Skip to content

පටුනට යන්න

චාල්ස් ගෝඩන් 1881දී ඒදන් උයන කියලා හිතුව සීෂෙල්ස්වල ප්‍රාලැං දූපත

පාරාදීසය - ගොතපු කතන්දරයක්ද?

පාරාදීසය - ගොතපු කතන්දරයක්ද?

‘හිතේ තියෙන හැම දුකක්ම අමතක කරලා විවේක සුවයෙන් ඉන්න පුළුවන් “පාරාදීසයකට” යන්න ඔයත් එන්න!’ සංචාරකයන්ගේ හිත් ඇදගන්න කියන ඒ වගේ කතා ගැන ඔයා අහලා ඇති. නිවාඩුවක් ගත කරන්න ඒ වගේ ලස්සන තැනකට ගියත් ඒකෙන් ලැබෙන සතුට තාවකාලිකයි.

පාරාදීසය කියද්දී අපේ හිතේ මැවෙන්නේ හරිම ලස්සන පින්තූරයක්. ඒ වගේ තැනක ඉන්න අපි කවුරුත් සිහින මවනවා. ඒත් ඒක කවදාවත් සැබෑ වෙන්නේ නැති සිහිනයක්ම විතරද? එහෙමනම් පාරාදීසය කියද්දී අපේ හිතේ ඒ තරම් ආසාවක් ඇති වෙන්නේ ඇයි?

පාරාදීසය ගැන අතීත සටහන්

අතීතයේ ඉඳන්ම මිනිස්සු පාරාදීසයක් ගැන සිහින මවන්නේ ඇයි? ඒකට හේතුව තමයි බයිබලයේ ඒදන් උයන ගැන තියෙන විස්තරය. ඒකේ කියන්නේ ‘දෙවියන් නැඟෙනහිර දෙසින් උයනක්’ හැදුවා කියලා. ඒ උයන කොයි වගේද? “යෙහෝවා දෙවි ඇසට ප්‍රිය වූ කෑමට හොඳ වූ සියලු ගස් ඒ උයනේ හටගන්න සැලැස්වූවේය.” ඒ හැම දේටම වඩා ආස හිතෙන දෙයක් උයන මැද තිබුණා. ඒ තමයි “ජීවන වෘක්ෂය.”—උත්පත්ති 2:8, 9.

ඒ උයනෙන් ගලාගෙන යන ගංඟා හතරක් ගැනත් බයිබලේ කියනවා. අදටත් ඒ ගංඟාවලින් ටයිග්‍රීස් (හිද්දෙකෙල්) සහ යුප්‍රටීස් කියන ගංඟා ගැන අපි දන්නවා. (උත්පත්ති 2:10-14) ඒවා ඉරාකය (ඉපැරණි පර්සියාවට අයිති ප්‍රදේශයක්) හරහා පර්සියානු බොක්ක දක්වා ගලාගෙන යනවා.

පර්සියානු සංස්කෘතියේ පාරාදීසය කියන අදහසට දෙන්නේ මූලික තැනක්. ඇමෙරිකාවේ ෆිලදෙල්ෆියා කලාගාරයේ 16වෙනි සියවසට අයිති පර්සියානු බිම් ඇතිරිල්ල ඒකට උදාහරණයක්. ගස්වලින් වටවුණු මල්වලින් පිරුණු ලස්සන උයනක් ඒකේ පෙන්නනවා. ඒක දකින ඕනම කෙනෙක්ගේ හිතේ මැවෙන්නේ ඒදන් උයනයි. පර්සියානු භාෂාවෙන් “පාරාදීසය” කියලා කියද්දී “ගස්වැල්වලින් වටවුණු” කියන අදහසත් ඇතුළත්.

හැම සංස්කෘතියකම වගේ පාරාදීසය ගැන ගොතපු කතන්දර තියෙනවා. මිනිස්සු පොළොව පුරා පැතිරිලා යද්දී ඒ කතන්දරත් පැතිරුණා. අදටත් පාරාදීසය කියද්දී මිනිසුන්ගේ හිත්වල ලස්සන පින්තූරයක් ඇඳෙන්නේ ඒ නිසයි. හැබැයි කාලයත් එක්කම එයාලගේ ප්‍රබන්ධ කතාවල තිබුණ අදහසුත් ඒ කතන්දරවලට එකතු වුණා.

පාරාදීසයක් සොයා . . .

සමහර දේශගවේෂකයන් කියන්නේ නැති වුණ පාරාදීසය එයාලා හොයාගත්තා කියලා. බ්‍රිතාන්‍ය හමුදා ජෙනරාල්වරයෙක් වුණ චාල්ස් ගෝඩන් 1881 සීෂෙල්ස් දූපත් බලන්න ගියාම වැලේ ඩ මේ කියන දූපතේ ලස්සන දැකලා පුදුම වුණා. එයා කිව්වේ ඒක තමයි ඒදන් උයන කියලා. දැන් ඒක ලෝක උරුමයක්. 1492දී ක්‍රිස්ටෝෆර් කොලොම්බස් හිස්පැනියෝලා දූපතට ගොඩබහිද්දී මේක ඒදන් උයන වෙන්න ඇති කියලා හිතුවා. හිස්පැනියෝලා කියන්නේ දැන් ඩොමිනිකන් ජනරජය සහ හයිටි කියලා හඳුන්වන ප්‍රදේශයටයි.

පැරණි සිතියම් 190කටත් වඩා තියෙන ඉතිහාස පොතක ආදම් සහ ඒව ඒදන් උයනේ ඉන්න විදිහ නිරූපණය කරන සිතියම් කීපයක් තියෙනවා. (Mapping Paradise) 13වෙනි සියවසට අයිති අත්පිටපතකින් (‘බීටස් ඔෆ් ලියබානා’) ගත්ත සිතියමකුත් ඒකට ඇතුළත්. ඒ සිතියම කොටුවක් විදිහට අත්පිටපතේ උඩින්ම නිරූපණය කරලා තියෙනවා. කොටුවේ මැද තියෙන ඒදන් උයනෙන් ටයිග්‍රීස්, යුප්‍රටීස්, පීෂෝන්, ගීහොන් කියන ගංඟා කොන් හතරෙන් ගලාගෙන යන විදිහ පෙන්නනවා. ඒකෙන් ක්‍රිස්තියානි ධර්මය පොළොවේ හතර දිසාවටම ව්‍යාප්ත වුණ විදිහ නියෝජනය වෙනවා කියලයි ගොඩාක් අය කියන්නේ. මේකෙන් තේරෙන්නේ ඒදන් උයන තිබුණ තැන හරියටම දැනගෙන හිටියේ නැතත් මිනිසුන්ගේ මතකයේ ඒක එදත් රැඳිලා තිබුණා කියන එකයි.

17වෙනි සියවසේ ‘පැරඩයිස් ලොස්ට්’ කියන කවිය රචනා කළ ජෝන් මිල්ටන් ඒ කවියේ ආදම්ව ඒදන් උයනෙන් පිටමං කරපු විදිහ ගැන සඳහන් කළා. ඒකේ “වේවි එදාට මුළු ලොවම පාරාදීසයක්” කියන පද පේළියෙන් අහිමි වුණ පාරාදීසය ආයෙත් ලැබෙන විදිහ ගැන කියවෙනවා. දෙවියන් මිනිසුන්ට හැමදාම ජීවත් වෙන්න අවස්ථාව දෙනවා කියලයි ඒ කවියෙන් කියන්නේ. පස්සේ කාලෙක ඒ ගැන තවත් විස්තර කරන ‘පැරඩයිස් රිගේන්ඩ්’ කියන කවියත් ඔහු නිර්මාණය කළා.

හිතන විදිහේ වෙනසක්!

මේ පොළොවේ තිබුණ පාරාදීසය අහිමි වුණා කියන අදහස අතීතයේ ඉඳන්ම මිනිස්සු පිළිගත්තා. ඒත් දැන් මිනිසුන්ට පාරාදීසය ගැන විශ්වාසයක් නැහැ. කලින් සඳහන් කරපු ඉතිහාස පොතේ ඒකට හේතුව පැහැදිලි කරනවා. “පාරාදීසයක් මේ පොළොවේදී ලැබෙනවා කියන අදහස ආගම හදාරන අය කොහොමටවත් පිළිගන්නේ නැහැ.”

පල්ලිවල උගන්වන්නේ අපි සදාකල් ජීවත් වෙන්නේ පොළොවේ නෙවෙයි ස්වර්ගයේ කියලා. ඒත් බයිබලයේ කියන්නේ “ධර්මිෂ්ඨයෝ පොළොව උරුම කරගන්නෝය. ඔවුහු එහි සදාකල් ජීවත් වන්නෝය” කියලා. (ගීතාවලිය 37:29) ඒත් ඒ පොරොන්දුව සැබෑ වෙයිද? *

ගොතපු කතාවක් නෙවෙයි

මුල් පාරාදීසය නිර්මාණය කරපු යෙහෝවා දෙවියන්ම ඒක ආයෙත් දෙන්න පොරොන්දු වෙනවා. ඒක කරන්නේ කොහොමද කියලා යේසුස් දෙවියන්ට කිව්ව මේ දෙයින් පැහැදිලියි. “ඔබගේ රාජ්‍යය පැමිණේවා! ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද සිදු වේවා!” (මතෙව් 6:10) ඒ රාජ්‍යය මුළු පොළොවම පාලනය කරන්න යන ආණ්ඩුවක්. යේසුස් තමයි ඒකේ රජ. මේ පොළොවේ තියෙන හැම පාලනයක්ම ඔහු නැති කරන්න යනවා. (දානියෙල් 2:44) මේ පොළොව ආයෙත් පාරාදීසයක් කරන්න දෙවියන්ට තියෙන ආසාව ඒ ආණ්ඩුවෙන් අනිවාර්යයෙන් ඉටු වෙනවා.

ඒක මොන වගේ කාලයක්ද? එදාට මිනිසුන්ට දුකක් ඇති කරන කිසිම දෙයක් තියෙන්න යන්නේ නැහැ කියලා බයිබල් ලේඛකයෙක් වුණ යෙසායා විස්තර කරනවා. (යෙසායා 11:6-9; 35:5-7; 65:21-23) ඔයාගෙම බයිබලයෙන් ඒ ගැන කියවලා බලන්න. එතකොට දෙවියන් මිනිසුන්ට පාරාදීසයක් දෙන්න යනවා කියන එක කොච්චර ඇත්තක්ද කියලා ඔයාටම තේරෙයි. දෙවියන්ට කීකරු වෙන හැමෝටම ආදම් නැති කරගත්ත පාරාදීසය විතරක් නෙවෙයි ඔහුගේ ආශීර්වාදයත් ලැබෙනවා.—එළිදරව් 21:3.

ස්වර්ගය අයිති යෙහෝවා දෙවියන්ට කියලත් ඔහු මේ පොළොව දුන්නේ මිනිසුන්ට ජීවත් වෙන්න කියලත් බයිබලයේ කියනවා. (ගීතාවලිය 115:16) දෙවියන් කැමති අපි මේ පොළොවේ හැමදාම ජීවත් වෙනවා දකින්නයි. පොළොව පාරාදීසයක් කරනවා කියන පොරොන්දුව මීට අවුරුදු දහස් ගාණකට කලින්ම දුන්නේ “කිසි බොරුවක් නොපවසන දෙවියන්.” (තීතස් 1:2) එදාට පාරාදීසයේ ජීවත් වෙන්න ලැබෙන එක මොන තරම් සුන්දර අද්දැකීමක් වෙයිද!

^ 15 ඡේ. කුරානයේ අල් අන්බියා (නබිවරු) කියන පොතේ 21වෙනි පරිච්ඡේදයේ 105වන පදයෙත් සඳහන් වෙන්නේ මෙහෙමයි. ‘සැදැහවතුන් වන මාගේ ගැත්තන් නියතව පොළොව උරුම කරගන්නන්ය.’