Skip to content

පටුනට යන්න

යේසුස් දේශපාලනයට සම්බන්ධ නොවුණේ ඇයි?

යේසුස් දේශපාලනයට සම්බන්ධ නොවුණේ ඇයි?

යේසුස් දේශපාලනයට සම්බන්ධ නොවුණේ ඇයි?

ක්‍රිස්තු වර්ෂ 32 එක් දිනක සිය දහස් ගණනක් සෙනඟ යේසුස් වෙත පැමිණියා. එයට හේතුව වූයේ ඒ වන විට යේසුස් ලෙඩුන් සුව කර මිය ගිය අයට නැවත ජීවිතය ලබා දුන් බව ඔවුන්ට ආරංචි වී තිබීමයි. යේසුස් තමා වෙත පැමිණි ඒ විශාල ජනකායට දෙවි පිළිබඳව සත්‍යය කියා දී ඔවුන් අතර සිටි රෝගීන්වත් සුව කළා. ඉන්පසු කුසගින්නේ සිටි ඒ මිනිසුන්ට ආහාර ලබා නොදී පිටත් කිරීමට අකමැති වූ යේසුස් ඔවුන්ට ආහාර දීමට පියවර ගත්තා. ඒ සඳහා ඔහු මුලින්ම ඔවුන්ව කුඩා කණ්ඩායම්වලට වෙන් කළා. පසුව ඔහු දෙවිට යාච්ඤා කරමින් ඔහුගේ උපකාරය ඇතුව ආශ්චර්යවත් ලෙස ඔවුන්ට ආහාර ලබා දුන්නා. එම ආහාර නාස්ති වෙනවාට යේසුස් අකමැති වූ නිසා ඉතිරි වූ ආහාර කූඩවලට එකතු කරන්න කියාත් ඔහු තම ගෝලයන්ට පැවසුවා. යේසුස් කළ එම ආශ්චර්යවත් ක්‍රියාව දැකීමෙන් මිනිසුන් පුදුමයට පත් වුණා. නමුත් ඉන්පසු සිදු වූයේ කුමක්ද?—යොහන් 6:1-13.

යේසුස් බලවත් ක්‍රියා කරමින් මිනිසුන්ගේ අවශ්‍යතා ඉටු කළ ආකාරය සහ දක්ෂ නායකයෙකු ලෙස විශාල ජනකායක් හොඳින් හැසිරවූ ආකාරය දැකීමෙන් ඔහු රජෙක් වීමට සුදුසුයි කියා මිනිසුන් සිතුවා. (යොහන් 6:14) ඔවුන් ඒ වන විට විදේශ පාලනයකට නතු වී සිටි නිසා ඔවුන් දැඩි පීඩාවලට මුහුණ දෙමින් සිටියා. එමෙන්ම දක්ෂ පාලකයෙකුගේ අඩුවක්ද ඔවුන්ට තිබුණා. ඒ නිසා යේසුස්ව රජකමට පත් කිරීමට ඔවුන් උත්සාහ කළා. නමුත් යේසුස් ඊට ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද?

මිනිසුන් “එකතු වී ඔහුව අල්ලාගෙන රජකමට පත් කිරීමට අදහස් කරගෙන සිටින බව තේරුම්ගත් යේසුස්, එතැනින් පිටත් වී නැවතත් තනිව කන්දට ගියේය” කියා බයිබලයේ සඳහන් වෙනවා. (යොහන් 6:15) දේශපාලනමය කාරණා සම්බන්ධයෙන් යේසුස්ගේ ස්ථාවරය කුමක්ද කියා ඉන් පැහැදිලි වෙනවා. දේශපාලනයට සම්බන්ධ වීම යේසුස් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළා. ඔහුගේ අනුගාමිකයන්ද ඒ ආකාරයෙන්ම ක්‍රියා කළ යුතුයි කියා යේසුස් පැවසුවා. (යොහන් 17:16) යේසුස් දේශපාලනයට සම්බන්ධ නොවුණේ ඇයි කියා අපි දැන් සලකා බලමු.

දේශපාලනයට සම්බන්ධ නොවීමට හේතු

දේශපාලනයට සම්බන්ධ නොවීමට යේසුස් ගත් ස්ථාවරය සම්පූර්ණයෙන්ම බයිබලයට එකඟයි. එසේ පැවසීමට හේතු දෙකක් සලකා බලන්න.

“මිනිසා අන් අයට හානියක් වන ලෙසින් තම බලය ක්‍රියාත්මක කර ඇත” කියා බයිබලයේ සඳහන් වෙනවා. (දේශනාකාරයා 8:9) ඉතිහාසය දෙස හැරී බැලූ විට ඒ වදන් කොතරම් සත්‍යද කියා අමුතුවෙන් කිව යුතු නැහැ. පොළොවට පැමිණීමට පෙර යේසුස් ස්වර්ගයේ ජීවත් වූ නිසා මිනිසුන් හොඳ චේතනාවෙන් දේශපාලනයට පිවිසුනත් ඔවුන්ට මිනිසුන් බිලියන ගණනකගේ අවශ්‍යතා සපුරන්න නොහැකි බව යේසුස් දැක තිබෙනවා. (යොහන් 17:5) එමෙන්ම මිනිසුන්ව පාලනය කිරීමේ හැකියාව දෙවි මිනිසුන්ට ලබා නොදුන් බවත් ඔහු දැන සිටියා. (යෙරෙමියා 10:23) එමනිසා මිනිසුන්ගේ ප්‍රශ්න ගැටලු විසඳීමට මිනිස් ආණ්ඩුවලට නොහැකි බව ඔහු හොඳින්ම දැන සිටියා.

“මේ මුළු ලෝකයම දුෂ්ටයාගේ බලපෑමට යටත්ව” තිබෙනවා කියාත් බයිබලයේ සඳහන් වෙනවා. (1 යොහන් 5:19) ඇත්තටම ඒ දුෂ්ටයා කවුද? ඒ වෙන කිසිවෙකුවත් නොව යක්ෂයායි. ඒ නිසා කෙනෙක් මොන තරම් හොඳ අරමුණක් ඇතුව දේශපාලනයට පිවිසුනත් ඔහුට ‘මේ ලෝකයේ පාලකයාගෙන්’ එනම් යක්ෂයාගේ බලපෑමෙන් මිදෙන්න හැකියාවක් නැහැ. (යොහන් 12:31; 14:30) “මගේ රාජ්‍යය මේ ලෝකයට කිසිම ආකාරයකින් සම්බන්ධ නැහැ” කියා යේසුස් එක් අවස්ථාවකදී යුදයේ ආණ්ඩුකාරයාට පැවසුවේ ඒ නිසයි. (යොහන් 18:36) දෙවි විසින් පත් කරන ලද රජු හැටියට යේසුස් මුළු පොළොවම පාලනය කිරීමට නියමිතව සිටි නිසා ඔහු මිනිස් පාලනවලට යම් ආකාරයකින් හෝ සහයෝගය දුන්නා නම් එය දෙවිගේ රාජ්‍යයට ද්‍රෝහි වීමක් වෙනවා.

මිනිස් පාලකයින්ට කොයිම ආකාරයකින්වත් කීකරු වන්න එපා කියා යේසුස් තම අනුගාමිකයන්ට ඉගැන්වූවාද? නැහැ. ඒ වෙනුවට මිනිස් පාලනවලට දිය යුතු නිසි තැන සහ දෙවිට දිය යුතු තැන කුමක්ද කියා ඔහු පෙන්නුම් කළා.

යේසුස් මිනිස් පාලකයන්ට ගරු කළා

දිනක් යේසුස් දෙවිගේ මාලිගාවේ උගන්වමින් සිටියදී විරුද්ධවාදීන් පිරිසක් ඔහුව වරදට හසු කරගැනීමේ අරමුණින් මිනිසුන් බදු ගෙවිය යුතුද කියා ඔහුගෙන් ඇසුවා. යේසුස් ඊට ‘නැහැ’ කියා පිළිතුරු දුන්නා නම් එය රෝම අධිරාජ්‍යයට එරෙහිව කැරලි ගැසීමක් ලෙස සැලකෙන අතර බදු ගෙවීමෙන් පීඩාවට පත් ජනයා අධිරාජ්‍යයට විරුද්ධව නැඟී සිටීමටත් ඉඩ තිබුණා. අනික් අතට යේසුස් ‘ඔව්’ කියා පිළිතුරු දුන්නා නම් අයුක්තිසහගත ලෙස බදු ගෙවීමට සිදු වීම ගැන යේසුස්ට කිසිම හැඟීමක් නැහැ කියා අසරණ මිනිසුන්ට හැඟෙන්න ඉඩ තිබුණා. ඒ නිසා යේසුස් ඉතා බුද්ධිමත් ලෙස එම ප්‍රශ්නයට මෙසේ පිළිතුරු දුන්නා. “සීසර්ට අයිති දේ සීසර්ටත් දෙවිට අයිති දේ දෙවිටත් දෙන්න.” (ලූක් 20:21-25) ඒ අනුව යේසුස්ගේ අනුගාමිකයන්ට දෙවි ඉදිරියෙත් සීසර් එනම් මිනිස් පාලකයන් ඉදිරියෙත් ඉටු කිරීමට වගකීම් තිබෙන බව පැහැදිලියි.

ඕනෑම ආණ්ඩුවක් රටේ පුරවැසියන්ගෙන් යම් දේවල් බලාපොරොත්තු වෙනවා. අවංකව කටයුතු කිරීම, නිසි ලෙස බදු මුදල් ගෙවීම සහ රටේ පවතින නීතිවලට කීකරු වීම ඉන් කිහිපයක් පමණයි. කොහොමවුණත් යේසුස් ඒ දේවලට අවනත වුණාද? ඔහු ‘සීසර්ට අයිති දේ සීසර්ට’ දුන්නාද? ඇත්තෙන්ම යේසුස් හැදී වැඩුණේ රජයේ නීතිවලට කීකරු වූ දෙමාපියන් යටතෙයි. උදාහරණයකට ලියාපදිංචි වීම සඳහා තම උපන් බිම වෙත යන්න කියා ආණ්ඩුව නියෝග කළ විට ඔහුගේ දෙමාපියන් වූ යෝසෙප් සහ මරියා කිලෝමීටර් 150ක් පමණ දුර ගෙවාගෙන බෙත්ලෙහෙමට ගියා. ඒ වන විට මරියා ගැබ්ගෙන සිටියත් ඔවුන් ආණ්ඩුවේ නියෝගයට කීකරු වුණා. (ලූක් 2:1-5) ඔවුන් මෙන් යේසුස්ද නීතියට කීකරු වූ අතර සමහර අවස්ථාවලදී තමන්ට අදාළ නැති බදු මුදල් ගෙවන්නත් ඔහු එකඟ වුණා. (මතෙව් 17:24-27) කොයිම අවස්ථාවකදීවත් ඔහු තමන් සතු බළතල අනිසි ලෙස භාවිත කරමින් තමාට අදාළ නැති දේවල් කිරීමට උත්සාහ කළේ නැහැ. (ලූක් 12:13, 14) ඉන් පැහැදිලි වෙන්නේ යේසුස් දේශපාලනයට සම්බන්ධ වීම ප්‍රතික්ෂේප කළත් ඔහු ආණ්ඩුවට නිසි ගෞරවය ලබා දුන් බවයි. කොහොමවුණත් ‘දෙවිට අයිති දේ දෙවිට දෙන්න’ කියා පැවසීමෙන් යේසුස් අදහස් කළේ කුමක්ද?

යේසුස් “දෙවිට අයිති දේ” දෙවිට දුන්නේ කෙසේද?

එක අවස්ථාවකදී නීතියේ උතුම්ම ආඥාව කුමක්ද කියා යම් පුද්ගලයෙක් යේසුස්ගෙන් ඇසුවා. එවිට යේසුස් ඊට මෙසේ පිළිතුරු දුන්නා. “‘ඔබේ දෙවි වන යෙහෝවාට ඔබේ මුළු හදවතින්ම ප්‍රේම කරන්න. ඔහු වෙනුවෙන් ඔබේ මුළු ජීවිතයම කැප කරන්න. නිතරම ඔබේ මනසේ මුල් තැන හිමි විය යුත්තේ ඔහුටයි.’ උතුම්ම සහ පළමුවෙනි ආඥාව එයයි. දෙවෙනි ආඥාවත් ඒ හා සමානව වැදගත්. එනම්, ‘ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න.’” (මතෙව් 22:37-39) ඒ අනුව ‘දෙවිට අයිති දේ දෙවිට දෙන්න’ කියා පැවසීමේදී යේසුස් අදහස් කළේ පුද්ගලයෙක් දෙවිට දිය යුතු මූලිකම දෙය ප්‍රේමය බවයි. එලෙස දෙවිට ප්‍රේම කරන කෙනෙක් සෑම කාරණාවකදීම දෙවිට විශ්වාසවන්තව සිටීමට පෙලඹෙනවා.

දෙවිට ප්‍රේම කරමින් ඔහුගේ රාජ්‍යයට පක්ෂව සිටින අතරේ කෙනෙකුට දේශපාලනික කටයුතුවලත් නිරත විය හැකිද? යේසුස් එක අවස්ථාවකදී මෙසේ පැවසුවා. “ස්වාමිවරුන් දෙදෙනෙකුට දාසයෙක් වෙන්න කිසිවෙකුටවත් බැහැ. මන්ද ඔහු එක් කෙනෙකුට වෛර වී අනික් තැනැත්තාට ප්‍රේම කරන්න පෙලඹෙයි. නැතහොත් ඔහු එක් කෙනෙකුට ඇලුම් වී අනික් තැනැත්තාව හෙළාදකියි.” (මතෙව් 6:24) යේසුස් එම වදන් පැවසුවේ දෙවිට සේවය කරන අතරේ ධනය පසුපස හඹා යෑමට නොහැකි බව පෙන්නුම් කිරීමටයි. නමුත් එහි සඳහන් ප්‍රතිපත්තිය දේශපාලනික කටයුතු සම්බන්ධයෙන්ද ඒ ආකාරයෙන්ම අදාළ වෙනවා. දෙවිට සේවය කරන අතරේ කෙනෙකුට දේශපාලනික කටයුතුවල නිරත විය නොහැකි බව යේසුස් හොඳින්ම දැන සිටියා. එමෙන්ම මුල් සියවසේ සිටි ක්‍රිස්තියානීන්ද ඒ බව තේරුම්ගෙන සිටියා.

පුරාණයේ සිටි යේසුස්ගේ අනුගාමිකයන් කිසිම ආකාරයකින්වත් දේශපාලන කටයුතුවලට හවුල් වූයේ නැති බව පුරාණ වාර්තාවලින් පැහැදිලි වෙනවා. යේසුස් මෙන් ඔවුන්ද සැබෑ දෙවිට නමස්කාර කළ නිසා රෝම අධිරාජ්‍යයටවත් එහි අධිරාජ්‍යයාටවත් යුධ කටයුතුවලදී සහයෝගය දුන්නේ නැහැ. එමෙන්ම අධිරාජ්‍යයට සම්බන්ධ නිළතල දැරීමත් ඔවුන් ප්‍රතික්ෂේප කළා. ප්‍රතිඵලයක් ලෙස ඔවුන් විවිධ හිංසා පීඩාවලට ලක් වුණා. ඔවුන්ට විරුද්ධව නැඟී සිටි සතුරන් ඔවුන්ට චෝදනා කළේ ඔවුන් “මිනිස් සංහතියට ද්‍රෝහි වන්නන්” කියායි. නමුත් එම චෝදනාව ගැන පැවසිය හැක්කේ කුමක්ද?

සැබෑ ක්‍රිස්තියානීන් අන් අය ගැන සැලකිලිමත් වෙනවා

කලින් සඳහන් කළ ලෙස නීතියේ දෙවනුවට උතුම්ම ආඥාව ලෙස යේසුස් පැවසුවේ “ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න” කියායි. එමනිසා සැබෑ ක්‍රිස්තියානීන් කොයිම අවස්ථාවකදීවත් මිනිසුන්ට ද්‍රෝහි වන්නේ නැහැ. යේසුස් මිනිසුන්ට බොහෝසෙයින් ප්‍රේම කළ නිසා ඔවුන් වෙනුවෙන් වෙහෙස මහන්සි වී සේවය කළා. එමෙන්ම ඔහු ඇතැම් අවස්ථාවලදී මිනිසුන්ගේ උවමනා එපාකම් සඳහත් උපකාර කළා.—මාක් 5:25-34; යොහන් 2:1-10.

කොහොමවුණත් යේසුස් ප්‍රසිද්ධව සිටියේ කවුරුන් ලෙසද? මිනිසුන් ඔහුව සුව කරන්නෙක්, දහස් ගණනකට කෑම සපයන්නෙක් හෝ මළවුන්ව නැවත නැඟිටුවන්නෙක් ලෙස හැඳින්වූයේ නැහැ. ඒ වෙනුවට මිනිසුන් ඔහුට ආමන්ත්‍රණය කළේ ගුරුතුමෙනි කියායි. (යොහන් 1:38; 13:13) තමන් පොළොවට පැමිණියේ දෙවිගේ රාජ්‍යය ගැන මිනිසුන්ට දේශනා කිරීමට කියා යේසුස් ඔවුන්ට පැහැදිලි කර දුන්නා.—ලූක් 4:43.

යේසුස්ගේ සැබෑ අනුගාමිකයන්ද යේසුස්ව අනුගමනය කරමින් මහත් කැපවීමකින් මිනිසුන්ට දෙවිගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය දේශනා කරනවා. ඇත්තෙන්ම ලොව පුරාම සිටින මිනිසුන්ට දෙවිගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය දේශනා කරන්න කියා යේසුස් තම අනුගාමිකයන්ට ආඥා කළා. (මතෙව් 24:14; 28:19, 20) අනාගතයේදී දෙවිගේ රාජ්‍යය මේ මුළු පොළොවම පාලනය කිරීමට නියමිතයි. එමෙන්ම ඒ රාජ්‍යය මගින් දෙවිගේ කැමැත්ත ඉටු කරමින් මිනිසුන් අද්දකින සියලුම දුක් වේදනාවන් සහ මරණය සදහටම නැති කර දමනු ලබනවා. (මතෙව් 6:9, 10; එළිදරව් 21:3, 4) දෙවිගේ රාජ්‍යය සම්බන්ධයෙන් යේසුස් දේශනා කළ එම පණිවිඩය “ශුභාරංචියක්” කියා බයිබලයේ හඳුන්වා තිබෙන්නේ හොඳ හේතු ඇතුව බව පැහැදිලියි.—ලූක් 8:1.

අද සිටින යේසුස්ගේ සැබෑ අනුගාමිකයන්ව ඔබට හඳුනාගත හැක්කේ කෙසේද? ඔවුන් දේශපාලනික කටයුතුවල නිරත වෙන අය විය හැකිද? නැත්නම් යේසුස් මෙන් දෙවිගේ රාජ්‍යය පිළිබඳව ශුභාරංචිය මිනිසුන්ට දැනුම් දීමට උපරිම වෑයම් දරන අය විය හැකිද?

දෙවිගේ රාජ්‍යය පිළිබඳව තවත් විස්තර දැනගැනීමට සහ දැන් එය ඔබගේ ජීවිතයට බලපාන්නේ කෙසේද කියා දැනගැනීමට ඔබ කැමතිද? එසේනම් ඔබේ ප්‍රදේශයේ සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව හමු වෙන්න කියා හෝ www.watchtower.org නම් වෙබ් අඩවියට පිවිසෙන්න කියා අපි ඔබට උනන්දු කරන්න කැමතියි.

[24, 25වන පිටුවල කොටුව⁄පින්තූර]

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් මිනිසුන්ට උපකාර කරනවාද?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දේශපාලනමය කටයුතුවලට හවුල් නොවුණත් මිනිසුන්ගේ ජාතිය හෝ පසුබිම නොතකා ඔවුන්ට උපකාර කිරීමට හැකි උපරිමය කරනවා. ඒ සම්බන්ධයෙන් උදාහරණ කිහිපයක් සලකා බලන්න.

▪ ලොව පුරාම සාක්ෂිකරුවන් මිලියන හතකට වඩා සිටින අතර ඔවුන් මිනිසුන්ට බයිබලයේ සඳහන් ඉගැන්වීම් කියා දීමට සෑම වසරකම පැය බිලියන 1.5කට වඩා වැඩියෙන් වැය කරනවා. නරක පුරුදු අත්හැරීමට, සන්තෝෂවත් පවුල් ජීවිතයක් ගත කිරීමට මෙන්ම සාර්ථක ජීවිතයක් ගත කිරීමට බයිබලයේ සඳහන් තොරතුරු උපකාරවත් වන්නේ කෙසේද කියා ඔවුන් මිනිසුන්ට කියා දෙනවා.

▪ කිසිම පොතක් මුද්‍රණය නොවන භාෂා කිහිපයක් ඇතුළුව තවත් භාෂා 500කටත් වඩා වැඩි ප්‍රමාණයකින් ඔවුන් පොත් පත් මුද්‍රණය කරන අතර කියවීමට කැමති අය සඳහා එම ප්‍රකාශන අය කිරීමකින් තොරව බෙදාහරිනවා.

▪ මිනිසුන් සමඟ තර්කානුකූලව සහ පැහැදිලිව කතා කිරීම සඳහා ඔවුන් පවත්වන වැඩසටහන්වලින් මිලියන ගණන් සෙනඟ ප්‍රයෝජන ලබනවා.

▪ ලිවීමට සහ කියවීමට නොහැකි වූ ලොව පුරා සිටින දහස් ගණනක් අය ඔවුන් සංවිධානය කළ වැඩසටහන්වලින් (සාක්ෂරතා වැඩසටහන්) ප්‍රයෝජන ලබා තිබෙනවා.

▪ සාක්ෂිකරුවන්ගේ නමස්කාර මධ්‍යස්ථාන ඉදි කිරීමට ස්වේච්ඡා සේවකයන්ව පුහුණු කිරීම සඳහා ඔවුන් ගොඩනැඟිලි ඉදි කිරීමේ කමිටු 400කට වඩා වැඩි ගණනක් පිහිටුවා තිබෙනවා. එමෙන්ම පසුගිය දශකය පුරා ඔවුන් නමස්කාර මධ්‍යස්ථාන 20,000කට වඩා වැඩි ප්‍රමාණයක් ගොඩනඟා තිබෙනවා.

▪ ස්වභාවික විපත්වලට මුහුණ දෙන අයට උපකාර කිරීම සඳහා ඔවුන් ලොව පුරාම සහන සේවා කමිටු පිහිටුවා තිබෙනවා. එක්සත් ජනපදයේ ඇති වූ චණ්ඩමාරුත නිසා අලාභ හානි වූ නමස්කාර මධ්‍යස්ථාන 90කට වැඩි ප්‍රමාණයක් සහ නිවාස 5,500ක් සාක්ෂිකරුවන් අතර සිටින ස්වේච්ඡා සේවකයන් විසින් නැවත ඉදි කර තිබෙනවා.

[23වන පිටුවේ පින්තූරය]

මිනිසුන් තමන්ව රජකමට පත් කිරීමට අදහස් කරගෙන සිටින බව තේරුම්ගත් යේසුස් එතැනින් පිටත් වී ‘නැවතත් තනිව කන්දට ගියා’