Skip to content

පටුනට යන්න

ඇය සිතේ තිබූ සියලු බර යෙහෝවා දෙවි පිට තැබුවා

ඇය සිතේ තිබූ සියලු බර යෙහෝවා දෙවි පිට තැබුවා

අනුකරණය කිරීමට වටිනා ආදර්ශ

ඇය සිතේ තිබූ සියලු බර යෙහෝවා දෙවි පිට තැබුවා

එල්කානා සෑම අවුරුද්දකම තම පවුලේ අය සමඟ ෂීලෝ නුවරට ගොස් යෙහෝවා දෙවිට පූජා ඔප්පු කරන්න පුරුදු වී සිටියා. ඔහු එසේ කළේ සම්මුඛ වීමේ කූඩාරම ෂීලෝ නුවරේ පිහිටා තිබුණු නිසයි. එවැනි අවස්ථාවන් ඉතා ප්‍රීතියෙන් සමරන්න කියා යෙහෝවා දෙවි පවසා තිබුණා. (ද්විතීය කතාව 16:15) ඒ නිසා එල්කානාගේ බිරිඳ වූ හන්නාද කුඩා කාලයේ සිට එවැනි උත්සවයන්වලට ප්‍රීතියෙන් හවුල් වෙන්න ඇති. නමුත් මේ අවස්ථාවේදී ඇයට ෂීලෝ නුවරට යන්න සිදු වෙන්නේ දැඩි සිත් වේදනාවකින්. කොහොමවුණත් ඇගේ වේදනාව මොහොතකට හෝ අමතක කිරීමට ඇය ෂීලෝ නුවරට යෑම සඳහා අවශ්‍ය දේවල් සූදානම් කරන්න පටන්ගත්තා.

එල්කානා වැනි ආදරණීය ස්වාමිපුරුෂයෙක් තමන්ට ලැබීම ගැන හන්නා බොහෝසෙයින් සතුටු වෙන්න ඇති. කොහොමවුණත් අතීතයේ පැවති යුදෙව් සම්ප්‍රදායට අනුව පුරුෂයෙකුට භාර්යාවන් කිහිපදෙනෙකුව විවාහ කරගැනීමට නිදහස තිබුණු නිසා එල්කානා අවුරුදු කිහිපයකට පසුව පෙනින්නාවත් විවාහ කරගත්තා. නමුත් පෙනින්නා නිතරම උත්සාහ කළේ හන්නාගේ සිත පාරවමින් ඇයව රිදවන්නයි. ඒ නිසා යෙහෝවා දෙවිගේ නමස්කාරය හා සම්බන්ධ ප්‍රීතිමත් අවස්ථාවලදීත් ඇය හන්නාව දුකට පත් කළා. ඒ වුණත් හන්නා දෙවි කෙරෙහි විශ්වාසය තබා ඒ ගැටලුවලට සාර්ථකව මුහුණ දුන්නා. ඇය ඒ දේ කළේ කෙසේද කියා අපි දැන් සලකා බලමු. එවිට ප්‍රශ්න ගැටලුවලට මුහුණ දෙන්න සිදු වුණත් සතුටින් සිටිය හැකි ආකාරය ගැන අපිට ඇගෙන් බොහෝ දේවල් ඉගෙනගත හැකියි.

‘ඇයි ඔබ දුකෙන් ඉන්නේ?’

හන්නාට මුහුණ දීමට සිදු වූ ගැටලු දෙකක් ගැන බයිබලයේ සඳහන් වෙනවා. එක් ගැටලුවක් නම් පෙනින්නා ඇයට නිතරම නින්දා අපහාස කිරීමයි. දෙවන ගැටලුව ඇය වඳ ස්ත්‍රීයක් වීමයි. ඇත්තෙන්ම මවක් වීමට ආශාවෙන් සිටින ඕනෑම බිරිඳකට ඒ තත්වය දරාගැනීම ලෙහෙසි නැහැ. හන්නා ජීවත් වූ කාලයේ පැවති සමාජයේ වඳ ස්ත්‍රීන්ට ඉතා අවමන්සහගත තත්වයන්වලට මුහුණ දීමට සිදු වුණා.

දරුවන් නොලැබීමේ වේදනාව දරාගැනීම හන්නාට දුෂ්කර දෙයක් වූයේ පෙනින්නා ඒ ගැන නිතර නිතර ඇයට නිග්‍රහ කළ නිසයි. ඇත්තෙන්ම ස්වාමිපුරුෂයෙක් භාර්යාවන් කිහිපදෙනෙකුව විවාහ කරගත් විට ඊර්ෂ්‍යාව, තරඟකාරීබව සහ සිත් තැවුල් ඇති වීමට තිබෙන ඉඩ කඩ වැඩියි. මිනිස් ඉතිහාසයේ ආරම්භයේදීම දෙවි සැලසුම් කළේ එක් පුරුෂයෙක් එක් ස්ත්‍රීයක් සමඟ පමණක් යුග දිවිය ගත කිරීමයි. * (උත්පත්ති 2:24) නමුත් ඒ සැලැස්මට පිටුපෑමෙන් ගැටලුසහගත තත්වයන් ඇති වන අතර එවැනි සිද්ධීන් ගැන බයිබලයේද සඳහන් වෙනවා. එල්කානාගේ පවුල් ජීවිතය ඊට කදිම උදාහරණයක්.

එල්කානා වැඩියෙන්ම ආදරය කළේ හන්නාටයි. ඒ නිසා පෙනින්නා හන්නාට ඊර්ෂ්‍යා කරමින් ඇයව රිදවීමට නොයෙකුත් දේවල් කළා. පෙනින්නාට දරුවන් කිහිපදෙනෙකු සිටි නිසා ඇය කටයුතු කළේ ඉතා අහංකාර ලෙසයි. ඇයට හන්නාගේ තත්වය ගැන කිසිම අනුකම්පාවක් දැනුණේ නැහැ. ඒ වෙනුවට හන්නාගේ වඳභාවය අතකොළුවක් කරගෙන ඇය හිතාමතාම හන්නාව රිදෙව්වා. හන්නාව “ලැජ්ජාවට පත් කරවන පිණිස” පෙනින්නා “නිතරම ඇයට නින්දා අපහාස කළා” කියා බයිබලයේ සඳහන් වන්නේ ඒ නිසයි.—1 සාමුවෙල් 1:6.

සමහරවිට හන්නාව රිදවීමට පෙනින්නාට හොඳම අවස්ථාව උදා වෙන්න ඇත්තේ ඔවුන් වාර්ෂිකව දෙවිට නමස්කාර කිරීම සඳහා ෂීලෝ නුවරට ගිය අවස්ථාවලදී විය හැකියි. එසේ සිතීමට තිබෙන හේතුව කුමක්ද? ෂීලෝ නුවරේදී දෙවිට පූජා ඔප්පු කිරීමෙන් පසුව එල්කානා, පෙනින්නාටත් ‘ඇගේ පුත්‍රයන්ටත් දූවරුන්ටත්’ පූජා කළ දෙයින් කොටස බැගින් දුන්නා. නමුත් හන්නාට දරුවන් සිටියේ නැති නිසා ඇයට ලැබුණේ ඇගේ කොටස පමණයි. එවැනි අවස්ථාවලදී පෙනින්නා අහංකාර ලෙස හැසිරෙමින් හන්නාව තව තවත් රිදෙව්වා. එය හන්නාට කොතරම් තදින් බලපෑවාද කියනවා නම් ඇය නොකා නොබී ඒ ගැන දුක් වුණා. දරුවෙක් නොමැතිකම නිසා හන්නා දුක් වෙන ආකාරය දුටු එල්කානා ඇයව සනසන්න උත්සාහ කරමින් ඇගෙන් මෙසේ ඇසුවා. “හන්නා, ඇයි ඔබ මේ විදිහට අඬන්නේ? ඇයි ඔබ නොකා නොබී දුකෙන් ඉන්නේ? පුත්තු දහදෙනෙකුට වඩා ඔබට මාව වටින්නේ නැද්ද?”—1 සාමුවෙල් 1:4-8.

හන්නා දුකින් සිටීමට හේතුව එල්කානා අවබෝධ කරගෙන සිටියා. එමනිසා ඇයව සැනසවීම සඳහා එල්කානා පැවසූ දෙයින් ඔහු තමාට කොතරම් ආදරය කරනවාද කියා හන්නාට දැනෙන්න ඇති. * කොහොමවුණත් පෙනින්නා කටයුතු කරන ආකාරය ගැන හන්නා, එල්කානාට කිසිවක් පැවසූ බව බයිබලයේ සඳහන් වෙන්නේ නැහැ. සමහරවිට එසේ කළා නම් ප්‍රශ්නය තව තවත් උග්‍ර වෙයි කියා හන්නා සිතන්න ඇති. ඒ ගැන පෙනින්නාට දැනගන්න ලැබුණොත් ඇය තව තවත් නපුරුකම් කරයිද? සමහරවිට පෙනින්නාට අමතරව ඇගේ දරු දැරියන් ඇතුළු සේවක සේවිකාවනුත් හන්නාව රිදවයිද? එසේ වූවොත් පවුලේ අයගෙන් තමන් තව තවත් කොන් වී ඇති බවක් හන්නාට දැනෙන්න ඉඩ තිබෙනවා.

හන්නාව රිදවන්න පෙනින්නා කළ හැම දෙයක්ම එල්කානා දැන සිටියත් නැතත් යෙහෝවා දෙවි ඒ සියල්ලම දුටුවා. ඇය කළ නපුරුකම් ගැන බයිබලයේ සඳහන් වී තිබෙන්නේ ඒ නිසයි. ඊර්ෂ්‍යාව නිසා අන් අයට නපුරුකම් කරන සියලුදෙනාටම එය අනතුරු ඇඟවීමක් සපයනවා. එමෙන්ම අසාධාරණකම්වලට මුහුණ දෙන අහිංසක අය වෙනුවෙන් යෙහෝවා දෙවි නියමිත කාලයේදී යුක්තිය ඉටු කරන බවත් හන්නාගේ සිද්ධියෙන් පැහැදිලි වෙනවා. (ද්විතීය කතාව 32:4) යෙහෝවා දෙවි තමන් වෙනුවෙන් යුක්තිය ඉටු කරන බවට හන්නා තුළ කොතරම් නිසැකකමක් තිබුණාද කියනවා නම් ඇගේ සියලුම ප්‍රශ්න ගැටලු යෙහෝවා දෙවිට කියන්න ඇය පෙලඹුණා.

‘ඇය තවදුරටත් කනස්සලු වුණේ නැහැ’

ෂීලෝ නුවරට යෑම සඳහා එල්කානාගේ දරුවන් ඇතුළු පවුලේ සියලුදෙනාම උනන්දුවෙන් සූදානම් වෙන්න ඇති. ඒෆ්‍රායිම් කඳුකරය හරහා ෂීලෝ නුවරට යෑම සඳහා කිලෝමීටර් 30කට වඩා වැඩි දුරක් තිබෙනවා. * ඒ ගමන පයින් යනවා නම් ඒ සඳහා දවසක් හෝ දෙකක් ගත විය හැකියි. කෙසේවෙතත් ඒ ගමනේදී පෙනින්නා තමන්ට නපුරු විදිහට සලකයි කියා හන්නා දැන සිටියා. නමුත් ඒ ගමන නොයෑමට හන්නා එය හේතුවක් කරගත්තේ නැහැ. අද දින යෙහෝවා දෙවිට නමස්කාර කරන අයට ඉන් වටිනා පාඩමක් ඉගෙනගත හැකියි. එනම් අන් අය අපේ සිත රිදවන නිසා යෙහෝවා දෙවිට කරන නමස්කාරය හා සම්බන්ධ දේවල් අතපසු කිරීම කොහෙත්ම සුදුසු නැහැ. එසේ කළොත් ප්‍රශ්නවලට සාර්ථකව මුහුණ දීම සඳහා යෙහෝවා දෙවි සපයන උපකාරය ලබාගන්න අපට හැකි වෙන්නේ නැහැ.

කඳු බෑවුම් පසුකරමින් එල්කානා ඇතුළු පවුලේ සියලුදෙනාම ෂීලෝ නුවරට ළඟා වෙත්ම උස් බිම් ප්‍රදේශයකින් වට වූ ෂීලෝ නුවර ඔවුන්ට පැහැදිලිව පෙනෙන්න ඇති. ෂීලෝ නුවරට ගොස් දෙවිට කිව යුතු සියල්ල හන්නා කලින්ම තීරණය කරන්න ඇති කියා සිතන්න පුළුවන්. සියලුදෙනාම කෑම කෑවායින් පසුව හන්නා ඉක්මනින්ම එතනින් පිටත් වී දෙවිට යාච්ඤා කරන්න සම්මුඛ වීමේ කූඩාරම ළඟට ගියා. ඒ අවස්ථාවේ උත්තම පූජක ඒලී ශුද්ධ කූඩාරමට ඇතුල් වන ස්ථානයේ සිටියත් හන්නාගේ අවධානය යොමු වී තිබුණේ යෙහෝවා දෙවි වෙතටයි. දෙවි තමන්ගේ යාච්ඤාවලට සවන් දෙන බවට හන්නා තුළ නිසැකකමක් තිබුණා. තමන්ගේ වේදනාව කිසි කෙනෙකුට නොතේරුණත් යෙහෝවා දෙවි එය හොඳින් දන්නා බව හන්නා දැන සිටියා. ඒ නිසා ඇය ඉකි ගසා හඬමින් දෙවිට යාච්ඤා කළා.

හන්නා බොහෝ වේලාවක් තිස්සේ නිහඬව ඇගේ දුක දෙවිට පැවසුවා. දරුවෙකු ලබා දෙන මෙන් දෙවිගෙන් අයැද සිටි හන්නා තමාට දරුවෙකු ලැබුණොත් ඒ දරුවාව දෙවිට සේවය කිරීම සඳහා කැප කරන බවටත් පොරොන්දු වුණා. ඉන් පැහැදිලි වන්නේ දෙවිගෙන් යම් දේවල් ලබාගැනීම ගැන පමණක් සිතනවා වෙනුවට දෙවි වෙනුවෙන් දිය හැකි දේවල් ගැනත් හන්නා කල්පනා කළ බවයි.—1 සාමුවෙල් 1:9-11.

දරුවෙක් සිතේ තිබෙන දේවල් දෙමව්පියන්ට කියනවා හා සමානව අපේ සියලුම ප්‍රශ්න ගැන දෙවිට පවසන්න කියා දෙවිම අපෙන් ඉල්ලා සිටිනවා. (ගීතාවලිය 62:8; 1 තෙසලෝනික 5:17) “ඔහු [දෙවි] ඔබ ගැන සැලකිලිමත් වන නිසා ඔබේ කනස්සල්ලට හේතු වන සෑම බරක්ම ඔහු පිට තබන්න” කියා බයිබලයේ සඳහන් වෙන්නේ ඒ නිසයි. (1 පේතෘස් 5:7) එසේ කිරීම සම්බන්ධයෙන් හන්නා කදිම ආදර්ශයක්.

මිනිසුන්ගේ දුක හොඳින් තේරුම්ගැනීමට යෙහෝවා දෙවිට තිබෙන හැකියාව මිනිසුන්ට නැහැ. උත්තම පූජක ඒලී කටයුතු කළ ආකාරයෙන් එය පැහැදිලි වෙනවා. හන්නා බොහෝ වේලාවක් තිස්සේ හැඬූ කඳුළින් දෙවිට යාච්ඤා කළ ආකාරය ඒලී බලා සිටියා. හන්නා නිහඬව යාච්ඤා කළ නිසා ඇගේ තොල් සෙලවුණත් ඇය පැවසූ කිසිවක් ඔහුට ඇසුණේ නැහැ. ඒ නිසා ඇය බීමත්ව සිටිනවා කියා සිතූ ඒලී හන්නා අසලට පැමිණ මෙසේ පැවසුවා. “තව කොච්චර වෙලාවක් ඔබ බීමත්ව ඉන්නද හදන්නේ? මෙතැනින් යන්න. ඔබේ වෙරි මත හිඳෙන තුරු එන්න එපා.”—1 සාමුවෙල් 1:12-14.

හන්නා සිටි තත්වය තේරුම්ගන්නවා වෙනුවට ඒලී ඇය ගැන වැරදි නිගමනයකට පැමිණීම ගැන හන්නාට මොන තරම් වේදනාවක් දැනෙන්න ඇද්ද! එමෙන්ම උත්තම පූජකයා ලෙස කටයුතු කළ ඒලී එවැනි දෙයක් පවසයි කියා ඇය කොහෙත්ම බලාපොරොත්තු නොවන්න ඇති. හන්නා ඒ අවස්ථාවේදී කටයුතු කළ ආකාරයත් අපට කදිම ආදර්ශයක්. උත්තම පූජකයා අතින් සිදු වූ වරද ගැන සිතමින් ඇය දෙවිට කළ නමස්කාරය නතර කළේ නැහැ. ඒ වෙනුවට හන්නා ගෞරවනීයව ඒලීට ඇගේ තත්වය පහදා දුන්නා. තමා අතින් වරදක් සිදු වූ බව වටහාගත් ඒලී කරුණාවන්තව හන්නාට මෙසේ පැවසුවා. “දැන් ඉතින් සමාදානයෙන් යන්න. ඊශ්‍රායෙල්හි දෙවි ඔබේ ඉල්ලීම ඉටු කර දෙනු ලැබේවා!”—1 සාමුවෙල් 1:15-17.

හන්නා තම සිතේ තිබුණු දේවල් දෙවිට පැවසීමේ ප්‍රතිඵලය කුමක්ද? ඒ ගැන බයිබලයේ සඳහන් වෙන්නේ මෙසේයි. “ඉන්පසු ඇය එතැනින් පිටත්ව ගොස් කෑම කෑවාය. ඇය තවදුරටත් ඇගේ ප්‍රශ්නය ගැන කනස්සලු වූයේ නැත. ඇගේ මුහුණද මලානිකව නොතිබුණේය.” (1 සාමුවෙල් 1:18) දරාගත නොහැකිව ඇගේ සිතේ තිබුණු සියලු බර දෙවිට භාර දුන් පසු හන්නා මොන තරම් සහනයක් අද්දැක්කාද කියා ඉන් පැහැදිලි වෙනවා. (ගීතාවලිය 55:22) ඇත්තෙන්ම අපේ ප්‍රශ්න ගැටලු ඉසිලීම දෙවිට කොහෙත්ම අමාරු කාර්යයක් නෙවෙයි. ඒ නිසා එදා වගේම අදත් ඔහු තම විශ්වාසවන්ත සේවකයන්ගේ ප්‍රශ්න ගැටලු නමැති බර උසුලන්න සූදානමින් සිටිනවා.

අපි අධෛර්යයට පත් වී හෝ ශෝකයෙන් සිටින විට හන්නා මෙන් ‘යාච්ඤා අසන තැනැත්තාට’ අපේ ප්‍රශ්න ගැන කියන්න පෙලඹිය යුතුයි. (ගීතාවලිය 65:2) එසේ කළොත් සිතේ තිබූ ශෝකය වෙනුවට දෙවි ලබා දෙන “කිසිම මිනිසෙකුට වටහාගත නොහැකි වූ සමාදානය” අද්දකින්න අපට හැකි වෙනවා.—ෆිලිප්පි 4:6, 7.

“දෙවිට සමාන වූ පර්වතයක් නැත”

හන්නා හැඬූ කඳුළින් යාච්ඤා කළ දිනට පසු දිනයේදී ඇය එල්කානා සමඟ නැවත සම්මුඛ වීමේ කූඩාරම වෙතට ගියා. දරුවෙක් ලබා දෙන්න කියා ඇය යෙහෝවා දෙවිට ආයාචනා කළ බවත් ඒ ඉල්ලීම ඉටු වුණොත් දරුවාව දෙවිගේ සේවය සඳහා කැප කරන බවට පොරොන්දු වූ බවත් ඇය එල්කානාට පවසන්න ඇති. භාර්යාවක් ස්වාමිපුරුෂයාගේ අනුදැනුම නොමැතිව දෙවිට පොරොන්දුවක් වුණා නම් එය වෙනස් කිරීමට ස්වාමිපුරුෂයාට අයිතිය තිබෙන බව මෝසෙස්ගේ නීතියේ සඳහන් වුණා. (ගණන් කතාව 30:10-15) නමුත් එල්කානා එවැනි පියවරක් ගත්තේ නැහැ. ඒ වෙනුවට නැවත නිවස බලා පැමිණීමට පෙර ඔවුන් දෙදෙනාම සම්මුඛ වීමේ කූඩාරම අසලදී යෙහෝවා දෙවිට නමස්කාර කළ බව බයිබලයේ සඳහන් වෙනවා.

හන්නාට තවදුරටත් නින්දා කිරීමෙන් පලක් නැති බව පෙනින්නාට අවබෝධ වෙන්න ඇත්තේ කුමන අවස්ථාවේ සිටද කියා බයිබලයේ සඳහන් වෙන්නේ නැහැ. කොහොමවුණත් හන්නා “තවදුරටත් ඇගේ ප්‍රශ්නය ගැන කනස්සලු වූයේ නැත” කියා බයිබලයේ සඳහන් වීමෙන් පැහැදිලි වන්නේ ඇය තම ගැටලුව ගැන දෙවිට පැවසූ පසු සන්තෝෂයෙන් සිටි බවයි. ඒ නිසා නින්දා අපහාස හෝ ඇනුම් පදවලට හන්නා සැලෙන්නේ නැති බව පෙනින්නාට තේරෙන්න ඇති. ඒ සිද්ධියෙන් පසුව පෙනින්නා ගැන තවදුරටත් බයිබලයේ සඳහන් වෙන්නේ නැහැ.

මාස ගණනකට පසුව හන්නා ගැබ්ගත් නිසා ඇගේ ප්‍රීතිය දෙගුණ තෙගුණ වුණා. ඇය ඒ ගැන කොතරම් සතුටු වන්න ඇද්ද කියා ඔබට සිතාගත හැකිද! ඇයට එම ආශීර්වාදය ලැබුණේ යෙහෝවා දෙවිගෙන් බව හන්නා කිසිම විටක අමතක කළේ නැහැ. ඒ නිසා ඇය තම පුත්‍රයාට “දෙවිගේ නම” යන අර්ථය ඇති සාමුවෙල් යන නම තැබුවා. ඇය ඒ නම තබන්න ඇත්තේ දරුවෙකු ලබා දෙන මෙන් ඇය දෙවිගේ නාමයෙන් කන්නලව් කළ නිසා විය හැකියි. සාමුවෙල් ඉපදුණු වසරේදී ඇය එල්කානා සහ පවුලේ අය සමඟ ෂීලෝ නුවරට ගියේ නැහැ. ඇය නිවසේ සිටිමින් දරුවා කිරි වරන තෙක් අවුරුදු තුනක් පුරා දරුවාව බලාගත්තා. ඉන්පසුව නිසි කාලය පැමිණි විට තමන් ආදරයෙන් හදා වඩා ගත් දරුවාව යෙහෝවා දෙවිට කැප කිරීමට ඇය සූදානම් වුණා.

එය හන්නාට කොහෙත්ම පහසු කාර්යයක් නොවන්න ඇති. මණ්ඩපයේ සේවය කළ ස්ත්‍රීන් සාමුවෙල්ව හොඳින් බලාගනියි කියා ඇය දැනගෙන සිටියා. නමුත් සාමුවෙල් තවම ළාබාල වියේ සිටින නිසා ඔහු එක්ක සිටීමට හන්නා ලොකු ආශාවක් දක්වන්න ඇති. ඒ වුණත් හන්නා සහ එල්කානා කැමැත්තෙන්ම සාමුවෙල්ව ෂීලෝ නගරයට රැගෙන ආවා. ඉන්පසු ඔවුන් පූජා ඔප්පු කර සාමුවෙල්ව ඒලීට භාර දුන්නා. මීට වසර තුනකට පමණ පෙර මණ්ඩපය ඉදිරියේ හැඬූ කඳුළින් යාච්ඤා කළ ස්ත්‍රීය මමයි කියා හන්නා ඒ අවස්ථාවේදී ඒලීට මතක් කළා.

ඉන්පසු හන්නා දෙවිට ප්‍රශංසා කරමින් යාච්ඤා කළා. ඒ යාච්ඤාව බයිබලයට ඇතුළත් කිරීමට තරම් වටිනා එකක් ලෙස යෙහෝවා දෙවි සැලකුවා. බයිබලයේ 1 සාමුවෙල් 2:1-10 දක්වා වාර්තා වී ඇති එම යාච්ඤාව සලකා බලන විට හන්නාට යෙහෝවා දෙවි ගැන මොන තරම් විශ්වාසයක් තිබුණාද කියා හෙළි වෙනවා. දෙවිගේ අතිමහත් බලය ගැන සඳහන් කරමින් අහංකාර අයට දඬුවම් කරන්නත් පීඩා විඳින අයව ඉන් මුදවා ගන්නත් දෙවිට හැකි බව ඇය එම යාච්ඤාවේදී සඳහන් කළා. එමෙන්ම දිවි රකින්නත් දිවි තුරන් කරන්නත් හැකියාව තිබෙන්නේ දෙවිට බවත් ඇය පැවසුවා. ඊට අමතරව දෙවි යුක්තිය ඉටු කරන ආකාරය ගැනත් දෙවිගේ ශුද්ධකම ගැනත් තම සේවකයන්ව ආරක්ෂා කිරීම ගැනත් හන්නා දෙවිට ප්‍රශංසා කළා. යෙහෝවා දෙවි කිසිදාක වෙනස් නොවෙන දෙවි කෙනෙක් නිසාත් ඔහුගෙන් සරණ පතන අයට ඔහු රැකවරණය සලසන නිසාත් “දෙවිට සමාන වූ පර්වතයක් නැත” කියා පැවසීමට හන්නා පෙලඹුණා.

යෙහෝවා දෙවි සමඟ කිට්ටු බැඳීමක් ඇති මවක් ලැබීම සාමුවෙල්ට ඇත්තෙන්ම මහත් ආශීර්වාදයක්. සාමුවෙල්ට තම මව නැති අඩුව දැනුණත් ඇගේ ආදරයේ නම් කිසිම අඩුවක් දැනුණේ නැහැ. උදාහරණයකට සාමුවෙල්ව බලන්න හන්නා ෂීලෝ නුවරට ගිය සෑම අවස්ථාවකදීම ඔහුට අත් නැති සළුවක් ගෙනත් දුන්නා. (1 සාමුවෙල් 2:19) ඒ සළුව හන්නා විසින්ම මැසූ එකක් නිසා ඇගේ සෙනෙහස කොතරම්ද කියා සාමුවෙල්ට දැනෙන්න ඇති. හන්නා එම සළුව සාමුවෙල්ට අන්දවා ඒ දෙස ආශාවෙන් බලා සිටින ආකාරයත් ඇය සාමුවෙල්ට ආදරයෙන් කතා කරමින් ඔහුව දිරිගන්වන ආකාරයත් ඔබට සිතින් මවාගත හැකිද? ඇත්තෙන්ම හන්නා වැනි මවක් සිටීම සාමුවෙල්ට ආශීර්වාදයක් වූවා හා සමානව සාමුවෙල් වැඩිහිටියෙකු වූ පසුව මුළු ඊශ්‍රායෙල් ජාතියටම ආශීර්වාදයක් වුණා.

හන්නාගේ විශ්වාසවන්තභාවය නිසා යෙහෝවා දෙවි ඇයට තවත් ආශීර්වාද කළා. ඒ නිසා ඇය එල්කානාට දාව පුතුන් තිදෙනෙක් සහ දූවරුන් දෙදෙනෙකුව බිහි කළා. (1 සාමුවෙල් 2:21) හන්නා ලැබූ ලොකුම ආශීර්වාදය නම් යෙහෝවා දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගැනීමට ලැබීමයි. ඒ මිත්‍රත්වය කාලයත් සමඟ තව තවත් ශක්තිමත් වුණා. ඔබත් හන්නාගේ ආදර්ශය අනුගමනය කරනවා නම් දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගැනීමට ඔබටත් හැකියි.

[පාදසටහන්වල]

^ 7 ඡේ. ඊශ්‍රායෙල්වරුන් අතර සිදු වූ බහුභාර්ය විවාහයන් යෙහෝවා දෙවි අනුමත නොකළත් ඔහු යම් කාලයකට ඊට ඉඩ දුන්නේ ඇයි කියා දැනගැනීමට 2009 ජූලි 1 මුරටැඹ කලාපයේ පළ වූ “බහුභාර්ය විවාහයන් දෙවි අනුමත කරනවාද” යන ලිපිය බලන්න.

^ 10 ඡේ. බයිබලයේ සඳහන් වෙන්නේ යෙහෝවා දෙවි හන්නාගේ ‘ගර්භය වසා තැබුවා’ කියායි. ඉන් අදහස් වෙන්නේ හන්නාට දෙවිගේ අනුමැතිය නොතිබූ බව නොවෙයි. (1 සාමුවෙල් 1:5) සමහර අවස්ථාවලදී දෙවි යම් දේවල් සිදු වීමට ඉඩහරිනවා. කොහොමවුණත් බයිබලයේ ඒ දේවල් විස්තර කර තිබෙන්නේ දෙවි විසින් කළ දේවල් හැටියටයි.

^ 13 ඡේ. එල්කානා ජීවත් වූ රාමතායිම්-ෂෝපිම් නම් පළාත බොහෝවිට යේසුස්ගේ කාලයේදී අරිමාතිය ලෙස හැඳින්වූ ප්‍රදේශය විය හැකියි. එල්කානා ජීවත් වූ ප්‍රදේශයේ සිට ෂීලෝ නුවරට ඇති දුර අනුමාන කර තිබෙන්නේ එය පදනම් කරගෙනයි.

[17වන පිටුවේ කොටුව]

සුවිශේෂී යාච්ඤා දෙකක්

හන්නා යෙහෝවා දෙවිට කළ යාච්ඤා දෙකක් 1 සාමුවෙල් 1:11 සහ 2:1-10 දක්වා සඳහන් වෙනවා. අපි දැන් එහි කැපී පෙනෙන කරුණු කිහිපයක් සලකා බලමු.

▪ මුල්ම යාච්ඤාවේ හන්නා යෙහෝවා දෙවිව ආමන්ත්‍රණය කරන්නේ “ස්වර්ගයේ සේනාවල අධිපති” ලෙසයි. මුල්ම වතාවට යෙහෝවා දෙවිව ඒ ආකාරයට ආමන්ත්‍රණය කර තිබෙන්නේ ඇයයි. එම යෙදුම බයිබලයේ 285වතාවක් සඳහන් වී තිබෙනවා. යෙහෝවා දෙවිව එලෙස හඳුන්වා තිබෙන්නේ ඔහු දේවදූතයන් ගණනාවක් කෙරෙහි අධිපතිකම් කරන නිසයි.

▪ බයිබලයේ වාර්තා වී තිබෙන හන්නාගේ දෙවන යාච්ඤාව ඇය පැවසුවේ සාමුවෙල් ඉපදුණු අවස්ථාවේ නොවෙයි. ඒ වෙනුවට හන්නා එම යාච්ඤාව කළේ එල්කානා සමඟ සාමුවෙල්ව මණ්ඩපයේ සේවය කිරීම සඳහා ෂීලෝ නුවරට ගෙන ගිය පසුවයි. ඉන් පැහැදිලි වෙන්නේ හන්නා වැඩියෙන්ම සතුටු වුණේ දරුවෙකු ලබා දීමෙන් ඇයට නපුරුකම් කළ පෙනින්නාට නිහඬ වීමට සැලැස්වූ නිසා නොව නමුත් යෙහෝවා දෙවි තමාට ආශීර්වාද කළ නිසා බවයි.

▪ හන්නා දෙවිට යාච්ඤා කරමින් “ඔබ මාගේ අඟ උසස් කළේය” කියා පැවසුවා. සමහරවිට බර ඇඳීම සඳහා යොදාගත් විශාල අං ඇති ශක්තිසම්පන්න ගවයෙකුව ඒ මොහොතේ ඇගේ මතකයට නැඟෙන්න ඇති. ගවයෙක් ආරක්ෂාව සඳහා උගේ ශක්තිමත් අං යොදාගන්නවා. හන්නා එසේ යාච්ඤා කළේ යෙහෝවා දෙවි ඇගේ ‘සවිය වැඩි කළ’ නිසයි.—1 සාමුවෙල් 2:1.

▪ හන්නා ඇගේ යාච්ඤාව තුළ “අභිෂේක ලත් තැනැත්තා” ගැන සඳහන් කළා. ඊට තිබෙන්නේ අනාවැකිමය අර්ථයක්. අනාගතයේ පැමිණීමට නියමිත රජ කෙනෙකුට යොමු දැක්වීම සඳහා “අභිෂේක ලත් තැනැත්තා” යන යෙදුම භාවිත කළ පළමු කෙනා ඇයයි.—1 සාමුවෙල් 2:10.

▪ හන්නාගේ කාලයෙන් වසර දහසකට පමණ පසුව ජීවත් වූ යේසුස්ගේ මව වූ මරියාද දෙවිට ප්‍රශංසා කරමින් කළ යාච්ඤාවකදී හන්නා සඳහන් කළා හා සමාන දේවල් පැවසුවා.—ලූක් 1:46-55.

[16වන පිටුවේ පින්තූරය]

දරුවෙක් නොසිටීම ගැන වේදනාවෙන් සිටි හන්නාව පෙනින්නා තව තවත් රිදෙව්වා

[16, 17වන පිටුවේ පින්තූරය]

හන්නාව අනුකරණය කරමින් සිතේ තිබෙන සියල්ල දෙවිට පවසන්න ඔබටත් හැකිද?

[17වන පිටුවේ පින්තූරය]

ඒලී හන්නාව වරදවා වටහාගත්තත් හන්නා ඒ ගැන කෝප වුණේ නැහැ