් දෙන්නේ. ඒක තේරුම්ගන්න මේ පොළොව නිර්මාණය කරලා තියෙන විදිහ ගැන ටිකක් හිතන්න. ඔහු අපිට දීලා තියෙන්නේ අපේ ජීවිතේ රැකගන්න ඕනෙ ටික විතරක් නෙවෙයි. ඒ වෙනුවට සතුටින් ජීවිතේ භුක්ති විඳින්න අවශ්‍ය ගොඩක් දේවල් ඔහු දීලා තියෙනවා. (උත්. 2:9) ඒත් සමහරවිට ඔයාට හිතෙන්න පුළුවන් ‘අපි එදා වේල පිරිමහගන්නෙත් හරිම අමාරුවෙන්නේ’ කියලා. හැබැයි ඒ ටික හරි ඔයාට ලැබිලා තියෙන්නේ යෙහෝවාගෙන් කියලා කවදාවත් අමතක කරන්න එපා. (මතෙ. 6:11) සමහරවිට අද අපිට දෙවියන් වෙනුවෙන් ගොඩක් කැප කිරීම් කරන්න වෙයි. හැබැයි ඔහු දැන් සහ අනාගතයේදී අපිට දෙන ආශීර්වාද එක්ක බලද්දී අපි කරන ඒ කැප කිරීම් අහලකින්වත් තියන්න බැහැ. ඒක කොච්චර ඇත්තක්ද කියලා නෙස්ටර් සහ මරියා අද්දැක්කා.—යෙසා. 65:21, 22.

9. නෙස්ටර් සහ මරියාගෙන් ඔයා ඉගෙනගන්නේ මොනවාද?

9 නෙස්ටර් සහ මරියා කියන්නේ කොලොම්බියාවේ සැප පහසු ජීවිතයක් ගත කරපු දෙන්නෙක්. එයාලා මෙහෙම කියනවා. “අපි හිතුවා ජීවිතේ සරල කරගෙන අපේ සේවේ ටිකක් වැඩි කරන්න ඕනෙ කියලා. හැබැයි පොඩි මුදලකින් අපි දෙන්නාට සතුටින් ඉන්න පුළුවන් වෙයිද කියන බය අපේ හිතේ තිබුණා.” ඒ බයෙන් ගොඩ එන්න එයාලට උදව් වුණේ මොකක්ද? යෙහෝවා දෙවියන් දැනටමත් එයාලව බලාගෙන තියෙන විදිහ ගැන, එයාලට ආදරේ පෙන්නලා තියෙන විදිහ ගැන එයාලා හිතුවා. දෙවියන් හැම වෙලාවෙම එයාලා ළඟින් ඉඳියි කියන විශ්වාසය ඒකෙන් තවත් ශක්තිමත් වුණා. ඉතින් එයාලා මොකද කළේ? එයාලා කරකර හිටපු හොඳ රස්සාවලින් අයින් වුණා. ඊටපස්සේ එයාලගේ ගේ විකුණලා ප්‍රචාරකයන් අඩු පැත්තකට ගිහින් සේවේ කළා. ගත්ත තීරණය ගැන එයාලා පසුතැවුණාද? බලන්න නෙස්ටර් කියන දේ. “මතෙව් 6:33 ඉටු වෙන විදිහ අපි දෙන්නා ඇස් දෙකෙන්ම දැක්කා. යෙහෝවා අපිට කිසිම දේකින් අඩුවක් කළේ නැහැ. ජීවිතේ කවදාවත් දැනිලා නැති සතුටක් අපිට දැන් දැනෙනවා.”

මිනිස්සුන්ට තියෙන බය

10. සමහර වෙලාවට මිනිස්සු අනිත් අයට බය වෙන්නේ ඇයි?

10 ඉතිහාසය පුරාම මිනිස්සු අනිත් අයට හානියක් වෙන විදිහට වැඩ කරලා තියෙනවා. (දේශ. 8:9) අද තත්වයත් ඒකමයි. හුඟක් අය තමන්ට තියෙන බලතල පාවිච්චි කරලා අසරණ මිනිස්සුන්ව පාගලා දානවා. අද මිනිස්සු අපරාධ කරන්නේ කිසිම ගාණක් නැතුව. ඉස්කෝලේ ළමයින්ගෙන් වෙන හිරිහැර, චණ්ඩිකම් නිසා සමහර ළමයි ඉස්කෝලේ යන්නත් හරිම බයයි. සමහරු තමන්ගේම පවුලේ අයට සලකන්නේ හරිම දරුණු විදිහට. ඒ දේවල් දිහා බලද්දී මිනිස්සු අනිත් අයට බය වෙන එක අහන්නත් දෙයක්ද! මිනිස්සුන්ට දැනෙන ඒ බය සාතන් අතකොළුවක් කරගෙන තියෙන්නේ කොහොමද?

11-12. මිනිස්සුන්ට තියෙන බය සාතන් වාසියක් කරගෙන තියෙන්නේ කොහොමද?

11 සාතන්ට ඕනෙ අපි මිනිස්සුන්ට බය වෙලා දෙවියන්ගේ ප්‍රතිපත්ති බාල කරනවා දකින්න. ඒ වගේම දේශනා සේවේ නවත්තනවා දකින්න. සාතන්ගේ බලපෑම යටතේ තියෙන ආණ්ඩු අපේ වැඩ තහනම් කරන්න, අපිට පීඩා කරන්න උත්සාහ කරන්නේ ඒ නිසයි. (ලූක් 21:12; එළි. 2:10) ඒ විතරක් නෙවෙයි සාතන් මේ ලෝකේ ඉන්න මිනිස්සු ලවා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගැන අමූලික බොරු පතුරුවනවා. ඒ බොරු විශ්වාස කරන හුඟක් අය අපිට අපහාස කරනවා, පහර දෙනවා. ඒ විතරක් නෙවෙයි අපි ළඟින්ම ඉන්න අය පවා ඒ බොරු අහලා අපිව අත්හරිනවා. (මතෙ. 10:36) සාතන් කරන ඒ දේවල් ගැන අපි පුදුම වෙන්න ඕනෙද? නැහැ. මොකද සාතන් ඒ දේවල් කරන්න පටන්ගත්තේ අද ඊයේ නෙවෙයි. එයා මුල් සියවසේ ඉඳන්ම ඒ වගේ දේවල් කරලා තියෙනවා.—ක්‍රියා 5:27, 28, 40.

පවුලේ අය විරුද්ධ වුණත් යෙහෝවාගේ ආදරේ අපිට කිසිම අඩුවක් නැතුව ලැබෙනවා (12-14 ඡේද බලන්න) *

12 සාතන් අපිව බය කරන්න පාවිච්චි කරන එකම ආයුධය ආණ්ඩු විතරක්ම නෙවෙයි. සාතන් ඒකට අපේ පවුලේ අයවත් පාවිච්චි කරන්න ඉඩ තියෙනවා. සමහරවිට සාක්ෂිකරුවෙක් වුණා කියලා දැනගත්තාම පවුලේ අය මොනා කියයිද කියලා අපිට ලොකු බයක් දැනෙන්න පුළුවන්. ඒක අනිත් ඕනම පීඩාවකට වඩා දරාගන්න අමාරු වෙන්නත් පුළුවන්. මොකද අපි පවුලේ අයට ගොඩක් ආදරෙයි. අපිට ඕනෙ කවදා හරි එයාලත් යෙහෝවාට ළං වෙනවා දකින්න. ඒත් එයාලා යෙහෝවාට, අපේ සහෝදරයන්ට අපහාස කරනවා ඇහෙද්දී අපිට ඒක දරාගන්න අමාරුයි. ඒත් කලින් සත්‍යයට විරුද්ධ වුණ අය පස්සේ සාක්ෂිකරුවන් වුණ අවස්ථාත් තියෙනවා. හැබැයි පවුලේ අය සත්‍යය පිළිගන්නේ නැතුව ඔයාව පවුලෙන් අයින් කළොත් ඔයා මොකද කරන්නේ?

13. අපිව පවුලෙන් අයින් කළත් දිගටම සතුටින් ඉන්න යෙහෝවාගේ ආදරේ උදව් වෙන්නේ කොහොමද? (ගීතාවලිය 27:10)

13 ගීතාවලිය 27:10 තියෙන වචන අපිට ලොකු දිරිගැන්වීමක්. (කියවන්න.) යෙහෝවාගේ හිතේ අපි ගැන කොච්චර ආදරයක් තියෙනවාද කියලා මතක් කරගන්නවා නම් ඕනම විරුද්ධවාදීකමකට මුහුණ දෙන්න අපිට ශක්තිය ලැබෙනවා. ඒ වගේම අපි දිගටම විඳදරාගෙන හිටියොත් ඔහු අපිට ආශීර්වාද කරනවා කියලත් අපි දන්නවා. අපේ පවුලේ අයටත් වඩා හොඳට අපිව බලාගන්න යෙහෝවාට පුළුවන්. අපිට අවශ්‍ය හැම දෙයක්ම දීලා අපිව සතුටින් තියන්න, ඔහුත් එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරන්න යෙහෝවා නොකරන දෙයක් නැහැ. ඒක මොන තරම් ඇත්තක්ද කියලා කලින් සඳහන් කරපු බිනියම් අද්දැක්කා.

14. බිනියම්ගෙන් ඔයා ඉගෙනගත්තේ මොනවාද?

14 සාක්ෂිකරුවෙක් වුණොත් ගොඩක් විරුද්ධවාදීකම්වලට මුහුණ දෙන්න වෙනවා කියලා බිනියම් දැනන් හිටියා. හැබැයි ඒ දේවල්වලට බය වෙන්නේ නැතුව එයා යෙහෝවාට කැප වෙලා බව්තීස්ම වුණා. මිනිස්සුන්ට තියෙන බය පරාද කරන්න යෙහෝවා පෙන්නපු ආදරේ බිනියම්ට උදව් වුණේ කොහොමද? බලන්න එයා කියන දේ. “මං හිතුවාටත් වඩා බලධාරීන් මට හුඟක් පීඩා කළා. හැබැයි ඒ දේවල්වලටත් වඩා මට අමාරු වුණේ සාක්ෂිකරුවෙක් වුණා කියලා දැනගත්තාම මගේ පවුලේ අය මොනවා කියයිද කියන එක. ඒක අහලා මගේ තාත්තා මං ගැන කලකිරෙයිද, මං කිසිම වැඩකට නැති මෝඩ තීරණයක් ගත්ත කෙනෙක් කියලා පවුලේ අය හිතයිද කියලා මට හැම තිස්සේම හිතුණා.” හැබැයි ඒ මොන දේ වුණත් යෙහෝවා දෙවියන් තමන් ආදරය කරන අයව අත්හරින්නේ නැහැ කියලා බිනියම් දැනන් හිටියා. යෙහෝවා එයාත් එක්ක ඉන්නවා කියලා බිනියම්ට කිසිම සැකයක් තිබ්බේ නැහැ. එයා ඒ ගැන මෙහෙම කියනවා. “ආර්ථික ප්‍රශ්න එද්දී, අනිත් අය පහත් කරද්දී, මැරයන්ගේ අතින් හොඳටම ගුටි කද්දී ඒවාට මුහුණ දෙන්න යෙහෝවා අපේ සහෝදරයන්ට උදව් කරපු විදිහ ගැන මං හිතුවා. ඒ ගැන හිතන්න හිතන්න මට තේරුණා මං යෙහෝවාව අත්හරින්නේ නැති තාක් කල් ඔහුත් මාව අත්හරින්නේ නෑ කියලා. මාව කීප සැරයක්ම බලධාරීන් අත්අඩංගුවට අරන් මට දස වධ දුන්නා. හැබැයි ඒ හැම වතාවකම දිගටම විශ්වාසවන්තව ඉන්න දෙවියන් උදව් කරපු විදිහ මං අද්දැක්කා.” ඒ විදිහට යෙහෝවා දෙවියන් බිනියම්ට ආදරණීය තාත්තා කෙනෙක් වුණා. ඒ වගේම සභාවේ සහෝදරයෝ ඔප්පු කරලා පෙන්නුවා එයාලා තමයි ඇත්තටම බිනියම්ගේ පවුලේ අය කියලා.

මැරෙන්න තියෙන බය

15. මැරෙන්න බයක් දැනෙන එක සාමාන්‍ය දෙයක් කියන්නේ ඇයි?

15 බයිබලේ කියනවා මරණය කියන්නේ හතුරෙක් කියලා. (1 කොරි. 15:25, 26) ඒක කොච්චර ඇත්තක්ද! මොකද සමහරවිට අපිට, අපි ආදරේ කරන කෙනෙක්ට දරුණු අසනීපයක් තියෙනවා නම් මරණය ගැන අපේ හිතේ ලොකු බයක් ඇති වෙන්න පුළුවන්. ඒත් මැරෙන්න අපි එච්චර බය ඇයි? ඒකට හේතුව යෙහෝවා දෙවියන් අපිව නිර්මාණය කළේ හැමදාම සතුටින් ජීවත් වෙන්න ආසාව ඇතුව. (දේශ. 3:11) හැබැයි මැරෙන්න බය වෙන එකේ හොඳ පැත්තකුත් තියෙනවා. උදාහරණෙකට ඒක අපිව පොලඹවනවා අපේ සෞඛ්‍යය ගැන හිතලා පෝෂ්‍යදායී ආහාර ගන්න සහ ව්‍යායාම් කරන්න. ඒ විතරක් නෙවෙයි වෛද්‍ය උපදෙස් ගන්න, බෙහෙත් ගන්න සහ ජීවිතේ අනතුරේ වැටෙන දේවල්වලින් ඈත් වෙන්න අපි පෙලඹෙන්නේ ජීවිතේ රැකගන්න අපිට ඕනෙ නිසයි.

16. දෙවියන් අකමැති දෙයක් අපි ලවා කරවගන්න සාතන් උත්සාහ කරන්නේ කොහොමද?

16 ජීවිතේ අපිට හුඟක් වටිනවා කියලා සාතන් දන්නවා. ඒ නිසා එයා චෝදනා කරනවා කෙනෙක් ජීවිතේ රැකගන්න ඕනම දෙයක්, කොටින්ම කිව්වොත් යෙහෝවාත් එක්ක තියෙන බැඳීම වුණත් පරදුවට තියන්න ලෑස්තියි කියලා. (යෝබ් 2:4, 5) ඒක මොන තරම් අමූලික බොරුවක්ද! ඒ කොහොමවුණත් බයිබලේ සාතන්ව හඳුන්වලා තියෙන්නේ “මරණය ගෙන එන්න බලය” තියෙන තැනැත්තා විදිහට. මොකද සාතන් උත්සාහ කරනවා අපේ හිතේ මිනිස්සුන්ට තියෙන බය පාවිච්චි කරලා යෙහෝවා අකමැති දෙයක් කරවගන්න. (හෙබ්‍රෙ. 2:14, 15) සමහර අවස්ථාවලදී සාතන් එයාගේ ගෝලබාලයන්ව පාවිච්චි කරලා “දෙවියන්ව අත්හැරියේ නැත්නම් අපිව මරනවා” කියලා අපිට තර්ජනය කරනවා. එහෙමත් නැත්නම් හදිසි වෛද්‍ය ප්‍රතිකාරයක් ගන්න වෙද්දී දෙවියන් අකමැති දෙයක් කරන්න අපිව පොලඹවනවා. සමහරවිට වෛද්‍යවරු, සත්‍යයේ නැති පවුලේ අය අපිට ලේ ගන්න කියලා ලොකු පීඩනයක් ගෙනෙයි. තවත් සමහරු භූතවාදය වගේ දෙවියන් අනුමත කරන්නේ නැති ක්‍රම පාවිච්චි කරලා ප්‍රතිකාර කරන්න කියලා අපිට බල කරන්නත් පුළුවන්.

17. අපි මැරෙන්න බය වෙන්න ඕනෙ නැත්තේ ඇයි? (රෝම 8:37-39)

17 ඇත්ත, අපි කවුරුත් ආස නැහැ මැරෙන්න. හැබැයි අපි මැරුණත් යෙහෝවාගේ හිතේ අපි ගැන තියෙන ආදරේ කවදාවත් මැරෙන්නේ නැහැ. (රෝම 8:37-39 කියවන්න.) යෙහෝවා දෙවියන්ගේ යාළුවෝ මැරුණත් එයාලා ඔහුගේ මතකයේ හැමදාම ජීවත් වෙනවා. (ලූක් 20:37, 38) එයාලට ආයෙත් ජීවිතේ දෙන්න ඔහු බලන් ඉන්නේ ගොඩක් ආසාවෙන්. (යෝබ් 14:15) එයාලට “සදහටම ජීවත් වීමේ ප්‍රස්ථාව ලබාගන්න” යෙහෝවා මේ වෙද්දීත් ගෙවන්න පුළුවන් උපරිම වටිනාකම ගෙවලයි තියෙන්නේ. (යොහ. 3:16) ඒ දේවල් ගැන හිතද්දී දෙවියන්ට අපි ගැන කොච්චර ආදරයක් තියෙනවාද, ඔහු අපි ගැන කොච්චර සැලකිලිමත්ද කියලා අපිට තේරෙනවා. ඒ නිසා අසනීපෙන් හිටියත් මරණය අභියස හිටියත් යෙහෝවා දෙවියන්ව අත්හරින එක ගැන හිතන්නවත් එපා! ඒ වෙනුවට යෙහෝවාගේ සැනසීම, මඟ පෙන්වීම සහ ශක්තිය ඉල්ලලා ඔහුට තව තවත් ළං වෙන්න. ඒකම තමයි සහෝදරි වැලෙරියි, එයාගේ මහත්තයායි කළේ.—ගීතා. 41:3.

18. වැලෙරිගේ අද්දැකීමෙන් ඔයා ඉගෙනගත්තේ මොකක්ද?

18 මැරෙන්න තියෙන බය පරාද කරන්න යෙහෝවාගේ ආදරේට පුළුවන් කොහොමද කියලා අපි වැලෙරිගේ අද්දැකීමෙන් බලමු. අවුරුදු 35දී වැලෙරිට දැනගන්න ලැබුණා එයාට දරුණු පිළිකාවක් තියෙනවා කියලා. එයා මෙහෙම කියනවා. “ඒක දැනගත්තාම අපේ ජීවිත උඩු යටිකුරු වුණා. ඩොක්ටර්ස්ලා කිව්වා ‘ඉක්මන්ටම ඔපරේෂන් එක කළේ නැත්නම් ජීවත් වෙන්න තියෙන ආසාව අත්හැරගන්න වෙයි’ කියලා. ඒත් ලේ නැතුව ඔපරේෂන් එක කරන්න ගොඩක් ඩොක්ටර්ස්ලා කැමති වුණේ නෑ. මට ලොකු බයක්, අසරණකමක් දැනුණා. හැබැයි ලේ ගැන දෙවියන් දීලා තියෙන නීතියට පයින් ගහලා හිතුමතේට තීරණයක් ගන්න මට ඕනෙ වුණේ නෑ. මොකද මගේ ජීවිත කාලේ පුරාම යෙහෝවා මට කියාගන්න බැරි තරම් ආදරයක් පෙන්නලා තියෙනවා. ‘දැන් මගේ වාරේ. මේක තමයි මගේ හිතේ යෙහෝවාට තියෙන ආදරේ පෙන්නන්න ලැබිච්ච අවස්ථාව’ කියලා මට හිතුණා. ඉතින් මගේ තත්වය ටික ටික දරුණු අතට හැරෙනවා කියලා ඩොක්ටර්ස්ලා කියපු හැම වතාවකම මං මටම කියාගත්තා ‘මං සාතන්ට නම් දිනන්න ඉඩ දෙන්නේ නෑ, මට ඕනෙ කොහොමහරි යෙහෝවාව සතුටු කරන්න’ කියලා. අන්තිමේදී ලේ නැතුව සාර්ථකව මගේ ඔපරේෂන් එක කරන්න පුළුවන් වුණා. ඇත්ත, ඒකෙන් පස්සේ මගේ අසනීපේ නිට්ටාවටම සනීප වුණේ නෑ. හැබැයි යෙහෝවා මාත් එක්කම ඉඳලා මාව බලාගන්න විදිහ මං අද්දැක්කා. මට මතකයි මුලින්ම මගේ ටෙස්ට් එකේ රිපෝට් එක ලැබුණ දවස. ඒ සතියේ රැස්වීමේදී අපි ‘දුක් පීඩා ධෛර්යයෙන් විඳදරාගනිමු’ කියන ලිපිය සාකච්ඡා කළා. * ඒ වෙලාවේ ඕනෙම කරලා තිබුණ සහනය අපිට ඒකෙන් ලැබුණා. අපි ආයේ ආයේ ඒක කියෙව්වා. ඒ වගේ ලිපි නිසා, නමස්කාරේ දේවල් වරද්දන්නේ නැතුව කරපු නිසා මොන දේ වුණත් සන්සුන්ව ඉන්න අපිට පුළුවන් වුණා. ඒ වගේම කලබල වෙන්නේ නැතුව හොඳට හිතලා බලලා තීරණ ගන්න අපිට ඒවා උදව් වුණා.”

බය සම්පූර්ණයෙන්ම පරාද කරන්න

19. ළඟදීම වෙන්නේ මොනවාද?

19 ලෝකේ පුරාම ඉන්න දෙවියන්ගේ සෙනඟ ඔහුගේ උදව්වෙන් අභියෝගවලට සාර්ථකව මුහුණ දීලා සාතන්ට විරුද්ධව ඉඳලා තියෙනවා. (1 පේතෘ. 5:8, 9) ඔයාටත් ඒ දේම කරන්න පුළුවන්. ළඟදීම යේසුස් සහ ඔහුත් එක්ක පාලනය කරන්න හවුල් වෙන අය මාර්ගයෙන් යෙහෝවා දෙවියන් “යක්ෂයාගේ ක්‍රියා සහමුලින්ම නැති කරලා දානවා.” (1 යොහ. 3:8) ඊටපස්සේ දෙවියන්ගේ සෙනඟ “කිසිම දේකට බය වෙන්නේවත් තැතිගන්නේවත් නැහැ.” (යෙසා. 54:14; මීකා 4:4) ඒ කාලේ එන කල් දිගටම බය පරද්දන්න අපිට පුළුවන් හැම දේම අපි කරමු.

20. බයෙන් ගොඩ එන්න ඔයාට උදව් වෙන්නේ මොනවාද?

20 යෙහෝවා දෙවියන් ඔයාට ගොඩක් ආදරෙයි. ඔහු ඔයා ළඟින්ම ඉඳන් ඔයාට ආරක්ෂාව දෙනවා. ඒ ගැන ඔයාට තියෙන විශ්වාසේ තවත් ශක්තිමත් කරගන්න. ඒකට අතීතයේදී යෙහෝවා තමන්ගේ සෙනඟව ආරක්ෂා කරලා තියෙන විදිහ ගැන කල්පනා කරන එක වගේම ඒ ගැන අනිත් අයත් එක්ක කතා කරන එක ඔයාට උදව් වෙනවා. ඒ විතරක් නෙවෙයි අභියෝග ජය ගන්න ඔහු පෞද්ගලිකව ඔයාට උදව් කරපු විදිහ ගැන හිතන එකෙනුත් ඔයාගේ විශ්වාසේ ශක්තිමත් වෙයි. යෙහෝවාගේ උදව් නිසා, ඔහු පෙන්නන නොමියෙන ආදරේ නිසා අපිටත් පුළුවන් බය සම්පූර්ණයෙන්ම පරාද කරන්න.—ගීතා. 34:4.

ගීතිකාව 129 දිගටම විඳදරාගනිමු

^ සමහර වෙලාවට බයක් දැනෙන එක හොඳ දෙයක්. මොකද බය අපිව අනතුරුවලින් ආරක්ෂා කරනවා. හැබැයි අපි ඕනාවට වඩා බයෙන් ගිලෙන්න ගියොත් ඒකෙන් අපිට හානියක් වෙන්න පුළුවන්. මොකද සාතන්ට පුළුවන් ඒ බය අපිට විරුද්ධව පාවිච්චි කරන්න. ඒ නිසයි අපිට දැනෙන බය පාලනය කරගන්න ඕනේ. ඒකට දෙවියන් අපිත් එක්ක ඉන්නවා කියලත් ඔහු අපිට ගොඩක් ආදරෙයි කියලත් අපිට තියෙන විශ්වාසය තවත් ශක්තිමත් කරගන්න ඕනේ. ඒක කරන්නේ කොහොමද කියලා අපි මේ ලිපියෙන් බලනවා.

^ සමහර නම් වෙනස් කර ඇත.

^ පින්තූරයේ අදහස: මහන්සි වෙලා වැඩ කරන සහෝදරියකට සහ එයාගේ පවුලේ අයට සභාවේ යුවළක් කෑම ගේනවා.

^ පින්තූරයේ අදහස: සාක්ෂිකරුවෙක් වුණ නිසා යෞවනයෙක්ට එයාගේ දෙමාපියන් ගොඩක් විරුද්ධ වෙනවා. හැබැයි ඒ මොන දේ වුණත් එයාට යෙහෝවාගේ උදව් ලැබෙනවා කියලා ඒ යෞවනයාට කිසිම සැකයක් නැහැ.