Skip to content

පටුනට යන්න

ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක් | ඒනොක්

‘ඔහු දෙවිව සතුටු කළා’

‘ඔහු දෙවිව සතුටු කළා’

ඒනොක් දෙවියන්ට විශ්වාසන්තව හිටිය මිනිසෙක්. මිය යද්දී ඔහුට වයස අවුරුදු 365ක් විතර ඇති. අද අපේ කෙටි ආයු කාලයත් එක්ක බලද්දී ඒක ලොකු කාලයක් වගේ පෙනුණත් මීට අවුරුදු 5,000කට විතර කලින් නම් ඒක එච්චර ලොකු කාලයක් නෙමෙයි. මොකද එදා මිනිස්සු අදට වඩා වැඩි ආයු කාලයක් භුක්ති වින්දා. ඒනොක් ඉපදෙනකොට ආදම්ට අවුරුදු 600කටත් වඩා වැඩියි. ඊටපස්සේ ආදම් තවත් අවුරුදු 300ක් විතර ජීවත් වුණා. එහෙම බලද්දී ඒනොක්ට තවත් අවුරුදු ගණනක් ජීවත් වෙන්න අවස්ථාව තිබුණා. ඒත් වුණේ නොහිතූ දෙයක්.

ඒනොක් දෙවියන්ගෙන් ලැබුණු විනිශ්චය පණිවිඩය මිනිසුන්ට දේශනා කළත් ඔවුන් ඒකට කැමති වුණේ නැහැ. ඔවුන්ට ඒනොක් ගැනත් ඔහුට ඒ පණිවිඩය දීපු දෙවියන් ගැනත් තිබුණේ ලොකු වෛරයක්. ඒත් දෙවියන්ට කෙළින්ම හානියක් කරන්න බැරි නිසා ඔවුන් ඒනොක්ව මරන්න උත්සාහ කළා. ඒක දැනගත්ත ඒනොක්ට තමන්ගේ ආදරණීය බිරිඳව, දූවරුන්ව, පුතා මෙතූසලාව සහ මුණුපුරෙක් වුණු ලාමෙක්ව ආයෙත් දැකගන්න පුළුවන් වෙයිද කියලා හිතෙන්න ඇති. (උත්පත්ති 5:21, 23, 25) ඔවුන්ගේ උත්සාහය සාර්ථක වෙන්න ඇද්ද?

ඒනොක් ගැන බයිබලයේ සඳහන් වෙන්නේ තැන් තුනක විතරයි. (උත්පත්ති 5:21-24; හෙබ්‍රෙව් 11:5; යූද් 14, 15) ඒ කෙටි විස්තරවලින් වුණත් ඔහුට කොයි තරම් ශක්තිමත් විශ්වාසයක් තිබුණාද කියලා දැනගන්න පුළුවන්. ඔයා පවුලක් රැකබලා ගන්න ආදරණීය පියෙක්ද? එහෙමත් නැත්නම් අනිත් අයගෙන් එන පීඩනය නිසා හරි දේ කරන්න පොර බදින කෙනෙක්ද? එහෙමනම් ඒනොක්ගේ ආදර්ශය ඔයාට ලොකු ශක්තියක් වෙයි.

“ඒනොක් සැබෑ දෙවි සමඟ දිගටම ගමන් කළේය”

ඒනොක් ජීවත් වුණේ දුෂ්ටකමින් පිරී තිබුණු සමාජයකයි. මිනිසුන් පරිපූර්ණත්වය අහිමි කරගෙන වැඩි කාලයක් ගත වී තිබුණේ නැති නිසා වැඩි ආයු කාලයක් භුක්ති වින්දත් සදාචාරය අතින් නම් ඔවුන් හිටියේ පහත්ම තත්වයක. කායින් ආබෙල්ව මරා දාපු දවසේ පටන්ගත් ප්‍රචණ්ඩත්වය එන්න එන්නම වැඩි වුණා. කායින්ගෙන් පැවත ආ කෙනෙක් ඔහුට වඩා ප්‍රචණ්ඩකාරී විදිහට හැසිරුණා කියලා බයිබලයේ සඳහන් වෙනවා. ඊළඟට බිහි වුණු තුන්වෙනි පරම්පරාවට දෙවියන් ගැන කිසිම ගෞරවයක් තිබුණේ නැහැ. ඔවුන් දෙවියන්ගේ නාමය පාවිච්චි කළත් එය කළේ දෙවියන්ට අපහාසයක් වෙන විදිහටයි.—උත්පත්ති 4:8, 23-26.

ඒනොක්ගේ කාලය වෙද්දී දෙවියන්ට අගෞරවයක් ගෙන දෙන ඒ නමස්කාර ක්‍රමය මුළු සමාජය පුරාම පැතිරිලායි තිබුණේ. ඒනොක් වයසින් වැඩෙද්දී ඒ වැරදි නමස්කාරයේ නියැලෙනවාද නැත්නම් සැබෑ දෙවියන්ට නමස්කාර කරනවාද කියලා තේරීමක් කරන්න ඔහුට සිදු වුණා. හරි තීරණයක් ගන්න ආබෙල්ගේ ආදර්ශය ඔහුට උදව් වෙන්න ඇති. දෙවියන් කැමති විදිහට කටයුතු කරපු නිසා ආබෙල්ට ඔහුගේ ජීවිතය අහිමි වුණා. මොන දේ වුණත් දෙවියන් සතුටු වෙන විදිහට තමන්ගේ ජීවිතය ගත කරන්න ඕනෙ කියලා ඒනොක් තීරණය කළා. උත්පත්ති 5:22 කියන්නේ “ඒනොක් දිගටම සැබෑ දෙවි සමඟ ගමන් කළේය” කියලයි. ඒකෙන් අදහස් වෙන්නේ ඔහු දිගටම දෙවියන් සතුටු වෙන විදිහට වැඩ කළා කියන එකයි. මේ විදිහට බයිබලයේ හඳුන්වන පළමු කෙනා ඔහුයි. දෙවියන්ට කිසි ගෞරවයක් නැති සෙනඟ අතරේ වුණත් ඒනොක් දෙවියන්ට ළැදිව ජීවත් වුණා.

ඔහුගේ පුත් මෙතූසලා ඉපදුණාට පස්සෙත් ඔහු සැබෑ දෙවියන් සමඟ ගමන් කළා කියලා ඒ පදයේම සඳහන් වෙනවා. පවුලක් බලාගන්න පුරුෂයෙක් විදිහට දෙවියන් දීලා තියෙන මඟ පෙන්වීම්වලට අනුව ජීවත් වීමේ වැදගත්කම ඒනොක් තේරුම් අරන් හිටියා කියලා ඒකෙන් පැහැදිලියි. තම බිරිඳට විශ්වාසවන්තව ඉන්නත් දරුවන්ගේ හිත්වල යෙහෝවා දෙවියන් ගැන ආදරයක් ඇති කරන්නත් ඒනොක් තම උපරිමය කළා. (උත්පත්ති 2:24) ඒක දරුවන්ට කොයි විදිහට බලපාන්න ඇද්ද?

ඒනොක්ගේ පුතා මෙතූසලා දෙවියන්ට විශ්වාසවන්තව හිටියාද කියලා බයිබලයේ සඳහන් වෙන්නේ නැහැ. ඒත් ඔහු ජලගැල්ම ආ අවුරුද්ද දක්වා දීර්ඝ කාලයක් ජීවත් වුණා කියලා බයිබලයේ සඳහන් වෙනවා. බයිබලයේ තොරතුරුවලට අනුව වැඩිම කාලයක් මේ පොළොවේ ජීවත් වෙලා තියෙන්නේ ඔහුයි. මෙතූසලාගේ පුතා වූ ලාමෙක්ට ඔහුගේ සීයා වුණු ඒනොක් සමඟ අවුරුදු 100කටත් වඩා වැඩි කාලයක් ඇසුරු කරන්න අවස්ථාව ලැබුණා. ලාමෙක්ට ඒ ඇසුර, සීයා වගේ විශ්වාසවන්ත පුද්ගලයෙක් වෙන්න උදව් වෙන්න ඇති. යෙහෝවා දෙවියන් ලාමෙක්ගේ පුතා වුණ නෝවා ගැන අනාවැකියක් පළ කරන්නත් ලාමෙක්ව යොදාගත්තා. ඒ අනාවැකිය ඉටු වුණේ ජලගැල්මෙන් පස්සේ. නෝවාත් ඔහුගේ ඥාතියෙක් වුණු ඒනොක් වගේ දෙවියන් සමඟ දිගටම ගමන් කළා. නෝවාට ඒනොක්ව ඇසුරු කරන්න අවස්ථාවක් ලැබුණේ නැතත් ඒනොක්ගේ ආදර්ශය ඔහුට ලොකු ශක්තියක් වෙන්න ඇති. ඔහුගේ පියා වුණු ලාමෙක්ගෙන්, මෙතූසලාගෙන්, එහෙමත් නැත්නම් නෝවාට අවුරුදු 366ක් වෙන තුරුත් ජීවතුන් අතර හිටිය ඒනොක්ගේ පියා වුණු යාරෙද්ගෙන් ඒනොක් ගැන හුඟක් දේ නෝවා ඉගෙනගන්න ඇති.—උත්පත්ති 5:25-29; 6:9; 9:1.

ආදම් සහ ඒනොක් කොයි තරම් වෙනස් චරිත දෙකක්ද? ආදම් පරිපූර්ණ කෙනෙක් වුණත් දෙවියන්ට විරුද්ධව පව් කළා. ඔහුගෙන් පැවත එන්නන්ට උරුම කළේ දුක වේදනාව පිරුණු අඳුරු අනාගතයක්. ඒත් ඒනොක් අසම්පූර්ණ කෙනෙක් වුණත් දෙවියන් සමඟ ගමන් කර ඔහුගෙන් පැවත එන අයට විශ්වාසවන්තකම සම්බන්ධයෙන් කදිම ආදර්ශයක් තැබුවා. ආදම් මිය යද්දී ඒනොක්ට වයස අවුරුදු 308යි. ඒනොක් ආදම්ගේ අඩි පාරේ ගියේ නැහැ. බයිබලයේ සඳහන් වෙන්නේ ඔහු “සැබෑ දෙවි සමඟ දිගටම ගමන් කළා” කියලයි.—උත්පත්ති 5:24.

ඔයා පවුලක් රැකබලා ගන්න ආදරණීය පියෙක් නම් ඔයාට ඒනොක්ගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද කියලා හිතලා බලන්න. ඕනෙම පියෙක් වැඩියෙන්ම හිතන්නේ පවුලේ අයගේ ඕනෑ එපාකම් ඉටු කරන්නයි. ඒත් වැඩියෙන්ම වැදගත් වෙන්නේ එක් එක් සාමාජිකයන්ට දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න උදව් කරන එක කියලා මතක තියාගන්න. (1 තිමෝති 5:8) ඔයා කියන දේට වඩා ඔයා කරන දේ තමයි වැදගත් වෙන්නේ. ඔයාත් ඒනොක් වගේ දෙවියන්ට විශ්වාසවන්තව කටයුතු කරන, ඔහුගේ මඟ පෙන්වීම් අදාළ කරගන්න කෙනෙක් නම් ඔයාගේ පවුලේ අයට හොඳ ආදර්ශයක් වෙන්න ඔයාටත් පුළුවන්.

ඒනොක් ‘ඔවුන් ගැන අනාවැකි’ කිව්වා

ඒනොක් ජීවත් වුණු සමාජයේ මිනිස්සු දෙවියන්ට කිසි ගරුබියක් දැක්වූයේ නැහැ. ඒත් යෙහෝවා දෙවියන් ඒනොක්ව තනි කළේ නැහැ. දෙවියන් ඒනොක්ව අනාගතවක්තෘ කෙනෙක් විදිහට පත් කරලා එදා හිටිය දුෂ්ට මිනිසුන්ට කියන්න පණිවිඩයක් ඔහුට දුන්නා. ඊට ශතවර්ෂ ගණනාවකට පස්සේ දෙවියන්ගේ මඟ පෙන්වීමෙන් යේසුස්ගේ අර්ධ සහෝදරයෙක් වුණු යූද් ඒ අනාවැකිය ඔහුගේ වාර්තාවේ සඳහන් කළා. * අනාගතවක්තෘවරුන් අතරින් තමන් දේශනා කරපු පණිවිඩය, බයිබලයේ සඳහන් වෙලා තියෙන මුල්ම අනාගතවක්තෘවරයා තමයි ඒනොක්.

මොකක්ද ඒනොක් කිව්ව අනාවැකිය? බයිබලයේ ඒක මේ විදිහට සඳහන් වෙනවා. “යෙහෝවා දෙවි තම දසදහස් ගණන් ශුද්ධ දූතයන් පිරිවරාගෙන පැමිණියේය. ඔහු පැමිණියේ සියලුදෙනාට විරුද්ධව තම විනිශ්චය ඉටු කිරීමටය. මන්ද ඔහුට කිසි ගෞරවයක් නොදක්වන අය ඔහු ගැන නොතකමින් බොහෝ දුෂ්ට ක්‍රියාවල නිරත වූ අතර ඔහුට කිසි ගෞරවයක් නොදැක්වූ පව්කාරයෝ ඔහුට විරුද්ධව ඉතාමත් තැතිගන්වනසුලු දේවල් පැවසුවෝය.” (යූද් 14, 15) ඒනොක් කිව්ව ඒ දේ අනාවැකියක් වුණත් ඔහු එය කිව්වේ ඉටු වුණු දෙයක් විදිහටයි. අනාගතවක්තෘවරුන් හුඟදෙනෙක් ඒ ක්‍රමය පාවිච්චි කර තම අනාවැකි බයිබලයේ ලිව්වා. ඔවුන් එහෙම කළේ ඒවා ඉටු වෙනවා කියන එක ගැන ඔවුන්ට ලොකු විශ්වාසයක් තිබුණ නිසයි.—යෙසායා 46:10.

කොයි තරම් විරුද්ධවාදිකම් ආවත් ඒනොක් දෙවියන්ගේ පණිවිඩය දේශනා කළා

ඒනොක්ට ඒ වගේ පණිවිඩයක් දේශනා කරන එක කොයි තරම් අමාරු දෙයක් වෙන්න ඇද්ද! ඒ පණිවිඩයේ එදා හිටිය මිනිසුන්ව ‘දෙවියන්ට කිසි ගෞරවයක් නොදක්වන,’ ‘ඔහු ගැන නොතකන’ ඒ වගේම “දුෂ්ට ක්‍රියා” කරන අය විදිහට හැඳින්නුවා. යෙහෝවා දෙවියන් “දසදහස් ගණන් ශුද්ධ දූතයන්” සමඟ ඇවිත් ඒ දුෂ්ට සමාජය සම්පූර්ණයෙන්ම සුනුවිසුනු කරලා දානවා කියලත් ඒ අනාවැකියේ සඳහන් වුණා. ඒ කාලය වෙද්දී දුෂ්ටකමේ අන්තයටම ගිහින් තිබුණු මිනිස් සමාජයට ඒ පණිවිඩය ප්‍රබල අනතුරු ඇඟවීමක් වුණා. ඒ පණිවිඩය අහපු මිනිසුන් හිටියේ හුඟක් කේන්තියෙන්. ඒ වුණත් ඒනොක් කිසි කෙනෙක්ගේ සහයෝගය නැතුව නිර්භීතව ඒ පණිවිඩය දේශනා කළා. ඒ වෙනකොට තරුණ වියේ හිටපු ලාමෙක්ට තම සීයාගේ නිර්භීතකම හොඳ ආදර්ශයක්වෙන්න ඇති.

ඒනොක් එදා කටයුතු කරපු විදිහ අපිටත් හොඳ ආදර්ශයක්. දෙවියන් අද අපි ජීවත් වෙන මේ දුෂ්ට සමාජය දකින්නේ විනාශයට සුදුසු දෙයක් විදිහටයි. අපිත් ඒක දකින්නේ දෙවියන් දකින විදිහටද? එදා ඒනොක් දේශනා කළ පණිවිඩය අපි ජීවත් වෙන මේ දුෂ්ට සමාජයටත් හොඳින්ම ගැළපෙනවා. දෙවියන් එදා ඒනොක් මාර්ගයෙන් කිව්ව අනාවැකිය නෝවාගේ කාලේදී ඒ විදිහටම ඉටු වුණා. දෙවියන් ජලගැල්මකින් ඒ දුෂ්ට සමාජය විනාශ කරලා දැම්මා. අපි ජීවත් වෙන මේ සමාජයට දෙවියන් ගේන්න යන විනාශය කොයි තරම් භයානක එකක් වෙයිද කියලා තේරුම්ගන්න ඒ සිද්ධිය උදව් වෙනවා. (මතෙව් 24:38, 39; 2 පේතෘස් 2:4-6) දැන් දෙවියන් දසදහස් ගණන් දේවදූතයන් සමඟ සූදානමින් ඉන්නේ ඔහුට කිසි ගරු බියක් නැති මේ දුෂ්ට සමාජය විනාශ කරන්නයි. කවුරු අපිට විරුද්ධ වුණත් ඒනොක් වගේ අපිත් දෙවියන් ගේන්න යන විනාශය ගැන නිර්භීතව දේශනා කරමු. එදා ඒනොක්ව දෙවියන් තනි කළේ නැහැ. අදත් දෙවියන් ඔහුගේ විශ්වාසවන්ත සේවකයන්ව කවදාවත් තනි කරන්නේ නැහැ කියලා ස්ථිරයි.

‘දෙවි ඔහුව ගෙන ගියා’

ඒනොක්ගේ මරණය ගැන අපිට වැඩි තොරතුරක් බයිබලයේ දීලා නැහැ. ඒ ගැන උත්පත්ති පොතේ කියන්නේ මෙහෙමයි. “ඒනොක් සැබෑ දෙවි සමඟ දිගටම ගමන් කළේය. පසුව දෙවි ඔහුව ගත්තේය. එබැවින් කිසිවෙකුට ඔහුව සොයාගන්න බැරි විය.” (උත්පත්ති 5:24) “දෙවි ඔහුව ගත්තේය” කියන දෙයින් අදහස් වෙන්නේ මොකක්ද? ඒ ගැන පාවුල් මෙහෙම කියලා තියෙනවා. “ඒනොක් තුළ තිබූ විශ්වාසය නිසා ඔහුව දෙවි විසින් ගෙන යන ලදි. එමනිසා ඔහු සාමාන්‍ය මරණයක් අද්දුටුවේ නැත. දෙවි ඔහුව ගෙන ගිය නිසා ඔහුව සොයාගත නොහැකි විය. නමුත් ඔහුව ගෙන යෑමට කලින් තමා දෙවිව සතුටු කර තිබූ බවට ඔහු සාක්ෂි ලැබුවේය.” (හෙබ්‍රෙව් 11:5) “දෙවි විසින් ගෙන යන ලදි. එමනිසා ඔහු සාමාන්‍ය මරණයක් අද්දුටුවේ නැත” කියලා පාවුල් කිව්ව දෙයින් අදහස් කරන්නේ මොකක්ද? සමහර බයිබල් පරිවර්තනවල දෙවියන් ඒනොක්ව ස්වර්ගයට ගත්තා කියලා සඳහන් වෙලා තියෙනවා. ඒත් ඒක වෙන්න බැරි දෙයක්. මරණයෙන් පස්සේ ස්වර්ගයට ගිය පළවෙනි තැනැත්තා යේසුස් කියලයි බයිබලයේ සඳහන් වෙන්නේ.—යොහන් 3:13.

එහෙමනම් පාවුල් කිව්ව දෙයින් අදහස් කරන්නේ මොකක්ද? ඒකෙන් අදහස් කරන්නේ ඒ කාලේ හිටිය දුෂ්ට මිනිසුන් ඒනොක්ට හිංසා පීඩා කර ඔහුව මරන්න කලින් දෙවියන් ඔහුට වේදනාවක් නැති මරණයක් ලබා දුන්නා කියන එක වෙන්න ඇති. ඒත් ඊට කලින් ඔහු ‘දෙවිව සතුටු කර තිබූ බවට සාක්ෂි ලැබුවා.’ ඒ සාක්ෂිය දෙන්න දෙවියන් දර්ශනයක් පාවිච්චි කරන්න ඇති. සමහරවිට මේ පොළොව පාරාදීසයක් වෙලා තියෙන විදිහ වෙන්න ඇති ඔහු දර්ශනයෙන් දැක්කේ. ඒ සාක්ෂිය ලැබුණට පස්සේ ඒනොක් මරණ නින්දේ සැතපුණා. ඒනොක් සහ දෙවියන්ගේ තවත් සේවකයන් ගැන පාවුල් මෙහෙම කියලා තියෙනවා. “සියලුදෙනාම විශ්වාසයකින් කටයුතු කළ අය ලෙස මිය ගියෝය.” (හෙබ්‍රෙව් 11:13) ඒනොක් මැරුණාට පස්සේ සතුරෝ ඔහුගේ මළ සිරුර හොයන්න ඇති. ඒත් කිසිවෙකුට එය ‘සොයාගන්න බැරි වුණා.’ සමහරවිට මළ සිරුරට අගෞරවයක් කරන එක හෝ බොරු නමස්කාරය සඳහා එය යොදාගන්න එක වළක්වන්න යෙහෝවා දෙවියන් එය සඟවන්න ඇති. *

බයිබලයේ තියෙන ඒ තොරතුරුවලට අනුව ඒනොක්ගේ ජීවිතේ අවසන් වුණ විදිහ හිතෙන් මවාගන්න උත්සාහ කරමු. වෛරයෙන් ඉන්න සතුරෝ ඔහුව මරන්න පසුපස එළවගෙන එද්දී ඔහු තම පණ බේරාගන්න සැඟවෙනවා. ඔහුට තවත් කොච්චර වෙලාවක් මේ විදිහට සතුරන්ගෙන් සැඟවිලා ඉන්න පුළුවන්ද කියලා ඔහු දන්නේ නැහැ. ඔහුගේ ජීවිතේ තියෙන්නේ අනතුරේ. ඔහු දැන් යෙහෝවා දෙවියන්ට යාච්ඤා කරනවා. ඔහුට ඒ වෙලාවේදී ලොකු සැනසීමක් දැනෙනවා. එකපාරටම දෙවියන් මේ පොළොව පාරාදීසයක් වෙලා තියෙන විදිහ දර්ශනයකින් ඔහුට දකින්න සලස්වනවා. ඔහුට දැනෙන්නේ ඔහුත් එතැන ඉන්නවා වගෙයි.

ඒනොක්ගේ ජීවිතය අනතුරේ තියෙද්දී දෙවියන් ඔහුව ගෙන ගියා

ඔහු ජීවත් වුණ දුෂ්ට මිනිසුන්ගෙන් පිරුණු ලෝකයට වඩා දර්ශනයෙන් දැක්ක පාරාදීස පොළොව කොයි තරම් වෙනස්ද! ඒ පාරාදීසය ඒදන් උයන තරම්ම සුන්දර එකක්. ඒත් ඒදන් උයන වගේ ඒක රැකවල් කරන්න කෙරුබ්වරුන් එතන නැහැ. හැම කෙනෙක්ම ඉන්නේ තරුණ වියේ. කවුරුත් ලෙඩින් නැහැ. කවුරුත් කාටවත් වෛර කරන්නෙත් නැහැ. ඒ අය අතරේ සමඟිය තියෙනවා. ඔවුන් සැබෑ දෙවියන්ට නිදහසේ නමස්කාර කරනවා. දෙවියන්ගේ ආදරය, රැකවරණය සහ අනුමැතිය තමන්ට තියෙනවා කියලා ඒ දර්ශනය දකිද්දී ඒනොක්ට ස්ථිර වුණා. ඒ වගේම තමන්ටත් මේ පාරාදීසයේ ජීවත් වෙන්න අවස්ථාව ලැබෙනවා කියලා ඔහුට ලොකු විශ්වාසයක් ඇති වුණා. ඊටපස්සේ ඒනොක් ඔහුගේ අවසන් හුස්ම හෙළනවා.

ඔහු දැන් ඉන්නේ මරණය නමැති නින්දේ. ඒත් යෙහෝවා දෙවියන්ගේ සදා නොමැකෙන මතකයේ අදටත් ඔහු සුරක්ෂිතව ඉන්නවා. යේසුස් පොරොන්දු වුණ විදිහට, දෙවියන්ගේ මතකයේ ඉන්න අයට යේසුස්ගේ හඬ ඇහෙද්දී ඔවුන් සොහොන් ගෙවල්වලින් පිටතට ඇවිත් ලස්සන පාරාදීස පොළොවක සදාකාලික ජීවිතයක් උරුම කරගන්නවා.—යොහන් 5:28, 29.

ඔයාත් ආසද ඒ පාරාදීසයේ ජීවත් වෙන්න? ඒනොක්ව මුණගැහෙන්න ලැබෙන අවස්ථාව ගැන හිතන්න. එදාට මොන තරම් සතුටක් අපේ හිතට දැනෙයිද? ඔහුගේ ජීවිතය අවසන් වුණ විදිහ ගැන අපි හිතුව දේ හරිද කියලා එදාට ඔහුගෙන්ම අපිට අහලා දැනගන්න පුළුවන්. අද අපිට පුළුවන් ඒනොක්ගේ විශ්වාසය ආදර්ශයට ගන්න. ඒනොක් ගැන සඳහන් කළාට පස්සේ පාවුල් මෙහෙම කිව්වා. “ඇත්තෙන්ම යමෙකු තුළ දෙවි කෙරෙහි විශ්වාසයක් නැත්නම් ඔහුට දෙවිව කිසි ලෙසකින්වත් සතුටු කළ නොහැක.” (හෙබ්‍රෙව් 11:6) ඒනොක්ගේ නිර්භීතකම සහ විශ්වාසය අපිට කදිම ආදර්ශයක්!

^ 14 ඡේ. සමහර බයිබල් විශාරදයන් කියන්නේ යූද් මේ කොටස උපුටාගත්තේ ඒනොක්ගේ පොත කියා හඳුන්වන වාර්තාවකින් කියලයි. එය බයිබලයේ පිළිගත් පොත්වලට අයිති නැහැ. ඒ පොත ලිව්වේ ඒනොක් කියලා හුඟක් අය කිව්වත් ඒකට කිසිම පදනමක් නැහැ. ඒ පොතේ ඒනොක් කිව්ව අනාවැකිය නිවැරදිව සඳහන් වුණත් ඒ තොරතුරු ලබාගත්ත මූලාශ්‍රය මොකක්ද කියලා පැහැදිලිව කියන්න බැහැ. සමහරවිට යූද්, ඒනොක්ගේ අනාවැකිය නිවැරදිව දැනගන්න ඇත්තේ ඒනොක්ගේ පොතට තොරතුරු ලබාගත් මූලාශ්‍රයෙන් වෙන්න ඇති. එහෙමත් නැත්නම් ඒනොක්ට වුණු දේවල් ස්වර්ගයේ සිට දැක්ක යේසුස්ගෙන් වෙන්න ඇති.

^ 20 ඡේ. මෝසෙස් සහ යේසුස් මැරුණාට පස්සේ ඔවුන්ගේ ශරීර වැරදි විදිහට පාවිච්චි කරන එක වළක්වන්න යෙහෝවා දෙවියන් ඒ හා සමාන දෙයක් කරන්න ඇති.—ද්විතීය කතාව 34:5, 6; ලූක් 24:3-6; යූද් 9.