Skip to content

පටුනට යන්න

මුල් පිටුවෙන් | බයිබලය කියවීමෙන් ප්‍රයෝජන ගන්න ආසද?

බයිබලය කියවීම ජීවිතයට ප්‍රයෝජනවත්ද?

බයිබලය කියවීම ජීවිතයට ප්‍රයෝජනවත්ද?

බයිබලය නිකම්ම නිකම් පොතක් නෙමෙයි. ඒකේ තියෙන්නේ අපිව නිර්මාණය කරපු දෙවියන්ගේ අදහස්. (2 තිමෝති 3:16) බයිබලයට පුළුවන් අපේ පෞද්ගලිකත්වය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න. මොකද “දෙවිගේ වදන් ජීවමානය, බලවත්ය” කියලා බයිබලයේම සඳහන් වෙනවා. (හෙබ්‍රෙව් 4:12) බයිබලයේ ජීවිතය සාර්ථක කරගන්න උදව් වෙන මඟ පෙන්වීම් හුඟක් තියෙනවා. දෙවියන් ගැනත් දෙවියන් අනාගතය සම්බන්ධයෙන් දීලා තියෙන පොරොන්දු ගැනත් ඒකේ තියෙනවා.—1 තිමෝති 4:8; යාකොබ් 4:8.

වටිනා මඟ පෙන්වීම් ලබාගන්න පුළුවන්. ජීවිතයේ හැම කාරණයකදීම අදාළ කරගන්න පුළුවන් මඟ පෙන්වීම් බයිබලයේ තියෙනවා. උදාහරණ බලන්න.

විසන්ට් සහ ඇනාලූ අලුත විවාහ වුණ යුවළක්. මුලදි එයාලා අතර පොඩි පොඩි ප්‍රශ්න ඇති වුණා. ඒත් එයාලා බයිබලය කියවලා ඒකේ තියෙන මඟ පෙන්වීම් අදාළ කරගත්තා. ඒ ගැන සැමියා කිව්වේ මෙහෙමයි. “පවුල් ජීවිතයේදී අපි මුහුණ දුන්න ප්‍රශ්න හොඳින් විසඳගන්න බයිබලයේ තියෙන මඟ පෙන්වීම් මට උදව් වුණා. දැන් අපි අතර තියෙන ආදරෙත් වැඩි වෙලා.” එයාගේ බිරිඳ මෙහෙම කිව්වා. “බයිබල් චරිත ගැන කියවන්න අපි ගොඩක් ආසයි. හොඳ තීරණ අරන් ජීවිතය සතුටින් ගත කරන්න ඒ අයගේ ආදර්ශ අපිට උදව් වෙලා තියෙනවා.”

දෙවියන්ට ළං වෙන්න පුළුවන්. බයිබලය කියවලා ලැබුණ තවත් ප්‍රයෝජනයක් ගැන විසන්ට් මෙහෙම කිව්වා. “මට දැනෙනවා මම දැන් දෙවියන්ට තවත් ළං වෙලා කියලා.” බයිබලය කියවනවා නම් දෙවියන් ගැන දැනගෙන ඔහුව කිට්ටු යාළුවෙක් කරගන්න ඔයාට පුළුවන්. යෙහෝවා දෙවියන් අනාගතයේදී අපිට ලබා දෙන්න යන සදාකාලික, ප්‍රීතිමත්, “සැබෑ ජීවිතය” ගැනත් දැනගන්න පුළුවන්. (1 තිමෝති 6:19) වෙන කිසිම පොතකින් ඒ දැනුම ලබාගන්න බැහැ.

බයිබලය කියවනවා නම් ජීවිතයට වටිනා මඟ පෙන්වීම් ලබාගන්නත් සැබෑ දෙවියන්ට ළං වෙන්නත් පුළුවන්. ඒත් කියවද්දී තේරෙන්නේ නැති තැනක් හම්බ වුණොත් මොකද කරන්නේ? ඒ වෙලාවට අවුරුදු 2,000කට කලින් ජීවත් වුණු ඉතියෝපියානු නිලධාරියාව ආදර්ශයට ගන්න. බයිබලයෙන් කියවපු දේවල් තේරෙනවාද කියලා අහපු වෙලාවේ එයා කිව්වේ “කාගෙවත් මඟ පෙන්වීමක් නැතුව මේ දේවල් මම කොහොමද තේරුම්ගන්නේ” කියලයි. * ඊටපස්සේ එයා බයිබලය ගැන හොඳ දැනුමක් තිබුණ යේසුස්ගේ ගෝලයෙක් වුණ ෆිලිප්ගෙන් උදව් ලබාගත්තා. (ක්‍රියා 8:30, 31, 34) ඒ වගේ බයිබලයේ තියෙන දේවල් ගැන දැනගන්න ඔයා කැමති නම් www.dan124.com/si වෙබ් අඩවියේ තියෙන පෝරමය පුරවන්න. මේ සඟරාවේ තියෙන ලිපිනයට ලියන්නත් ඔයාගේ පළාතේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව හම්බ වෙන්නත් එයාලාගේ නමස්කාර මධ්‍යස්ථානයකට යන්නත් ඔයාට පුළුවන්. සැබෑ සතුට පිරුණු ජීවිතයකට මඟ කියා දෙන බයිබලය අදම කියවන්න පටන්ගන්න එක හොඳ අදහසක් කියලා ඔයාට හිතෙන්නේ නැද්ද?

බයිබලයේ තියෙන දේවල් විශ්වාස කරන්න අමාරුයි කියලා හිතෙනවා නම් ‘බයිබලයේ තියෙන දේවල් විශ්වාස කරන්න පුළුවන්ද?’ කියන කෙටි වීඩියෝ එක jw.org/si වෙබ් අඩවියේ ප්‍රකාශන > වීඩියෝ > බයිබලය යටතේ බලන්න.

^ 8 ඡේ. තවත් මඟ පෙන්වීම් දැනගන්න jw.org/si වෙබ් අඩවියේ බයිබල් ඉගැන්වීම් > බයිබලයෙන් උත්තර යටතේ බලන්න.

^ 11 ඡේ. මේ සඟරාවේ තියෙන “බයිබලය නිවැරදිව තේරුම්ගන්න එක වැදගත්ද?” කියන ලිපියත් කියවන්න.