Skip to content

පටුනට යන්න

දෙවි මිනිසුන් තුළ තිබෙන හොඳ දකිනවා

දෙවි මිනිසුන් තුළ තිබෙන හොඳ දකිනවා

දෙවිට ළං වෙන්න

දෙවි මිනිසුන් තුළ තිබෙන හොඳ දකිනවා

1 රාජාවලිය 14:13

“යෙහෝවා දෙවි සියලුදෙනාගේම සිත් සෝදිසි කර බලනවා. සෑම සිතුවිල්ලක්ම ඔහු හොඳින් තේරුම්ගන්නවා” කියා බයිබලයේ සඳහන් වෙනවා. (1 ලේකම් 28:9) යෙහෝවා දෙවි අපි ගැන කොතරම් සැලකිලිමත්ද කියා ඒ වදන්වලින් තේරුම්ගත හැකියි. අප සියලුදෙනාටම පව්කාරකම උරුම වී තිබුණත් දෙවි අවධානය දෙන්නේ අප තුළ තිබෙන හොඳ ගුණාංගවලටයි. පුරාණයේ සිටි අබියා ගැන දෙවි පැවසූ වදන්වලින් එය පැහැදිලි වෙනවා. අපි දැන් ඒ ගැන සලකා බලමු.

අබියාගේ පවුලේ අය යෙහෝවා දෙවි පිළිකුල් කරන ක්‍රියාවල නියැලුණා. ඔහුගේ පියා වූ යෙරොබොවම් බොරු දෙවිවරුන්ට නමස්කාර කිරීමෙහි පෙරමුණ ගෙන ක්‍රියා කළ කෙනෙක්. * ඒ නිසා යෙහෝවා දෙවි යෙරොබොවම්ගේ පවුලේ සියලුදෙනාවම විනාශ කර දැමීමට තීරණය කළා. (1 රාජාවලිය 14:10) නමුත් “යෙරොබොවම් රජුගේ ගෙයි වැසියන් අතරින්” අසනීපව සිටි අබියා තුළ පමණක් “යම් හොඳ ගුණාංගයක්” තිබෙන බව දෙවි දුටුවා. ඒ නිසා ඔහුව පමණක් ගෞරවාන්විතව තැන්පත් කරන්න කියා දෙවි අණ කළා. * (1 රාජාවලිය 14:1, 12, 13) එම වදන්වලින් අපට අබියා ගැන ඉගෙනගත හැක්කේ කුමක්ද?

අබියා දෙවිට විශ්වාසවන්තව සේවය කළ කෙනෙක් කියා බයිබලයේ සඳහන් වන්නේ නැහැ. කොහොමවුණත් සුළු ප්‍රමාණයෙන් හෝ ඔහු තුළ යම් හොඳක් තිබුණා. ඒ කුමක්ද? යුදෙව් ලේඛකයන් පවසන ආකාරයට ඔහු යෙහෝවා දෙවිට නමස්කාර කිරීම සඳහා යෙරුසලමට ගමන් කරන්න ඇති. එසේත් නැත්නම් යෙරුසලමට යෑමෙන් මිනිසුන්ව වැළැක්වීම සඳහා ඔහුගේ පියා පත් කළ මුරකරුවන්ව අබියා ඉවත් කරන්න ඇති කියාත් ඔවුන් පවසනවා.

අබියා තුළ තිබුණු හොඳ ගුණාංගය කුමක් වුණත් ඇත්තෙන්ම එය අගය කිරීමට වටිනවා. එසේ පැවසීමට හේතු දෙකක් සලකා බලන්න. එක් හේතුවක් නම් ඔහු අවංක චේතනාවකින් කටයුතු කිරීමයි. දෙවන හේතුව නම් අබියා නරක පවුල් පසුබිමක හැදී වැඩුණත් ඔහු තුළ යම් හොඳක් තිබීමයි. එක් විශාරදයෙක් පැවසුවේ “නරක පවුල් පසුබිමක හෝ නුසුදුසු වටපිටාවක හැදී වැඩුණු පුද්ගලයෙක් හොඳ ගතිගුණ ඇතුව ඉන්නවා නම් එය අගය කිරීමට වටිනවා” කියායි. එමෙන්ම තවත් විශාරදයෙක් අබියා ගැන මෙසේ සඳහන් කළා. “අඳුරු අහසක බැබළෙන තරු මෙන්ද කොළ නැති ගස් අතරේ කොළවලින් පිරී තිබෙන අලංකාර දේවදාර ගසක් මෙන්ද අබියා තුළ තිබුණු හොඳ ගුණාංග කැපීපෙනුණා.”

යෙහෝවා දෙවි මිනිසුන් තුළ තිබෙන යහපත් ගුණාංගවලට අවධානය දෙන කෙනෙකු බව 1 රාජාවලිය 14:13හි සඳහන් වදන්වලින් හෙළි වෙනවා. අබියා තුළ කොතරම් අඩු පාඩුකම් තිබුණත් ඔහු තුළ ‘යම් හොඳ ගුණාංගයක් තිබෙන’ බව දෙවි දුටුවා. ඒ නිසා දෙවි අබියාට ආශීර්වාද කළා. එක් විශාරදයෙක් පැවසුවේ අබියාගේ පවුලේ අය සමඟ සසඳන විට අබියාව “ගල් කැට අතරේ තිබෙන මුතු ඇටයකට” සමාන කළ හැකියි කියායි.

අපි සියලුදෙනාම පව්කාරකම උරුම කරගෙන සිටියත් යෙහෝවා දෙවි අප තුළ තිබෙන යහපත් ගුණාංගවලට අවධානය යොමු කරන බව දැනගැනීමට ලැබීම ඇත්තෙන්ම ප්‍රීතියට හේතුවක්. (ගීතාවලිය 130:3) එවැනි දෙවි කෙනෙකුට තව තවත් ළං වීමට ඔබ පෙලඹෙන්නේ නැද්ද!

[පාදසටහන්වල]

^ 5 ඡේ. උතුරු දසගෝත්‍රයට අයත් ඊශ්‍රායෙල්වරුන් යෙරුසලමට ගොස් දෙවිට නමස්කාර කිරීම වැළැක්වීම සඳහා යෙරොබොවම් වසු රූප සාදා ඒවාට නමස්කාර කිරීමට ඊශ්‍රායෙල්වරුන්ව පෙලඹෙව්වා.

^ 5 ඡේ. අතීතයේදී යම් පුද්ගලයෙකුට ගෞරවාන්විත භූමිදානයක් නොලැබීම සැලකුවේ දෙවිගේ අනුමැතිය අහිමි වී ඇති බවට සාක්ෂියක් ලෙසයි.—යෙරෙමියා 25:32, 33.