Skip to content

පටුනට යන්න

නිර්මාණයක්ද?

කොළ කීඩෑවා ගැන අලුත් තොරතුරක්

කොළ කීඩෑවා ගැන අලුත් තොරතුරක්

වාහනවල ගියර් ගැන කතා කරද්දී හුඟදෙනෙක් හිතන්නේ ඒ උපක්‍රමය තියෙන්නේ මිනිසුන් හදන යන්ත්‍රවල කියලයි. ඒත් යුරෝපයේ දකින්න ලැබෙන කොළ කීඩෑවන්ගේ (Issus Leafhopper) ශරීරයෙත් ඒ උපක්‍රමයම ක්‍රියාත්මක වෙනවා කියලා විද්‍යාඥයන් සොයාගත්තා. *

මේ කීඩෑවන්ට තත්පරයකින් දෙදාහෙන් පංගුවක් තරම් සුළු කාලයකින් මීටර් 3.9ක් උසට පනින්න පුළුවන්. එහෙම කරද්දී ඌ ගුරුත්වාකර්ෂණ බලයට එරෙහිව 200 ගුණයක ප්‍රතිවිරුද්ධ බලයක් යොදනවා. ඇසිපිය ගහන සැණින් නොපෙනී යන්න තරම් ඌ වේගවත්. ඒ වගේ පනින්න පිටුපස පාද දෙකෙන්ම එකම වෙලාවේ එක හා සමාන බලයක් නිකුත් වෙන්න ඕනේ. ඒකට උදව් වෙන්නේ මොකක්ද?

මේ ගැන සිතන්න: ගියර් පෙට්ටියේ තියෙන දැති රෝද වගේ කොටසක් කීඩෑවාගේ පිටුපස පාද දෙකේ තියෙනවා. ඌ පනිද්දී උගේ පිටුපස පාද දෙකේ දැතිවලින් එකින් එකට සවි වෙලා තියෙන කොටස ක්‍රමක්‍රමයෙන් දිගහැරෙනවා. කකුල් දෙකම එක විදිහට ක්‍රියා කරන්නේ ඒ දැතිවලින් සම්බන්ධ වෙලා තියෙන කොටස් නිසයි. කකුල් දෙකම එක හා සමානව ක්‍රියා කළේ නැත්නම් ඌ පනිද්දී කැරකිලා වැටෙයි.

විශාල සත්තු පනිද්දී උන්ගේ පාද එක හා සමානව ක්‍රියා කරන්නේ ස්නායු පද්ධතියෙන් ලැබෙන සංඥා නිසයි. ඒත් කීඩෑවා වේගයෙන් පනින සතෙක් නිසා ඒ ක්‍රමය ඌට ගැළපෙන්නේ නැහැ. ඒ නිසා කලින් සඳහන් කරපු විදිහට උගේ වේගයට සරිලන ක්‍රමයක් උගේ ශරීරයේ තියෙන එක පුදුමයක් නෙමෙයි. “අපි වාහනවල ගියර් ගැන හිතද්දී ඒවා මිනිස්සු හොයාගත්ත දියුණු තාක්ෂණයක් කියලා හිතන්නේ වෙනත් දේවල් ගැන හොයලා බලලා නැති නිසයි” කියලා පර්යේෂකයෙක් වන ග්‍රෙගරි සුටන් කියනවා.

ඔබේ නිගමනය කුමක්ද? කීඩෑවන්ගේ පාදවල දැති සහිත කොටස ඇති වුණේ අහම්බෙන්ද? නැත්නම් ඒක නිර්මාණයක්ද?

^ 3 ඡේ. කීඩෑවන් වැඩුණාට පස්සේ කකුල්වල තියෙන දැති හැලෙන නිසා මේ උපක්‍රමය ක්‍රියාත්මක වෙන්නේ නැහැ.