Skip to content

පටුනට යන්න

මුල් පිටුවෙන් | දුම් පානය දෙවියන් අනුමත කරනවාද?

ලොවම බිලිගන්න වසංගතයක්

ලොවම බිලිගන්න වසංගතයක්

මිනිස් ජීවිත බිලිගන්න දුම්වැටි.

  • ගෙවුණු සියවසේදී 10,00,00,000කගේ ජීවිත බිලිගත්තා.

  • හැම අවුරුද්දකම 60,00,000කගේ විතර ජීවිත බිලිගන්නවා.

  • හැම තත්පර 6කදීම වගේ එක් කෙනෙක්ගේ ජීවිතය බිලිගන්නවා.

ඒත් වෙනසක සේයාවක්වත් පේන්න නැහැ.

ඒ තත්වය වෙනස් නොවුණොත් 2030දී දුම් පානයෙන් මිය යන සංඛ්‍යාව 80,00,000 ඉක්මවයි කියලා බලධාරීන් ගණන් බලලා තියෙනවා. 21වෙනි සියවස අවසානයේදී 1,00,00,00,000 ජීවිත අහිමි වෙන්න පුළුවන් කියලත් ඔවුන් හිතනවා.

දුම්වැටිය නිසා දුම් පානය කරන කෙනාගේ ජීවිතය අහිමි වෙන එක ඔහුගේ පවුලේ අයට ලොකු දුකක් වගේම ආර්ථිකයටත් බලපානවා. දුම් පානය නොකරන අයත් දුම් වැටියෙන් එන දුම ආශ්වාස කරන නිසා 6,00,000කගේ ජීවිත හැම අවුරුද්දකම අහිමි වෙනවා. ඒ නිසා දුම් පානය නොකරන අයටත් තමන්ගේ සෞඛ්‍යය රැකගන්න අමතර වියදමක් දරන්න වෙනවා.

අද තියෙන හුඟක් වසංගතවලට විසඳුමක් හොයන්න වෛද්‍යවරුන්ට ලොකු වෙහෙසක් දරන්න සිද්ධ වුණත් දුම් පානය කියන වසංගතයට විසඳුම තියෙන්නේ ඔබ ළඟයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරිය වන වෛද්‍ය මාගරට් චෑන් මෙහෙම කිව්වා. “දුම් පානය මිනිස්සු විහින්ම ඇති කරගත්තු වසංගතයක්. පාලකයනුයි සමාජයයි අත්වැල් බැඳගත්තොත් මේ වසංගතය තුරන් කරන්න පුළුවන්.”

දුම් පානයෙන් මිනිසුන්ව බේරගන්න ජාත්‍යන්තර වශයෙන් ලොකු වෙහෙසක් දරනවා. 2012 අගෝස්තු මාසයේ ඉඳලා රටවල් 175ක විතර සාමාජිකයෝ එකතු වෙලා දුම්කොළ භාවිතය අවම කරන්න පියවර ගත්තත් සාර්ථක වෙලා නැහැ. * හැම අවුරුද්දකම දුම්කොළ සමාගම් අලුත් අයව, විශේෂයෙන්ම දියුණු වෙමින් පවතින රටවල කාන්තාවන්ව සහ තරුණයන්ව දුම් පානයට ආකර්ෂණය කරගන්න ඩොලර් මිලියන ගණන් වැය කරලා දැන්වීම් පළ කරනවා. දුම්කොළ ඇබ්බැහි කරවනසුලු දෙයක් නිසා දැනටමත් දුම් පානය කරන බිලියනයක් දෙනා ඉන්නේ දැඩි අනතුරකයි. ඒකෙන් මිදෙන්න පියවර ගත්තේ නැත්නම් මිය යන සංඛ්‍යාව ඊළඟ දශක හතරේදී වේගයෙන් ඉහළ යයි.

ඒ පුරුද්දෙන් මිදෙන්න හුඟදෙනෙක් කැමති වුණත් ඇබ්බැහි වෙලා තියෙන නිසාත් දැන්වීම්වලට ආකර්ෂණය වෙලා තියෙන නිසාත් ඒක මර උගුලක් වෙලා! නාඕකොගේ අද්දැකීම මේකයි. එයා යෞවන කාලයේම දුම් පානය කරන්න පෙලඹුණේ මාධ්‍යයෙන් ඉහළ පැළැන්තියේ අයගේ ජීවන රටා පෙන්වපු දැන්වීම්වලට රැවටිලයි. ඇයට දරුවන් දෙන්නෙක්ගේ වගකීම් තිබුණත් ඇගේ දෙමාපියන් දෙන්නම පෙණහලු පිළිකාවෙන් මැරෙනවා දැක්කත් ඇය දුම් පානය නතර කළේ නැහැ. ඇය මෙහෙම කිව්වා. “පෙණහලු පිළිකාව හැදෙයි කියන බය තිබුණා. දරුවන්ගේ සෞඛ්‍යය ගැනත් හිතුවා. ඒත් දුම් පානය අත්හරින්න බැරි වුණා. ඒක කවදාවත් නවත්වන්න පුළුවන් වෙයි කියලා මම හිතුවේ නෑ.”

ඒත් නාඕකො ඒ පුරුද්දෙන් මිදුණා. මිලියන ගණන්දෙනාට දුම් පානයෙන් මිදෙන්න උපකාර වුණ දේම ඇයටත් උපකාර වුණා. ඒ ගැන ඊළඟ ලිපියෙන් බලන්න.

^ 11 ඡේ. දුම් පානයෙන් සිද්ධ වෙන හානි පෙන්වන එක, දුම්කොළ සමාගම් කරන වෙළඳ කටයුතු සීමා කරන එක, දුම්කොළ බද්ද වැඩි කරන එක සහ දුම් පානය නතර කරන්න උපකාර වෙන වැඩසටහන් ඉදිරිපත් කරන එක ඒවායින් කීපයක්.