Skip to content

පටුනට යන්න

ඇය දෙවිගේ ප්‍රමිති කඩ කළේ නැහැ

ඇය දෙවිගේ ප්‍රමිති කඩ කළේ නැහැ

සොං හීට වයස 11දී එයාගේ කොඳු ඇට පෙළ ඇදයි කියලා එයාගේ අම්මාට තේරුණා. දොස්තර කෙනෙක් කිව්වේ කොඳු ඇට පෙළ “C” නැත්නම් “S” හැඩයට පැත්තකට ඇද වෙන පැති කුදය (ස්කොලියෝසිස්) එයාට හැදිලා කියලයි. සැත්කමක් කරන්න ඕන වෙන තරමටම තත්වය බරපතළ වුණා. ඒත් ලේ ගන්න සොං හී කැමති වුණේ නැහැ. ඒ ගැන අපි එයාගෙන් ඇහුවා.

ලෙඩේ හඳුනාගත්ත මුලදීම ඔයාට උදව් කරන්න දොස්තරලාට පුළුවන් වුණාද?

අවුරුදු තුනක විතර කාලයක් තිස්සේ මං දොස්තරලා දෙන්නෙක් ළඟට ගියා. ඒත් මගේ කොඳු ඇට පෙළ ඇද වෙන එක නතර වුණේ නැහැ. ඒක කොච්චර දරුණු වුණාද කිව්වොත් හුස්ම ගන්න අමාරු වෙන තරමටම කොඳු ඇට පෙළෙන් මගේ හදවතයි පෙණහලුයි තෙරපෙන්න පටන්ගත්තා. ඒ නිසා සැත්කමක් කරන්නම ඕන වුණා.

සැත්කමකට ඔයා කැමති වුණාද?

ඔව්. ඒත් ඒක ලේසි වෙන්නේ නැහැ කියලා මට දැනගන්න ලැබුණා. මොකද ඒ වෙද්දී මගේ කොඳු ඇට පෙළ අංශක 116ක්ම ඇද වෙලයි තිබුණේ. බයිබලය මත පදනම් වෙලා තිබුණු මගේ ආගමික විශ්වාසයන් නිසා මං ලේ ගන්න කැමති වුණෙත් නැහැ. * ඒක ලොකු අභියෝගයක් වුණා.

සැත්කම කරන්න කැමති දොස්තර කෙනෙක්ව හම්බ වුණාද?

ඇමරිකාවේ අපි පදිංචි වෙලා හිටිය ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විශේෂඥ වෛද්‍යවරයෙක් ළඟට මායි අම්මායි ගියා. ඒත් මං ලේ ගන්නේ නැහැ කියලා කිව්වාම මේ සැත්කම කරන්න කවුරුත් කැමති වෙන එකක් නැහැ කියලයි එයා කිව්වේ. මට අවුරුදු 20ක්වත් ජීවත් වෙන්න ලැබෙන එකක් නැහැ කියලත් එයා කිව්වා. ඒ වෙද්දී මට අවුරුදු 14යි.

ඔයාගේ විශ්වාසයට හේතුව එයාට පැහැදිලි කළාද?

මං ඒක බයිබලයෙන් පැහැදිලි කළා. මිනිසුන්ගේ ලේත් සතුන්ගේ ලේත් දෙවියන් සලකන්නේ පරිශුද්ධ දෙයක් විදිහට. * ඊශ්‍රායෙල් සෙනඟ අතරින් කෙනෙක් ලේ කෑමට ගත්තොත් මරණ දඬුවම නියම වුණා. * ක්‍රියා 15:19, 20 ක්‍රිස්තියානීන්ට කියනවා ‘ලේවලින් වළකින්න’ කියලා. ඒ කියන්නේ ලේ කෑමට ගන්න එකවත් ශරීරගත කරන එකවත් සුදුසු නැහැ.

දොස්තර මොනවාද කිව්වේ?

සැත්කම කරන්න ලේ ගන්නම වෙනවා කියලයි එයා දිගටම කිව්වේ. අන්තිමේදී රෝහලේ බලධාරීන් කිව්වා ලේ අරන් සැත්කම කරනවා නම් ඒක නොමිලේ කරන්නම් කියලා.

නොමිලේ කරන්නම් කිව්වා! ඔයා ඒකට කැමති වුණාද?

ලේ නැතුව සැත්කම කරන්න කිසි කෙනෙක් කැමති වුණේ නැතත් ලේ ගන්න නම් අපි කැමති වුණේ නැහැ. අන්තිමේදී ලෙඩේ දරුණු වුණා. ඒ වෙද්දී මං බාල වයස්කාරියක් නිසා මාව උසාවියටත් ගෙනිච්චා. ඒත් සැත්කම කරන්න කැමති ශල්‍ය වෛද්‍යවරයෙක්ව හොයාගන්න උසාවියෙන් මට දවස් 30ක් කල් දුන්නා.

හොයාගන්න පුළුවන් වුණාද?

ඔව්. අපේ පළාතේ තියෙන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ රෝහල් සබඳතා කමිටුව මට උදව් කළා. සැත්කම කරන්න කැමති වුණු නිව් යෝර්ක්වල ඉන්න විශේෂඥයෙක් ගැන ඒ අය කිව්වා. ඒ නිසා දවස් 30ක් ඇතුළත දොස්තර කෙනෙක්ව හොයාගන්න මට පුළුවන් වුණා. *

සැත්කම සාර්ථක වුණාද?

ඔව්. සියයට සියයක්ම සාර්ථක වුණා. ශල්‍ය වෛද්‍ය රොබට් එම්. බර්න්ස්ටයින් මගේ කොඳු ඇට පෙළ කෙළින් කරන්න පුළුවන් විදිහට ලෝහ දඬු කිහිපයක් කොඳු ඇට පෙළ ළඟින් ඇතුල් කළා. ඒ සැත්කම කළේ අදියර දෙකකින්. පළවෙනි එක කරලා සති දෙකකට පස්සේ තමයි ඊළඟ එක කළේ.

අදියර දෙකකින්. ඒ ඇයි?

පළවෙනි එක කරද්දී වැඩිපුර ලේ ගියොත් ශරීරයට ඕන රතු රුධිරාණු වඩවාගන්න ඕන නිසයි සති දෙකක කාලයක් දුන්නේ. වෛද්‍ය කාර්ය මණ්ඩලය හොඳින් සැලසුම් කරලා, දක්ෂ විදිහට, පරෙස්සමින් දේවල් කරපු නිසා සැත්කම කරපු දවස් දෙකේදීම ලේ අපතේ ගියේ හරිම ටිකයි. ලේ අරන් සැත්කමක් කරද්දී අතුරු ආබාධ අද්දකින්න වෙනවා. හැබැයි මගේ සැත්කමෙන් පස්සේ මම හරිම ඉක්මනින් සම්පූර්ණයෙන්ම සුව වුණා. *

සැත්කම ගැන දොස්තරට හැඟුණේ කොහොමද?

හැම දොස්තර කෙනෙක්ම රෝගියෙක්ගේ විශ්වාසයන්, සිතුම් පැතුම් ඇතුළු හැම දෙයක් ගැනම සැලකිලිමත් වෙන්න ඕනේ

එයා හුඟක් සතුටු වුණා. “වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙනවා කියන්නේ සැත්කම් කරන එක විතරක් නෙවෙයි” කියලා ඒ දොස්තර කිව්වා. ඒ වගේම හැම දොස්තර කෙනෙක්ම රෝගියෙක්ගේ විශ්වාසයන්, සිතුම් පැතුම් ඇතුළු හැම දෙයක් ගැනම සැලකිලිමත් වෙන්න ඕනේ කියලා ඔහු කිව්වා. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විතරක් නෙවෙයි තවත් හුඟදෙනෙක් ඒකට එකඟයි.

^ 7 ඡේ. සොං හීත් ඇගේ අම්මාත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්. වයස අවුරුදු 16දී ඒ කියන්නේ 2012දී සොං හී සාක්ෂිකරුවෙක් විදිහට බව්තීස්ම වුණා.

^ 17 ඡේ. ලේ ශරීරගත කරන්නේ නැතුව ප්‍රතිකාර ලබා දෙන වෛද්‍යවරුන්ව හොයාගන්න රෝහල් සබඳතා කමිටුව අසනීපයෙන් ඉන්න සාක්ෂිකරුවන්ට උදව් කරනවා.

^ 21 ඡේ. ලේ ශරීරගත කරන එකේ අවධානම ගැන ඕස්ට්‍රේලියාවේ එක සෞඛ්‍ය ආයතනයක් (Clinical Excellence Commission, New South Wales) මෙහෙම කියලා තියෙනවා. “ලේ ශරීරගත කරනවා කියන්නේ පටක බද්ධ කිරීමක්. ඕනම දෙයක් ශරීරයට බද්ධ කරද්දී ස්වභාවයෙන්ම ශරීරය ඒ දේ ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා ඒ වගේ දෙයක් කරද්දී ඒකට අදාළ හැම දෙයක් ගැනම සලකලා බලන්න ඕනේ.”