Skip to content

යොවුන් සිතේ ගැටලු

ගෙදර ඉඳන් ඉගෙනගන්න එක සාර්ථකව කරන්න මට පුළුවන් කොහොමද?

ගෙදර ඉඳන් ඉගෙනගන්න එක සාර්ථකව කරන්න මට පුළුවන් කොහොමද?

 හුඟක් ළමයි දැන් එයාලගේ ඉගෙනීම් කටයුතු කරන්නේ වෙනස් විදිහේ “පන්ති කාමරයක” ඉඳන්. ඒ එයාලගේ ගෙදර. ඔයාත් ගෙදර ඉඳන් ඉගෙනගන්න කෙනෙක් නම් ඒකෙන් හොඳින් ප්‍රයෝජන ගන්න ඔයාට පුළුවන් කොහොමද? ඒකට උදව් වෙන යෝජනා කිහිපයක් බලමු. a

 යෝජනා පහක්

  •   කාලසටහනක් හදාගන්න. ඔයා ඉස්කෝලේ ගියා නම් කරන විදිහටම ඔයාගේ වැඩ ටික හැම දවසකම කාලසටහනකට අනුව කරන්න උත්සාහ කරන්න. ඉස්කෝලේ වැඩවලට, ගෙදරදොරේ වැඩවලට සහ අනිත් වැදගත් දේවලට නියමිත වෙලාවක් වෙන් කරන්න. අවශ්‍ය වුණොත් කාලසටහනේ යම් වෙනස්කම් කරන්න ඔයාට පුළුවන්.

     බයිබල් ප්‍රතිපත්තිය: “සෑම දෙයක්ම . . . පිළිවෙළකට සිදු විය යුතුයි.”—1 කොරින්ති 14:40.

     “ඉස්කෝලේ යන දවසක් කියලා හිතාගෙන දවසේ වැඩ ටික සැලසුම් කරන්න. නියමිත වෙලාවක් ඇතුළත වැඩ ටික ඉවර කරන්න.”—කේටී.

     හිතන්න දෙයක්: ඔයාගේ කාලසටහන කොළයක ලියලා ඔයාට නිතර පේන තැනක ඒක තියලා තියෙන එක හොඳ අදහසක් වෙන්නේ ඇයි?

  •   ඔයාව පාලනය කරගන්න පුරුදු වෙන්න. වගකීමෙන් වැඩ කරන කෙනෙක් වෙන්න නම් යම් වැඩක් කරන්න ඔයාගේ හිතේ කිසි ආසාවක් නැති වුණත් ඔයා කරන්න ඕන වැඩේ අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. වැඩ කල් දාන්න එපා.

     බයිබල් ප්‍රතිපත්තිය: ‘උද්‍යෝගිමත් වන්න. කම්මැළි නොවෙන්න.’—රෝම 12:11.

     “මාව පාලනය කරගන්න එක තමයි අමාරුම දේ. ලේසිම දේ තමයි නිදහසට කරුණු කියලා මං පස්සේ වෙලාවක ඉස්කෝලේ වැඩ ටික කරන්නම් කියන එක. ඒත් ඒකෙන් වෙන්නේ වැඩ ගොඩගැහිලා එකක්වත් කරගන්න බැරි වෙන එකයි.”—ඇලෙක්සැන්ඩ්‍රා.

     හිතන්න දෙයක්: හැම දවසකම එකම වෙලාවක, එකම තැනක ඉඳලා ඉස්කෝලේ වැඩ කරන එකෙන් ඔයාව පාලනය කරගැනීමේ හැකියාව තව දියුණු කරගන්න පුළුවන් කොහොමද?

  •   පාඩම් කරන්න වෙනම තැනක් හදාගන්න. ඔයාට අවශ්‍ය හැම දේම ළඟින් තියාගන්න. පාඩම් කරන වටපිටාව කරදරයක් නැති, පහසු වටපිටාවක් වෙන එක හොඳයි. හැබැයි ඒ තැන ඕනෑවට වඩා සැප පහසු වුණොත් පාඩම් කරන එක පැත්තකින් තියලා ඔයා නිදාගනියි. පාඩම් කරන්න කියලා ඔයාට වෙනම තැනක් නැත්නම් කුස්සියේ හරි නිදන කාමරේ හරි ඔයා පාඩම් කරන වෙලාවට තැනක් හදාගන්න.

     බයිබල් ප්‍රතිපත්තිය: “උත්සාහවන්තයාගේ සැලසුම් සාර්ථක වෙයි.”—හිතෝපදේශ 21:5.

     “බෝල, වීඩියෝ ගේම්ස් වගේ දේවල් ළඟ තියාගන්න එපා. ගිටාර් එකත් පැත්තකින් තියලා, ෆෝන් එකත් සයිලන්ට් කරන්න. මොකද බාධා වෙන දේවල් ළඟපාත තිබුණොත් ඉගෙනගන්න දේවල්වලට අවධානය දෙන්න ඔයාට බැරි වෙනවා.”—එලිසෙබෙත්.

     හිතන්න දෙයක්: පාඩම් වැඩවලට හොඳට අවධානය දෙන එක ලේසි වෙන්න නම් ඔයා පාඩම් කරන වටපිටාවේ මොන වගේ වෙනසක් කරන්න වෙයිද?

  •   අවධානය දෙන්න පුරුදු වෙන්න. එක සැරයකට එක වැඩකට අවධානය දෙන්න. වැඩ ගොඩක් කරන්න යන්න එපා. මොකද එකපාර වැඩ හුඟක් කරන්න ගියොත් ඔයාගේ අතින් වැඩියෙන් වැරදි වෙලා කරන වැඩේට හිතුවාටත් වඩා වෙලාව යයි.

     බයිබල් ප්‍රතිපත්තිය: “ලැබෙන සෑම අවස්ථාවකින්ම උපරිම ප්‍රයෝජන ගන්න.”—එෆීස 5:16.

     “ෆෝන් එක ළඟ තියෙද්දී මට එක දේකට අවධානය දෙන එක හරි අමාරුයි. කිසි තේරුමක් නැති වැඩවලට මගේ කාලේ කොච්චර නම් නාස්ති වෙන්න ඇද්ද!”—ඔලිවියා.

     හිතන්න දෙයක්: යම් වැඩකට එක දිගට අවධානය දීගෙන ඉන්න පුළුවන් කාලය ටිකෙන් ටික වැඩි කරගන්න ඔයාට පුළුවන්ද?

  •   විවේකයක් ගන්න. ටිකක් ඇවිදින්න යන්න, බයිසිකල් පදින්න එහෙමත් නැත්නම් ව්‍යායාම් කරන්න. විනෝදෙට දෙයක් කරන එකෙනුත් ඔයාට අලුත් පණක් ලබන්න පුළුවන්. එක පොතක මෙහෙම කියනවා. “ඒත් මුලින්ම කරන්න තියෙන වැඩ ටික ඉවර කරන්න. කරන්න තියෙන වැඩ ටික සම්පූර්ණයෙන්ම කළොත් තමයි ඔයාට නිදහසේ විවේක කාලය ගත කරන්න පුළුවන් වෙන්නේ.”—School Power.

     බයිබල් ප්‍රතිපත්තිය: “වෙහෙස මහන්සි වී බොහෝ වේලාවක් වැඩ කරමින් සුළඟ පසුපස හඹා යනවාට වඩා සුළු විවේකයක් ගැනීම හොඳය.”—දේශනාකාරයා 4:6.

     “සාමාන්‍යයෙන් ඉස්කෝලේදී සංගීත භාණ්ඩයක් වාදනය කරන්න හරි චිත්‍ර අඳින්න හරි ඉගෙනගන්න අවස්ථාව තියෙනවා. දැන් තමයි හිතෙන්නේ අපරාදේ මං ඒ කාලේ ඒ වගේ දෙයක් ඉගෙනගත්තේ නැත්තේ කියලා. පොත්ම බදාගෙන ඉන්නේ නැතුව ඒ වගේ දේකටත් කාලය ගන්න එක හොඳ දෙයක්.”—ටේලර්.

     හිතන්න දෙයක්: ඔයාගේ ඉස්කෝලේ වැඩ ටික කරන්න අලුත් පණක් ලැබෙන්නේ ඔයා මොන වගේ විවේකයක් ගත්තොත්ද?

a ගෙදර ඉඳන් ඉගෙනගන්න පුළුවන් ක්‍රම හුඟක් තියෙනවා. මේ ලිපියේ සඳහන් වෙන යෝජනාවලින් ඔයාගේ තත්වයට ගැළපෙන යෝජනා අදාළ කරගන්න.